නියමු ව්‍යාපෘතියේ අඩුපාඩු තියෙන්න පුළුවන් : දින 14ක නිරෝධායනය අනිවාර්යයි – රාජ්‍ය ඇමැති ඩී.වී.චානක

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සියල්ල නිරෝධායනයට යොමුවීම අනිවාර්ය වන බවත් දින 14ක නිරෝධායන කාලයකට යටත්ව ඔවුන්ට සංචාරය කිරීමට අවසර ලබාදෙන බවත් ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සඳහන් කළේය.
ලබන 21දා සිට සංචාරකයන් සඳහා ගුවන් තොටුපොළ සම්පූර්ණයෙන් විවෘත කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විමසීමේදී ඔහු මේ බව පැවසීය. ගුවන් තොටුපොළ සම්පූර්ණයෙන්ම විවෘත කෙරුණද, තනි පුද්ගල සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවස්ථාව නොදෙන බවත්, කණ්ඩායම් වශයෙන් පැමිණෙන සංචාරකයන් සඳහා පමණක් එම අවස්ථාව හිමි වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
‘සංචාරකයන් ලංකාවට පැමිණීමේදී පැය 96ක් ඇතුළත පීසීආර් පරීක්ෂණයක් සිදු කරගෙන තමන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නැති බවට සහතික කරවාගෙන තමයි පැමිණෙන්නෙ. පසුව ලංකාවට පැමිණි පසුව පීසීආර් පරීක්ෂණයක් සිදු කර, කොවිඩ් නොමැති බවට එයිනුත් තහවුරු වුණොත් දවස් 14ක නිරෝධායනයට යටත්ව සංචාරය කරන්න අවසර දෙනවා. ඒ කියන්නෙ ශ්‍රී ලාංකිකයන් සමග ගැටීමක් නැතුව, සමාජය සමග ගැටීමක් නැතුව මේ සංචාරක පිරිසට ජෛව බුබුලක් ලෙස සංචාරය කරන්න අවස්ථාව සලසා දෙනවා. එම සංචාරක ස්ථානවලදී ශ්‍රී ලාංකිකයන් සමග නොගැටෙන පරිදි ඔවුන්ව සංචාරය සඳහා යොමුකරන්න කටයුතු කරනවා. විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට වගේම මේ පුද්ගලයන්ටත් දින 14ක නිරෝධායනය අනිවාර්යයි.
ඒ වගේම සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීමයි අපේ අරමුණ. මොකද මේ රටේ ලක්ෂ 30ක පමණ පිරිසක් සංචාරක ව්‍යාපාරයෙන් ජීවත් වෙනවා. මේ පිරිසගේ රැකියාව තහවුරු කිරීම පිණිස යළිත් සංචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට අපි තීරණය කළා. සංචාරක ව්‍යාපාරය සඳහා සෞඛ්‍ය නිර්දේශ මේ වන විට ඉදිරිපත් කර තියෙනවා. එම නිර්දේශ සමග ලංකාවට සංචාරකයෝ ගෙන්වීමට සංචාරක ව්‍යාපාරයේ යෙදෙන ඒජන්තවරුන්ට අවසර දීලා තියෙනවා. ඒ අනුව රජය, සංචාරක මණ්ඩලය සහ පෞද්ගලික අංශය එකතු වෙලා මේ වැඩපිළිවෙළ දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. රට වෛරස් අවදානමට ලක්නොවන ආකාරයට සෞඛ්‍යාරක්ෂිතව එය ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඉහළ සිට පහළටම වගකීම් බෙදී යන ආකාරයට අපි ඒ කටයුතු කරනවා.
සංචාරක නියෝජිතයන් හැසිරිය යුතු ආකාරය, ගුවන් තොටුපොළ හැසිරිය යුතු ආකාරය, රියදුරන් හැසිරිය යුතු ආකාරය, සංචාරක මගපෙන්වන්නන් හැසිරිය යුතු ආකාරය ආදී ලෙ‍ස සංචාරක ක්ෂේත්‍රයේ සෑම අංශයකටම වෙන-වෙනම මාර්ගෝපදේශ ලබාදීලා තියෙනවා. ඒ මාර්ගෝපදේශ සහ නිර්දේශ අනුව සෞඛ්‍යාරක්ෂිතව සංචාරකයන් ගෙන්වන්න අපි බලාපොරොත්තු වෙනවා.
යුක්‍රේන ජාතිකයන් මෙරටට ගෙන්වමින් සිදුකළ සංචාරකයන් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය සාර්ථකද?
මේ නියමු ව්‍යාපෘතියේ අසාර්ථකභාවයක් තියෙනවා නම් තිබිය යුත්තේ ඒ නියමු ව්‍යාපෘතිය තුළින් ලංකාවෙ කොවිඩ් පැතිරීමක් සිදුවුණා නම් හෝ ලංකාවෙ සෞඛ්‍ය අංශවලට බාධාවක් සිදු වී ඇත්නම් හෝ යළිත් සංචාරකයන් ගෙන්වාගන්න බැරිවුණා නම් පමණයි. නමුත් අපිට ඉතාම සාර්ථකව ලංකාවට සංචාරකයන් ගෙන්වාගන්න අවස්ථාව ලැබුණා. ඒ විතරක් නෙමෙයි සියලු කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදුවුණා. ඒ වගේම යුක්‍රේන සංචාරකයන් ගෙන්වීම නියමු ව්‍යාපෘතියක්. එහි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩුත් නිවැරදි කරගෙන තමයි, අපි 21 වැනිදට ගුවන් තොටුපොළ විවෘත කරන්න බලාපොරොත්තු වෙන්නෙ.
මේ විදිහට රටට පැමිණෙන සංචාරකයන්ට ලබාදෙන වීසා කාලය කොපමණද?
විශේෂයෙන්ම මාසයක කාලයක් සඳහා තමයි වීසා කාලය ලබාදෙන්නෙ. යුක්‍රේන සංචාරකයන්ටත් මාසයක කාලයක් ලබාදුන්නා. වීසා කාලය සම්බන්ධයෙන් දැනට කිසිම වෙනසක් නැහැ.
විශේෂයෙන්ම මේ මොහොතෙදි ලංකාවට තනි-තනියෙන් පැමිණෙන සංචාරකයන් අපි බලාපොරොත්තු වෙන්නෙ නැහැ. යම්කිසි ඒජන්තවරයෙකු හෝ යම්කිසි ආයතනයක් විසින් හෝ වගකිවයුතු පුද්ගලයෙකු සමග පැමිණෙන සංචාරක කණ්ඩායම් සඳහා පමණයි අවස්ථාව ලබාදෙන්නෙ. මොකද තනි-තනි වශයෙන් සංචාරකයන් ගෙන්වීම මේ අවස්ථාවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් නෙමෙයි. එහි අවදානම පවා ඉහළයි.
බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වෙලා පැතිරී යන නව කොවිඩ් වෛරස් ප්‍රභේදය සංචාරක ව්‍යාපාරය සමග ලංකාවට පැමිණීමේ අවදානම ඉතා ඉහළයි. මේ සම්බන්ධයෙන් අවධානය යොමුව තියෙනවද?
මේ වන විට එවැනි අවදානමක් ඇති රටවල් අපි හඳුනාගෙන තියෙනවා. එංගලන්තයේ එම ප්‍රශ්නය ඇති වූ මොහොතේ සිට එංගලන්තයෙන් පැමිණෙන ගුවන් මගීන් ලංකාවට එන එක සම්පූර්ණයෙන්ම නතර කළා. ඒ වගේම ආසන්න දවස් 14ක් ඇතුළත එංගලන්තයට සංචාරය කර තිබෙන මගීන්ට පවා ලංකාවට පැමිණීමට අවස්ථාව ලබාදී නැහැ. ඒ නිසා ලෝකය සහ විවිධ රටවල තත්ත්වයන් පිළිබඳව අපි නිරන්තර අවධානයෙන් ඉන්නෙ. අපි කටයුතු කරන්නෙ ඒ අනුව. කොව්ඩ් මර්දන කමිටුව අපිට ලබාදෙන නිර්දේශ අනුව සංචාරකයන් ගෙන්වීමට අවසර හිමි වන රටවල්වලින් පමණයි අපි මෙරටට සංචාරකයන් ගෙන්වන්නෙ.
Previous articleරංජන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයිද?
Next articleනීතිපති ස්ථාවරය දැනුම් දී දින 2න් පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here