සෞභාග්‍යතා දර්ශකය පහළට : සල්ලි හොයන වැඩ කරන්නැයි ආණ්ඩුව ඉල්ලයි !

ශ්‍රී ලංකාවේ සෞභාග්‍යතා දර්ශකයේ පහළයෑමක් සිදු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

2019 වසරේ ශ්‍රී ලංකාවේ සෞභාග්‍යතා දර්ශකයේ අගය 0.802 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිවේදනය කළේය. එය 2018 වසරේදී 0.811 ක‍් විය.

මේ සඳහා ආර්ථික හා ව්‍යාපාර පරිසරය සහ ‘සමාජ-ආර්ථික යටිතල පහසුකම්’ යන උපදර්ශකයන්හි පහළ යෑම හේතුවී ඇති අතර, ජන ජීවිතයේ යහපැවැත්ම යන උපදර්ශකය මෙම වසර තුළ වැඩිදියුණු වී ඇති බව මහ බැංකුව සඳහන් කරයි.

සංචාරක සහ ඒ ආශ්‍රිත කර්මාන්ත කෙරෙහි පාස්කු ප්‍රහාරයෙන‍් ඇති වූ බලපෑම මත විරැකියාව වැඩි වී ඇතැයි ද, 2019 අගභාගයේදී පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉහළ උද්ධමනයක් වාර්තා වීම තුළ ‘ආර්ථික සහ ව්‍යාපාර පරිසරය’ උපදර්ශකය පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වූ බව සෞභාග්‍යතා දර්ශක වාර්තාව පෙන්වා දී තිබේ.

පළාත්බද සෞභාග්‍යතා දර්ශකයට අනුව ඉහළම අගය බස්නාහිර පළාත සනිටුහන් කර තිබේ. දකුණු පළාත දෙවැනි ස්ථානයද, මධ්‍යම පළාත තෙවැනි ස්ථානයටද පත්ව ඇත. පෙර වර්ෂ හා සැසදීමේදී උතුරු මැද, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වල සෞභාග්‍යතා දර්ශක ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ වර්ධනය පදනම් කරගනිමින් සෞභාග්‍යතා දර්ශකය වාර්ෂිකව ගණනය කරන අතර, ආර්ථික හා ව්‍යාපාර පරිසරය, ජනජීවිතයේ යහපැවැත්ම, සමාජ ආර්ථික යටිතල පහසුකම් යන නිර්ණායකවලට අනුව මෙම දර්ශකය සකස් කරනු ලබයි.

ඉදිරි වර්ෂයේ ආර්ථික දර්ශක සහ ජනතාවගේ කාර්යයන් සම්බන්ධයෙන් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් සිදුකළ විමසීමේදී ඔහු මෙසේ පැවසීය.

“2019 වගේම 2020 වර්ෂය යම් අභියෝගාත්මක වර්ෂයක් වුණා. විවිධ අාර්ථික ගැටළුවලට අපිට මුහුණ දෙන්න සිදු වුණා. මේ නිසා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ තමන්ගේ ආර්ථික ක්‍රියාකාරකම්වල යෙදෙන්න කියලයි. ජනතාවට ඔවුන්ගේ ආර්ථික ක්‍රියාදාමය දිගටම කරගෙන යන්න අවස්ථාව තිබිය යුතුයි. ඒ වගේම සමස්ත රටේම ආර්ථික ක්‍රියාදාමය සාමාන්‍ය අතට හරවා ගැනීමටයි අපි මේ උත්සාහ කරන්නේ. මනා කළමනාකාරීත්වයකින් යුතුවයි මේ සියලු දේ කළ යුත්තේ. එම කළමනාකාරීත්වය අපි අපේ ආර්ථිකයට ලබාදෙනවා. ඒ තුළින් 5.5% වඩා වැඩි ආර්ථික වර්ධනයක් ලබාගන්න පුළුවන් වේවි කියලයි මම පුරෝකථනය කරන්නේ. ඒ වගේම බදු ක්‍රමය දිගින් දිගටම එක හා සමානව පවත්වාගෙන යන්න අපි තීරණය කරලා තියෙනවා. මොකද දිගින් දිගටම බදු ක්‍රමය වෙනස් වෙනවා නම් ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගන්න අපිට හැකියාවක් නැහැ. අපි කළ යුත්තේ හොද ක්‍රමවේදයක් භාවිතා කරලා බදු එකතු කරගැනීමයි. බදු එකතු කරගැනීමේ ප්‍රවණතාව ශක්තිමත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

කෙසේ වෙතත්  ආර්ථික සහ සමාජ තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේ මෙවැනි අදහසකි.

” කෝවිඩ් වසංගතය රටට එන්න කලින් සිටම රටේ ආර්ථිකය කඩා වැටිලා තිබුණේ. 2020 පළමුවැනි කාර්තුවේදී කෘෂිකර්මය 5.6% කින් කඩා වැටුණා. කර්මාන්ත ක්ෂේත්‍රය 7.6%කින් කඩාවැටුණා. සේවා ක්ෂේත්‍රය 1.6% කින් කඩා වැටී තිබෙනවා. කොවිඩ් වසංගතය නිසා එය තවත් වැඩි වුණා. මේ නිසා ආර්ථික අර්බුදයක් ඇතිවී තිබෙනවා. නමුත් එය පියවන්න ආණ්ඩුවට හරි වැඩපිළිවෙලක් නැහැ. ඒ වෙනුවට ආණ්ඩුව කරන්නේ රට ණය කිරීම සහ තවත් මුදල් අච්චු ගැසීම පමණයි. ඒ නිසා මේ අර්බුදය දවසින් දවස තව තවත් උග්‍රවෙමින් පවතිනවා.

ඒ වගේම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල අපේ රට එන්න – එන්නම පහළට වැටෙනවා. තවදුරටත් ණය ගැනීමට නොහැකි අවදානම් රටක් බවට අපි පත්වෙමින් තිබෙනවා. කෝවිඩ් නිසා මිනිස්සු ජීවත්වෙන්න බැරිතරම් අසරණ වෙලා ඉන්න අවස්ථාවක පොල් ගෙඩියක් රුපියල් 100ට වඩා වැඩිවෙලා. හාල් කිලෝ එකක් රුපියල් 100ට වඩා වැඩිවෙලා. මේ විදිහට මිනිස්සු හොඳටම අසරණ වෙලා ඉන්නේ. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවෙලා තියෙද්දි ආණ්ඩුව ඒ සහනයවත් ජනතාවට දෙන්නේ නැහැ. මේ නිසා ජනතාව කබලෙන් ලිපට වැටිලා තියන්නේ. එහෙම තත්ත්වයක් යටතේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න ආණ්ඩුවක් ලෙස කටයුතු කළ යුතුයි. නමුත් මේ අයවැය තුළවත් ඉන් බාහිරවත් මේ තත්ත්වයෙන් ගොඩ එන යෝජනාවක් ආණ්ඩුව ඉදිරිපත් කරලා නැහැ. රටේ නිෂ්පාදන වැඩි කරලා ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. රටක් විදිහට අපි මුහුණදෙන අවාසනාවන්ත තත්ත්වය එයයි.”

Previous articleජනවාරි 01 වත් 1000 පොරොන්දුව ඉටු කරන්න : කම්කරු වැටුප ගැසට් කරන්න – පා.ම. වඩිවේල් සුරේෂ්
Next articleරාජාංගනයේ ‘වන අරණ’ සෞභාග්‍යයේ දැක්මට බිලිවෙයි ද ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here