මාධ්‍යවේදියාගෙන් සීඅයිඩියට පැමිණිල්ලක් : අසත්‍ය පුවතකට පොලිසියේ නම අවභාවිත කරලා !

‘ලංකා’ පුවත්පතේ විශේෂාංග කර්තෘ විමල් කැටිපෙආරච්චිගේ ඡායාරූපයක් උපුටා දක්වමින් වෙබ්අඩවියක් මගින් පළකර තිබූ අපහාසාත්මක ප්‍රවෘත්තියකට එරෙහිව ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඊයේ (04) දින මේ පැමිණිල්ල ඉදිරිපත් කරන ලද අතර, අදාළ ප්‍රවෘත්තිය පිළිබඳව සොයාබැලීමේදී අනාවරණය වූයේ එහි සඳහන් කර ඇති එකම මූලාශ්‍රය ව්‍යාජ එකක් බවයි. මව්බිම.කොම් නම් මේ වෙබ්අඩවියේ (මව්බිම පුවත්පතේ වෙබ්අඩවිය නොවේ) අදාළ පුවත පළ කර ඇත්තේ ‘සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අසභ්‍ය වීඩියෝපටයට අදාළ රථයේ හිමිකරු හඳුනා ගැනේ’ යන ශීර්ෂයෙන් ය. එහි ලංකා පුවත්පතේ විශේෂාංග කර්තෘවරයාගේ ඡායාරූපය මුලින් පළකර තිබුණද, පසුව එය පහසුවෙන් හඳුනාගත නොහැකි වන පරිදි වෙනස් කර තිබිණි.
ඊට අමතරව ඔහුගේ අනන්‍යතාව අනාවරණය වන කරුණු කිහිපයක් ද පුවතේ සඳහන් විය. මේ ප්‍රවෘත්තියට අදාළ මූලාශ්‍රය ලෙස කොල්ලුපිටිය පොලිසියේ පොලිස් පරීක්ෂක සුගත් ජයසිරි නම් නිලධාරියකුගේ නම සඳහන් විය. එහෙත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න තහවුරු කළේ එම නම සඳහන් පොලිස් පරීක්ෂකවරයෙකු තම පොලිස් ස්ථානයේ සේවය නොකරන බවයි.
අදාළ වෙබ්අඩවිය මගින් මේ ප්‍රවෘත්තිය පළකර ඇත්තේ අදාළ පොලිස් පරීක්ෂකවරයා පුවතේ එකම මූලාශ්‍රය ලෙස සඳහන් කරමිනි.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here