පාසල් ගුරුවරුන් ලෙස ගුවන් හමුදා නිලධාරීන් යෙදවීම අමාත්‍යංශයේ වැඩක් නෙමෙයි – අධ්‍යාපන ඇමැති

(හසරිඳු රාජපක්ෂ)
පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ගුවන් හමුදාවේ නිලධාරීන් යොදවා ගැනීමේ තීරණයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන නොමැති බවත්, එවැනි ක්‍රියාවක් සිදුවේ යැයි තමන් නොදන්නා බවත් අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතා ප්‍රකාශ කළේය.
කැබිතිගොල්ලෑව, වව්නියාව වැනි ප්‍රදේශවල පිහිටි පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ගුවන් හමුදාවේ නිලධාරීන් යොදාගෙන නොමැති බව ද අද (05) පාර්ලිමේන්තුවේදී ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.

තනි වැඩක් නෙමෙයි

මේ වන විට කැබිතිගොල්ලෑව හා වව්නියාව වැනි දුෂ්කර ප‍්‍රදේශවල පිහිටි පාසල්වල ගුරුවරුන් ලෙස ගුවන් හමුදා සාමාජිකයන් පත්කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුව අමාත්‍යංශ ලේකම් තනතුරුවලට, විවිධ රාජ්‍ය ආයතනවල ප‍්‍රධානීන් ලෙස හා කොවිඩ් 19 මර්දනය සඳහා දිස්ත‍්‍රික් 25 කට හමුදා නිලධාරීන් පත්කිරීමේ ක්‍රියාවලියේ දිගුවක් ලෙස මෙම ක්‍රියාව සිදුකිරීමට සැරසෙන බව ද පවසන එම සංගමය, සිවිල් පුද්ගලයන්ගේ රාජකාරි සඳහා හමුදා සාමාජිකයන් පත්කිරීම තුළ රට මිලිටරිකරණය වීම නොවැළැක්විය හැකි බව ද පෙන්වා දෙයි.

ගුරු සේවා ව්‍යවස්ථාව

ගුරු සේවයේ පත්කිරීම් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවක් සහ බඳවාගැනීම් පටිපාටියක් තිබියදී, මේ ආකාරයෙන් හමුදා සාමාජිකයන් පත්කිරීම පිළිගත නොහැකි තත්ත්වයක් බවත්, වර්තමානයේ ගුරු සිසු අනුපාතය 20:1 ක් ලෙස පවතින තත්ත්වයක් තුළ අධ්‍යාපන අමාත්‍යංශය විධිමත් ගුරු තුලනයක් නොකිරීම නිසා දුෂ්කර ප‍්‍රදේශවල ගුරු පුරප්පාඩු ඇති වී තිබෙන බවත් එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි. ගුරුවරු ස්ථානගත කිරීම සඳහා විධිමත් ප‍්‍රතිපත්තියක් නොමැති වීම ද දුෂ්කර ප‍්‍රදේශවල ගුරු හිඟයක් ඇතිවීමට බලපා ඇතැයි ලංකා ගුරු සංගමය මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් ය.

පුහුණුව ලත් 3,772ක්

‘2020 ජනවාරි වන විට පත්වීම් ලබාදිය යුතු වූ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක ගුරුවරුන් 3,772කට වසරක් තිස්සේ පත්වීම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය අපොහොසත් වී ඇත. එසේ ගුරුවරු ලෙස පුහුණු කරන ලද පිරිසක් සිටියදී, ඔවුන් අදාළ පුරප්පාඩු සඳහා පත්නොකර, පවතින ගුරු පුරප්පාඩු සඳහා හමුදා සාමාජිකයන් පත්කිරීම ගැටළුකාරී තත්ත්වයකි. එසේම වසර ගණනක් තිස්සේ කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පාසල්වල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් වැටුප් ලබන 80කට ආසන්න පිරිසක් ගුරුවරු ලෙස කටයුතු කරති. මෙම පුරප්පාඩු හඳුනාගෙන එම පුරප්පාඩුවලට ස්ථිර ගුරුවරු පත්නොකිරීම අධ්‍යාපන අමාත්‍යංශයේ අකාර්යක්ෂමතාව මත සිදු වී ඇත.

සිසු අයිතීන් උල්ලංඝනය කිරීමක්

පසුගිය වසරවල ද විද්‍යාපීඨ පත්වීම්ධාරීන් ප‍්‍රධාන පෙළේ ජාතික පාසල්වලට අතිරික්ත වන පරිදි පත්කර තිබූ අතර, දුෂ්කර ප‍්‍රදේශ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර නොතිබිණි. මේ තත්ත්වය තුළ ගුරු පුහුණුව ලද, පත්වීම් නොලද ගුරුවරු සිටියදී හමුදා සාමාජිකයන් ගුරුවරු ලෙස පත්කිරීම වෙනත් අරමුණකින් සිදුවන්නේ ද යන්න පිළිබඳ සැකයක් පවතී. දුෂ්කර ප‍්‍රදේශවල පවතින ගුරු පුරප්පාඩු සඳහා විධිමත් පුහුණුව ලද ගුරුවරු පත් නොකර, ස්වේච්ඡා ගුරුවරු, හමුදා සාමාජිකයන් ඇතුළු විවිධ කොටස් පත්කිරීම තුළ එම ප‍්‍රදේශවල සිසුන්ට පුහුණු ගුරුවරයෙකුගෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය ද අහිමි කරමින් තිබේ.
මේ තත්ත්වය තුළ කැබිතිගොල්ලෑව, වව්නියාව ඇතුළු දුෂ්කර ප‍්‍රදේශවල පවතින ගුරු පුරප්පාඩු සඳහා ගුවන් හමුදා සාමාජිකයන් පත්කිරීමේ තීරණය නතර කර, එම පුරප්පාඩු සඳහා පුහුණු ගුරුවරු විධිමත්ව පත්කරන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටී.’
Previous articleඅන්තවාදයට එරෙහි අධ්‍යක්ෂට තනතුර නැතිවෙයි
Next articleළමයින් සේවයේ යෙදවීමේ වයස අවුරුදු 16 දක්වා ඉහළට : ජීඑස්පී ගන්නත් මේක වැදගත් – කම්කරු ඇමැති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here