ළමයින් සේවයේ යෙදවීමේ වයස අවුරුදු 16 දක්වා ඉහළට : ජීඑස්පී ගන්නත් මේක වැදගත් – කම්කරු ඇමැති

(හසරිඳු රාජපක්ෂ)
ළමයින් සේවයේ යෙදවීමේ අවම වයස් සීමාව වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දැමීමට ඉදිරිපත් කර තිබු පනත් කෙටුම්පත් දෙකක් ඊයේ (05) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඒ අනුව සාප්පු හා කාර්යාල සේවකයන් පිළිබඳ (සේවය සහ වේතනය විධිමත් කිරීමේ) සංශෝධන පනත් කෙටුම්පත සහ ස්ත්‍රීන්, තරුණ සහ ළමයින් සේවයේ යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවා සම්මත කරගැනීම සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවේ මුළු ළමා ජනගහනයෙන් සියයට 1ක් ළමා ශ්‍රමිකයන් ලෙස සේවයේ යොදවන බවට වාර්තා වී ඇති අතර, මෙම පනත් කෙටුම්පත් සම්මතවීමත් සමග වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම දඬුවම් ලැබිය යුතු වරදක් බවට පත්වේ. ඊට අමතරව යාත්‍රාවක සේවයේ නියුක්ත වීමේ අවම වයස අවුරුදු 15 සිට 16 දක්වා වැඩි කිරීම, පාඨමාලා නැව් සහ පුහුණුවීමේ නැව්වල සේවා නියුක්ත වීමේ අවම වයස අවුරුදු 15 සිට 16 දක්වා වැඩි කිරීම ද සිදු කෙරිණි.
එමෙන්ම මේ පනත සම්මතවීමත් සමග ළමයා යන්නෙහි අර්ථකතනය ද වෙනස් වන අතර ‘අවුරුදු 16ට අඩු තැනැත්තෙකු’ ළමයා ලෙස අදහස් වේ.
ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමිකත්වය සියයට 0 දක්වා ළඟා කරගැනීම කම්කරු අමාත්‍යංශයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ අරමුණ වී ඇති බවත්, ඒ අනුව මෙය මෙරට දරුවන් සුරක්ෂිත කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කරවන නීති රාමුවක් බවත් කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළේය.
‘දකුණු ආසියානු රටවලට සාපේක්ෂව ළමා ශ්‍රමය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව අනෙක් රටවල් අභිබවා ඉදිරියෙන් සිටිනවා. ඒ වගේම අධ්‍යාපන ආඥා පනතේ 2016 වසර සංශෝධනයේ අවම අධ්‍යාපන වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමත් සමගම මෙම නීතිමය සීමා කිරීම් අතර නොගැළපීමක් තිබුණා. ඒ කියන්නෙ මෙරට සෑම දරුවෙකුටම වයස අවුරුදු 16 දක්වා අනිවාර්ය අධ්‍යාපනය ලබාදෙන්න ඕනෙ කියන නීතිය අපි සම්මත කරලා තියෙනවා. එහෙම නම් ඒ නීතියට සමගාමීව අපේ තියෙන කම්කරු සහ අනෙකුත් පනත් සංශෝධනය කළ යුතුයි. මේ නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි විශේෂයෙන්ම වයස් සීමාව ඉහළ නැංවීම ජාත්‍යන්තර වශයෙනුත් වැදගත් වෙනවා. යුරෝපීය ජීඑස්පී ප්ලස් සහනය ලබාගැනීම සඳහාත් මෙය ඉතා වැදගත් සාධකයක්.
ඒ නිසා දැනට මේ අඥා පනත් හතරේම තියෙන වයස 14 සීමාව තමයි, අපි 16 දක්වා වැඩි කරන්නෙ. ඒ අනුව අධ්‍යාපනය ලබා දීම අනිවාර්ය කිරීමේ වැඩපිළිවෙලටත් සහයෝගයක් ලැබෙනවා. මේ වයසට අඩු ළමයින් කුමන හෝ කාර්යයක සේවයේ යෙදවීම නීතිවිරෝධී තත්ත්වයකට පත්වෙනවා. නමුත් ඒකට ව්‍යතිරේක දෙකක් තියෙනවා. පාසල් ආරම්භවීමට පෙර හෝ පාසල් අවසන්වීමෙන් පසු මව්පියන්, භාරකරුවන්, පවුලේ සාමාජිකයන් විසින් සිදු කරනු ලබන කෘෂිකාර්මික ව්‍යාපාර සඳහා දරුවන්ට සහභාගි වෙන්න පුළුවන්. ඒක අපිට තහනම් කරන්න පුළුවන්කමක් නෑ. රජයේ ආයතනයකින් අධීක්ෂණය කළ යුතු අධ්‍යාපන පුහුණුව ලබාදෙන පාසලක ආයතන සංවිධායකයන්ගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන නොවන පුන්‍යාධාර හෝ අධ්‍යාපන කටයුත්තක් සඳහා යොදාගන්නත් පුළුවන්.’
Previous articleපාසල් ගුරුවරුන් ලෙස ගුවන් හමුදා නිලධාරීන් යෙදවීම අමාත්‍යංශයේ වැඩක් නෙමෙයි – අධ්‍යාපන ඇමැති
Next articleවිදෙස්ගත ශ්‍රමිකයන් මහ පාරේ : එන්න බැරි කිසිකෙනෙක් එහෙ නෑ – රජය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here