අනුමැතිය නෑ : අසමගිය ඇති කරනවා කී ස්මාරකය යළි ගොඩ නගයි !

කඩාබිඳ දැමුණු යාපනය විශ්වවිද්‍යාලයේ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය යළි ඉදිකිරීම සඳහා වන මුල් ගල් තැබීම එම විශ්වවිද්‍යාලයේ උප කුලපති එස්. ශ්‍රී සත්ගුණරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) සිදු කෙරිණි.
ඒ සමඟ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය කඩාබිඳ දැමීමට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාලයේ ආරම්භ කර තිබුණු මාරාන්තික උපවාසය ද සිසුහු අවසන් කළහ. යාපනය විශ්වවිද්‍යාල උපකුලපතිවරයා හා උපවාසයේ නිරත වූ සිසුන් අතර පැවති සාකච්ඡාවකින් පසුව සිසුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට උපකුලපතිවරයා එකඟ වී තිබිණි. ඊයේ (10) රාත්‍රියේ උපකුලපතිවරයා විසින් සිසුන් සමග සාකච්ඡා දෙකක් පවත්වා තිබිණි. මේ සිද්ධියට විරෝධය පළකරමින් උතුරු-නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කිරීමත් සමග ආරක්ෂක අංශ සහ උපකුලපතිවරයා අතර ද සාකච්ඡාවක් පැවති බව තහවුරු වේ. මේ සම්බන්ධයෙන් විමසීමට යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා සම්බන්ධ කර ගැනීමට ඊයේ දිනයේදී අවස්ථා ගණනාවක් උත්සාහ කළද, සාර්ථක වූයේ නැත.

මාරාන්තික උපවාසයේ නිරතව සිටි සිසුන්ට උපකුලපතිවරයා විසින් කැඳ ලබාදී අද උදෑසන උපවාසය අවසන් කරනු ලැබීය. ඉන්පසුව උපකුලපතිවරයා  හා එක්ව එම සිසුහු කඩාබිඳ දැමුණු ස්මාරකය පැවති ස්ථානයේම අලුත් ස්මාරකයක් ඉදි කිරීමට මුල් ගල් තැබූහ. යුද්ධයෙන් මිය ගිය යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්, සේවකයන් සහ නිලධාරීන් සිහිපත් කිරීම වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඉදිකර තිබුණු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය පසුගිය 08 වනදා රාත්‍රියේ එම විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ උපදෙස් මත කඩාබිඳ දැමිණි. ඊට දැඩි විරෝධයක් දැක්වූ එම විශ්වවිද්‍යාල සිසුන් එදින රාත්‍රියේ සිට අද උදෑසන දක්වා උපවාසයක නිරත වූහ.

අසමගියක් ඇති වීම වැළැක්වීමේ තීරණයක්

මේ සම්බන්ධයෙන් පසුගිය (09) දා අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ අදාළ ස්මාරකය ඉවත් කිරීම විශ්වවිද්‍යාල උපකුලපතිවරයා විසින් ගත් තීරණයක් බවයි. අනාගතයේදී දරුවන් අතර අසමගියක් ඇතිවීම වැළැක්වීම සඳහා මේ පියවර ගෙන ඇති බව ද මහාචාර්යවරයා එහිදී සඳහන් කළේය.

අනුමැතියක් නෑ

මේ අතර (09) දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එස්. ශ්‍රී සත්ගුණරාජා මහතා සඳහන් කර තිබුණේ සම්පූර්ණ කර නොතිබූ මේ ඉදිකිරීම ඉවත් කර ගන්නා ලෙස අවස්ථා ගණනාවකදී දැනුම් දුන් බවත්, මෙය අනුමැතියකින් තොරව ඉදිකරන ලද්දක් බවත් ය.
අදාළ ස්මාරකය කඩා දැමීමෙන් පසු (08) දා රාත්‍රියේ යාපනය විශ්වවිද්‍යාල භූමිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇති විය. විශ්වවිද්‍යාලයේ ආදි සිසුන් පිරිසක් ද එහි පැමිණ උප කුලපතිවරයා මුණගැසීමට අවස්ථාව ඉල්ලා තිබිණි. මේ අවස්ථාවේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එහි කැඳවා තිබූ අතර, ඔවුන් (09) දා උදෑසන රැස්ව සිටි පිරිසට දැනුම් දී තිබුණේ විසිර නොයන්නේ නම් කොවිඩ් 19 වෛරසය ආසාදිත ද යන්න පරීක්ෂා කිරීම සඳහා පීසීආර් පරීක්ෂණ කළ යුතු බවයි. ඉන්පසුව රැස්ව සිටි බහුතරයක් විසිර ගියද, විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙක් උපවාසයක් ආරම්භ කළහ.

හර්තාල්

විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු ක්‍රියාකාරීන් රැසක් මේ ස්මාරකය කඩාදැමීමට විරෝධය පළ කළ අතර, ඊයේ (10) උදෑසන නිල වශයෙන් නිවේදනය කෙරුණේ උතුරු-නැගෙනහිර පළාත්වල අද දිනයේ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බවයි. මේ සඳහා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු එම පළාත්වල ක්‍රියාකාරී දේශපාලන පක්ෂ ද සහයෝගය ලබාදෙන බව දැනුම් දී තිබිණි. අද දිනයේ හර්තාල් ව්‍යාපාරය මේ පළාත් දෙකේ ක්‍රියාත්මක විය.

අහිංසකයන්ගේ ආරාමය

මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන කාලයේදී නගර අලංකරණයට බාධාවක් වන බව පවසා, 88 – 89 කාලයේදී බලත්කාරයෙන් රැගෙන ගොස් අතුරුදන් කරන ලද තරුණ-තරුණියන් සැමරීම සඳහා පාර්ලිමේන්තු වට රවුමේ ඉදි කර තිබූ අහිංසකයන්ගේ ආරාමය නම් ස්මාරකය ද කඩා බිඳ දැමිණි. එවකට අදාළ නගර අලංකරණ කටයුතු භාරව කටයුතු කරන ලද්දේ එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ය.
අහිංසකයන්ගේ ආරාමය
1997 පෙබරවාරි 09 දා මේ අහිංසකයන්ගේ ආරාමය විවෘත කළ දිනයේ නිකුත් කළ අත්පත්‍රිකාවක මෙසේ සඳහන් කර තිබිණි.
‘ඔබ මේ ඇතුළු වන්නේ නිදහස අපට පවරා දුන් පසු ශ‍්‍රී ලංකාව තුළ සිදුවුණු බිහිසුණු සංවිධානගත දේශපාලන අපරාධ යන්ත‍්‍රණයක ගොදුරු බවට පත්වූ අහිංසක දරුවන් රැසක් වෙනුවෙන් ඉදිවූ ස්මාරකයක් වෙතට ය. හුදු ස්මාරකයක් පමණක් නොවූ මෙහි අරමුණ වන්නේ, පසුගිය කාලයේදී ලෙයින් යැපෙන්නට වූ ශ‍්‍රී ලාංකික චිත්ත සන්තානය විසින් බිහිකරන ලද්දාවූ භීෂණය විසින් ගොදුරු කරගත් සෑම ජීවිතයකටම මේ බිමේ සෑම පුරවැසියකුම පොදුවේ වගකිව යුතුය යන හැඟීම ඔබේ හදවතේ නිදන් කිරීම ය.’
මුල්ගල තැබීමේ අවස්ථාව ඡායාරූප……

හර්තාල් ව්‍යාපාරයේ ඡායාරූප පහතින්….

Previous article‘පරිපාලනය නඩු කියද්දී බණ්ඩාරවෙල විශේෂ අවශ්‍යතා සහිත පාසලේ දරුවෝ කුසගින්නේ’ ලිපියට පිළිතුරක් ! – විශේෂ අධ්‍යාපන ගුරු වෘත්තිකයන්ගේ සංගමය
Next articleපරරාජසිංහම් නඩුවත් නවතී : සාක්ෂිවලට සිදුවන්නේ කුමක්ද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here