රංජන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයිද?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට තමන්ට එරෙහි තීන්දුව යළිත් සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීමේ අවස්ථාවක් ඇතැයි ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු පෙන්වා දෙති.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මේ තීන්දුව ලබාදුන්නේ 2017 අගෝස්තු 21 දා මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයකට එරෙහිව ගුවන් හමුදාවේ හිටපු නිලධාරියෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ් පෙන්වා දුන්නේ මන්ත්‍රීවරයාට එවැනි ඉල්ලීමක් කිරීමේ හැකියාව ඇතත්, ඒ සඳහා නිශ්චිත නීති කරුණු තිබිය යුතු බවයි.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මේ තීන්දුව ලබාදී ඇති නිසා, විනිසුරුවරුන් පස් දෙනෙකුගේ හෝ හත් දෙනෙකුගේ විනිසුරු මඩුල්ලක් මගින් තමන්ට එරෙහි තීන්දුව යළිත් සලකා බලන ලෙස ඉල්ලා සිටිය හැකි බව ද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සඳහන් කළේය. එහෙත් එම ඉල්ලීම නිශ්චිත නීති කරුණු මත කරන ලද්දක්ද යන්න සම්බන්ධයෙන් තීරණය කොට, එය ඉදිරියට සලකා බලන්නේද යන්න පිළිබඳ තීරණය ගැනීමේ අභිමත බලය අගවිනිසුරුවරයා සතුව ඇති බව ද අප කළ විමසීමේදී ඔහු අවධාරණය කළේය.
තීන්දුව ලබාදීමෙන් පසු අධිකරණ පරිශ්‍රයෙන් පිටතදී, බන්ධනාගාර බස් රථය වෙත යන අතරතුර මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.
‘මම තිත්ත ඇත්ත කතා කළේ. හොරකං කළේ නෑ. පිල්ලෙයාන්ව මේ ආණ්ඩුවෙන් එළියට දැම්මා. මාව ඇතුළට දානවා. මම කුඩු, ගංජා විකුණලා නෑ. මම සටන දිගටම ගෙනියනවා. සටන නවත්තන්නෙ නැතුව දිගටම ගෙනියමු. මේ දූෂිත ආණ්ඩුව පළවාහරින්න. මම කියපු සියලුම දේවල් ඇත්ත. කිසිදෙයක් ඉල්ලා අස්කරගන්නෙ නෑ. මුන් ඇත්තටම හොරු. හොරු ගැන කිව්වයි කියල මං වගේ මිනිහෙක්ව ඇතුළට දානවා. මම සත පහක් හොරකං කරලා නෑ. ….. අපි බය නෑ. මම තනිකඩයා. මැරුණත් බය නෑ. තිත්ත ඇත්ත කතා කරනවා. සමාව ඉල්ලන්නෙත් නෑ.’
සිසිර ද ආබෘ, විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මේ තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදි.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here