ඇමැති – රාජ්‍ය ඇමැති කනගාටු වෙයි : වතු කම්කරු වැටුප් යෝජනාව අතරමග !

වතු කම්කරුවන්ගේ රුපියල් 1,000ක දෛනික අවම වැටුපක් ලබාදීම සඳහා වූ 2021 රජයේ අයවැය යෝජනාව ක්‍රියාත්මත කිරීම පිළිබඳව මේ වනවිටත් කිසිදු එකඟතාවකට පැමිණ නැත.

මේ සම්බන්ධයෙන් ඉකුත් 7 වැනිදාද කම්කරු අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පැවති අතර, එම සාකච්ඡාවද අවසන් විසඳුමකින් තොරව අවසන් වී තිබේ. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිකිරීමට හාම්පුතුන්ගේ සම්මේලනය කටයුතු නොකරන්නේ නම්, මේ ගැටළුව පඩි පාලක සභාවට ඉදිරිපත් කරන ලෙස වතු වෘත්තීය සමිති මෙහිදී කම්කරු අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත.

එය සිදු කළ හැකි බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා අදාළ සාකච්ඡාවේදී සඳහන් කර ඇති අතර, ඊට පෙර කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් විකල්ප යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා සඳහන් කර ඇත. මෙම යෝජනාව සම්බන්ධයෙන් තවදුරටත් හාම්පුතුන්ගේ සම්මේලනය එකඟ කරගැනීමට නොහැකි වුවහොත් සේවක අර්ථසාධක මුදල් නොමැතිව වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම හෝ වෙනත් විකල්ප ක්‍රියාවකට යොමුවීම හෝ සම්බන්ධයෙන් ද අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ.

වතු කම්කරු ජනතාවට රුපියල් 1,000ක අවම දෛනික වැටුපක් ලබාදීම සඳහා රජය ගෙන ඇති තීරණය කිසිසේත්ම වෙනස් නොකරන බවත්, දෙපාර්ශ්වයටම සාකච්ඡා කර සාධාරණ විසඳුමකට ඒමට අවස්ථා රැසක් ලබාදුන් නමුත්, එයින් අවසන් විසඳුමකට ඒමට අපොහොසත් වූ නිසා මේ ජනතාවට සාධාරණයක් ඉටු කළ හැකි වන ආකාරයේ විකල්ප යොජනාවක් හෙට(11) පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා පැවසීය.

මේ සාකච්ඡාවට එක්වූ විෂය භාර රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා පැවසුවේ වතු කම්කරුවන්ගේ වැටුප සම්බන්ධයෙන් මේ වනවිටත් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවයි. වතු වෘත්තීය සමිති නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්, ඌව පළාත් සභා හිටපු ඇමැති සෙන්දිල් තොණ්ඩමාන් ඇතුළු වතු වෘත්තීය සමිති නායකයන් ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති අතර, සාකච්ඡාව ප්‍රතිඵලයකින් තොරව අවසන් වූ බවත්, සාමූහික ගිවිසුම වෙනස් කිරීමට හාම්පුතුන්ගේ සම්මේලනය එකඟ නොවූ බවත් වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා අප කළ විමසීමකදී පැවසීය.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් 2020 පෙබරවාරි මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ අතර, පසුව දෙසැම්බර් මාසයේදී එය ආණ්ඩුවේ අයවැය යෝජනාවක් ලෙස ඉදිරිපත් කෙරිණි. ඊට පාර්ලිමේන්තුවේ අනුමැතියද හිමිව තිබේ.

Previous articleගල්වලයාය : වනාන්තර අක්කර 5,400ක් සහ නීතියේ ආධිපත්‍ය ඩෝසර් !
Next articleපාර්ලිමේන්තුව වසා දැමීමක් නෑ – ඇතුළෙන්ම පීසීආර් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here