අන්තවාදයට එරෙහි අධ්‍යක්ෂට තනතුර නැතිවෙයි

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ දැනුම් දීම මත මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.බී.එම්. අශ්රෆ් මහතා ඉල්ලා අස් වී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.
ලේකම්වරයාගේ උපදෙස් අනුව අශ්රෆ් මහතා තමා සිය තනතුරින් මුදාහරින ලෙසට ඉල්ලා ජනවාරි පළමුවැනිදා එම ලේකම්වරයාට ලිපියක් බාරදී තිබේ. ආණ්ඩුවේ මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඔහු තනතුරින් ඉවත් කිරීම සඳහා බොහෝ කාලයක සිට උත්සහ කර තිබූ බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.
මුස්ලිම් ප්‍රජාව අතර දෙපාර්තමේන්තුවේ නම සහ ප්‍රතිරූපය වැඩිදියුණු කිරීම මෙන්ම සියලු මුස්ලිම් වැසියන්ට වෙනස් කොට සැලකීමකින් තොරව දෙපාර්තමේන්තුවේ සේවය ලබාගැනීම සඳහා ප්‍රවේශය ලබාදීම සඳහාත් සුෆි/තරීකා මුස්ලිම් ප්‍රජාවට එය වහබි කඳවුරක් බවට වන හැඟීම සහ වෙනස් කොට සැලකීමට ලක්වේ යැයි වන හැඟීම නැති කිරීම සඳහාත් අශ්රෆ් මහතා විශාල වැඩ කොටසක් කර ඇතැයි එම ආරංචිමාර්ග කියයි.
අනෙක් කණ්ඩායම් කොන් කිරීමකින් තොරව සැබෑ සුෆිවාදි සංකල්ප සමග ඉස්ලාමය කෙරෙහි මධ්‍යස්ථ ප්‍රවේශයක් ප්‍රවර්ධනය කළ යුතු බවට වන මතයක ඒ මහතා කටයුතු කර ඇති බවත් ඔහු ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයට ශ්‍රී ලංකාවටම ආවේණික වූ ඉස්ලාම් සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා උත්සහ කළ අයකු බවත් ආරංචිමාර්ග පවසයි. ඔහුගේ මෙම කාර්යය සඳහා සිංහල සමාජය තුළ ඊට මහත් පිළිගැනීමක් තිබිණි.
ඔහු එම තනතුරේ වැඩ බාරගැනීමට පෙර එම දෙපාර්තමේන්තුව ආගමික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කර තිබුණේ සමාජයේ ඔනෑ එපාකම් සම්පූර්ණයෙන් නොසලකා හැර සහ ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයේ කිසිදු දැක්මක් සහ මෙහෙවරක් නොමැතිව බව එහි ආරංචිමාර්ග සඳහන් ක⁣⁣රයි. එමෙන්ම ඔහුට පෙර එම දෙපාර්තමේන්තුව සංස්කෘතික කොටස සම්පූර්ණයෙන් ⁣නොසලකා හැර කටයුතු කර තිබිණි.
ඔහු එම තනතුරේ වැඩ බාරගත් පසු කලාව, සාහිත්‍ය සහ සංස්කෘතික අංග මුස්ලිම් ප්‍රජාව අතර ප්‍රචලිත කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කළ බවද ඒ සඳහා වෙනම ඒකකයක් පිහිටවා ඊට සහකාර අධ්‍යක්ෂවරයකු පත්කර තවත් බොහෝ කටයුතු ආරම්භ කළ බවද එම අාරංචිමාර්ග කියයි. එමෙන්ම මේ සඳහා ප්‍රමුඛ පෙළේ කලාකරුවන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විත උපදේශක කමිටුවක් මෙන්ම 2021 ක්‍රියාකාරි සැලැසුමක් ද සකස් කර තිබී ඇත. ඔහුගේ තනතුර නොමැති වීමත් සමග මේ වැඩසටහන ක්‍රියාත්මක නොවනු ඇතැයි එහි සේවකයෝ සැක පළ කරති.
මුස්ලිම් ප්‍රජාවේ ඇතැම් පිරිස් අන්තවාදයට තල්ලුවීම නැවැත්වීමට කටයුතු කළ මෙවැනි පුද්ගලයන් ඉවත් කිරීමෙන් අාණ්ඩුව අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට ආධාර අනුබල දෙනවාදැයි සැක සහිත බව මුස්ලිම් සිවිල් සංවිධාන නායකයෙක් පැවසීය.
Previous articleපරිසර විනාශයේ වසර – 2020
Next articleපාසල් ගුරුවරුන් ලෙස ගුවන් හමුදා නිලධාරීන් යෙදවීම අමාත්‍යංශයේ වැඩක් නෙමෙයි – අධ්‍යාපන ඇමැති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here