විදෙස්ගත ශ්‍රමිකයන් මහ පාරේ : එන්න බැරි කිසිකෙනෙක් එහෙ නෑ – රජය

(නිලුක සඳුන් සහ අකිත විජයසිංහ)
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට පැමිණීමට නොහැකිව විශාල වශයෙන් අපහසුතාවට පත්ව සිටින බවට මාස ගණනාවක සිට මැදපෙරදිග මෙන්ම අනෙකුත් රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් මැසිවිලි-දුක් අඳෝනා අසන්නට ලැබිණි.
විදෙස්ගතව ශ්‍රමිකයින් ලෙස සේවය කරන ශ්‍රී ලාංකිකයින් බොහෝමයකට පසුගිය වසරේ මාර්තු මස කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වීමත් සමග ඇති වූ තත්ත්වය හේතුවෙන් තම රැකියා අහිමි විය. ඒ හේතුවෙන් බොහෝ දෙනා තම දෛනික අත්‍යවශ්‍යතා සපුරාගැනීමට හෝ නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බවට වාර්තා විය.
ඇතැම් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට පාලම් යට, උද්‍යාන වල ඇතැම් අවස්ථාවල මහ පාරේ නිදාගැනීමට සිදුවූ බවටද පසුගිය කාලයේදී වාර්තා වූ අතර තවදුරටත් එවන් සිද්ධීන් වාර්තා වෙන ආකාරයක් දක්නට තිබේ. කාලයක් තිස්සේ රටට විදේශ විනිමය අත්කර දුන් එමෙන්ම මැතිවරණ කාලයේදී ‘රටවිරුවන්’ ලෙසට නම් කරන ලද ශ්‍රී ලාංකිකයින් රැසකට මේ වන විට අත්ව ඇත්තේ ඉතාමත් දුක්ඛිත ඉරණමක් බවට පසුගිය දිනවල සංසරණය වූ වීඩියෝපට වලින් පෙනී යයි. ඇතැමුන්ට මේ වන විටත් දිවි අහිමි වී ඇති අතර බොහෝ දෙනෙක් ඉඳුම්-හිටුම්, ආහාර-පාන, සෞඛ්‍ය රක්ෂණ පවා නොමැතිව දුක් විඳිති.
නවාතැන්, ආහාර සහ සෞඛ්‍ය ප්‍රතිකාර ඇතුළු ගැටළුවලට විසඳුම් ලබාදීම සදහා ශ්‍රී ලංකා රජයට මැදිහත්වන ලෙසට ඉල්ලමින් ජෝර්දාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසල රැස්වූ පිරිසට ද එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පොලිසිය කැඳවා එම පිරිසට කඳුළු ගෑස් ගැස්සවූ බවට ද සිවිල් සංවිධාන චොදනා කළේය. තවද ඔවුන් මෙරටට පැමිණිම සඳහා ගත යුතු ටිකට්පතට එහි සත්‍ය වටිනාකමට මෙන් දෙගුණයක් අය කරන බවටද චෝදනා එල්ල විය.

ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වන්න

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යළි මෙරටට පැමිණීමේදී සිදුවන වියදම් ‘යුතුකම’ කොවිඩ් සහන අරමුදල මගින් සපයන්නැයි ද ඔවුන්ගෙන් නිරෝධායනය සඳහා මුදල් අය කර නොගන්නැයි ද විමුක්ති ව්‍යාපාරයේ සාමාජිකයෝ ඉල්ලති.
සංක්‍රමණික කම්කරුවන් විශාල සංඛ්‍යාවක් ආදායමක් නොමැතිව සිරවී සිටින එක්සත් අරාබි එමීර් රාජ්යය, සවුදි අරාබිය, කටාර්, ඕමාන්, කුවේට්, ලෙබනනය, ජෝර්දානය සහ වෙනත් රටවලින් ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සංවිධානය කරන්නැයි ද ඔවුහු ඉල්ලති.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය පියන්කර ජයරත්න, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කම්කරු වෘත්තීය සබඳතා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ කොවිඩ්-19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන්ට ලිපියක් යවමින් ඔවුන් මේ බව ඉල්ලා ඇත.
මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් නොමිලයේ ලබාදෙන රජයේ නිරෝධායන පහසුකම් තුළ නිරෝධායනය කරන්නැයි ද නිරෝධායනය සඳහා මුදල් ගෙවීමට අපොහොසත් සංක්‍රමණික සේවකයන්ට නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රයත්නයන් තුළ දී ප්‍රමුඛතාවය අඩු නොකරන්නැයි ද ඔවුහු ඉල්ලති.
විමුක්ති ව්‍යාපාරය මෙසේද කියයි.

ඉහළම දායකත්වය

අන්තර්ජාතික කම්කරු සංවිධානයට අනුව සංක්‍රමණික ශ්‍රමිකයින් සමස්ත අපනයන ඉපැයීම් සඳහා ඉහළම දායකත්වය ලබා දී ඇති අතර 2018 වන විට රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8% කට ආසන්න ප්‍රමාණයකට දායක වී තිබේ.
කෙසේ වෙතත්, කොවිඩ් -19 අර්බුදය ඇති වූ විට, රජය විසින් අතහැර දැමූ පළමු අය අතර සංක්‍රමණික කම්කරුවන් ද විය. මාස ගණනාවක් පුරා ඒ සඳහා විවිධ හේතු දක්වනු ලැබුණි. නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා වූ විදේශ අමාත්‍යාංශයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පහළින්ම සිටින්නේ ඔවුන්ය. මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සඳහා දායක වීමට මේ දක්වා අපේ රජය අපොහොසත් වී තිබේ. ඒ කොවිඩ් අරමුදලෙන් රජය බිලියන 1.6 කට වඩා ලබාගෙන තිබියදීත් ය.
සංක්‍රමණික කම්කරුවන් මාස කිහිපයක් තිස්සේ රැකියාවක් නොමැතිව සිටින අතර, ඔවුන්ට දිවි ගලවා ගැනීම සඳහා අතිශය දුෂ්කර පියවර ගැනීමට සිදුව තිබේ. ඊළඟ නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන පිළිබඳ පුවත බලාපොරොත්තුවෙන් ඔවුන් උද්‍යානවල නිදා සිටිති.
අදාළ රටවල ශ්‍රී ලාංකික තානාපති කාර්යාල, සුභසාධන සංවිධාන හෝ පෞද්ගලික පරිත්‍යාගශීලීන් විසින් තාවකාලිකව හා ඔවුන්ගේ අභිමතය පරිදි ආධාර ලබා දී තිබේ. බොහෝ දෙනෙක් තවමත් අතරමංව සිටින අතර, නැවත සියරට පැමිණිය හැකි වේලාවන් පිළිබඳ පිළිතුරු හෝ නව තත්වයන් පිළිබඳව සොයන විට තානාපති කාර්යාල විසින් ඔවුන්ව හරවා යැවීම ද ඔවුන් විසින් අත්විඳ තිබේ.

ටිකට්පතට අධික මුදලක් : ප්‍රමුඛතාවය හෝටල්වල නිරෝධායනය වන අයට

ශ්‍රී ලංකාවට ආපසු යාම සඳහා රජය විසින් අරමුදල් ලබා නොදෙන හෙයින්, බොහෝ දෙනෙකුට වරලත් ගුවන් ගමන් සඳහා අධික මුදලක් ගෙවීමට සිදු වී තිබේ. සමහර කාන්තාවන්ට මෙරටට පැමිණීමේ ගුවන් ගමන සඳහා මුදල් එකතුකර ගැනීම සඳහා ලිංගික වෘත්තීන්ට යොමුවීමට සිදුව ඇතිබව පීඩාවට පත් කම්කරුවන්ගේ වීඩියෝවල සඳහන් වේ. ශ්‍රී ලංකාවේ මෙම කම්කරුවන්ගේ පවුල් මේ ගුවන් ගමන් සඳහා මුදල් යෙදවීමට සිය ඉඩකඩම් විකුණමින් සිටින බව ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පසුගිය මාස කිහිපය තුළ දිවි ගලවා ගැනීමෙන් පසු බොහෝ වෙහෙසට පත්ව සිටින ඔවුන් සීමිත ඉපැයීම් සහිතව නැවත නිවසට යන විට, විශාල ණය බරකින් හා ශ්‍රී ලංකාව තුළ විරැකියාවෙන් ද පෙළෙන්නට සිදුවන බවට සැකයක් නැත.
හෝටලයක දින 14 ක නිරෝධායනය සඳහා මුදල් ගෙවීමට නොහැකි නිසා මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සඳහා තානාපති කාර්යාල විසින් තමන්ට ප්‍රමුඛත්වය නොදක්වන බව කම්කරුවෝ පවසති. ඔවුන්ගේ සමහර සේවා යෝජකයින් විසින් ටිකට් පත් සඳහා ගෙවීම් කිරීමට කැමැත්තෙන් සිටින නමුත්,  නොමිලේ රජයේ නිරෝධායන පහසුකම් සඳහා පහසුකම් සැලසීමට සිදුවන බැවින් ඔවුන්ව පසෙකට කොට නිරෝධායනය සඳහා මුදල් ගෙවිය හැකි පුද්ගලයින්ට පැමිණීමට අවසර දීම සිදුවේ.
නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ශ්‍රී ලංකා ගුවන් සේවය විසින් ඩුබායි සිට කොළඹ දක්වා ගුවන් ගමන් 4 ක් සහ අබුඩාබියේ සිට කොළඹ දක්වා එවැනි ගුවන් ගමන් 1 ක් ක්‍රියාත්මක කොට තිබේ. මෙම ගුවන් ගමන්වල සම්පූර්ණ ධාරිතාවෙන්, සාමාන්‍යයෙන් සංක්‍රමණික කම්කරුවන් 60 දෙනෙකුට ගුවන් යානයකින් ආපසු සිය මව්බිමට පැමිණීමට හැකි වී ඇති අතර, අබුඩාබියේ සිට පැමිණි ගුවන් යානාවෙන් 25 දෙනෙකු රැගෙනවිත් තිබේ. මෙසේ ‘ආපසු ගෙදර යෑමට’ හැකි වූයේ ශ්‍රී ලංකා රජය විසින් ඔවුන්ගේ ගමන් බලපත්‍රය සඳහා මුදල් ගෙවීම නිසා නොව, මෙම කම්කරුවන්ට ගෙදර යාමට ප්‍රවේශ පත්‍ර සඳහා අනුග්‍රහය දැක්වීමට පෞද්ගලික පරිත්‍යාගශීලීන් ඉදිරිපත් වූ නිසාය.

පරිත්‍යාගශීලින්ගෙන් මිලියන 15ක්

ශ්‍රී ලංකා රුපියල් 62,000 (LKR) ට සමාන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 1,200 ක් වන සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර වටිනාකම අනුව, ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ට ඩුබායි සිට නැවත පැමිණීමට පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 15 කට අධික ප්‍රමාණයක් පෞද්ගලික පරිත්‍යාගශීලීන් සහ හිතවතුන් විසින් වියදම් කර තිබේ.

“යුතුකම” ගිණුම

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ජනාධිපති කාර්යාලය විසින් වාර්තා කළ පරිදි ආයතනික පරිත්‍යාග, පුද්ගල පරිත්‍යාග සහ සෘජු තැන්පතු ආධාරයෙන් ‘යුතුකම’ කෝවිඩ්-19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,659,015,132 (බිලියන එකයි මිලියන හයසිය පනස් නවයක් හා පහළොස් දහසක් එකසිය තිස් දෙකක්) විය.  මසකට පසු, ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනයකට අනුව අරමුදලෙන් රුපියල් මිලියන 400ක් එතෙක් වියදම් කර තිබුණි. අතරමංව සිටින බොහෝ ශ්‍රී ලාංකික කම්කරුවන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට සහ ප්‍රමාණවත් නිරෝධායන පහසුකම් සැපයීම සඳහා මෙම අරමුදල භාවිතා නොකළේ මන්දැයි අප විමසන්නෙමු.
වසංගතය ආරම්භයේ සිටම මෙම කම්කරුවන් සඳහා රජය විසින් ප්‍රමුඛතාවය ලබා දී නැති අතර, මෙරටට ගෙන්වා ගැනීමේ න්‍යාය පත්‍රය තුළ විදේශ අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවයන් අනුව ඔවුන්ව ශ්‍රී ලාංකික සිසුන්ට පසුව ප්‍රමුඛතාගතකර අවසන් ස්ථානයට දමා තිබේ. මෙම කම්කරුවන් තවමත් විදේශයන්හි අතරමංව සිටින අතරතුර නියමු ව්‍යාපෘතියක් මගින් ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වා ගැනීම ආරම්භ කිරීම කිසිසේත් පිළිගත නොහැකිය.
එම ලිපියට අත්සන් තබා ඇත්තේ, විමුක්ති ව්‍යාපාරයේ මරිසා ද සිල්වා, අමලිනි ද සයිරා, මෙගාරා ටෙගල්, ස්වස්තිකා අරුලිංගම්, ගීතිකා ධර්මසිංහ, ලක්මාලි හේමචන්ද්‍ර, රස්මා රම්සි, සාරා අරුමුගම් සහ විමුක්ති ද සිල්වා යන සාමාජිකයන්ය.

හෝටල් නිරෝධායනය ඉල්ලුවොත් විතරයි : එන්න බැරි කවුරුත් නෑ

මේ චෝදනා සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතාගෙන් MediaLK මෙසේ ප්‍රශ්න කළේය.
MediaLK – කොරෝනා ප්‍රශ්නයෙන් පසු මේ වෙද්දි විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කී දෙනෙක් මෙරට⁣ට ගෙන්වා තිබෙනවාද?
මංගල රන්දෙණිය මහතා – ලංකාවට ශ්‍රමිකයෝ හැටියට අපි ගෙනල්ලා තියෙනවා මැදපෙරදිග සහ නැගෙනහිර ආසියාතික රටවල මැලේසියාව කොරියාව මාලදිවයින සහ මැදපෙරදිග ඇතුළු රටවල්වලින් 35000ක් විතර පසුගිය මාර්තු මාසයේ ඉඳලා මේ වෙනකම්
MediaLK – තව කොච්චර එන්න ඉන්නවාද?
මංගල රන්දෙණිය මහතා – තව එන්න ඉන්නවා 40000ක් විතර..
MediaLK – ඉස්සරහටත් ඔවුන් මෙරටට ගෙන්වාගන්න වැඩසටහන ක්‍රියාත්මක වෙනවාද?
මංගල රන්දෙණිය මහතා – දිගටම ක්‍රියාත්මක වෙනවා. දැනට දිනකට 600ත් -700ත් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වනවා.
MediaLK – ඒ අයගේ නිරෝධායනය සඳහා අයකිරිම කීයද?
මංගල රන්දෙණිය මහතා – සම්පූර්ණයෙන්ම නොමිලේ නිරෝධායනය තමයි දෙන්නේ. කවුරුහරි සල්ලි තියෙනවා හෝලයකට යන්න ඕන කිව්වොත් තමයි ඒ පහසුකම දෙන්නේ.
MediaLK – ඒ කියන්නේ එයාලා ඉල්ලීමක් කළොත් විතර ද?
මංගල රන්දෙණිය මහතා – ඔව්. ඒ ගොල්ලෝ කියන්න ඕන ‘නෑ අපට රජයේ ඒවා එපා.අපිට හෝටල් දෙන්න’ කියලා එතකොට හෝටල් දෙනවා.
MediaLK – ඒක අනිවාර්ය නැද්ද?
මංගල රන්දෙණිය මහතා – එහෙම නැතුව අනිවාර්යයෙන් හෝටලයකට යන්න කියලා කියන්නේ නෑ.
MediaLK – ටිකට්පතට වියදම දරන්න පුළුවන් අයනේ එන්නේ. ඒ රටවල ඇත්තටම ඇතිනේ කොවිඩ්-19 තත්ත්වය එක්ක තමන්ගේ රැකියාව නැතිවෙලා ටිකට් එකට සල්ලි නැතුව ඉන්න අය….
මංගල රන්දෙණිය මහතා – ඒ හැම දෙනාටම රජයේ නිරෝධායනය තමයි දෙන්නේ..
MediaLK – නෑ..නෑ.. ලංකාවට එන්න විදියක් නැතුව ඉන්න පිරිසක් ඇතිනේ ඔතන?
මංගල රන්දෙණිය මහතා – එහෙම එන්න බැරි කිසිම කෙනෙක් නෑ. හැමෝටම එන්න පුළුවන්.. ගුවන් යානා අපි දාන පිළිවෙල අනුව තමයි එන්න පුළුවන් වෙන්නේ.
MediaLK – එහෙම එන්න බැරි වෙච්ච කවුරුත් නැද්ද?
මංගල රන්දෙණිය මහතා – එන්න බැරි වෙච්ච කෙනෙක් නෑ. කඳවුරුවල ඉන්න අය පවා දැනට ගෙනල්ලා තියෙන්නේ අති බහුතරයක්ම.
MediaLK – කෑම බීම අපහසුතා සම්බන්ධයෙන් රජයෙන් මොකද්ද කරලා තියෙන්නේ.
මංගල රන්දෙණිය මහතා – ඒවා දෙනවා අපි. ඒවා දීලා තමයි තියාගන්නේ අපි.
Previous articleළමයින් සේවයේ යෙදවීමේ වයස අවුරුදු 16 දක්වා ඉහළට : ජීඑස්පී ගන්නත් මේක වැදගත් – කම්කරු ඇමැති
Next articleගල්වලයාය : වනාන්තර අක්කර 5,400ක් සහ නීතියේ ආධිපත්‍ය ඩෝසර් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here