යුරෝපය – ආසියාව වෙනසක් නෑ : දෙවියො වෙන්න හදන අයට ප්‍රතිකාර අත්‍යවශ්‍යයි – මනෝ චිකිත්සක විශේෂඥ අයරින් ජ්‍යාකොමෙට්ටි

වෛද්‍ය අයරින් ජ්‍යාකොමෙට්ටි (Dr. Irene Giacometti) මනෝ චිකිත්සක විශේෂඥ Villa de Salut රෝහල, ටොරිනෝ, ඉතාලිය
කිසියම් කෙනකු තමන් වෙනත් පුද්ගලයෙක් බව කීම මොන වගේ තත්ත්වයක් ද?
එහෙම කවුරු හරි කීම කියන කාරණයට වගේම ඕකේ තවත් පැත්තක් තියෙනවා. මම ඒක උදාහරණයකින්ම පැහැදිලි කරන්නම්.
ඔබ දන්නවා මිනිස්සු අනාදිමත් කාලයක ඉඳන් දෙවියන් ප්‍රමුඛ විවිධ නොපෙනෙන දේ ගැන විශ්වාස කරනවා. ඒ හා පවතින විශ්වාසයෙන් යාඥා කරනවා. ඒක අහිංසක, සමහර විට සංස්කෘතික කාරණයක්. ඒක කායිකව මෙන්ම මානසිකව ඉතාමත් නිරෝගී අයත් කරන සාමාන්‍ය දෙයක්. ඒක මම ඉගෙන ගත් විෂය එක්ක බලද් දී රෝගී තත්ත්වයක් නෙමෙයි.
හැබැයි කෙනකු කියනවා නම්, තමන් එක්ක දෙවියෙක්, භූතයෙක්, යක්ෂයෙක්, සුරදූතයෙක් හෝ සාතන් කතා කරනවා කියලා, එක නිශ්චිතවම රෝගයක්. වෛද්‍ය විද්‍යානුකූලව ප්‍රතිකාර ගත යුතු රෝගයක්.
ඒකට කියන්නේ භින්නෝන්මාදය (Schizophrenia) කියලා.
භින්නෝන්මාදය කියන්නේ මිනිසුන් යථාර්ථය අසාමාන්‍ය ලෙස අර්ථකථනය කරන බරපතළ මානසික ආබාධයක්. භින්නෝන්මාදය නිසා යම් කිසි මායාවක්, මායාවන් සහ අතිශයින්ම අවුල්සහගත සිතුවිලි සහ හැසිරීම් ඒ පුද්ගලයාගේ දෛනික ක්‍රියාකාරිත්වයට බාධාවක්. එය සමහර තැනක ඔහු අවට සමාජය මත යොමු වීමෙන් ඒ තත්ත්වය සාමුහික හානිකර බවකට පත් වෙනවා.
මීට අදාළව මූලිකව තත්ත්ව දෙකක් තියෙනවා. එකක් ඉහළ ආන්තික තත්ත්වය (Upper marginal condition). එතැන  දී එයා අනෙක් සාමාන්‍ය අයට නොතේරෙන වෙනත් උච්චාරණයක් සහිත භාෂාවක් භාවිත කරනවා. සමහර විටෙක පිටත අයට තමන් දෙවියෝ වගේ පේන්න දෙවියෝ වගේ ඇඳුම් අඳිනවා. මේවගේ රෝගියෙක් තමන් අවට සමාජයේ සිද්ධ වෙන දේවලින් අවංකව ම කම්පාවට පත්වෙනවා.
ඒ කියන්නේ..?
මෙහෙමයි. ඉහළ ආන්තික තත්ත්වයේ (Upper marginal condition) ඉන්න කෙනෙක් සමහර විට රූපවාහිනියේ දකිනවා, විශාල අනතුරු ගැන. ප්‍රතිකාර සොයා නොගත් වසංගත ගැන. එතකොට ඒ රෝගියා කම්පනයට පත් වෙනවා. එයාට හිතෙනවා “මම දෙය්යෝ වුණාට අනේ මට මේ අයව බේරගන්න බැහැ” කියන හැඟීම. ඒ නිසාම සමහර විට ඒ අයට ඇති වන වරදකාරිත්වය (guilty), ආතතිය (stress) නිසා සමහර රෝගීන් සියදිවි නසා ගන්න පවා පෙළැඹෙනවා.
ඕකෙම අනෙක් පැත්ත, ඒ කියන්නේ පහළ ආන්තික තත්ත්වය (Lower marginal condition) ඇති රෝගීන්.
මේ අය කරන්නේ දෙවියන් හෝ තමන් ගනුදෙනු කරන බව විශ්වාස කරන දෙවියෝ, භූතයෝ, යක්ෂයින්… ආදීන් හා වැඩ කරන්න කුටීර හදා ගන්නවා. යැදුම් හෝ වැඳුම් මධ්‍යස්ථාන හදා ගන්නවා. එහෙම අය හිතනවා “මම දෙවියෝ; මට කරන්න බැරි දෙයක් නැහැ. ඕන දුකකට මට බෙහෙත් තියෙනවා. ඕන ලෙඩකට මට ඖෂධ තියෙනවා…” කියලා. එයාට අර දේවාල ගෘහය ඇතුළේ දී ඇහෙනවා තමන්ට දෙවියෝ කතා කරනවා. දෙවියෝ, සුරදූතයෝ, යක්ෂයෝ… සීනු හඬවනවා. ඉතින් එයා ඒ කතා කරන අයත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. සමහර දේවල්වලට උත්තර දෙනවා. සමහර ප්‍රශ්න දෙවියන්ගෙන් අහලා ඒවාට උත්තර කියනවා.
ඉතින් මනෝවෛද්‍යවරු මේ කියන රෝගීන්ගේ හැසිරීම් අනුව බොහොම පහසුවෙන් මේ අය ඉහළ හෝ පහළ ආන්තික තත්ත්වයේ රෝගියෙක් ද කියලා බොහොම පහසුවෙන්ම හඳුනාගන්නවා.
එවැනි තත්ත්වයක අය පිළිබඳව මොකක්ද කළ යුතු වෙන්නේ ?
මෙහෙමයි, මෙවැනි අයට බැහැ එයාලගේ තත්වය ඒත්තුගන්වන්න (convince). අපි එයාලට කොච්චර කිව්වත්, එයාල දෙවියෝ නෙමෙයි, එයාලත් එක්ක දෙවියෝ කතා කරන්නේ නැහැ කියලා ඒක ඒ වගේ රෝගීන් පිළිගන්නේ නැහැ. අඩුම තරමින් අපි එයාලට ඒ අයගේ නමින් කතා කළත් තරහ යනවා. මොක ද? එයාලා හිතන්නේ දෙවියන්ගේ, යක්ෂයන්ගේ නමින් තමයි තමන්ට කතා කරන්න ඕනේ කියලා. ඇත්තටම රෝගියාගේ පැත්තෙන් බැලුවොත් ඒක හරි. මොක ද? එයා හිතන්නෙම එහෙම නිසා. එහෙම දිගින්දිගටම අපි කරන්න ගියොත්, සමහර වෙලාවට එහෙම රෝගීන්ට දිවි නසා ගන්න පවා පෙළැඹෙන්න පුළුවන්.
ඒක වෙන්නේ මෙහෙමයි. අපි හිතමු කෙනෙක් තමන් සාතන් කියලා හිතනවා කියලා. අපි එයාට ‘සාතන්’ නොකියා එයාගේ ඇත්ත නමින් කතා කළොත් එයා අවුල් වෙනවා. එයා තමන් සමඟම ගැටුමකට යනවා. එයා හිතනවා ‘මම සාතන් . මේ මිනිස්සු මොකද මාව සාතන් හැටියට නොපිළිගන්නේ…’ කියලා. ඒකේ එක තැනක දී අපි අර මුලින් කිව්ව විදිහට සිය දිවි නසා ගන්න පවා පුළුවන්.
ඒ නිසා සාමාන්‍යයෙන් පළමු අවස්ථාවේ දී මේ වගේ තත්ත්වයක් කතා කරලා විසඳන්න බැහැ.
කරන්න ඕනෑ දේ තමා, දෙවියොම එන්න කිව්වා කියලා ඒත්තුගන්වලා මේ අය මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම. එතැන දී මුලින් ම කරන්නේ ඖෂධවලින් මේ අයගේ ශරීරයේ රසායනික තුලනය (chemical balance) ඇති කරන එක. එහෙම සායනික තත්ත්වයකට පස්සේ මේ රෝගීන් මනෝචිකිත්සක (Psychotherapist) වෙත යොමු කරනවා. අඩුම තරමේ මේ ක්‍රියාවලියට මාස හය හතක් යනවා. ඉතින් කවුරුහරි මේ වගේ රෝගියෙක් ගැන දන්නවා නම් කරන්න ඕනේ ඔහු හෝ ඇය මේ කියූ ප්‍රතිකාරරසඳහා ඊට අදාළ දැනුමක් ඇති පිළිගත් වෛද්‍යවරයකු හෝ වෛද්‍ය සායනයක් වෙත ඉක්මනින්ම යොමු කිරීම.
මෙවැනි සමහර දෙනෙක් ‘දිව්‍යමය ඖෂධ‘ සොයා ගන්නවා?
අපොයි, ඒක ඒ රෝගීන්ගේ ඉතාමත් සාමාන්‍ය රෝගී තත්ත්වයක්. ඔහු දෙවියෝ නිසා ඔහු රූපවාහිනී, පත්තර වගේ දේවල් බලද්දී එයාටම හිතෙනවා “මම දෙවියෝ… ඉතින් මම මේ දුකට පත් මිනිස්සු ගලවා ගන්න ඕනෑ. ඒ නිසා මම මේ අයගේ ලෙඩවලට බෙහෙත් හොයන්න ඕනේ…” කියලා. එහෙම හදන දේ තමයි ඔය කියන ‘දිව්‍යමය ඖෂධ’ කියන්නේ. ඒක රෝගියා කරන්නේ එයාගෙම හිත හදාගන්න.
ඒ ‘දිව්‍යමය ඖෂධ’ මොනම විදිහකටවත් බාහිර රෝගවලට නිශ්චිත ප්‍රතිකාරයක් වෙන්නේ නැහැ. හැබැයි අපි කියන භින්නෝන්මාදය  (Schizophrenia) තත්ත්වයේ රෝගියකුට එයාගෙම හිත හදා ගන්න ඒක ඖෂධයක් වෙනවා. එහෙම නැතුව ඒ වගේ රෝගියෙක් හදන හෝ කියන බෙහෙත්වලින් ලෝකයේ ලෙඩ රෝග කවදාවත්ම සුව කරලා නැහැ. කවදාවත්ම සුව කරන්නත් බැහැ.
මෙවැනි අය පිළිබඳව යුරෝපයේ තත්ත්වය මොකක් ද?
රෝගයට සහ රෝගීන්ට ආසියාව, අප්‍රිකාව, යුරෝපය කියලා ලොකු වෙනසක් නැහැ. දැන් උදාහරණයක් විදිහට මෙහෙ දී අපිට හමුවෙනවා යෝහොවාඃ කියල දෙවියන් හා සම්බන්ධ ආගමික නිකායේ සාමාජිකයන් වූ රෝගීන්. ඒ අය හිතන්නේ තමන් යෝහොවාඃ ගේ සාක්ෂිකාරයන් කියලා. ඉතින් එහෙම අයටත් අපි කරන්නේ ඔය මුලින් කිව්ව ප්‍රතිකාරම තමයි.
මේ බොහෝ දෙනෙක් හුදෙකලාව ජීවත් වෙන අය. සමහරු ආදරය නිසා බිඳවැටුණු අය. තවත් අය විවාහය බිඳවැටීම නිසා දැඩි විදිහට කනස්සල්ලට පත් වුණු අය. සමහර දෙනකුගේ දේපළ සියල්ල අහිමි වෙලා. තවත් විටෙක තමන්ගේ දරුවා අනතුරකට හෝ රෝගයට ලක්වෙලා මිය ගිහින්. සමහර දෙනකුගේ සුරතල් සතා අහිමි වෙලා. මේ හැමෝ ම දැඩි විදිහට කනස්සල්ලට පත් වුණු අය. දැඩි මානසික පීඩනයකින් උන්න අය.
යුරෝපයේ තියෙන සුලභ දේ තමයි තනිකම. කවුරුවත් තමන් සමඟ ජිවත් නොවන තනිකම. එතකොට ඔහු හෝ ඇය නිර්මාණය කර ගන්නවා තමන්ගේම ලෝකයක්. එතැන දී ඒ අයට හිතෙනවා, තමන්ට දෙවියෝ කතා කරනවා කියලා. ඉතින් ඒ ගොල්ලොත් දෙවියන්ට කතා කරන්න පටන් ගන්නවා. එහෙම ඉන්න එක කණ්ඩායමක් විදිහට මම දකින්නේ ඔය ආගමික කණ්ඩායම්.
තෝමස් ස්ටීවන් සාස්
තෝමස් ස්ටීවන් සාස් (Thomas Stephen Szasz) කියන හංගේරියානු-ඇමෙරිකානු මනෝචිකිත්සක සහ මනෝ විශ්ලේෂකවරයා තැනක කියනවා “ඔබ දෙවියන්ට කතා කරනවා නම්, යාඥා කරනවා. දෙවියෝ ඔබට කතා කරනවා නම් ඔබ භින්නෝන්මාදයෙන් (schizophrenia) පෙළෙනවා” කියලා. ඒක තමයි මම දන්නා ඇත්ත.
ඔය කියන අයගේ ආශ්‍රමයදේවාලකෝවිල් ආදියට ඇයි යුරෝපීයන් පවා ඇදෙන්නේ උදාහරණයක් විදිහට ගන්න ඉන්දියානු සායි ආශ්‍රම් ගමු..?
ඒක   භින්නෝන්මාදය (schizophrenia) නෙමෙයි. මොකද? ඒක අදහසක් විතරයි. ඒකට කියන්නේ මායාව (delusional) කියලා.  එහෙම තත්ත්වයක දී සමූහයක් විදිහට හිතනවා, දෙවි කෙනෙක් වැනි කෙනෙක් ඉන්නවා කියලා. ඒක හරි අපූරු දෙයක්. සමහර විටෙක ඔබ දන්නවත් ඇති වතිකානුව පිහිටි රෝමය තියෙන ඉතාලියේ මිනිස්සු හරිම රැඩිකල් විදිහට ජේසු ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ඒ අය ඉන්දියාවට ගිහින් විවිධ දෙවිවරුන් අදහනවා. ඒ අය තමන්ගේ ඉන්දියානු දේව චාරිකාවෙන් පස්සේ ආයෙමත් ඉතාලියට ඇවිත් මෙහෙ අයටත් ඒ ගැන විවිධ දේ කියනවා. තමන්ගේ ඉන්දියානු දෙවියන් ගැන උත්කර්ෂයට නංවනවා. ඒක තමයි මායාවේ (delusional) තත්ත්වය.

සංවාදය : ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් | ලංකා පුවත්පත ඇසුරෙන්

Previous articleආදාහනය අනිවාර්ය කරන්න සාධාරණ හේතු නෑ – අමරපුර නිකායෙන් ජනපතිට ලිපියක් !
Next articleජනවාරි 01 වත් 1000 පොරොන්දුව ඉටු කරන්න : කම්කරු වැටුප ගැසට් කරන්න – පා.ම. වඩිවේල් සුරේෂ්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here