රංජන්ට වසර 4ක සිර දඬුවම් : වරදකරු වී දිව්රුම් දුන් ප්‍රේමලාල් සහ දිව්රුමෙන් මාස 4ක් ගොස් දඬුවම් ලද රංජන් !

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අදාළ චෝදනාවට වරදකරු බව අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
ඒ අනුව මන්ත්‍රීවරයාට වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණි.
2017 අගෝස්තු 21 දින පැවැති මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයක් මගින් මන්ත්‍රීවරයා අධිකරණයට අපහාස කර ඇති බව සඳහන් කරමින් මාගල්කන්දේ සුදන්ත හිමි, ආර්.සුනිල් පෙරේරා සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු විසින් මීට අදාළ පැමිණිල්ල ගොනු කර තිබිණි. අදාළ තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමේ හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාවක් මන්ත්‍රීවරයාට නැති බවත්, මේ සම්බන්ධයෙන් වන අවසාන තීරණය ගැනීමේ බලය ඉහළම අධිකරණය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරී ඇති බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ව්‍යවස්ථා විශාරදයෙකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම පැවසීය.

දෙසැම්බර් 05 හැන්සාඩ් වාර්තාව

‘මම 08 වැනිදා හිරේ යන්න ඉන්නේ. මට අධිකරණය ගැන පොඩ්ඩක් කතා කරන්න ඉඩ දෙන්න. ගරු සභාපතිතුමනි අද last day. මම පාර්ලිමේන්තුවේ සිටින අන්තිම දවස අද. මම හිරේ යන්න ඉන්නේ. Minimum මාස 06යි. Maximum අවුරුදු 02යි. තුන්පාරක් පාර්ලිමේන්තුවට පත්වූ ඔබතුමා රත්තරන් කැටයක් කටේ ඔබන්න ඕනෑය කිව්ව මන්ත්‍රීතුමාට අවසර දෙන්න. ගරු සභාපතිතුමනි මේ නඩු ගැන කථා කරන්න අපට සාධාරණ අයිතියක් තියෙනවා. මම හිරේ යන්නේ හොරකම් කරලා නෙමෙයි. ගරු සභාපතිතුමනි මට සුනාමි වංචා නෑ, මිග් වංචා නෑ, සොහොන් කොත් වංචා නෑ, මට ඒ වගේ ‘ජල්තර’ නැහැ. ගරු සභාපතිතුමනි,මට තිබෙන එකම දෙය ඔය ප්‍රශ්නය විතරයි. වෙන මොකුත් නෑ. අම්මාපල්ල සර්.’

රංජන් සහ ප්‍රේමලාල්

සමගි ජන බලවේගය නියෝජනය කරමින් නව වැනි පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරයා, විපක්ෂය වෙනුවෙන් අදහස් දැක්වීමේදී කැපී පෙනුණු බව විචාරකයන්ගේ අදහසයි. මීට පෙර අභියාචනා හැකියාවක් නොමැති, අවසාන දඬුවම ලෙස මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු පැමිණීමේ හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන් සංවාදයක් පැවතිණි.
එහිදී නීතිපතිවරයා තමන්ගේ මතය දක්වමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට සහ අධිකරණ අමාත්‍යංශයට දැනුම් දී තිබුණේ මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි බවයි.
2015 ජනාධිපතිවරණයට අදාළව කහවත්ත ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරණ රැළියකට හානි කර, පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනාවලට වරදකරුවන් කරමින් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු පුද්ගලයන් තිදෙනකුට රත්නපුර මහාධිකරණය 2020 ජුලි 31 වැනිදා මරණ දඬුවම ලබා දුන්නේය.ඉන්පසු අගෝස්තු 05 දා පැවැති මහ මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කළ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම සඳහා මීළඟ පාර්ලිමේන්තු සභා වාරයට රැගෙන එන්නැයි කතානායකවරයා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දී තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න සඳහන් කර තිබුණේ මරණ දඩුවමට යටත්කර අභියාචනා ඉදිරිපත් කර ඇති පුද්ගලයකු මහජන නියෝජිතයකු ලෙස කටයුතු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් බන්ධනාගාර නීතිවල සඳහන් ව නොමැති බැවින් මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා අගෝස්තු 19 වැනිදා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍යාංශ ලේකම් හරහා නීතිපති උපදෙස් විමසා ඇති බවයි. ඒ අනුව එදිනම නීතිපති ස්ථාවරය පාර්ලිමේන්තුවට සහ අධිකරණ අමාත්‍යාංශයට දැනුම්දුන් බව ද ඇය සඳහන් කර තිබිණි.

89 සහ 91 වගන්ති

අවසාන දඬුවම නියම වූ අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හා 91 වගන්තිවල දක්වා ඇත.
ඒ මෙසේය,
89 ව්‍යවස්ථාව –  89.(ඈ) යම්කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද හය මාසයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම්, නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන්ම විඳ සිටියේ නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත්කිරීමේ ඡන්ද විමසීමකදී හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් තෝරා පත්කිරීමේ ඡන්ද හිමියකු වීමේ අයිතිවාසිකම: ඡන්ද බලය අහිමිවීම :
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණයකදී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයකදී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය.
එසේ වුව ද, මේ ඡේදය යටතේ නුසුදුස්සකු වූ කවර වූ හෝ තැනැත්තකුට කොන්දේසි රහිත සමාවක් දෙන ලද්දේ නම්, ඒ සමාව දුන් දිනයේ සිට ඒ නුසුදුසුකම නැති වී යන්නේය.
91 ව්‍යවස්ථාව –  91.(1) (අ) යම්කිසි තැනැත්තකු 89 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති කවර වූ හෝ නුසුදුසුකමකට යටත් වේ නම් නැතහොත් එවැනි නුසුදුසුකමකට භාජනය වුවහොත් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරාගැනීමට සහ පාර්ලිමේන්තුවේදී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය.

අභියාචනාධිකරණ තීන්දුව

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසරදෙමින් අතුරු නියෝගයක් නිකුත් කෙරිණි. ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.
අතුරු නියෝගය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස් විවෘත අධිකරණයේදී සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රේමලාල් ජයසේකර තේරී පත්වීම නීති විරෝධී බවට මෙතෙක් අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත්වී නොමැති බවත්, ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙත්සම්කරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි විය යුතු සියලු හිමිකම් එයාකාරයෙන්ම භුක්ති විඳීමට නීතිමය බාධාවක් නොමැති බවත් ය. ඒ අනුව ඔහුට මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නීතිමය බාධාවක් පවතින බව පෙනී යන්නේ නැතැයි අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.
සභාපති විනිසුරුවරයා තවදුරටත් එහිදී සඳහන් කළේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අයිතිය තීරණය කිරීමට අධිකරණයට අධිකරණ බලයක් නොමැති බව ය.
‘අසුන් ගැනීම, ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රශ්නය අප ඉදිරියේ මතු නොවන අතර, ඒ පිළිබඳව තීරණය ගැනීම කතානායකවරයාට හෝ බලයලත් වෙනත් ආයතනයකට අයත් කාර්යයක් බවත්, අප ඉදිරියේ ඇති දෙය පෙත්සම්කරුට පාර්ලිමේන්තුවට පැමිණීම වළක්වන ලිපිය අභියෝගයට ලක්කිරීමක් වන අතර, පාර්ලිමේන්තුවට අදාළව සාමාජිකයන්ගේ සහ වෙනත් අයගේ හැසිරීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට සභාවට පූර්ණ අයිතියක් ඇත’ යනුවෙන් අදාළ අධිකරණ තීන්දුවේ සඳහන් ය.

ඡන්දෙට පෙර සහ පසු

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද පවසා තිබුණේ ‘මිනීමැරීමේ වරදකට වරදකරු වී මරණීය දණ්ඩනයට යටත් වූ පුද්ගලයෙකුට පුළුවන්ද මන්ත්‍රී ධුරයක් ලබාගන්න? ජයසේකර වෙනුවෙන් කතා කරන අය මතුකරන ප්‍රධානම තර්කය තමයි එයා නොමිනේෂන් බාරදුන්නේ වරදකරු කරන්න ඉස්සෙල්ලා කියල. හැබැයි මතක තියාගන්න එයා වරදකරු කළේ ඡන්දයට ඉස්සෙල්ලා. මහ මැතිවරණය පවත්වන විට ඔහු වැරදිකරුවෙක් වෙලා ඉවරයි’ යනුවෙන් ය.
රංජන් රාමනායක මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දී මාස 4ක් ගතවී තිබේ.
Previous articleපරරාජසිංහම් නඩුවත් නවතී : සාක්ෂිවලට සිදුවන්නේ කුමක්ද?
Next articleඅධිකරණයට අපහාස කිරීම : ඉහළම දඬුවම රංජන්ට !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here