සේනා දළඹුවා : ගොවිතැන විනාශ කොට ඉඩම් ගැනීමේ සැලසුමක් ද ?

(ශාලික විමලසේන)
සේනා දළඹු උවදුර නිසා මෙවර බඩඉරිඟු අස්වැන්නෙන් සියයට හැටකට අධික ප්‍රතිශතයක් විනාශ වනු ඇති බවත්, එසේ තිබුණද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් මෙතෙක් අවධානය යොමු කර නොතිබීම කනගාටුවට කරුණක් බවත් ගොවීහු පෙන්වා දෙති.
තම වගාවට සේනා දළඹු උවදුර පැමිණ ඇති බව කෘෂිකර්ම උපදේශකවරුන්ට දැනුම් දුන් විට, ඔවුන් කෘමිනාශකයක නමක් පවසන බවත්, අඩු තරමේ වගාව නිරීක්ෂණය කිරීම සඳහා පැමිණීමට හෝ ඔවුන් උනන්දුවක් නොදක්වන බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති. ඇතැම් කෘෂිකර්ම උපදේශකවරුන් දින තුනකට වරක් වගාවට කෘමිනාශක යෙදීමට උපදෙස් දෙන බවත්, එසේ කෘමිනාශක යෙදීමට වත්කමක් තමන්ට නැති බවත් අවධාරණය කරන මහියංගනය, කුකුළාපොළ, මහඔය, රිදීමාලියද්ද, දෙහිගම, කරගුලයාය, පොල්ලෙබැද්ද යන ප්‍රදේශවල ගොවියෝ, මෙම උවදුර සැලසුම්සහගතව ගොවිතැන විනාශ කිරීමට ඇති කරන ලද්දක්ද යන සැකය මතුවන බව ද පවසති.

‘ගොවියො කියන්නෙ බොරු’

මේ සම්බන්ධයෙන් විමසීමේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් පැවසුවේ අදාළ ගොවීන් දෙපාර්තමේන්තුවට එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි. දෙපාර්තමේන්තුව නිරන්තරයෙන්ම ගොවීන් දැනුවත් කිරීම, උපදෙස් දීම සහ නිරීක්ෂණය සිදු කරන බවත්, තෝරාගත ගොවීන්ට විශේෂ පුහුණු සැසි පවත්වන බවත් පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා, වන්දි ලබාගැනීමේ අරමුණින් ගොවීන් මෙසේ අසත්‍ය ප්‍රකාශ කරන බව ද සඳහන් කළේය. කෙසේ වෙතත් පසුගිය මහ කන්නයට සාපේක්ෂව මෙවර ගොවීන් සමග පුහුණු සැසි පැවැත්වීම කළ නොහැකි වූ බවද සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ඊට හේතුව කොවිඩ් 19 වසංගත තත්ත්වය බව ද පැවසීය.
MediaLK – අපේ නිරීක්ෂණයට අනුව මේ ප්‍රදේශවල බඩඉරිඟු වගාවට මේ දළඹු උවදුර බරපතළ ලෙස බලපෑම් කරලා තියෙනවා. ඔබ ඒක බොරු කියන්නෙ කොහොමද?
අධ්‍යක්ෂ ජනරාල් – මමත් ගියා බලන්න. සමහර තැන්වල එහෙම විනාශ වෙලා තියෙනවා තමයි. ඒත් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ඒක මහා විනාශයක් කියන්න බෑ. වන්දි ලබාගන්න තමයි ඔය වගේ ප්‍රකාශ ගොවීන් මාධ්‍යයට කරන්නෙ.
MediaLK – අස්වැන්න විනාශ වූ බව තහවුරු වුණොත්, වන්දි දෙනවද?
අධ්‍යක්ෂ ජනරාල් – දැනට තියෙන තත්ත්වයට අනුව නම් එහෙම කිසිම අවශ්‍යතාවක් නෑ.
MediaLK – ඔබට තහවුරු කරලා කියන්න පුළුවන්ද, ඔබේ නිලධාරීන් හරියට රාජකාරිය කරලා තියෙනවා කියලා…?
අධ්‍යක්ෂ ජනරාල් – ඇතැම් තැන්වල අඩුපාඩු තියෙන්න පුළුවන්. මම කියන්නෙ සමස්තයක් විදිහට අපි ඉතාම හොඳින් කටයුතු කරගෙන යනවා. ඔතැන තියෙන්නෙ වගාව රැකබලාගැනීමේ අඩුවක්. මුල් අවස්ථාවෙදිම දළඹුවා ඇවිත් කියලා හඳුනාගත්තොත් මේක වළක්වගන්න පුළුවන්. ඒත් ගොවි මහත්තුරු ඇට දාලා ආවට පස්සෙ, ආපහු හේනට යන්නෙ සෑහෙන දවසකින්.
කෙසේ වෙතත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන කරුණු තරයේ ප්‍රතික්ෂේප කළ අදාළ කලාපයේ ගොවීහු, තම වගාවට සිදු වී ඇති විනාශය බැලීම සඳහා පැමිණෙන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයාට ආරාධනය කරති.
තෝරාගත් වගාවක් බැලීමට ගොස් සමස්තය පිළිබඳ තීරණ ගත නොහැකි බවත්, තමන් ඇට දැමූ දින සිට දිනපතා ගොවිතැන රැකබලාගන්නා බවත් පෙන්වා දෙන එම ගොවීහු, එසේ නොවුණහොත් දළඹුවා කෙසේ වෙතත් අලින් වගාව කාදමන බව ද සඳහන් කර සිටී.

‘සේනා අපේ වගාව කනවා. අපිට දැන් මේ පණුවව තමයි කන්ඩ වෙලා තියෙන්නෙ.’
‘ඔය ගහන බෙහෙත්වලින් මේ පණුව නැතිවෙන්නෙ නැද්ද?’
‘කෘෂිකර්ම උපදේශක මහත්තුරු ඇවිත් කියන්නෙ දවස් තුනෙන්-තුනට බේත් ගහන්ඩ කියලා. එහෙම බේත් ගහන්ඩ කොහෙ තියෙන සල්ලිද. දැනටත් කණකර බඩු මොකුත් ගෙදර නෑ, ඔක්කොම බැංකුවෙ.’
‘පණුවා ඉන්නවා කියපුවහම ඒගොල්ලො එනවද බලන්න?’
‘මුල් දවස්වල නම් කියපු ගමන් ආවා. දැන් නම් එන්නෙ නෑ. කිව්වහම බේතක නමක් කියනවා විතරයි.’
‘බඩඉරිඟු විතරද පණුවා කන්නෙ?’
‘ඔව්. යායවල් පිටින් විනාශයි.’
බදුල්ල දිස්ත්‍රික්කයේ, මහියංගනය, කුකුළාපොළ ගමේ පදිංචි ඩී.එම්. ජයසේන බඩ ඉරිඟු ගොවියෙකි. ඔහු පමණක්
D.M.ජයසේන
නොවේ, මේ ගම ම බඩඉරිඟු ගමකි. ජයසේන කියන විදිහට සේනා දළඹුවා නැති වෙන්නේ නැත. කෘෂිකර්ම උපදේශක මහත්තුරුන් ද දළඹුවාගේ තාලයට අනුවර්තනය වී ඇත. හරියට මුල් කාලයේදී කොරෝනා ආසාදිතයන් සහ ආශ්‍රිතයන් ගැන දැක්වූ සැලකිල්ල ටිකෙන්-ටික අඩු වුණා වගේ ය.
‘මට නං හිතෙන්නෙම මේ පණුව ඉන්නෙ බඩඉරිඟු ඇටේ. නැත්නම් කොහොමද මෙච්චර ඉක්මනට මේක එන්නෙ. ඇට දාලා සතියයි පණුවා එනවා. අවුරුදු පහකට කලින් බඩඉරිඟුවලට කිසිම ලෙඩක් තිබුන්නෑ. අපි කාටවත් ණයවුණෙත් නෑ.’
ඩී.එම්.ගුණබණ්ඩා
රිදීමාලියද්ද, කරගුලයායේ පදිංචි ගුණබණ්ඩා මාමාගේ කතාවට අනුව ඇටේ ඇතුළේ පණුවා හෝ බිත්තර තිබිය හැකිය. මේ කතාව තරමක් තහවුරු වන ස්ථානයක් පොල්ලෙබැද්ද ආදිවාසී ගම්මානයට එපිටින් පිහිටි වනාන්තරයෙන් අපට හමු විය. ගල්වලයාය වනාන්තරය යනු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවැති රජයේ නොවන වනාන්තරයකි. මෙම වනාන්තරවලට ආරක්ෂාව ලැබී තිබුණේ 05/2001 චකුලේඛය මගින් ය. වර්තමාන ආණ්ඩුව එම චක්‍රලේඛය අහෝසි කොට 01/2020 චක්‍රලේඛය ගෙනාවේය. මෙතෙක් භාවිතයේ නොතිබූ අවශේෂ වනාන්තර යනුවෙන් වචනයක් ද එමගින් හඳුන්වා දුන්නේය. දැන් ඒ වනාන්තර අක්කර දහස් ගණනින් සමාගම්වලට ලබාදෙයි. ඒ බඩඉරිඟු වවන්නට ය. ගල්වලයායේ ද පේනතෙක් මානයේ කැලේ කපා, බඩඉරිඟු වවා ඇත.
පෞද්ගලික සමාගම් මෙසේ බඩඉරිඟු වවා ඇත්තේ කැලෑවේ ඇතුළේ ය. ගමේ, ජනතාව පදිංචි ප්‍රදේශයේ සිට කිලෝමීටර් තුනකට එහායින් ය. එහි ඇතැම් ස්ථානවල ඇති බඩඉරිඟු පැළවලට දින දහයක්වත් වයස නැත. එහෙත් ඒ පැළ ඇතුළේත් සේනා දළඹුවා සිටී. වනාන්තරයේ මීට පෙර බෝගයක් වවා නැති තත්ත්වයක් තුළ, කිලෝමීටර් තුනකට වැඩි දුරක් යනතෙක් වනාන්තරය පමණක් ඇති තැනකටත් සේනා දින දහයක් යන්නට පෙර පැමිණ ඇත.
‘ඇටවල නං ඉන්න විදිහක් නෑ. ඒක ප්‍රායෝගික අදහසක් නෙමෙයි. බඩඉරිඟු ඇටේ ලොකුයිනෙ. අනෙක ඇට එකින් එක අරන්නෙ දාන්නෙ. වී හරි කුරක්කන් හරි වගේ අහුරු අරන් ගහන්නෙ නෑ. ඒක හින්දා පැකට් එකේ ඉන්නව නම් පේනවා. ගොවියො මේ ඇට ගැන හොඳට දන්නවා. ඒවගෙ පොඩි වෙනසක් වුණත් ඒ‌ගොල්ලො අඳුරනවා. එහෙම නම් ඇටේ ඇතුළෙ තියෙන්න ඕනෙ. ඒක ප්‍රායෝගික දෙයක් නෙමෙයි මම හිතන්නෙ.’
‘එහෙම නම් කොහොමද මෙච්චර ඉක්මනට මේ කැලෑ ඇතුළට පවා මේ දළඹුව එන්නෙ…?’
‘මේ දළඹුවගෙ සුහුඹුලාට, ඒ කියන්නෙ සලඹයට වේගෙන් ලොකු දුරක් පියාඹන්න පුළුවන්. ඉන්දියාවෙ ඉඳලා ලංකාවට වුණත් ඌට පියාඹන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. කිලෝමීටර් හතරක් හෝ පහක් කියන්නෙ ඌට ඉතාම පොඩි දුරක්. කොහොමත් දැන් මේ පරිසරයෙ සුහුඹුලා ඉන්නවා. බිත්තර දානවා. ඒකෙන් වේගෙන් පැතිරෙනවා.’
මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම
රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම කියන්නේ මේ වේගවත් සලඹයෙක් බව ය. බීජ සමාගම්වල උපක්‍රමයක් විය නොහැකි බව ය.
‘ඇටවල නැත්නම් කොහෙන්ද මෙච්චර තොගයක් මේ හදිස්සියෙ එන්නෙ… අනෙක ඇට දානකොටම ඒකට බේතත් කඩේට දානවා.
ස්වර්ණා කුමාරි
ඇටවල බෝඩ් එකයි, බේතෙ බෝඩ් එකයි එක තැන එකට ගහන්නෙ..?’
කරගුලයායේ ස්වර්ණා කුමාරිගේ ප්‍රශ්නයට මහාචාර්යවරයා මෙසේ පිළිතුරු දෙයි.
‘ඇටවල තියෙනවා කියන එක ප්‍රායෝගික නෑ. හැබැයි බේත ගැන කියන කතාව හරි. බීජ මාෆියාව වැඩ කරන්නෙ ඔය විදිහට තමයි. ඇටෙත් එක්කම බේතත් එවනවා.’
බඩඉරිඟු විතරක් මේ තරම් කන්නට හේතුවක් තිබිය යුතුය. බඩ ඉරිඟු ගහ ළඟ තියෙන අනෙකුත් බෝග කන්නට පණුවා යන්නේ නැත. දණ්ඩක් වනතුරුම බඩඉරිඟු ගහ කයි. එයිනුත් නොනැවතී ඇට ගැහී මතුවන කරල ද කා දමයි.
‘ඉස්සර අපි හැම බෝගෙම එකට වැව්වා. එහෙම වවපු කාලෙ මේ කිසි ලෙඩක් තිබුණෙ නෑ.
පී.එස්.එම්.කරුණාදාස
ගෙදරට කන්න එහෙම වවන එක හොඳ වුණාට, හරිහමන් ගාණක් අතට එන්නෙ නෑ. ඒක හින්දා තියෙන ඔක්කොගෙම බඩඉරිඟු වවන්න ගත්තා. ඒකෙන් වුණේ අතට ගාණක් එන එක කොහොම වුණත්, රට වටේටම ණයවෙන්න වුණු එක.’ පී.එස්.එම්.කරුණාදාස කියන්නේ අතට ගාණක් හොයන්න ගොස්, තිබුණු සන්තකයක් නැති වුණු බව ය. මහාචාර්යවරයා ඊට මෙසේ පිළිතුරු දෙයි.
‘අපි ඉස්සර බෝගයක් දැම්මම ඒ වටේට බඩඉරිඟු ගස් දහයක් – පහළොවක් හදනවා. ඒ පළිබෝධවලින් අනෙක් ඒවා ආරක්ෂා කරගන්න. මේකට හේතුව තමයි, බඩඉරිඟු ඉක්මනින් පළිබෝධවල ග්‍රහණයට ලක්වෙන එක. එතකොට බඩඉරිඟු ගහ කෑවත්, අනෙක් ඒවට හානියක් වෙන්නෙ නෑ. හරියට ලස්සන ගෑණු ළමයෙක් ඉන්න කොට, අනෙක් ගෑණු ළමයි දිහාට ඇහැ යන්නෙ නෑ වගේ.’
‘මේකට හේතුව මොකක්ද මහාචාර්යතුමා… බඩඉරිඟුවලට මේ තරම් පළිබෝධ ආකර්ෂණය වෙන්නෙ ගහ දුර්වලයි ද?’
‘බඩඉරිඟුවල පටක ළායි, ඒ කියන්නෙ මොලොක්. මාංසල ගතිය වැඩියි. මේක හින්දා පළිබෝධවලට කන්න ලේසියි. තවත් කාරණයක්. පරණ, දේශීය බඩඉරිඟුවල මේ අලුත් ඒවගෙ තරම්ම මොලොක් නෑ. ඒවා තරමක් තදයි. ඒවට සාපේක්ෂව ගත්තහම මේ දැන් ගොවියො වවන, වැඩි දියුණු කරපු රම්බෝ, ජෙට් වගේ වර්ගවල බඩඉරිඟු කඳ ශක්තිමත් නෑ. අස්වැන්න ගැන විතරයි එතැනදි හිතලා තියෙන්නෙ. ඒක හින්දා පළිබෝධවලට පහසුයි ගහ විනාශ කරන්න.’
‘එහෙම නම් කුරක්කන් වගේ බෝගවලට යන්නෙ කොහොමද, ඒව වැඩි දියුණු කරපු ඒව නෙමෙයි නේද…?’
‘මෙහෙමනෙ, පරිසරයෙ හැම තැනම මේ සළඹයා බිත්තර දාන්න ගත්තම පණුවා හැමතැනම හැදෙනවා. එතකොට අනෙක් බෝගවලටත් යනවා. කුරක්කන් වලින් විතරක් නෙමෙයි, වීවලිනුත් මේ පණුවා වාර්තා වෙලා තියෙනවා. අනෙක් බෝගවලටත් ඉදිරියේදි යන්න තියෙන ඉඩ ඉතාම වැඩියි.’
‘වීවලින් වාර්තා වෙලා තියෙන්නෙ කොහෙන්ද…?’
‘මොණරාගල පැත්තෙන්’
තත්ත්වයේ බරපතළකම පැහැදිලි ය. ලංකාවේ කෘෂි ආර්ථිකයේ ඉරණම ඇත්තේ සේනා දළඹුවාගේ අතේ ය.
‘බේත් කොච්චර ගැහුවත් දැන් පණුවා නැතිවෙන්නෙ නෑ. හේන විනාශ වෙන හැටි බලාගෙන ඉන්නයි වෙලා තියෙන්නෙ. අපි අක්කර දොළහක ඉරිඟු දාලා තියෙනවා. මේ පාර අක්කරයක අස්වැන්නවත් එයි කියලා හිතන්න අමාරුයි. මේ පාර ඇට පැකට් එකත් ගත්තෙ ණයට.’
‘ඇට පැකට් එක කීයද?’
‘ණයට, ගෙවන්න ගන්න කොට නවදාස් දෙසිය පනහයි. සමහර තැන්වල නවදාස් පන්සීයටත් තියෙනවා.
ඩී.එම්.අනුලා
එකපාර සල්ලි දීල ගන්නවනම් හත්දාස් පන්සීයට වගෙත් ගන්න පුළුවන්.’ කුකුළාපොළ ඩී.එම්.අනුලා කියන විදිහට බීජ මාෆියාව සමග පුරුදු පරිදි එන කළු කඩ මාෆියාවේ තත්ත්වය එසේ ය. බීජ සමාගම් තමන්ගේ ලාබය ලබාගන්නේය. කළු කඩ මුදලාලිලා තමන්ගේ ලාබය ගන්නේය. ගොවියෝ හිඟාකන්නට සූදානම් වන්නෝය.
‘මහාචාර්යතුමා, ඇයි මේ බෙහෙත්වලට පණුවා මැරෙන්නෙ නැත්තෙ.. ගොවියො කියන විදිහට කොයිතරම් බෙහෙත් ගහනවද එක ගහකට…?’
‘මුල් කාලෙ කියත් පණුව හිටියනෙ. උගෙන් ඒ තරම් ලොකු හානියක් තිබුණෙ නෑ. පස්සෙ කාලෙ වෙනකොට මේ පළිබෝධ නාශකවලට උන් හුරුවුණා. අනුවර්තනය වුණා. ඒවගෙ ප්‍රතිඵල විදිහට තමයි, මේ සේනා දළඹුවා වුණත් එන්නෙ. අනෙක බඩඉරිඟු වගේ බෝගවලට විශාල වශයෙන් පොහොර යොදනවා. මේ හින්දා පටක මොලොක් වෙනවා. ඒක හින්දා බොහොම ලේසියෙන් මේව ආහාරයට ගන්න පුළුවන් වෙනවා.’
ඇස්තමේන්තුවලට අනුව මෙරට බඩඉරිඟු වගාව සඳහා යොදාගන්නා භූමි ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂයකට ආසන්න ය. එනම් හෙක්ටයාර් 80,000 සිට 100,000 දක්වා වේ. මේ කන්නයේදී හෙක්ටයාර් 20,000 ත් 40,000 ත් අතර අස්වැන්නක් පමණක් බලාපොරොත්තු විය හැකි බව පර්යේෂකයෝ පවසති. පර්යේෂකයෝ යනු නිල පර්යේෂකයෝ නොවේ. මහ පොළොව සමග හැප්පෙන, ප්‍රායෝගික පර්යේෂකයෝ ය.
‘කෘෂිකර්ම අමාත්‍යංශෙන් හෝ වෙනත් ඒ වගේ නිල ආයතනවලින් ඇවිත් ඔයගොල්ලො එක්ක මේ ගැන කතා කළාද… මොකද කරන්නෙ කියලා උපදෙස් දුන්නද?’
‘කෘෂිකර්ම උපදේශක මහත්තයා ඇරෙන්න වෙන කවුරුත් ආවෙ නෑ. මේ යන විදිහට නම් වෙන කවුරුත් එයි කියලත් හිතන්න බෑ.
ඩී.එම්.චානක
දැන් අවුරුදු හතරක් විතර වෙනවනෙ මේ සේනගෙ විනාශෙට. අපිට නම් හිතෙන්නෙ මේ හදන්නෙ බඩඉරිඟු ඉවරම කරලා දාන්න කියලා. මුල් කාලෙ අපේ තාත්තලා දේශීය බීජ වගා කළා. ඒවගෙ අස්වැන්න අඩුයි තමයි. හැබැයි ඒ වගේම ලෙඩත් අඩුයි. ඊට පස්සෙ මේ රටින් ගේන බීජ ගැන කියන්න, උපදෙස් දෙන්න කණ්ඩායම් පිටින් ආවා. ඒගොල්ලො අපිව හීන ලෝකවලට ගෙනිච්චා. මෙච්චර අස්වැන්නක් ගන්න පුළුවන්, මේ වගේ මාර්කට් එකක් හොයාගන්න පුළුවන්. රට යවන්න පුළුවන්. ඔය වගේ කතා ගොඩක් කිව්වම, කවුද අකමැති වෙන්නෙ රට බීජ වගාකරන්න. අපිත් ඒක කරන්න ගත්තා. පස්සෙ තමයි දන්නෙ හීන ලෝක මවලා තියෙන්නෙ ලෙඩ තොගයක් එක්ක කියලා.’
‘ඒ විදිහට අලුතින් බීජ හඳුන්වා දෙනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ මහත්තුරුත් ආවද?’
‘ඔව්. කම්පැනිවල කට්ටියත් එක්ක ආවෙ ඒගොල්ලො තමයි. කාලයක් තිස්සෙ ගමේ මිනිස්සු අඳුරන්නෙ ඒගොල්ලොනෙ.’
‘ඊට පස්සෙ ලෙඩ ගැන කියනකොට …?’
‘මුල් දවස්වල ඇවිත් බලලා ගියා. ඊට පස්සෙ පෝන් එකෙනුත් බේතෙ නම කියනවා විතරයි.’
කුකුළාපොළ පදිංචි චානක අලුත් පරම්පරාවේ ය. වයස අවුරුදු විසි හතරකි.
‘ඇත්තටම මේව ගැන පර්යේෂණ නොවෙන්නෙ ඇයි?’
මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම ඊට මෙසේ පිළිතුරු දුන්නේය.
‘එදා වේල ටුවර්ස්නෙ යන්නෙ. මේ උවදුර අඳුරගෙන අවුරුදු හතරක් වෙනවා. තවම හරියට පර්යේෂණ නෑ. පර්යේෂණ නිලධාරීන් ඉන්නවා. ඒත් ඒ අයව උනන්දු කිරීමක් නෑ. ඒගොල්ලො පසුගාමී වෙලා. ඇත්තටම පසුගාමී කරලා. හිතලා බලන්න, හුඟක් බෝගවලට අදාළව වෙන-වෙනම පර්යේෂණ මධ්‍යස්ථාන තියෙනවා. ඒවයින් මොනවද කරන්නෙ. ඒගොල්ලො මහන්සි වෙලා, පර්යේෂණ කරලා වැඩි අස්වැන්නක් ලැබෙන අලුත් ප්‍රභේද හඳුන්වලා දෙනවා. ඒත් කාලෙන්-කාලෙට මතුවෙන දේශපාලනඥයො කරන්නෙ තමන්ගෙ නම පෙන්නන්න පරණ ප්‍රභේද යොදාගෙන වැඩසටහන් කරනවා. දකුණු පළාතෙ ඒ වගේ මෑතකදිත් එකක් පටන්ගත්තා. පරණ ප්‍රභේද හොඳයි. ඒත් ජනගහන වර්ධනයට, රටේ අවශ්‍යතාවට සාපේක්ෂව දියුණු වෙන විද්‍යාවෙන් වැඩි අස්වැන්නක් ලැබෙන ප්‍රභේද ප්‍රවර්ධනය කරන එකයි කරන්න ඕනෙ. අක්කරයකින් බුසල් අටක් අරන් කන්න දෙන්න පුළුවන්ද.’
මහාචාර්යවරයාගේ කතාවට පිළිතුරු සෙවිය යුතුය. මේ කියන ආකාරයට පර්යේෂකයන් අධෛර්යමත් කිරීමට ආණ්ඩු කරන්නන් වගකිව යුතුය. එසේම පර්යේෂකයන්ට ද තමන් උගත් දැනුම භාවිතාවේ යෙදවීමේ වගකීමක් තිබේ. එය හරියටම සෞඛ්‍ය අමාත්‍යංශයේ සිටින වෛද්‍යවරුන් ගණන වගේ ය. සෞඛ්‍ය අමාත්‍යංශයේ විවිධ පරිපාලන තනතුරු දරන වෛද්‍යවරුන් රැසක් ඇත. ඒ අතරින් බොහෝ තනතුරු නමට සහ හිතවත්කම්වලට හදාගත් ඒවා වන අතර, ඔවුන්ට කරන්නට නිශ්චිත රාජකාරියක් පවා නැත. ඒ කියන්නේ ඔවුන් බෙහෙත් දෙන්නේත් නැත. වැඩක් කරන්නේත් නැත.
ඩබ්ලිව්.එම්.චන්ද්‍රාවතී
කුකුළාපොළ චන්ද්‍රාවතීට අනුව ඔවුහු සේනා දළඹුවාට අත්බෙහෙත් ද කරති. ‘සමහරු කිව්වා අළු ගහන්න කියලා. අපි ඒකත් කළා. ඒත් ප්‍රතිඵලයක් නෑ.’

ඇමරිකාවෙන් – අප්‍රිකාවෙන් – ආසියාවට !

දළඹුවා ගැන මහ පොළොවේ කතාව ගැන මෙන්ම විද්‍යාත්මක තලයේ කතාව ගැන ද අප දැනගත යුතුය. උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කීට විද්‍යාඥ එස්.එස්. වැලිගමගේ පවසන ආකාරයට ලෙබිඩෙබ්ටෙරා ගෝත්‍රයට මෙන් ම, නොප්ටියුඩේ කුලයට අයත් මේ භයානක දළඹු විශේෂය 2016 වසරේදී මුල් වරට ඇමරිකාවෙන් හඳුනා ගැනිණි. ඉන්පසු අප්‍රිකාව කරා වේගයෙන් සංක්‍රමණය වූ මොවුන්, පසුව යුරෝපා හා ආසියානු රටවලට සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. ලෝකයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට බරපතළ තර්ජනයක් එල්ල කර ඇති මේ ආමි වෝම් හෙවත් සේනා දළඹු වසංගතය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවලින් වාර්තා වන්නේ මෑතකදී ය.
මේ දළඹු විශේෂය, මෙතෙක් ශ්‍රී ලංකාවේ වාර්තා නොවූ ආක්‍රමණශීලී හා නිරෝධායන පළිබෝධකයකු ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ.වැලිගමගේ මහතා පෙන්වා දෙන්නේ ඉතාම භයානක දළඹු විශේෂයක් වන මොවුන්, එක රටකින් මුළුමනින්ම ඉවත් කළ ද යළි පැමිණීමේ අවදානමක් පවතින බවයි. ශ්‍රී ලංකාවේ වුව ද, එය සම්පූර්ණයෙන්ම ඉවත් කළ ද, ඉන්දියාව වැනි ආසන්න රටකින් සති දෙක තුනකින් යළි පැමිණීමේ අවදානමක් තිබිය හැකි බවත්, සුළඟත් සමඟ නිරන්තරයෙන් එහෙ-මෙහෙ යෑමේ හැකියාව මෙන් ම බොහෝ දුර යෑමේ හැකියාව ද ඔවුන්ට තිබෙන බවත් ඔහු පවසයි.

බඩඉරිඟු එකක් පමණයි !

බෝග වර්ග සියයකට පමණ ඔවුන්ට හානි කළ හැකි බව මේ වන විට හඳුනාගෙන ඇත. තණකොළ මත වුවද සිටිය හැකි මේ දළඹු විශේෂය, තෘණ කුලයේ ශාකවල වැඩි වශයෙන් දක්නට ලැබේ. බඩඉරිඟු, සෝගම්, වී, උක් මෙන්ම එළවළු, පලතුරු හා රනිල බෝගවලටත්, අර්තාපල්වලටත් හානි කළ හැකිය. කෙසේ වෙතත් මේ වන විට සේනා දළඹුවන්ගෙන් වැඩිම හානිය සිදු වන්නේ බඩඉරිඟු වගාවට ය. අනෙකුත් පළිබෝධකයන් හා ගත් කල මේ දළඹු විශේෂය මර්දනය කිරීම ඉතාම අසීරු වී තිබේ. ඒ සඳහා ද විශේෂ කරුණු කිහිපයක් බලපායි. ඒ අතරින් ප්‍රධාන කරුණ වන්නේ මේ දළඹුවන් බොහෝ විට සැඟවී සිටීම ය. විශේෂයෙන් ඔවුන් ගොබය අස්සට ගොස් එහි වර්ධනය වන ළපටි කොටස්, අංකුර, දලු මෙන්ම නොමේරූ බීජ ආදිය කා දමමින් සැඟවී සිටී. වෙනත් විලෝපික සතුන්ට හසුනොවන මෙන්ම කෘමිනාශක ආදියට විනාශ කිරීමේ හැකියාවක් නොපෙන්වන දරුණු පළිබෝධකයකු වන සේනා, ඕනෑම පරිසරයකට හොඳින් ඔරොත්තු දෙන සත්ත්වයෙකු බව කෘෂි විද්‍යාඥයෝ අවධාරණය කරති.
ඔවුන් එක දිගටම ආහාර ගනී. ඒ නිසාම වගාවට සිදුවන හානිය ඉතා විශාල වේ. දිගින්-දිගටම දිවා රෑ නොබලා ආහාර ගැනීම හේතුවෙන් එතරම්ම ප්‍රමාණයක් මළපහ කිරීම ද සිදු වේ. එම නිසා මොවුන් සැරිසරන ප්‍රදේශ පහසුවෙන් හඳුනාගැනීමේ හැකියාව ඇත.

බිත්තර 150 බැගින් වාර 10 ක් !

එකවර බිත්තර 150 ක පමණ ප්‍රමාණයක් දමන මොවුන්, එසේ වාර 10කටත් වඩා බිත්තර දැමීමේ හැකියාවෙන් යුක්ත ය. සළඹයන්ගේ මේ හැකියාව නිසා සිදුවන හානිය ද ඉතා විශාල ය. බඩඉරිඟු වැනි බෝගවල පත්‍රවල විශාල බිත්තර පොකුරක් දමන මොවුන්, ඒවා නොපෙනෙන ලෙස වසා තැබීමට ද දක්ෂ ය. මේ දළඹුවන් මර්දනයට කෘමිනාශක යොදාගැනුණද, ඔවුන් ඒ ඕනෑම කෘමිනාෂකයකට ඉතා ඉක්මනින් ඔරොත්තු දීමේ හැකියාවෙන් යුක්ත ය.

කිලෝමීටර් සීයක් පියාඹයි !

අනෙකුත් දළඹුවන් සහ පළිබෝධකයන් අතරින් වෙන්කොට හඳුනාගත හැකි වෙනස්කම් රැසක් මොවුන් තුළ පෙනෙන්නට තිබේ. ළපටි කීටයන් ලා පැහැ වන අතර, වැඩුණු කීටයන් කොළ, කහ හෝ දුඹුරු පැහැයෙන් හඳුනාගත හැකිය. දළඹුවාගේ හිස තද පැහැයෙන් යුක්තය. හිසේ යටිකුරු වූ වයි අකුරක හැඩැති සලකුණක් ඇත. මොවුන්ගෙන් වැඩුණු කීටයකු සෙන්ටි මීටර් තුනක්, හතරක් පමණ දිගැති ය. මොවුන්ගේ සලඹයාට සුළඟේ ආධාරයෙන් දිනකට කිලෝමීටර් සියයක පමණ දුරක් පියාඹා යෑමට හැකියාව තිබෙන බව ද කෘෂි විද්‍යාඥයෝ පෙන්වා දෙති.
සේනා දළඹුවාට සමානත්වයක් පෙන්නුම් කෙරෙන වෙනත් දළඹු විශේෂ කිහිපයක් ද එළවළු ආදියේදී දැකගත හැකිය. ස්ටෙබ්වරා ලිවූරා ඉන් එක් දළඹුවෙකි. ආමි වෝම් වර්ගයක් ලෙසද හඳුන්වන මොවුන්ට සේනා දළඹුවන්ට මෙන් මෝස්තර නැත. මොවුන් වැඩි වශයෙන් ගෝවා වැනි එළවළු වර්ගවල දැකිය හැකි ය. බීට්රූට්වල මෙවැනි තවත් වර්ගයක් සිටිනු දැකිය හැකි අතර, ඔවුන් බීට් ආර්මිවෝම් ලෙස කෘෂි විද්‍යාඥයෝ හඳුන්වති.

කාබනික පොහොර – කොහොඹ ඇට !

මේ දළඹු වසංගතයට මෙතෙක් ස්ථීර විසඳුමක් සොයාගැනීමට හැකියාවක් ලැබී නැත.
ආසාදිත බෝග අවශේෂ පුළුස්සා මුළුමනින්ම විනාශ කිරීම, පසේ සිටින දළඹුවාගේ පිලා අවස්ථා විනාශ කිරීම සඳහා වගාවලදී ගැඹුරට සී සෑම වැනි විකල්ප කෘෂි විද්‍යාඥයෝ හඳුන්වා දෙති. හෙක්ටයාරයකට ටොන් 10ක් බැගින් මේ වගාවල පසට කාබනික පොහොර එක්කිරීම ද මේ සඳහා වන විකල්ප ක්‍රියාමාර්ගයකි. විශේෂයෙන් රසායනික පොහොර යෙදීමේදී නයිට්‍රජන් පොහොර වැඩි වශයෙන් යෙදීමෙන් වැළකී, නිර්දේශිත ප්‍රමාණයට පමණක් යෙදීම කළ යුතු බව ද පෙන්වා දෙන විද්‍යාඥයෝ, හානිය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම සඳහා වගාව ආරම්භයේ සිටම සතියට දෙවරක් බෝගය පරීක්ෂා කර පළිබෝධකයාගේ බිත්තර කැදලි හා දළඹු කොටස් එකතු කර විනාශ කිරීම කළ යුතු බව ද සඳහන් කරති. වගාව ආරම්භයේදීම සියුම් වැලි, අළු වැනි දෑ හානි කරන ලද බඩඉරිඟු පැළවල ගොබය තුළට දැමීමත්, කොහොඹ ඇට නිස්සාරකය ජලය ලීටර් දහයට ග්රෑම් 300 – 500 අතර ප්‍රමාණයෙන් යෙදීමත් මේ දළඹුවන් විනාශ කිරීම සඳහා වන විකල්ප ලෙස ඔවුහු පෙන්වා දෙති.

බඩඉරිඟු පාඩුයි – කොම්පැනිවලට ඉඩම් !

‘දැන් අපිට වහ බොන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. ආණ්ඩු පත්කරන්න අපි කොච්චර වැඩ කළාද. මගෙ ත්‍රීවීල් එකෙන්, අතින් තෙල් ගහගෙන කොච්චර ඡන්ද වැඩවලට ගියාද. ඒ කවුරුත් අපි ගැන බලන්න නෑ. එකෙක්වත් පළාතෙ එන්නෙ නෑ. දැන් අපේ ඉඩම් ටිකත් කොම්පැනිවලට දෙන්නයි හදන්නෙ. අපිටත් පවුල් තියෙනවා. අපිටත් ළමයි ඉන්නවා. ඒ ළමයින්ට කන්න දුන්නෙ මේ වගාවෙන්. මේවා නැතිවුණාම උන් බඩගින්නෙ ඉන්නවා අපිට බලාගෙන ඉන්න පුළුවන්ද.
සේනා ආවා. මොකුත් කළේ නෑ. අපිට මේවා ගැන මොකුත් කියලා දුන්නෙත් නෑ. අර බේත ගහන්න, මේ බේත ගහන්න කිව්වා විතරයි.
පී.එම්.සුමනරත්න
දැන් මොකක්ද කරන්න හදන්නෙ. බඩඉරිඟු වගාව පාඩුයි කියලා උක් වවන්න කොම්පැනියකට මේ ඉඩම් දෙන්නයි හදන්නෙ. මේව අහසින් පාත්වෙන එව්වා නෙමෙයි. මේවා ප්ලෑන්.’
රිදීමාලියැද්ද, කරගුලයායේ සුමනරත්න කියන මේ කතාව බැහැර කළ නොහැක්කකි. ඊට හේතුව කරගුලයායේ පෙනෙන තෙක් මානයේ බඩඉරිඟු වගාව කරන භූමියේ අක්කර 572 ක්, මේ වන විට උක් වගාව සහ ඊට අදාළ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා ලබාදීමට සියලු සැලසුම් සකස් කර අවසන් වීම ය.
වැසි දියෙන් ගොවිතැන් කරන මේ ඉඩම්වල වැස්ස නැති කාලයේදී කැලෑ වැවේ. එම කාලයේදී ගත් ඡායාරූප යොදාගෙන, මේවා කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා මුඩු බිම් බව සඳහන් කරමින්, වගාබිම් අත්පත් කරගැනීමේ සැලසුම් සකස් කරමින් සිටින බවත්, සේනා දළඹු උවදුර නිසා වගාව විනාශ වීම ඔවුන්ට ආශිර්වාදයක් වී ඇති බවත් ගොවීහු වැඩිදුරටත් අවධාරණය කරති.
Previous articleරාජාංගනයේ ‘වන අරණ’ සෞභාග්‍යයේ දැක්මට බිලිවෙයි ද ?
Next articleජන.01 පොරොන්දු 03ක් කඩයි : ආණ්ඩුව විනය ගැන ප්‍රතිඥා දෙයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here