‘පරිපාලනය නඩු කියද්දී බණ්ඩාරවෙල විශේෂ අවශ්‍යතා සහිත පාසලේ දරුවෝ කුසගින්නේ’ ලිපියට පිළිතුරක් ! – විශේෂ අධ්‍යාපන ගුරු වෘත්තිකයන්ගේ සංගමය

තංගල්ල, පොළොම්මාරුව අඳ බිහිරි විද්‍යාලය විශේෂ අවශ්‍යතා සහිත ළමයින් වෙනුවෙන් ’70 දශකය තුළ කීපදෙනකුගේ මූලිකත්වයෙන් ආරම්භ විය.
එසේ ආරම්භ වූ පාසල ගුරුවරුන්ගේ හා ප්‍රජාවගේ දායකත්වය, රාජ්‍ය නොවන ආයතන, සමාජ සේවා සහ රාජ්‍ය අනුග්‍රහය මත ලංකාවේ නමගිය පාසලක් ලෙස දිදුලන්නට විය.පසු කාලයේදී මේ පාසල් දෙක (බණ්ඩාරවෙල අඳ-බිහිරි පාසල සහ තංගල්ල) පරිපාලනය සඳහා පිහිටුවා ඇති පාලක සභාව පවුලේ සමිතියක් වීම මත සිදු වුණු මූල්‍ය අක්‍රමිකතා හා වංචා සුළුපටු නොවන අතර, සිසුන්ගේ සුබසාධනය පහත හෙළා මෙම ඩබ්ලිව්.ආර්.පෙරේරා ඇතුළු පවුල පාසලේ ආර්ථිකයෙන් මඩිය තර කර ගත්තේය. දැනටමත් කෝටියක මුදල් පෞද්ගලික ගිණුම්වල තිබෙන බව ද තහවුරු වේ. මුදල්වලට දැඩි ලෙස ගිජුකමක් දක්වන ඔහු සමාජසේවා මුදල් කූට ලෙස වංචා කළ බව තහවුරු වූ අතීතයේ විශ්‍රාමික වයස සම්පූර්ණ වීමට මත්තෙන් ගුරු ජීවිතයෙන් ඉවත් වී ඇති අතර, එදින පටන් විශේෂ අධ්‍යාපන සේවා සමිතියේ කළමනාකාර තනතුර හොබවමින්, ඒකාධිපති පාලනයක් ගෙන යන ලදි.
මෙම පාසල් උපකෘත පාසල් අතරට ගැනෙන අතර, මෙම පාසල් පරිපාලනය සම්පූර්ණයෙන්ම පාලක සභාවට හිමි නොවන අතර, රාජ්‍ය අනුග්‍රහය සියයට 70ක්ව පවතී. එසේ කීමට හේතුව ළමයින්ගේ   නඩත්තු සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් මුදල් ගෙවන අතර, පෙළපොත්, නිල ඇඳුම්, ගුරු වැටුප් වැනි සියලු දේ රජයෙන් ලැබීමයි. එහෙත් රජයට සම්පූර්ණයෙන් මෙම පාලක සභාවට ඇතුළත් වීම දුරස්ථ කරමින්, පවත්වාගෙන යෑමට මෙම පාලක මණ්ඩලය තීරණය කර තිබුණේ, රාජ්‍ය මැදිහත් වුවහොත් ඔවුන්ට මෙයින් ලැබෙන මුදල් වංචා කිරීමට නොහැකි නිසා ය.
එහෙත් කාලයාගේ ඇවෑමෙන් ආරම්භයේ සිට 2016 වර්ෂය දක්වා රාජ්‍ය අධීක්ෂණයට මොවුන් ඉඩ නොදුන්නත්, 2016 නොවැම්බර් මස 11 වැනි දින සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට මෙම පාසල හා සේවා සමිතිය ලක් විය. එහිදී පරිපාලනයේ දුර්වලතා පෙන්වා දෙමින්, පාසල් ලොග් පොතේ ලොග් සටහනක් තබමින් ඒ බව තහවුරු කරන ලදි. මේ ඩබ්ලිව්.ආර්. පෙරේරා සෑමවිටම කළේ වංචා-දූෂණ චෝදනා හමුවේ ඒවායින් බේරීම සඳහා එම තනතුරුවලින් ඉවත් වීමයි. ඔහු 2016 නොවැම්බර් මස 11 වැනි දින එම තනතුරුවලින් ඉවත් වූ අතර, එය සියලුම සමිති නිලධාරීන්ට, අධ්‍යාපන අමාත්‍යාංශයට, කලාප හා පළාත් නිලධාරීන්ට දැනුම් දෙන ලදි.
2016 නොවැම්බර් 11 වැනි දින සිට පාලක සභාවේ කළමනාකාර තනතුර පුරප්පාඩු වී තිබූ අතර, ඒ සඳහා පත් කළ යුත්තේ, නිලවරණයකින් වූ නිසා ලේකම්ගේ සහ සභාපතිගේ මූලිකත්වයෙන් 2017 වර්ෂයට නව සාමාජිකයන් බඳවා ගනිමින්, 2016 සාමාජිකයන් සමඟ 2017 නිලවරණය බණ්ඩාරවෙල ‘සුදර්ශි’ අඳ-බිහිරි පාසලේ පවත්වා නව සාමාන්‍යාධිකාරී (කළමනාකාර) සහ භාණ්ඩාගාරික තනතුරු වෙනස් කරමින් කෙරුණු නව පත්වීම් සභා-සම්මත කර ගනු ලැබීය. එහිදී කූට ලෙස නීත්‍යනුකූල නොවන ආකාරයට සමිතිය වෙනස් කිරීම සඳහා ඩබලිව්.ආර්.පෙරේරා සහ ඔහුගේ බෑනා වන ඩී.ඒ.කුලරත්න සැලසුම් කළ ආකාරයට සිදු නොවුණු අතර, සමිතිය තුළ කලහකාරී ලෙස හැසිරුණත්, එය වෙනස් කර ගැනීමට විවිධ උපක්‍රම යෙදූ නමුත් එය ව්‍යර්ථ විය.
නව සමිතිය දූෂිත පරිපාලනයෙන් පසු පාසල විධිමත් කිරීමට උත්සාහ දැරුවත්, ඩබ්ලිව්.ආර්.පෙරේරා එය පවත්වාගෙන යෑමට බාධා කරමින්, ඔහු නොවිධිමත් අංශයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ දැනට සිටින නිලධාරීන්ගේ (පුණ්‍යදාසගේ හා උත්පලාගේ) සහාය ඇතිව පරිපාලනය කඩාකප්පල් කරන ලදී.
එතැන් පටන් ඩබ්ලිව්.ආර්.පෙරේරාගේ මූල්‍ය වංචා හා අක්‍රමිකතා දිගහැරෙන්නට ගිය කාලය කෙටි වූ අතර, මොහුගේ එක ම අරමුණ වූයේ කෙසේ හෝ මෙම බලය ලබා ගැනීමයි. එසේ කරන ලද්දේ නීතියෙන් ගැලවීමක් නොවන බැවිනි. අධ්‍යාපන අංශයේ හා නොවිධිමත් අධ්‍යාපන අංශයේ නිලධාරීන් සමඟ එකතු වී කළ මෙම අමන ක්‍රියාවට අතිරේක ලේකම්ද දායකවෙමින් නව කළමනාකරු පත්කිරීම ගැටළු සහගත බව පෙන්වා දෙමින්, ඉදිරිපත් කළ ලිපිය මූලික කර ගනිමින්, ඔහු නව නිලධාරීන්ට විරුද්ධව බණ්ඩාරවෙල අභියාචනා අධිකරණයේ නඩු පැවරූ අතර, අවසානයේ එය ඉල්ලා අස් කර ගත් අතර, නඩු නියෝගයෙන් පෙන්වා දුන්නේ, සුදුසුකම් ලත් සාමාජිකයන් සමඟ එක්ව 2018 වර්ෂය සඳහා නිලවරණය පවත්වා නව පාලක මණ්ඩලය සකස් කරගන්නා ලෙසයි.
බණ්ඩාරවෙල අධිකරණයට අනුව නිලවරණය 2018 වර්ෂයේ පැවැත්වුවද, එයටද බාධා කරමින් තංගල්ලේ දී නඩුවක් පැවරූ අතර, එය ද ඉල්ලා අස්කර ගන්නා ලදි.
මෙම නඩු පවරමින් අධිකරණය ද නොමඟ යැවීම කරන මෙම ක්‍රියා හා මූල්‍ය අක්‍රමිකතා දිගින්-දිගටම මොහු සම්බන්ධව දැඩි වන කාලවකවානුව තුළ පාසලේ ආරක්ෂාව හා ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම දූෂිත නිලධාරීන් ඉවත් කර රජය විසින් සමිතියේ බලය දිසාපති ඇතුළුව තාවකාලික භාරකාර මණ්ඩලයකට පවරන ලදී. එහෙත් වර්ෂයක කාලයක් සඳහා භාරකාර මණ්ඩලයට පවරා තිබුණත්, නීත්‍යනුකූල ලිපි ලේඛන භාර නොදී වර්ෂයක් යන තුරුම බාධා ඇති කළ අතර, දිසාපති මොවුන්ට විරුද්ධව පොලිසියේ පැමිණිලි කළ අතර, අමාත්‍යංශයේ කිසිම නිලධාරියකුට මෙම ලේඛන භාර නොදී මඟහරිමින් සිටියේය.
ඩබ්ලිව්.ආර්.පෙරේරා සහ ඩී.ඒ.කුලරත්න යන අය කොතෙක් බාධා ඇති කළද, පාසලේ දරුවන් වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව එම වර්ෂයක කාලය තුළ විශාල සංවර්ධන වැඩපිළිවෙළක් ගෙන ගියේය. දෙපාර්තමේන්තුවේ මේ මැදිහත්වීම නිසා පාසල් දෙක විනාශ වී ගිය බව සමාජගත කරන්නට බණ්ඩාරවෙල විදුහල්පති ගුණතිලක වනසිංහ මහතා සහ තංගල්ල නියෝජ්‍ය විදුහල්පති කුලරත්න සහ විදුහල්පතිනිය වන වරුණා බුල්වින් යන අයගේ උදව් ඩබ්ලිව්.ආර්. පෙරේරාට නොඅඩුව ලබා දුන්නේය. එයින් කීපයක් පහත පරිදි වේ:
  • බණ්ඩාරවෙල පාසලේ ළමයින්ට කැඳ ලබා දී කැඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැවීම.
  • සංවර්ධන කටයුතුවලට බාධා කරමින්, යතුර පවා නොදී හැරීම.
  • සමාජ සේවා දෙපාර්තමේන්තුවට සහාය දුන්නාට ගුරුවරුන්ට වැටුප් වර්ධකය පවා අත්සන් නොකිරීම.
  • පොල් සම්බෝල සමඟ පමණක් බත් දරුවන්ගේ ආහාරය සඳහා ලබා දීම.
  • ළමයින් නිවෙස්වලට යැවීම.
  • අත්තනෝමතික ලෙස පාසල වැසීම.
  • දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම.
  • පාසල් ශුද්ධ පවිත්‍ර නොකිරීම.
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය ගෙදර යැවීම.
ලංකාවේ මෙවැනි පාසල් 24 – 25ක් පමණ පවතින අතර, සමහර පාසල් විධිමත් ලෙස රාජ්‍ය නිලධාරීන් මැදිහත් වීම නිසා නිසියාකාරව විනිවිදභාවයකින් යුතුව පාලනය වේ. නිදසුනක් ලෙස මාතර රෝහණ විශේෂ පාසල පෙන්වා දිය හැකි ය.
පාලක මණ්ඩලය:-  කළමනාකරු – විශ්‍රාමික පළාත් පාලන අධ්‍යක්ෂ, ලේකම් – ප්‍රාදේශීය ලේකම්, පරිපාලන නිලධාරී සහ සභාපති – දිස්ත්‍රික් ලේකම්
එහෙත්, මෙම දූෂිත ඩබ්ලිව්.ආර්.පෙරේරා මහතාගෙන් උපදෙස් ලබා ගත් විශේෂ පාසල් වන මොණරාගල, ගාල්ල බී.ආර්.දිසානායක වැනි පාසල්වලත් මෙවැනිම දූෂණ විශාල වශයෙන් අසන්නට, දකින්නට හැකිය. එය නොවිධිමත් අංශය පැහැදිලිව දන්නා කාරණයකි.

උපකෘත ව්‍යවස්ථාව

උපකෘත පාසල් ව්‍යවස්ථාව යනු මෙම පාසල් පාලනය කරනු ලබන ව්‍යවස්ථාවයි. මෙහි ප්‍රමුඛයා වන්නේ අධ්‍යාපන ලේකම්වරයා වුවත්, මෙය ඉංග්‍රීසියෙන් ව්‍යවස්ථාවක් වන නිසාත්, මෙය ගැන කිසි ම බලධාරියකුට අවබෝධයක් නොවීම නිසාත්, මෙහි සියලුම බලය කළමනාකරුවන් සතු කර ගනී. මෙම යල්පැන ගිය ව්‍යවස්ථාවේ 1948 – 50 ගණන්වල ව්‍යවස්ථා දෙකක් ඇත. මෙය අදට නොගැළපෙන හෙයින් ඩබ්ලිව්.ආර්.පෙරේරා වැනි වංචනිකයන්ට රාජ්‍ය නිලධාරීන් නොමඟ යවා රාජ්‍ය නිලධාරීන්ට කොකා පෙන්වීමට ඉඩ ලැබී තිබේ. එබැවින් මෙම ව්‍යවස්ථාව පසෙකට විසි කර නව ව්‍යවස්ථා මාලාවක් සකස් විය යුතු ය.
මෙම ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන අධ්‍යාපන බලධාරියා අධ්‍යාපන ලේකම්වරයා බවත්, මෙම ව්‍යවස්ථාවට අනුව කළමනාකරුට හිතුවක්කාරී වැඩ කළ නොහැකි බවත් දැක්වේ. මුදල් ඉපයීම, ව්‍යාපාර වැනි දෑ කළ නොහැකිය. එහෙත් ඒවා පෙරේරා ඇතුළු තවත් පාසල් කළමනාකරුවන් කරනු ලබයි.
මෙහි තවත් විශේෂයක් වන්නේ කළමනාකරුට මෙය පාලනය කළ නොහැකි නම්, අධ්‍යක්ෂ පාලනයට ගත හැකිය. අඩුම තරමේ අධ්‍යාපන ලේකම්වරයාගේ අනුමැතියකින්ද තොරව ස්ථාන මාරුවක්වත් ගුරුවරයකුට ලබා දිය නොහැකිය. දුකට කාරණාව වන්නේ නොවිධිමත් අංශයේ එදා පටන් පරිපාලන නිලධාරීන් හා අධ්‍යක්ෂවරුන් වෙනස් නොවී එකම ස්ථානයේ රාජකාරි කිරීමයි. ඔවුන් සිටින තාක් පෙරේරා වැනි පුද්ගලයන් දූෂණවල නියැලීම නවතාලීම කළ හැකි ද යන්න රාජ්‍ය නිලධාරීන්ට මෙන් ම ගුරු මණ්ඩලයටත් විශාල ප්‍රශ්නයකි.

ඩබ්ලිව්.ආර්.පෙරේරා සමාජ සේවා අමාත්‍යංශයට පවරා ඇති නඩුව

මෙහි මූල්‍ය අක්‍රමිකතා හා වංචා, ළමයින්ගේ ආරක්ෂාව සහ රැකවරණය ගැන සද්භාවයෙන් 1996 අංක 23 දරන ආබාධිතයන් ආරක්ෂා කිරීමේ පනතේ 34 – 35 වගන්ති උපයෝගී කර ගනිමින්, මෙම නිලධාරි මණ්ඩලය ඉවත් කරන ලදී. එහෙත් 34 – 35 වගන්ති යටතේ මොවුන්ට නඩු පවරා ඉවත් කළ යුතු වුවත්, ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සද්භාවයෙන් සිතා මෙම තීරණය ගන්නට ඇතැයි අපගේ විශ්වාසයයි. එහෙත්, දැනට නිලධාරීන්ට අතුරු නියෝගයකින් බලය පවරා තිබේ නම්, සමාජ සේවා අමාත්‍යවරයාට හා ලේකම්වරයාට 34 – 35 යටතේ නඩු පවරා මොවුන් නීතියේ රැහැනට හසු කර ගත නොහැකිද යන්න ප්‍රශ්නාර්ථයකි.

ඩබ්ලිව්.ආර්.පෙරේරා ගැන කෙටියෙන්

ඩබ්ලිව්.ආර්.පෙරේරා යනු පාසල ආරම්භයේ සිට මේ වන තෙක් පාසල තුළ ව්‍යාපාර පවත්වාගෙන ගිය පුද්ගලයෙකි. අහිංසක දරුවන්ගේ මුදල් පොළියට දීම වැනි ක්‍රියාවල නිරත වූ පුද්ගලයෙකි. අන්ධභාවය වාසියට ගනිමින්, විශාල වශයෙන් මුදල් උපයා ඇති පුද්ගලයෙකි. දැනටමත් ලක්ෂ තිහ-හතළිහක් නඩු සඳහා වියදම් කර තිබෙන අතර, මෙය අහිංසක දරුවන්ගේ මුදල් ය. පහළ අධිකරණයේ සිට ඉහළ අධිකරණ සියල්ල නොමග යවා කෙසේ හෝ තන්හාවෙන් බලය රැකගැනීමට උත්සාහ දරන්නෙකි.

මෙම පාසලේ විදුහල්පතිවරුන් පිළිබඳ කෙටියෙන්…

බණ්ඩාරවෙල විදුහලේ විදුහල්පති ඥානතිලක යනු ඩබ්ලිව්.ආර්.පෙරේරා යන දූෂිත කළමනාකරුගේ හෙන්චයියෙකි. ඔහු පත්කර ඇත්තේ පාසල් පරිපාලනයට නොව විදේශ හෝ දේශීය හෝ වශයෙන් ලැබෙන මුදල් පෙරේරාගේ ගිණුමට බැර කරවා ගැනීමටය. ඥානතිලක යනු දැනට සේවයේ යෙදී සිටින කාන්තාවකට අතවර කරන්නට ගිය අයකු වන අතර, එය ඇල්ල පොලිසියෙන් සහ ගුරුවරුන්ගෙන් තහවුරු කර ගත හැකි වන අතර, මොහු පාසල් පරිශ්‍රය තුළ බීමත්ව, අශෝභන ලෙස හැසිරෙන පුද්ගලයෙකි.
තංගල්ල විදුහලේ විදුහල්පතිනි, වරුණි මහත්මිය පත් කර තිබෙන්නේ, දූෂිත ඩබ්ලිව්.ආර්.පෙරේරා ම ය. පාසලේ වැටුප් රහිත නිවාඩු ලබමින් සිටින, කිසිදු දිනක පාසලට කලට වේලාවට නොපැමිණෙන පාසලේ ගුරුවරුන් අතර අපකීර්තිමත් තැනැත්තියක වන අතර, පාසලේ ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් සිටියදී, ඇය පත්කරගෙන ඇත්තේ ඩබ්ලිව්.ආර්.පෙරේරාගේ වුවමනාවට ය. 37 දෙනකු සිටින ගුරු මණ්ඩලයෙන් 31 දෙනකුම ඇයට විරුද්ධ ය.
තංගල්ල නියෝජ්‍ය විදුහල්පති කුලරත්න යනු දූෂිත ඩබ්ලිව්.ආර්.පෙරේරාගේ බෑනා වන අතර, පාසලේ ඉගෙනුම් වැඩවලට වඩා කර ඇත්තේ, මුදල් පොළියට දීම ය. පාසලේ ගැටළුකාරීව හැසිරෙන මෙම පුද්ගලයාට ගුරුවරුන් සමඟ සෘජුව සම්බන්ධ වන රාජකාරි සඳහා නොයෙදෙන ලෙසට අමාත්‍යාංශය මඟින් අවවාද කර ඇත. මොහු ද පාසලේ මුදල්වලින් හම්බ කර ගත් පුද්ගලයන්ගෙන් කෙනෙකි.

ගුරු මණ්ඩලයේ ඉල්ලීම

  • මෙහි සිටින දූෂිත කළමනාකරු ඉවත් කළ යුතු වීම.
  • චෝදනා ලත් විදුහල්පතිවරුන් ඉවත් කළ යුතු වීම සහ මොවුන් සතු වත්කම් විගණනය කිරීම.
  • රජයේ දැඩි අවධානය යොමු කර මෙම පාසල් රජයට පවරාගත හැකි ආකාරයේ පියවරක් සැකසීම.
  • මෙහි සිටින ගුරුවරු උපාධිධාරී, පුහුණු, විශේෂ අධ්‍යාපන හා උසස් පෙළ සමත් ගුරුවර-ගුරුවරියන් වන හෙයින්, ගුරුවරුන් හා ඉගෙනුම ලබන දරු-දැරියන් උදෙසා විශේෂ වැඩපිළිවෙළක් සැකසීම.
  • පාසල් අධ්‍යක්ෂ පාලනයට යොමු කිරීම.
  • මෙහි වත්කම් හා දේපොළ මූල්‍ය රාජ්‍යය සතු කර ගැනීම.
අධ්‍යාපන ලේකම්තුමනි, ඔබතුමාගේ දැඩි අවධානය යොමු කොට මෙම විදුහල්පතිවරු සහ විදුහල්පතිවරිය ඉවත් කර අධ්‍යාපන පරිපාලනයට සුදුසු විදුහල්පතිවරු හෝ විදුහල්පතිවරියන් හෝ පත්කරන මෙන්ද, මේ දූෂිත විදුහල්පතිවරුන්ට සහ විදුහල්පතිවරියට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසද බණ්ඩාරවෙල සහ තංගල්ල පාසල්වල ගුරු මණ්ඩල ලෙස අපි බල කර සිටින්නෙමු.
Previous articleපාර්ලිමේන්තුව වසා දැමීමක් නෑ – ඇතුළෙන්ම පීසීආර් !
Next articleඅනුමැතිය නෑ : අසමගිය ඇති කරනවා කී ස්මාරකය යළි ගොඩ නගයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here