පරරාජසිංහම් නඩුවත් නවතී : සාක්ෂිවලට සිදුවන්නේ කුමක්ද?

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුව ඉදිරියට ගෙනයෑමේ අපේක්ෂාවක් නැති බව නීතිපති දෙපාර්තමේන්තුව මගින් මඩකලපුව මහාධිකරණයට දැනුම් දී තිබේ.
මේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු ලෙස නම්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර, පසුගිය නොවැම්බර් 24 දා ඔහුට ඇප ලැබිණි. අද (11) මඩකලපුව මහාධිකරණයේ පැවැති නඩු විභාගයෙන් පසු මාධ්‍ය වෙන අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ පුද්ගලයන් දෙදෙනෙකුගේ ප්‍රකාශ පදනම් කරගෙන තමන් අත්අඩංගුවට ගත් බවත්, මෙය දේශපාලන පළිගැනීමක් පමණක් බවත් ය.

ආණ්ඩුවට කොන්දේසි විරහිත සහයෝගය

ඇප ලැබීමට පෙර රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී මන්ත්‍රී ධුරයේ දිව්රුම් දුන් පිල්ලෙයාන්ට නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී කතා කිරීමේ අවස්ථාව ලැබිණි. ඒ පක්ෂ නායකයෙකු ලෙස ය. එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ තමන්ට පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගිවීමට ඇති අවස්ථාව නීතිපති දෙපාර්තමේන්තුව මගින් අවහිර කරමින් සිටින බවයි. තමන් ඉදිරියේදී කොන්දේසි විරහිතව වර්තමාන ආණ්ඩුවට සහයෝගය ලබාදෙන බව ද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය. මන්ත්‍රීවරයා අදාළ කතාවේදී එසේ පැවසුවද, ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ගේ අදහස වූයේ නීතිපති දෙපාර්තමේන්තුව සැකකරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් මැදිහත් නොවන බවත්, ඒ පිළිබඳ සම්පූර්ණ අයිතිය ඇත්තේ අධිකරණයට බවත් ය.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ සම සභාපති පත්වීම

මේ කතාවෙන් පසු අධිකරණයෙන් ඇප ලැබීමටත් පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ව මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා වශයෙන් පත්කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ කටයුතු කර තිබිණි. ඊට අදාළ පත්වීම් ලිපිය පසුගිය නොවැම්බර් 22 දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගමැති මහින්ද රාජපක්ෂ විසින් පිල්ලෙයාන් වෙත බාරදුන් බව මාධ්‍ය වාර්තා කළේය. දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන නිලධාරීන් කැඳවා ගැටළු සාකච්ඡා කිරීම සහ ඒවා විසඳීමට අදාළ නියෝග නිකුත් කිරීමේ බලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ප්‍රධානීන් සතු ය.

පාසල් ළමුන් ප්‍රචාරක කටයුතුවල යෙදවීම

නොවැම්බර් 24 දා මන්ත්‍රීවරයාට ඇප ලැබීමෙන් පසු ඔහුගේ දේශපාලන ප්‍රචාරක කටයුත්තක් සඳහා පාසල් ළමුන් යොදාගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය. මන්ත්‍රීවරයා පිළිගැනීමේ උත්සවයකට කල්කුඩාහි පංචන්කර්නි විදුහලේ සිසුන් පාසල් නිල ඇඳුමෙන් මෙසේ සහභාගි කරගෙන තිබුණේ පසුගිය දෙසැම්බර් 07 දා ය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා පාසල් සිසුන් සහභාගි කරගැනීම වරදක් බවයි. යම් කටයුත්තකට එසේ පාසල් ළමුන් සහභාගි කරගන්නේ නම් ඊට අධ්‍යාපන බලධාරීන්ගෙන් අවසර ලබාගත යුතුයැයි ද පැවසූ ලේකම්වරයා,  කවර තත්ත්වයක් යටතේ වුවද දේශපාලන ප්‍රචාරක කටයුතුවලට සිසුන් සහභාගි කර ගැනීමට නොහැකි බව ද සඳහන් කළේය. මේ සිද්ධිය බරපතළ විවේචනයට ලක්වුවද, මන්ත්‍රීවරයාට හෝ අදාළ උත්සවයේ සංවිධායකවරුන්ට හෝ අදාළ පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනුණේ නැත.

2005 දෙසැම්බර් 25

2005 දෙසැම්බර් 25 වැනි දින අලුයම 1.20 ට පමණ මඩකලපුව මධ්‍යම පාරේ ශාන්ත මරියා දේවස්ථානයේ පවත්වන ලද විශේෂ නත්තල් දේව මෙහෙයට සහභාගි වී සිටි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම්ට නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා පළාගොස් තිබිණි. මෙම වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාගේ බිරිඳ වන සුගුනම් පරරාජසිංහම් සහ සිවිල් වැසියන් 07 දෙනෙකු තුවාල ලැබීය.

සමීපතමයන් දෙදෙනෙක් අත්අඩංගුවට

මෙම ඝාතනයට අදාළ විමර්ශන වසර 10 ක් තිස්සේ මන්දගාමීව සිදු වූ අතර, 2015 වසරේ පසුගිය ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඊට අදාළ විමර්ශන තරමක් වේගවත් විය. 2015 ඔක්තෝබර් 04 දා ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරිගේ ප්‍රධානත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් පිල්ලෙයාන් නායකත්වය දරන තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් හෙවත් ටීඑම්වීපී පක්ෂයේ ප්‍රධානීන් දෙදෙනෙකු වන එඩ්වින් ක්‍රිෂ්ණ නන්දරාජා නොහොත් ප්‍රදීප් මාස්ටර් සහ රංගසාමි කනගනායගම් නොහොත් ගජන් මාමා පරරාජසිංහම් හිටපු මන්ත්‍රීවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්හ. මඩකලපුව රෝහල් පාරේ පදිංචි ප්‍රදීප් මාස්ටර් එම පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරයා ය.

කරුණාගෙන් පසු බලය ගැනීම

තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්ෂයේ ආරම්භකයා වූයේ හිටපු ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ය. පිල්ලෙයාන් එහි නායකත්වයට පත්වූයේ කරුණා අම්මාන් සමග ඇති වූ මතබේදවලින් පසු, ඔහු රට හැරයෑමෙන් පසුව ය. පසුව කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් අතර, එවකට එම පක්ෂයේ සභාපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ විසින් ඔහුව එහි උප සභාපතිවරයෙකු ලෙස ද පත්කෙරිණි. ජෝෂප් පරරාජසිංහම් හිටපු මන්ත්‍රීවරයා ඝාතනය කරන ලද අවස්ථාව වන විට ටීඑම්වීපී සංවිධානය (ඒ වනවිට පිළිගත් දේශපාලන පක්ෂයක් නොවේ) මෙහෙයවන ලද්දේ කරුණා අම්මාන් විසින් ය. එවකට සංවිධානයේ නියෝජ්‍ය නායකයා වූයේ පිල්ලෙයාන් ය. 2007 වසරේදී පිල්ලෙයාන් ටීඑම්වීපී නායකයා බවට පත්විය. 2012 දී ඔහු නැගෙනහිර පළාත් මහ ඇමැති බවට පත් වූ අතර, 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජයට පත්විය.

පිල්ලෙයාන්ගේ නියෝගය ?

හිටපු මන්ත්‍රී පරරාජසිංහම්ගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත් ප්‍රදීප් මාස්ටර් සහ ගජන් මාමා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කෙරිණි. එහිදී ඔවුන් පිල්ලෙයාන්ගේ උපදෙස් මත මෙම ඝාතනය කළ බවට ප්‍රකාශ ලබා දී ඇති බවත්, විශේෂයෙන්ම පිල්ලෙයාන්ගෙන් අදාළ ඝාතනයට අදාළ නියෝගය ලැබුණු බව ප්‍රදීප් මාස්ටර් පවසා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුව අදාළ ප්‍රකාශ මත 2015 ඔක්තෝබර් 11 දා පිල්ලෙයාන් අත්අඩංගුවට අදාළ නියෝගය නිකුත් කෙරිණි. එහෙත් මඩකලපුවට ගිය පොලිස් නිලධාරීන්ට ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. කෙසේ වෙතත් එදිනම ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබිණි. දින 03ක් ප්‍රශ්න කිරීමෙන් පසු ඔක්තෝබර් 14 වන දින මුල් වරට ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලදි. අධිකරණය ඉදිරියේදී මාධ්‍යවේදීන්ට දෑත් ඔසවා ආචාර කරමින් පිල්ලෙයාන් පවසා තිබුණේ ‘හොඳ ඡායාරූපයක් අරගෙන දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන්ට පෙන්වන්න, ඔවුන් සතුටු වෙයි’ යනුවෙනි. (දෙමළ භාෂාවෙන් පිල්ලෙයාන් මේ බව පවසා තිබිණි.)
මේ ඝාතන සිද්ධියට අදාළව තවත් සැකකරුවන් පස්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බව අධිකරණයට දන්වා තිබිණි. අදාළ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු 2007 වසරේදී ඉන්දියාවට පළාගොස් ඇති බවත්, නැවත ලංකාවට පැමිණ මඩකලපුව දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතුවල යෙදී සිටින බවත් 2016 මුල් කාලය වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කරගෙන තිබිණි. අදාළ සැකකරු ඒ වන විට හිටපු ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සමග දේශපාලන කටයුතු කරන බවත්, පිල්ලෙයාන් සමග සම්බන්ධකම් නොපවත්වන බවත් ඔවුන් වැඩිදුරටත් හෙළිකරගෙන තිබිණි.
Previous articleඅනුමැතිය නෑ : අසමගිය ඇති කරනවා කී ස්මාරකය යළි ගොඩ නගයි !
Next articleරංජන්ට වසර 4ක සිර දඬුවම් : වරදකරු වී දිව්රුම් දුන් ප්‍රේමලාල් සහ දිව්රුමෙන් මාස 4ක් ගොස් දඬුවම් ලද රංජන් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here