සේනා දළඹුවා : කෘමිනාශක පර්යේෂණය හමුදාවේ වැඩක්, විශේෂඥයන් සම්බන්ධ වුණේ නෑ – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

මී මැස්සන් ඇතුළු පරාගනය සඳහා උපකාරී වන සතුන්ට හානිකර පයිරෙත්‍රම් නම් කෘමිනාශකය සේනා දළඹුවා විනාශ කිරීම සඳහා යොදාගැනීම සම්බන්ධ පර්යේෂණයට කෘෂිකර්ම අමාත්‍යංශයේ හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමක් නැති බවත්, එය යුද හමුදාව මැදිහත්ව සිදු කළ ව්‍යාපෘතියක් පමණක් බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් MediaLK කළ විමසීමකදී පැවසීය.

අවසාන තීරණයක් නෑ

මේ පර්යේෂණය සඳහා මෙරටට පැමිණි රුවන්ඩා හමුදා නිලධාරීන් සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් කිසිදු අවස්ථාවකදී සම්බන්ධ නොවූ බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. මේ කෘමිනාශකය සේනා දළඹුවන් මර්දනයට භාවිත කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන තිබේදැයි විමසීමේදී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ එවැනි තීරණයක් ගෙන නැති බවත්, මෙය පර්යේෂණයක් පමණක් බවත් ය. විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති දෙපාර්තමේන්තු නිලධාරීන් මේ සඳහා සහභාගි නොවූයේ කුමක් නිසාද යනුවෙන් කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙය යුද හමුදාවේ පර්යේෂණයක් බවයි.
අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන ආකාරයට යුද හමුදාව මේ සඳහා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහභාගි කර නොගත්තේ ඇයිදැයි විමසීමට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සම්බන්ධ කරගැනීමට උත්සහ කළද ඔහුගේ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොලැබිණි.
මේ පිළිබදව විමසීමට කෘෂිකර්ම විෂය භාර ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළද, ඔහුගේ දුරකතනයට පිළිතුරු දුන් පුද්ගලයා පැවසුවේ ඇමතිවරයා රැස්වීම්වල සිටින නිසා සම්බන්ධ කළ නොහැකි බවයි.

බඩඉරිඟු හැර අනෙක් බෝග විනාශයි

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂි ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු සඳහන් කළේ තෘණ කුලයේ ශාකයක් වන බඩඉරිඟුවලට මේ කෘමිනාශකය යෙදීමෙන් හානියක් නොවන බවයි. ඊට හේතුව ඒවා සුළඟින් පරාගනය වීම බව ද ඔහු පෙන්වා දුන්නේය. අක්කර දහස් ගණන්වල බඩඉරිඟු වගා සහිත රටවලට මෙවැනි උපක්‍රම සාර්ථක වුවද, අක්කර 10 – 20 වැනි භූමි ප්‍රමාණවල වෙනත් බෝග සමග බඩඉරිඟු වගාකරන ලංකාවට මේ කෘමිනාශක භාවිත කිරීම බරපතළ ලෙස බලපෑම් කළ හැකි බවත්, බඩඉරිඟු සමග ඇති අනෙකුත් බෝග පරාගනය සිදු කරන මීමැස්සන් සහ සමනළයන් මේ නිසා විනාශ විය හැකි බවත් අදාළ විශේෂඥයා අවධාරණය කළේය. එම නිසා අනෙකුත් බෝගවල අස්වැන්න සීග්‍රයෙන් අඩුවිය හැකි බව ද අප කළ විමසීමේදී අදාළ විශේෂඥයා සඳහන් කළේය.

පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් විරුද්ධයි

පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ.සුමිත්ගේ අත්සනින් කෘෂිකර්ම අමාතයංශයේ ලේකම්වරයා වෙත යවන ලද ලිපියක ද මේ බව සඳහන් කර ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මාර්ගයෙන් මෙම ලිපිය යොමු කර ඇති අතර, එහි සඳහන් වන්නේ මෙම කෘමිනාශකය පරාගනය සිදු කරන මීමැස්සා වැනි සතුන්ට විෂ රසායනයක් බවයි. පයිරෙත්‍රම් (pyrethrum) යනු 1980 අංක 33 දරන පළිබෝධ නාශක පාලන පනත යටතේ නියාමනය කරන ලද සංයෝගයක් වන අතර, එය බලපත්‍රලත් අයිතමයක් ලෙස නම් කර ඇති බවත්, මේ කෘත්‍රිම රසායනය සෞඛ්‍ය හේතු මත මදුරුවන් වැනි සතුන් මර්දනයට පමණක් යොදාගැනීමට අවසර ඇති බවත් අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇත. එසේම වම්බටු සහ ළූනු වගාවලට එන කෘමි සතුන් මර්දනයට කොන්දේසි යටතේ කෘත්‍රිම පයිරෙට්‍රොයිඩ් ලීටර් 8,000 ක් ආනයනය කිරීමට අවසර ලබාදී ඇතැයි ද පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා අදාළ ලිපිය මගින් අමාත්‍යංශ ලේකම්වරයාට අවධාරණය කර ඇත.

හාමුදුරුවන්ගේ ඉල්ලීමට ජනපති ප්‍රතිචාරය

අද (02) රජයට අයත් දිනමිණ පුවත්පත මුල් පිටුවේ සහ 06 පිටුවේ මේ සම්බන්ධයෙන් මෙසේ වාර්තා කර ඇත.
‘බඩඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන් අතර පැතිර යන සේනා දළඹුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්ඩාවේ ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව රුවන්ඩාවෙන් විද්‍යාඥයන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඊයේ (01) මේ පිරිස අනුරාධපුරයට පැමිණ ගොවීන් මුණගැසී අර්බුදය විසඳන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. රජරට විශ්වවිද්‍යාලයේ කුලපති හා මිරිසවැටිය විහාරාධිකාරී ඊතල්වැටුණුවැවේ ඥානතිලක නාහිමියන් කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා මේ පිරිසට මෙරටට ආරාධනා කර තිබේ.
එම රටේ බ්‍රිගේඩියර් ජෙනරාල්වරයකු වන ෆ්‍රෙඩ් මුසිරගුහාරාරා මහතා සමග එරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් වන ඇලෙක්සිස් රුසාගාරා සහ ජේන් මාරී වියානී උසුමුගුරා මහතුන් ඇතුළු හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මිරිසවැටිය විහාරස්ථානයේදී මහත් හරසරින් පිළිගනු ලැබිණි.’

ආරක්ෂිත පළිබෝධ නාශක රෙගුලාසි නැති රුවන්ඩාව

ලෝකය පුරා පර්යේෂණ ආයතන 360 ක ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස Bioversity International, The International Center for Tropical Agriculture, The International institute of Tropical Agriculture and the International Potato Center, The French Agricultural Research Centre for International Development යන ආයතනවල සම සහභාගිත්වයෙන් පවත්වාගෙන යන CGIAR පර්යේෂණ ආයතනය මගින් 2019 වසර අවසානයේදී නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ රුවන්ඩාව සහ බුරුන්ඩි යන රාජ්‍ය දෙකම ආරක්ෂිත පළිබෝධ නාශක භාවිතය සහ ඒවා හැසිරවීම පිළිබඳ රෙගුලාසි ක්‍රියාත්මක කර නැති බවත්, එය ව්‍යාපාරික සමාගම්වලට භාර දී ඇති බවත් ය.

Previous articleරට දිනන්න නම් මිත්‍යාවෙන් ඈත්වෙලා හතරවැනි කාර්මික විප්ලවයට යන්න ඕනෙ – ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු
Next articleමාධ්‍යවේදියාගෙන් සීඅයිඩියට පැමිණිල්ලක් : අසත්‍ය පුවතකට පොලිසියේ නම අවභාවිත කරලා !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here