(පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය)
අවශේෂ වනාන්තර (Residual Forests) ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බලාත්මක කර තිබූ 5/2001 චක්‍රලේඛය අහෝසි කොට, වත්මන් ආණ්ඩුව විසින් 1/2020 චක්‍රලේඛය බලාත්මක කරනු ලැබීමත් සමඟ දිවයින පුරා වනාන්තර භූමි හෙක්ටයාර් ලක්ෂ 5 කට අධික ප්‍රමාණයක් 2030 වසර වන විට අහිමි වීමේ අවදානමක් මතු වී තිබේ.
2050 තෙක් ක්‍රියාත්මක වන ජාතික භෞතික සැලසුම් (National Physical Plan) ව්‍යාපෘතිය වෙනුවෙන් අවශේෂ කැලෑ භූමි නිදහස් කර ගැනීමට ආණ්ඩුව සූක්ෂ්ම අයුරින් අවශ්‍ය නීති-රීති වෙනස් කරමින් සිටී. 5/2001 චක්‍රලේඛයේ ඉතා වැදගත් සඳහනක් වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නොවන කැලෑ ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අවශ්‍යතාව මත නිදහස් කිරීමට තිබූ නොහැකියාවයි. කැලෑ ඉඩම් ව්‍යාපෘති සඳහා නිදහස් කරන්නේ නම්, ඒ සඳහා අදාළ ව්‍යාපෘති යෝජනාව පරිසර අමාත්‍යංශ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් අන්තර් අමාත්‍යංශ කමිටුවකට ඉදිරිපත් කර, ඒ සඳහා අනුමැතිය ලබාගත යුතුව තිබිණි. මේ නිසාම දේශපාලකයන් ඒ ඒ ප්‍රදේශවල සිදු කිරීමට නියමිතව තිබූ ඉඩම් මංකොල්ල යම්තාක් දුරකට නැවතී තිබිණි. නමුත් වත්මන් ආණ්ඩුව විසින් මෑතකදී 5/2001 චක්‍රලේඛය අහෝසි කරනු ලැබීමත් සමඟ, එහි දුර්විපාක සීග්‍රයෙන් අත්විඳින්නට සිදුව ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් රාජාංගනය යාය 01 ළමා මිතුරු පාසලට අයත් ‘වන අරණ’ භූමියත් අලුතින් ගැසට් කළ, කැලෑ ඉඩම් අත්පත් කරගැනීමේ 1/2020 චක්‍රලේඛයේ බිල්ලක් වේවි ද ?
‘වන අරණේ’ ඉතිහාසය
රාජාංගනය යාය 01 අංක 442 මහතිඹිරිගොල්ල ග්‍රාමසේවා වසමට අයත් අක්කර 1.5ක පමණ වපසරියකින් යුත් මෙම හරිත කලාපය රාජාංගනය මධ්‍යයේ පිහිටි ඉතා වටිනා පරිසර පද්ධතියකි. වියළි කලාපීය දේශගුණයට ආවේණික ඉතා වටිනා ශාක, ඖෂධ වර්ග, සතුන්, පක්ෂීන් සහ වර්ණවත් සමනල විශේෂවලින් ගහන වූ මෙම වන භූමිය, වසර ගණනාවක් පුරා ප්‍රදේශයේ පාසල් සිසුන්, පරිසර හිතකාමීන් සිය අධ්‍යයන කටයුතු සඳහා භාවිතා කරමින් සිටී. ඒ අනුව එහි වටිනාකම අවබෝධ කර ගත් රාජාංගනය, යාය 01, ළමා මිතුරු පාසලේ හිටපු විදුහල්පති මහමාන්කඩවල ධම්ම්සිරි ස්වාමීන් වහන්සේ ඇතුළු ගුරුභවතුන්, සිසුන් හා ප්‍රදේශවාසීන් ගංගා ද්‍රෝනි පරිසර ආයතනය හා එක්ව මෙම අවශේෂ කැලෑ ඉඩම ‘වන අරණ’ නමින් 2017 වසරේදී සංරක්ෂිත කලාපයක් බවට නම් කළහ.
‘වන අරණ’ට ප්‍රේත බැලුම්
දීර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනයට මහගු පිටිවහලක් වූ මෙම අසිරිමත් ක්ෂේමභූමියට මෑතක සිට ප්‍රේත බැල්මක සේයාවක් වැටෙමින් ඇත. පාසල ආසන්නයේ පදිංචිව සිටින එක්තරා දේශපාලනඥයෙක් පසුගියදා ප්‍රදේශයේ මරණාධාර සමිතියකට අපූරු යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එනම් ‘වන අරණ’ භූමිය සමිතියට පවරාගෙන, එහි කැලය කපා දමා ආර්ථික භෝග වගා සඳහා යොදා ගත යුතු බවයි. එමගින් සමිතියට අමතර ආදායමක් උපයා ගත හැකි බව ඔහුගේ අදහස වී ඇත. (දැනටමත් මෙම පුද්ගලයා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සහිතව ප්‍රදේශයේ සමහර රජයේ ඉඩම්වල වගා කරමින් සිටින බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති) නමුත් සමිතියේ වැඩි පිරිසක් ඔහුගේ යෝජනාවට විරෝධය පළකර ඇත. එසේ තිබියදීත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම පුද්ගලයා දේශපාලන බලවතුන්ගේ හිතවත්කම් උපයෝගී කොටගනිමින් වන භූමිය කොල්ලකෑමට තවමත් අර අදිමින් සිටින බවයි.
මේ බව හොඳින්ම ප්‍රත්‍යක්ෂ වූයේ පසුගිය දෙසැම්බර් 22 දින රාජාංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීම අතරවාරයේ මේ පිළිබඳව සිදු වූ කතාබහේදී ය. ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම අතරවාරයේ ඉහත පුද්ගලයා දිගින්-දිගටම පවසා සිටියේ මෙම වන භූමිය ප්‍රදේශයට නුසුදුසු බවයි. ‘වන අරණ’ වන මූකලානක් බවට පත්ව ඇති බවත්, එය නැවත වන උද්‍යානයක් ලෙස ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් ය. වන භූමිය කොල්ලකෑමට ගත් පළමු උත්සාහය ප්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ ව්‍යර්ථ වූ තැන, මේ ගෙන එන යෝජනාව ඉතා හාස්‍යජනක ය. ඒ වගේම ‘වන අරණ’ට යාබද රජයේ කැලෑ ඉඩම් එළිපෙහෙළි කොට වගා කටයුතු සිදු කළ බව ඔහුගේ කතාව තුළ ඔහු විසින් ම පිළිගැනිණි.
මෙම පුද්ගලයාගේ ප්‍රධාන චෝදනාව වන්නේ ‘වන අරණේ’ සතුන් පැමිණ තමන්ගේ වගාවලට හානි සිදු කරන බවයි. වන සතුන්ගෙන් සිදු වන වගා හානි ලංකාවටම පොදු වූ සත්‍යයකි. නමුත් ඒවාට වගකිව යුත්තේ අහිංසක වන සතුන් නොව, අනාදිමත් කලක සිට අප රට පාලනය කරන පාලකයන්ගේ අදූරදර්ශී සංවර්ධන සැලසුම් ය. වන සතුන් වගාවලට හානි කරන්නේ නම් ඊට සුදුසු තිරසර විසඳුමක් ලබාදීම බලධාරීන් සතු වගකීමකි. නමුත් කැලය කැපීම ඊට කිසිසේත්ම සුදුසු විසඳුමක් නොවේ.