Home විනිවිද ගල්වලයාය : වනාන්තර අක්කර 5,400ක් සහ නීතියේ ආධිපත්‍ය ඩෝසර් !

ගල්වලයාය : වනාන්තර අක්කර 5,400ක් සහ නීතියේ ආධිපත්‍ය ඩෝසර් !

0
ගල්වලයාය : වනාන්තර අක්කර 5,400ක් සහ නීතියේ ආධිපත්‍ය ඩෝසර් !
(ශාලික විමලසේන)
කිරි ගොවීන්ගේ ආදායම් මාර්ග අහිමි කර, ඔවුන් සමාගම්වල සේවකයන් බවට පත්කරමින් වනාන්තර විනාශ කිරීම සාධාරණ බව පෙන්වීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව මහඔය, පොල්ලෙබැද්ද, සේරන්කඩ ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව පවසති.
ජනතාවට රැකියා ලබාදීම සඳහා මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව දැනටමත් ආණ්ඩුවේ නියෝජිතයන් පවසන බවත්, මේ ප්‍රදේශවල ජනතාව කිරි ගව කර්මාන්තයෙන් සාර්ථකව ජීවත් වූ බවත් පෙන්වා දෙන අදාළ ගොවියෝ, වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ පරිසරය විනාශ කරන මේ ව්‍යාපෘති වහාම නතර කරන ලෙසයි. මේ ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි ගල්වලයාය රජයේ වනාන්තරයේ අක්කර 5,400 ක් මහා පරිමාණ සමාගම්වලට බදුදීමට අදාළ කටයුතු මේ වනවිටත් අවසන් කර ඇති අතර, එයින් අක්කර සිය ගණනක් දැනටමත් එළි-පෙහෙළි කර තිබේ.

නිල්ගල – දානිගල කඳුවලින් සහ ගොරකාන – සීතලවන්නිය කඳුවලින් වටවී ඇති මේ වනාන්තරයේ අදාළ සමාගම් විසින් බඩඉරිඟු වගා කිරීම ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් කිසිදු පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කර නැති අතර, වනාන්තරයේ සැලකිය යුතු කොටසක් විනාශ කිරීමෙන් පසු ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ ඉදිරි ව්‍යාපෘති සඳහා පරිසර ඇගයීම් වාර්තා සකස් කරන ලෙසයි.

කෝටි ගණනක ආදායමක්

‘එදා මම කිරිපඩිය අරගෙන ගෙදර යනකොට හිනාවෙලා බලපු මගේ නෝනා දැන් එහෙම බලන්නෙ නෑ. ඇත්තටම දැන් එයාට එහෙම බලන්න බෑ.’
ඔහු ඉන්නේ ආවේගයෙන් ය. පිටින් ගොස් දවසක්-දෙකක් තුළ ඔවුන්ගේ ප්‍රශ්නය කතා කරන්නට හැකිය. ඔවුන්ගේ ප්‍රශ්නයේ අලගිය-මුලගිය තැන් හොයා බලන්නට හැකිය. ඒත් මේ ආවේගයේ තරම තේරුම් ගන්නට ඒ දවස-දෙක සෑහෙන්නේ නැත.
‘අපි පෝසත්තු නෙමෙයි. ඒ වුණාට අපි ළමයි එක්ක කාලා-ඇඳලා හිටියා. හදිස්සියකට ගන්න අතෙත් ගාණක් තිබුණා. ඉස්සරහට ඒව කරන්න වෙන්නෙ නෑ. ඒව ඔළුවට එනකොට එයාට හිනාවෙන්න පුළුවන්ද?’
මහඔය, සේරන්කඩ කපිලරත්න කියන ඒ කතාව ප්‍රදේශයේ සියල්ලන්ගේ කතාව ය. මහඔයට මාසිකව රුපියල් කෝටි පහක-හයක ආදායමක් ගෙනෙන, මෙහි ප්‍රදේශ ගණනාවක ජනතාව ජීවත් වන කිරිගොවි කර්මාන්තය අද ඔවුන්ගේ හිනාව නැතිකරමින් තිබේ.
කපිලරත්න
පෞද්ගලික සමාගම් හතරක් මේ සේරන්කඩ ප්‍රදේශයේ පමණක් කිරි මිලදීගන්නට පැමිණ තිබේ. මිල්කෝ, නෙස්ට්ලේ, කාගිල්ස් සහ පැල්වත්ත ඒ සමාගම් වේ. දිනපතාම ඒ සමාගම්වලට අයත් ලොරි කිරි පුරවාගෙන ප්‍රධාන නගරය දෙසට යයි. මේ තරගකාරීත්වය විසින් කිරි ගොවීන්ට හොඳ මිලක් ලබාදුන්නේය.
‘අපේ ගමේ මේ හරියෙ විතරක් කිරි හරක් හයදාහක් විතර ඉන්නවා.’‍
මහඔය කිරි ශීත කිරීමේ මධ්‍යස්ථානයට වැඩිම කිරි ප්‍රමාණයක් සපයන්නේ සේරන්කඩින් ය. එහෙත් දැන් ඔවුහු තමන්ගේ කිරි හරක් අඩු මිලට විකුණා දමති.

සතුටක් නෑ – දුකක් විතරයි !

‘මාම කැච්චක් කොඳමයි කියන්නෙ සතුටුයි කියන එක. ඒත් සතුටක් නෑ. අපිට දුකක් තියෙන්නෙ.’
සෙරන්කඩින් එහාට ගිය පසු හමුවන පොල්ලෙබැද්දේ ගුණවර්ධන කියන්නේ එහෙම ය. පොල්ලෙබැද්දේ ගුණවර්ධන යනු පොල්ලෙබැද්ද ආදිවාසී නායකයා ය. තලාවරිගයේ තලාබණ්ඩාරලාගේ ගුණවර්ධන ය. තලාබණ්ඩාරලාගේ ගෝබාගේ පුත්‍රයා ය. තම මුනුපුරා වන තලාබණ්ඩාරලාගේ මිතුන් ළඟින් තියාගෙන ඔහු කියන්නේ රතු ඉන්දියානු නායක සියැටෙල්ගේ වර්තමාන කතාවයි.
ඇමරිකාවේ ආණ්ඩු බලය අතට ගත් සුදු මහත්තුරුන් එරට ආදිවාසී රතු ඉන්දියානුවන්ගේ ඉඩම් මිලදී ගන්නටත්, ඒවායේ ව්‍යාපෘති කරන්නටත් සූදානම් බව දැනුම් දුන් පසු එවකට රතු ඉන්දියානු නායකයා වූ සියැටෙල් ලිව්වේ මෙහෙම ය.
‘අපි කැමැති වුණත්, අකමැති වුණත් අපේ ඉඩම් තුවක්කු බලයෙන් ගන්න බව අපි දන්නවා. අපිට තේරෙන්නෙ නෑ, පණ තියෙන හරකෙකුට වඩා යකඩ දුම්රියක් වටින්නෙ කොහොමද කියලා. දුම්රියට යටවෙලා මැරුණු හරක් අපි දැකලා තියෙනවා. ….. මතක තබාගන්න, මේ ගස්වැල් අපේ සහෝදරයන්. මේ වතුර කියන්නේ අපේ මුතුන්මිත්තන්ගෙ රුධිරය….’
ගුණවර්ධන ආදිවාසී නායක ඇත්තන් කියන්නේත් ඒ වගේම කතාවකි.
‘මේ කැලේ තියෙන්නෙ නිල්ගල-දානිගල කන්දෙන් පෙරිලා එන වතුර. ඒ කියන්නෙ ඖෂධ පෙරිලා එන වතුර. අපි බිව්වෙ එව්වා. අපේ සත්තු බිව්වෙ එව්වා. නිල්ගල කියලා කියන්නෙ ඖෂධ වනාන්තරයක්. රඹකැන්ඔය පටන්ගන්නෙ එහෙන්. මේව කැලෑවලට වෙන්කරලා තිබුණෙ ඒකයි.’

වසර 2කින් වකුගඩු රෝග

නායක ඇත්තන්ගේ කතාව තහවුරු කරන පරිසරය පිළිබඳ පර්යේෂකයෙකු වන රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්ය ශම්මික ලියනගේ පවසන්නේ මේ රක්ෂිත කපා බඩඉරිඟු ඇතුළු වාණිජ බෝග වගාකිරීම නිසා මේ ජනතාවට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළදී වකුගඩු රෝග වැළඳීමේ බරපතළ අවදානමක් ඇති බවයි. වනාන්තරයේ අක්කර දහස් ගණනක බඩඉරිඟු වගාකරන්නට සැලසුම් කර ඇති අතර, දැනටමත් අක්කර සිය ගණනක වගාව ආරම්භ කර තිබේ. වර්තමානයේ භාවිත කරන වැඩිදියුණු කළ බඩඉරිඟු සඳහා අවස්ථා ගණනාවකදී පොහොර යෙදිය යුතු වේ. කෘමිනාශක ද එසේම ය.
ආචාර්ය ශම්මික ලියනගේ
ආචාර්යවරයා පවසන්නේ දළ වශයෙන් ගණන් හදා බැලුවහොත් පොල්ලෙබැද්ද ආශ්‍රිත ගල්වලයාය වනාන්තරය කපා අක්කර සිය ගණනක වගා කරන බඩඉරිඟු නිසා පමණක් පොළොවට එකතුවීමට නියමිත රසායනික පොහොර ප්‍රමාණය කිලෝ ලක්ෂ දහයකට ආසන්න බව ය. තවදුරටත් ඒ ජනතාවට ඖෂධ පෙරාගෙන එන වතුර බොන්නට ලැබෙන්නේ නැත. ඒ වෙනුවට වකුගඩු රෝගවලට බෙහෙත් ගන්නට සිදුවනු ඇත. වකුගඩු බද්ධ කිරීම්, ඩයලයිසිස් හෙවත් ලේ මාරුකිරීම් වැනි බරපතළ ප්‍රතිකාරවලට යොමුවන්නට සිදු වනු ඇත.
‘ඔය වනාන්තරයත් එක්ක තියෙන අක්කර දාහෙ කොටස කියන්නෙ ආදිවාසීන්ට වෙන්කරපු කොටස. අද වෙනකම් මේවා එකලාසයක් කරලා දුන්නෙ නෑ. අපිට කැලේ වැඩ තහනම් කළාට පස්සෙ, මාදුරුඔය ජලාශෙට අපේ කුඹුරු යටවුණාට පස්සෙ අලුතින් කුඹුරු දෙන්න පොරොන්දු වුණා. එකසිය විසි දෙකකට අද වෙනකම් ඒවා නෑ. අද අපේ මිනිස්සු වට්ටක්කා පන්සීය ගේන්නෙ මහඔය පොළෙන්.’

බොරුකාරයන්ගේ විජිතය

මේ ඛේදවාචක විසින් මිනිසුන්ගේ ජීවිත සහ හැසිරීම් වෙනස් කරන ආකාරය ගැන ද අප තේරුම් ගත යුතුය. අමතර කතාවක් වුවද මෙය ද, විනාශයට අදාළ වන්නකි.
‘උඹ බොරුකාරයෙක්. උඹලාගේ විදුලිය අපට එපා. අපේ ගංගාවන්ට නිදහසේ ගලන්නට ඉඩ දීපල්ලා. උඹලාටත්, අපිටත් ජීවත් වන්නට ලැබෙන්නේ එවිටයි. එහෙම නොවුණොත් අපි ඔක්කොටම පණ පිටින් මිය යන්නට සිදු වෙනවා. ඒත් උඹලාට ඒක තේරෙන්නෙ නෑ. උඹලා අන්ධ මිනිස්සු. උඹලාගේ මේ යන්ත්‍ර-සූත්‍රත් අරගෙන වහාම පිටවෙයල්ලා.’
මේ තර්ජනය කරන ලද්දේ ඇමසන් වනාන්තරයේ ආදිවාසී නායිකාවකි. කයාපෝ ආදිවාසී සමූහයේ ටුහිරා කයාපෝ මේ ආකාරයට තර්ජනය කරන ලද්දේ ඇමසනය හරහා ගලන ෂිංගු ගංගාවේ ජලය හරස් කරමින් දැවැන්ත වේල්ලක් තනා, ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට පැමිණි ඇමරිකාව ප්‍රමුඛ කරගත් දැවැන්ත සමාගමක ප්‍රධාන ඉංජිනේරුවරයාට ය. අන්තර්ජාතික මාධ්‍ය ඉදිරියේ ඇය කළ තර්ජනය ලෝකය පුරා පිහිටි එවැනි දැවැන්ත සමාගම් සලිත කරන්නට සමත් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කරනු ලබන ණය මුදලක් හරහා මේ ව්‍යාපෘතිය සිදු කරන්නට සැලසුම් කර තිබිණි. එහෙත් කයාපෝගේ අභීත නායකත්වයෙන් එක් වන ජනතාව දුටු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වහාම ණය දීම අත්හිටුවීය.
1989 වසරේ තම ව්‍යාපෘතිය එසේ අකුළා ගත්තද, ඔවුන් 2011 වසරේදී එය නැවත ආරම්භ කළේය. 2016 දී අවසන් කළ මේ ව්‍යාපෘතිය නිසා ඇමසන් වනාන්තරයේ වර්ග කිලෝමීටර් 440 ක් යට විය.

මේ ආකාරයටම ඇමසනයේ දෙවැනි සටනට මුල් වන්නේ වරෝනි ආදිවාසී ජනතාවයි. ලෝකයේ විශාලතම තෙල් සමාගමකට එරෙහිව නඩු කී ඔවුහු, 2019 ජූලි මාසයේදී නඩුවෙන් දිනූහ. අක්කර මිලියන හතක් පුරා පැතිරුණු තෙල් නිධි කට්ටි 20 කට ආසන්න ප්‍රමාණයක් අදාළ සමාගමට පවරා දීම නීතිවිරෝධී බවට අධිකරණය තීන්දු කළේ ඉක්වදෝර ආණ්ඩුව, ආදිවාසීන් ඉදිරියේ අන්ත පරාජයකට පත් කරමිනි. මෙය 2012 වසරේ සිට ඇදි-ඇදී ආ නඩුවකි. ඉක්වදෝර් ආණ්ඩුව අවස්ථා දෙකකදී මීට එරෙහිව අභියාචනා ගානු කළද, ඵලක් නොවීය. නඩුව දිනූ පසු වරෝනි ආදිවාසී නායක නෙමොන්තේ මෙසේ කියා තිබිණි.
‘වැසි වනාන්තර කියන්නෙ අපේ ජීවිතය. අපේ ජීවිතය රැඳිලා තියෙන වැසි වනාන්තරවල සිද්ධ වෙන්නෙ මොකක්ද, කරන්න ඕනෙ මොනවද කියලා තීරණය කරන්නෙ අපි. අපේ භූමිය තෙල් සමාගම්වලට විකුණලා, විනාශ කරන්න අපිට කිසිම අදහසක් නෑ. ආණ්ඩුව අපේ අනුදැනුමකින් තොරව, රහසිගතව මේ සම්පත සමාගම්වලට විකුණන්නයි සූදානම් වුණේ. අද උසාවිය තීරණය කරලා තියෙනවා, වරෝනි ජනතාව ඇතුළු සමස්ත ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව. ඒක ඉතාම වැදගත්. ආණ්ඩුවට වටින්නෙ තෙල්. අපිට වටින්නෙ අපේ ජීවිත.’
මේ විදිහටම පොල්ලෙබැද්දේ තලාබණ්ඩාරලාගේ ගුණවර්ධන ගල්වලයාය වනාන්තරය ඩෝසර් කරන්නට පැමිණි සමාගම් නියෝජිතයන්ට පහරදෙන්නට කෙටේරිය අරගෙන, පන්නාගෙන ගොස් ඇත. ඔවුන් වාහනවලට නැග පළාගොස් තිබේ. ඉන්පසු සිදුවූයේ කුමක්ද? එහෙම පැන්නුවේ ඇයි කියන එක ගැන විමසා බලන්නට සමත් ආණ්ඩුවක් අපට නැත. සමාගම් නියෝජිතයන් විසින් තමන්ට ඉඩම් දෙන ආණ්ඩුවේ නියෝජිතයන් දැනුවත් කිරීමෙන් පසු, ඔවුන් මහඔය පොලිසියට නියෝග කර ඇත්තේ වහාම ආදිවාසී නායකයා සහ ඔහු සමග සිටි පිරිස අත්අඩංගුවට ගන්නා ලෙසයි.
අත්අඩංගුවට ගැනිණි. පොලිස් කූඩුවට දැමිණි. එහෙත් හදිසියේම නිදහස් කෙරිණි. එය ද සිදු වී ඇත්තේ ආණ්ඩු‌වේ තවත් පාර්ශ්වයක් විසින් මේ වෙලාවේ මේ ජනතාව තරහ කරගත යුතු නැති බවට ගත් තීරණයක් නිසා ය. කයාපෝ හෝ වරෝනි හෝ පොල්ලෙබැද්දේ හෝ ප්‍රතිචාර එකිනෙකට ගලපන්නට අපට අවශ්‍ය නැත. එහෙත් මේ සිදුවීම් සියල්ල පෙළගැසී ඇත්තේ එක දිශාවකට ය.
මේ ප්‍රදේශවල ජනතාවගේ ජීවිතය ය, මේ අහිමි කරමින් සිටින්නේ.
‘මේ සේරනක්ඩ ටිකෙන් විතරක් දවසකට කිරි ලීටර් හයසීයකට වැඩිය අපි පැටෙව්වා. දැන් සමහර දවස්වලට දෙසිය පනහක්වත් එන්නෙ නෑ.’
කාගිල්ස් ආයතනය වෙනුවෙන් ප්‍රදේශයේ කිරි එකතු කිරීමේ සමිතියේ ලේකම්වරිය වන නාලිකා කුසුම් එසේ කියන්නීය.
නාලිකා කුසුම්
ඇය කියන්නේ ප්‍රදේශයේ ජනතාව දැන් විකල්ප සොයමින් සිටින බවයි. එනම් ස්වාධීනව කරගෙන ආ කිරි ගව ව්‍යාපාර වෙනුවට කොළම රැකියා සොයාගෙන යෑම, විවිධ කම්පැනිවල සේවා සඳහා යෑම ය.

සැලසුම් කළ විනාශය

කිරි ගොවීන් තම කිරි ගවයන්ට තණකොළ සැපයූවේ මේ පොල්ලෙබැද්ද, සේරන්කඩ ආශ්‍රිතව පිහිටි ගල්වලයාය වනාන්තරයෙන් ය. දැන් එහෙම කරන්නට නොහැකිය. මහවැලි අධිකාරිය නීතියක් දමා තිබේ. ඒ ඔවුන් කිරි ගවයන්ට තණ කැවූ භූමිය තවදුරටත් ඔවුන්ට භාවිත කළ නොහැකි බවත්, ඒවා දැන් සමාගම්වලට අයිති බවත් ය. සමාගම්වලින් එහි බඩඉරිඟු වගාකරමින් සිටී. පේන තෙක් මානයේ වනාන්තරය ඩෝසර් කර, බඩඉරිඟු පැළ වගා කර ඇත. ඒවායේ පැළයක් හැර පැළයක් සේනා දළඹුවා ය.
ඒ කියන්නේ දැන් වනාන්තරයත් නැත. කිරි ගොවීන්ගේ ආදායම් මාර්ගත් නැත. ඔවුන්ගේ වාණිජ අරමුණත් ඉටුවන බවක් පෙනෙන්නේ නැත. ඊට හේතුව සේනා දළඹුවා ය. දළඹුවා මර්දනයට ආණ්ඩුවට කිසිදු විධිමත් වැඩපිළිවෙළක් නැත. මර්දනය කරන්නට නොහැකි වුවත්, අඩු තරමේ ඒ සම්බන්ධයෙන් වන පර්යේෂණයක් හෝ කරන්නේ නැත. ඔවුන් හදන්නේ ඒ වැඩේ රුවන්ඩා හමුදාව ලවා කරගන්නට ය. රුවන්ඩාව යනු පළිබෝධ මර්දනය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගත් නමක් ඇති රටක් නොවේ. ලෝකය පුරා පර්යේෂණ ආයතන 360 ක ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස Bioversity International, The International Center for Tropical Agriculture, The International institute of Tropical Agriculture and the International Potato Center, The French Agricultural Research Centre for International Development යන ආයතනවල සම සහභාගිත්වයෙන් පවත්වාගෙන යන CGIAR පර්යේෂණ ආයතනය මගින් 2019 වසර අවසානයේදී නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ රුවන්ඩාව සහ බුරුන්ඩි යන රාජ්‍ය දෙකම ආරක්ෂිත පළිබෝධ නාශක භාවිතය සහ ඒවා හැසිරවීම පිළිබඳ රෙගුලාසි ක්‍රියාත්මක කර නැති බවත්, එය ව්‍යාපාරික සමාගම්වලට භාර දී ඇති බවත් ය.
ආචාර්ය W.M.W.වීරකෝන්
එවැනි රටක් සමග කරන්නට යන මේ සේනා දළඹු මර්දන ව්‍යාපෘතියට කෘෂි විශේෂඥයන් සහභාගි කරගන්නේ නැත. ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් එය තහවුරු කළේය. එය හමුදාවේ වැඩක් බව ද ඔහු කීවේය. එසේම පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ.සුමිත්ගේ අත්සනින් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යවන ලද ලිපියක ද මේ රුවන්ඩා වැඩේට විරෝධය පළකර ඇත. ඔවුන් මේ සඳහා යොදාගැනීමට හදන්නේ විෂ රසායනිකයකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මාර්ගයෙන් පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා අදාළ ලිපිය යොමු කර ඇති අතර, එහි සඳහන් වන්නේ පයිරෙත්‍රම් (pyrethrum) නම් මෙම කෘමිනාශකය පරාගනය සිදු කරන මීමැස්සා වැනි සතුන්ට විෂ රසායනයක් බවයි.
වැඩ සිදුවන ආකාරය පැහැදිලි ද? කිරි ගොවීන්ට ද කරන්නේ මේ ටික ම ය.

කිරි ගවයාටත් සේනාගේ ඉරණම

‘දැන් අපි ඔක්කොටම අක්කර තුන්දාහක් දෙන්න හදනවා හරක්ට කවන්න. ඒක හැරෙන්නවත් මදි. මේ ගමේ අයට විතරක් කිරි හරක් හය-හත්දාහක් ඉන්නවා.’
ඒ.අයි.කමලාවතී කියන්නේ එසේය.
‘දැන් අපිට කියනවා, පිටරටින් ගේන හරක් සල්ලි දීලා ගන්නලු. ඒ හරකෙක් ලක්ෂ පහක්ලු. ලක්ෂ දෙකහමාරකට දෙනවලු.
කමලාවතී
කොහෙ තියෙන සල්ලිද. අපි ඔක්කොම ළඟ ඉන්නෙ දේශීය හරක්. මේ හරක්ට ලෙඩත් අඩුයි. ලෙඩක් හැදුණත් අත්බෙහෙතක් කරන්න අපි දන්නවා. මෙහෙ වසම් දාහතකට ඉන්නෙ එක පශු වෛද්‍ය මහත්තයයි. හරකෙකුගෙ ලෙඩක් ගැන කියන්න ගියාට වැඩක් නෑ. එන්න වාහනයක් නෑ කියනවා. බේත් ලියලා දෙනවා, පාමසියෙන් ගන්න කියලා. ඉන්ජෙක්ෂන් ගහන වැඩත් අපිටම කරගන්න කියනවා. ඒ මහත්තයගෙ වැරැද්දක් නෙමෙයි. ඒ මහත්තයටත් රජයෙන් එව්වා දෙන්න එපැයි. ණය වෙලා හරි ඔය රට හරක් ගත්තත්, ඕක වෙනස් වෙන්නෙ නෑ. එතකොට ණය ගෙවාගන්න වෙන්නෙත් නෑ. හරක් ටිකත් නිකම්ම මැරිලා යයි.’
ඩබ්ලිව්.කරුණාරත්න කියන ඒ කතාව සහ සේනා දළඹුවාගේ කතාව අතර සමානකමක් ඔබට නොපෙනේද?
කරුණාරත්න
‘දැන් ඒ මහත්තුරු ඇවිත් කියන්නෙ අලුත් තණකොළ වවන්නලු. ඒව හරක්ට කන්න දෙන්නලු. සීඕත්‍රී කියන ඒ වර්ගෙ තණකොළ දණ්ඩක් රුපියල් තුනයි. අපේ හරක් ඒවා කන්නෙ නෑ. උන්ට ඒවා පුරුදු නැති හින්දා වෙන්න ඇති. ඒගොල්ලො කියන්නෙ අක්කරයක් මේවා වැව්වම හරක්ට කන්න දෙන්න ඇති ලු’
සරත් කුමාර කියන මේ කතාව තේරුම්ගන්නට නම් ඔවුන් මේ මහ පොළොවේ පයගසා සිටිය යුතුය. එහෙත් ඒ උපදෙස් දෙන බොහෝ මහත්තුරුන් ඉන්නේ කොළඹ පර්චස් දහයේ ඉඩම්වල ය. එය ඔවුන්ගේ වරදක් නොවේ. එහෙත් වරද ඇත්තේ ඔවුන් මේ පොළොවට නොපැමිණ, කාගේ හෝ අවශ්‍යතාවකට මේ උපදෙස් දීමට කටයුතු කිරීමේ ය.

ජනාධිපතිගේ පෙනෙන දේ සහ නොපෙනෙන දේ

ආණ්ඩුවල පෙන්වන දේ සහ නොපෙන්වන දේ යනුවෙන් දෙකක් තිබේ. මේ ද එහෙම අවස්ථාවකි.
‘දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගුකාලීන සැලැස්මක් දියත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. තෘණ වගාව, කිරි ගවයන් බෝ කිරීම සහ පර්යේෂණ ආයතන සේවා වැඩිදියුණු කොට කඩිනමින් ඉලක්ක සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.
මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාවෙන් දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ 40%කට අඩු ප්‍රමාණයකි. පෝෂ්‍යදායක නැවුම් දියර කිරි පානය සඳහා ඇති අවස්ථාව මේ නිසා ජනතාවට අහිමි වී තිබේ. ඉදිරි දශකය තුළ දියර කිරි නිෂ්පාදනය නැංවීමට පියවර ගන්නා බව ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනාධිපතිතුමා ප්‍රතිඥා දී තිබේ. රටේ විවිධ ප්‍රදේශවලට ගැළපෙන කිරි ගව ප්‍රභේද හඳුන්වාදීමට අවශ්‍ය පර්යේෂණ පුළුල් කිරීමට රජය අපේක්ෂා කරයි. කිරි නිෂ්පාදනය නැංවීම සඳහා ඉහළ ගුණාත්මක අගයෙන් යුත් තෘණ වර්ග වගා කිරීම සහ ගව ආහාර නිෂ්පාදනය පිළිබඳව දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණි.

සමස්ත දියර කිරි නිෂ්පාදනයෙන් සියයට 85ක් කුඩා පරිමාණ කිරි ගොවීන් විසින් සපයනු ලැබේ. ඔවුන් ශක්තිමත් කර ප්‍රතිශතය වැඩි කිරීමට පියවර ගත යුතු යැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය. කිරි ලීටරයක නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් ගොවීහු අධෛර්යමත් වී සිටිති. තෘණ ඇතුළු ගව ආහාර සහන ක්‍රමයකට කිරි ගොවීන්ට සැපයීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයට අවශ්‍ය සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා ගොවීන් දිරිමත් කිරීම ආයතනික මට්ටමින් කළ යුතු බව පෙන්වා දෙනු ලැබිණි.’
මේ පසුගිය සැප්තැම්බර් 14 දා ජනාධිපති මාධ්‍ය අංශය මගින් මාධ්‍ය ආයතන වෙත ප්‍රචාරය සඳහා නිකුත් කළ නිවේදනයකි. ඊට අනුව ආණ්ඩුවට කිරි ගව කර්මාන්තය ඉහළටම එසවීමට අවශ්‍ය ය. ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්මේ ද ඒ බව කියා තිබේ. ඒත් වැඩ කෙරෙන්නේ සමාගම්වල අවශ්‍යතාව ඉටු කොට, කිරි ගොවියා සතු ගවයන් මසට විකුණා දමන තැනට පොළඹවන්නට ය.

නීතියේ ආධිපත්‍යය ඩෝසර්

අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්වලයාය වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර් 6,790ක වනාන්තර පද්ධතියට අයත් වටවලකණ්ඩිය රජයේ වනාන්තරය ලෙස වන සංරක්ෂණ ආඥා පනතේ 20 වැනි වගන්තිය යටතේ පාලනය වන වනාන්තරය ද ඇතුළුව හෙක්ටයාර් 2,233ක් නැතහොත් අක්කර 5,400ක් පෞද්ගලික සමාගම්වලට බදුදීමට ආණ්ඩුව නීතිවිරෝධී ලෙස කටයුතු කර තිබේ. ඒ නිසා ය, මේ ජනතාවගේ පවුල්වල සිනහව අතුරුදන් වෙමින් තිබෙන්නේ. දැනටමත් එම බදු දී ඇති භූමි ප‍්‍රදේශයෙන් කොටසක් ඩෝසර් කර අවසන් ය. බඩඉරිඟු දමා අවසන් ය.

අක්කර 5,400ක් පමණ වන මෙම බදුදී ඇති භූමි ප‍්‍රදේශය වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර හා ඌවපතන් බිම් නැතහොත් සැවානා තෘණ භූමිවලින් සමන්විත ය. මෙම ප‍්‍රදේශය ආදිවාසී ජනතාව ජීවත්වන මුල්ලේගම, ගල්වලයාය හා පොල්ලේබැද්ද යන ගම්මානවලට සහ සේරන්කඩ ඇතුළු ගම්මාන රැසකට යාබදව පිහිටා ඇත. මෙම ප‍්‍රදේශයේ නිල්ගල සැවානා තෘණභූමි පද්ධතිය අලි-ඇතුන්ගේ ප‍්‍රධාන වාසස්ථානයක් වේ. රඹකැන්ඔය ජලාශයේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශයක් ද වන මෙය, ප‍්‍රංශ රජයේ ආධාර යටතේ ඇල්ලේගොඩ ප‍්‍රදේශයේ වේල්ලක් සකස් කර ඉදිකිරීමට යෝජිත මුන්දෙනිආරු ජලාශයේ ප‍්‍රධාන ජලපෝෂක ප‍්‍රදේශය ද වේ.
මෙසේ සමාගම්වලට ඉඩම් ලබාදීමේදී ආණ්ඩුව විසින් පාරිසරික අණ-පනත් රැසක් උල්ලංඝනය කර තිබේ. 2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය සම්පූර්ණයෙන් උල්ලංඝනය කරමින් මෙම වනාන්තර ඉඩම් අදාළ සමාගම්වලට ලබා දී ඇත. මෙසේ සමාගම්වලට ලබා දුන් ඉඩම්වල වනාන්තර එළි-පෙහෙළි කිරීම, ශාක කපා ඉවත් කිරීම, මාර් ග සකස් කිරීම, ස්ථීර හා තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, ඒවායේ පදිංචි වීම, වගා බිම් ස්ථාපිත කිරීම යන සියල්ල නීතිවිරෝධී වේ. මෙම ඉඩම් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සඳහා සමාගම්වලට ලබාදීමට පෙර, ඉන් සිදු වන හානිකර බලපෑම් හඳුනාගැනීම හා ඊට පිළියම් යෙදීම, ව්‍යාපෘතියේ යෝග්‍යතාව නිවැරදිව හඳුනාගැනීම මෙන්ම ව්‍යාපෘතියේ තිරසර පැවැත්ම හඳුනා ගැනීම ද කළ යුතුය. ඒ සඳහා සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23 උප වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දිනැති අංක 772/22 දරන ගැසට් නිවේදනය වැදගත් වේ. ඒ අනුව හෙක්ටයාර් එකකට වැඩි වනාන්තර ඉඩම් එළි-පෙහෙළි කර, වනාන්තර නොවන වෙනත් සංවර්ධන ක‍්‍රියාවලියක් සඳහා යොදාගැනීමට හෝ අක්කර 50කට වැඩි භූමියක් එළි-පෙහෙළි කර සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට පෙර පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතියක් ලබා ගත යුතුය. මේ සියලු නීති මෙහිදී ආණ්ඩුව උල්ලංඝනය කර තිබේ.
මේ ආකාරයෙන් නීතිවිරෝධී ලෙස කටයුතු කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ දැක්වෙන 12 (1) උප ව්‍යවස්ථාවේ සඳහන් නීතිය පසිඳලීම හා නීතිය ක‍්‍රියාත්මක කිරීමද, නීතියේ රැකවරණයද සර්ව සාධාරණව සිදු විය යුතුය යන්න උල්ලංඝනය කිරීමකි. එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (උ) හා (ඌ) උප ව්‍යවස්ථාවල සඳහන් පරිදි නීත්‍යනුකූල වෘත්තියක, කර්මාන්තයක නිරතවීමේ අයිතිය හා අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස ජනතාව සතු ය. එම අයිතිය ද ආණ්ඩුවේ මේ අත්තනෝමතික තීන්දුව මගින් අහිමි කර ඇත. එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප‍්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසේ 27 (14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ.
කනගාටුවෙන් වුවද තේරුම් ගත යුතුය. ජනතාවගේ සිනහව ඔවුන්ට අදාළ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here