පාර්ලිමේන්තුව වසා දැමීමක් නෑ – ඇතුළෙන්ම පීසීආර් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුදෙනාට පීසීආර් පරීක්ෂණ සිදු කිරීමේ පහසුකම් පාර්ලිමේන්තුව තුළදීම සලසා දීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.
රාජ්‍ය අමාත්‍යවරයකු සහ මන්ත්‍රීවරයකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමත් සමගම පාර්ලිමේන්තුව තුළ විශේෂ සෞඛ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමටද තීරණය කර ඇත. කෙසේවෙතත් මේ හේතුවෙන් කිසිසේත්ම පාර්ලිමේන්තුව වසා දැමීමක් සිදු නොකරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පීසීආර් පරීක්ෂණ කිරීමේ පහසුකම පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කර තිබුණද, මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් උනන්දුවන් නොදැක්වීම නිසා එම පහසුකම් නතර කළ බවද පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් සඳහන් කළේය. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් ආශ්‍රය කරන බැවින් වෛරසය ආසාදනය වූ මන්ත්‍රීවරුන්ගේ ආශ්‍රිතයන් පිරිස වැඩිවිය හැකි බවත්, මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස සෞඛ්‍ය අංශ පාර්ලිමේන්තුවට දැනුම් දුන් බවත් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ යන මහත්වරුන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවීමත් සමග මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට වෛරසය ආසාදනය වූ බව පසුගිය 08 දා වාර්තා වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ඊයේ (10) වාර්තා විය. එමෙන්ම ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාටද කොරෝනා ආසාදිත වී ඇති බවට අද උදෑසන පාර්ලිමේන්තුව සහ සෞඛ්‍ය අංශ තහවුරු කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා ජනවාරි මස 05 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර, කුමාරසිරි හෙට්ටිගේ මහතා ජනවාරි මස 08 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පසුගිය සතියේදී පාර්ලිමේන්තු පැමිණ නොමැති බවද තහවුරු වී ඇත. කෙසේ වෙතත් මෙම තත්ත්වය පාර්ලිමේන්තුව වසා දැමීමට තරම් බරපතළ තත්ත්වයක් නොවන බවත්, පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අද (11) පස්වරුවේ වැඩිදුරටත් සාකච්ඡා කරන බවත් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
Previous articleඇමැති – රාජ්‍ය ඇමැති කනගාටු වෙයි : වතු කම්කරු වැටුප් යෝජනාව අතරමග !
Next article‘පරිපාලනය නඩු කියද්දී බණ්ඩාරවෙල විශේෂ අවශ්‍යතා සහිත පාසලේ දරුවෝ කුසගින්නේ’ ලිපියට පිළිතුරක් ! – විශේෂ අධ්‍යාපන ගුරු වෘත්තිකයන්ගේ සංගමය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here