අධිකරණයට අපහාස කළ මාධ්‍යවේදියාට දඬුවම් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් !

(හසරිඳු රාජපක්ෂ)
අධිකරණයට අපහාස කිරීමේ වරද හේතුවෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට වසර 04ක සිරදඬුවම් නියමවීමත් සමග අධිකරණයට අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් මේ දිනවල වැඩිවශයෙන් කතාබහට ලක්වේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් පැමිණවූ අවස්ථා කිහිපයක් ඉතිහාසයේ ඇති අතර, මාධ්‍යවේදියෙක්ද ඒ අතර‌ සිටී.ඔහු නමින් ගරුමුණි තිලකරත්නයි. දිවයින පුවත්පතේ අරනායක ප්‍රාදේශීය වාර්තාකරු ලෙස කටයුතු කළ තිලකරත්නට, තමන් පළකළ වාර්තාවක් හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව එල්ල වූයේ මීට වසර 30කට පමණ පෙරදී ය.

සිදුවීම

1989 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය හිමිවූයේ ආර්.ප්‍රේමදාස මහතාටයි. එම ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිවරණයෙන් පසුව ජයග්‍රාහී අපේක්ෂක ආර්.ප්‍රේමදාස මහතාගේ පත්වීම අභියෝගයට ලක්කරමින් ඡන්ද පෙත්සමක් ගොනුකරන්නට විය. මෙම සිදුවීම එකල වැඩි වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් විය. එම පෙත්සම විභාගයට ගැනෙමින් තිබූ කාලසීමාවේදී අරනායක, අඹලතැන්න ප්‍රදේශයේ පැවති ජනහමුවකදී එක් මන්ත්‍රීවරයකු මේ පිළිබඳව අදහස් දක්වන්නට විය. එවකට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයකු ද වූ ධර්මසිරි සේනානායක මහතා එසේ අදහස් දැක්වූ අතර, ඔහු එහිදී මෙම පෙත්සම පිළිබඳවත් එහි තීන්දුව ලැබිය යුතු ආකාරය පිළිබඳවත් කරුණු දක්වා තිබිණි.

පුවත්පත් වාර්තාව

ධර්මසිරි සේනානායක මහතා අරනායකදී කළ කතාව 1990 නොවැම්බර් මස 12 දා දිවයින පුවත්පතේ පළවිය. ‘අපිත් ඕනෑම මැතිවරණයකට සූදානම්’ යන සිරස්තලය යටතේ එය පළවී තිබිණි. ඒ යටතේ සේනානායක මහතාගේ සම්පූර්ණ කතාව පළ කෙරිණි.

අධිකරණයට වූ අපහාසය

සේනානායක මහතා අධිකරණය සම්බන්ධයෙන් කළ විවේචනාත්මක කරුණු දැක්වීම් එලෙසම පුවත්පතේ පළකර තිබූ අතර, එය  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාවට අනුව අධිකරණයට කළ අපහාසයක් බව දක්වමින් ගරුමුණි තිලකරත්නට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරිණි.

ගරුමුණි තනිවෙයි

මෙම නඩු පැවරීම සම්බන්ධයෙන් ධර්මසිරි සේනානායක මහතා පවසා ඇත්තේ තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බව ය. එවැනි පුවතක් පළකිරීම සම්බන්ධයෙන් කණගාටු වන බව පවසමින් දිවයින පුවත්පතේ කතුවරයාද අධිකරණය ඉදිරියේ වරද පිළිගෙන තිබේ.
නොකළ වරදකට වරදකරුවීමට තමන් අකමැති බව පවසමින් ගරුමුණි තිලකරන්න මහතා අධිකරණය ඉදිරියේ වරද පිළිගෙන නොමැති අතර, රැස්වීමක සිදුවූවක් පමණක් තමන් වාර්තා කළ බවත්, තමන්ගේ වාර්තාව සත්‍ය බව ඔප්පු කිරීමට එදින අරනායක රැස්වීමට සහභාගි වූ පුද්ගලයන්ගෙන් දිව්රුම් පෙත්සම් ලබාගත හැකි බවත් ඔහු අධිකරණයට දැනුම් දී ඇත. එමෙන්ම තමන් පුවතක් ලියා පුවත්පත් කාර්යාලයට එවූවද, එය පළකරන්නේ කතුවරයා බවත්, ඔහු දැනටමත් වරද පිළිගෙන ඇති බැවින් තමන්ට දඬුවම් කිරීමෙන් වළකින ලෙසත් ඔහු අධිකරණයෙන් ඉලලා ඇත. එමෙන්ම අධිකරණයට අපහාස කිරීමේ චේතනාව මත අදාළ වාර්තාව සකස් නොකළ බවත්, අපහාස කිරීම සම්බන්ධයෙන් තමන් දැන නොසිටි බවත් තිලකරත්න මහතා අධිකරණය ඉදිරියේ පවසා තිබේ.

ගරුමුණි වරදකරු වෙයි

කෙසේ වෙතත් මීට අදාළව ගරුමුණි තිලකරත්න වරදකරු වන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළ අතර, එසේ වුවද ඔහුට දඬුවම් නියම නොකිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ දායකත්වය සුළුපටු යැයි දක්වමින් දඬුවම් නියම නොකිරීමට අධිකරණය තීරණය කර තිබිණි. 1991(1) SLR 134 ලෙස මෙම තීන්දුව ප්‍රකාශයට පත්වී තිබේ.

අධිකරණයට අපහාස කිරීම – සීමාවක් නැහැ

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතියේ නිශ්චිත නිර්වචනයක් නොමැති අතර, මේ සඳහා ලබාදෙන දඬුවම සම්බන්ධයෙන්ද නිශ්චිතභාවයක් නොමැති බව නීතිඥ ජගත් ලියනාරච්චි මහතා අප සමග අදහස් දක්වමින් පැවසීය. අධිකරණයට අපහාස කිරීමේ වරද නිර්වචනය කර තිබුණේ නම් පුද්ගලයන් අදහස් දක්වන විට අධිකරණයට අපහාස නොවන ආකාරයට අදහස් දැක්වීමටත්, මාධ්‍යයවේදීන්ට පුවත් පළකිරීමේදී අධිකරණයට අපහාස නොවන අකාරයට පුවත් පළකිරීමටත් පහසු වන බවද නීතිඥවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නීති කොමිසම විසින් 2008 වසරේදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නීති කෙටුම්පතක් සකස් කර තිබුණද, මෙතෙක් එය අවසන් වී නොමැති බව ද නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.
Previous articleආණ්ඩුව – විපක්ෂය එක පාරක : ජනපති සැක ද?
Next articleක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය : සියයට 220 පොළියෙන් දේශපාලනඥයන්ගේ කොටස කීයද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here