ආදාහනය අනිවාර්ය කරන්න සාධාරණ හේතු නෑ – අමරපුර නිකායෙන් ජනපතිට ලිපියක් !

(හසරිඳු රාජපක්ෂ)
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් අනිවාර්යයෙන්ම ආදාහනය කිරීම සාධාරණීකරණය කිරීමට තවදුරටත් හේතු නොමැති බව තම මතය යැයි ශ්‍රී ලංකා අමරපුර-රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ අන්තර් ආගමික සබඳතා අනුකමිටුව සඳහන් කරයි.
එම සිරුරුවල විෂබීජ භූගත නොවන අයුරින් ශක්තිමත් කොන්ක්‍රීට් ආවරණයක බහා භූමදානය කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත්කර එම කමිටුව නිර්දේශ කරන ඒ හා සමාන වෙනත් ක්‍රමවේදයක් සලසා කොන්දේසි සහිතව භූමදානයට අවසර දෙන ලෙස  ජනාධිපතිවරයාගෙන් සංවේදීව ඉල්ලා සිටින බව එම අනුකමිටුව පවසයි.
ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ අන්තර් ආගමික සබඳතා අනුකමිටුවේ ලේකම් අම්පාර මාදම්පාගම අස්සජි හිමියන් ඇතුළු කමිටු සාමාජිකයන්ගේ අත්සනින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් එම කමිටුව මේ බව සඳහන් කර තිබේ. එම සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් නොපමාව තීරණයක් ගැනීම සඳහා භූ විද්‍යා හා වසංගත රෝග පිළිබඳ විශේෂඥවරුන් හා ඒ සම්බන්ධයෙන් දැනුම ඇති වෛද්‍යවරුන් සහ ආගමික නායකයන්ද ඇතුළත් කර කමිටුවක් පත්කරන ලෙස එම අන්තර් ආගමික සබඳතා කමිටුව ඉල්ලා සිටියි. මේ සම්බන්ධයෙන් ඉක්මන් හා සාධාරණ සෞඛ්‍ය තීරණයක් ගන්නා ලෙස අදාළ කමිටුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.

ගෞරවනීය ආගමික පිළිවෙත සහ මූලික අයිතිවාසිකම්

මළ සිරුරු භූමදානය කිරීම ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම්වල අනුගාමිකයන් අනුගමනය කරන ගෞරවනීය ආගමික පිළිවෙතක් බව එම අන්තර් ආගමික සබඳතා කමිටුව සඳහන් කර සිටියි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඉ) ව්‍යවස්ථාව තුළ ආගමික නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස ආරක්ෂා කර ඇතැයි ද මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ අරමුණු සඳහා මෙම නිදහස සීමා කිරීම්වලට යටත් විය හැකි බවට 15(7) ව්‍යවස්ථාව මගින් සඳහන් කර ඇති බව දන්නා බවද එම කමිටුව සිය ලිපියේ සඳහන් කර තිබේ.
14(1)(ඉ) ව්‍යවස්ථාව
“එකලාව හෝ අන් අය හා සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය.”
15(7) ව්‍යවස්ථාව
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි ව්‍යවස්ථාවෙන් 13 වැනි ව්‍යවස්ථාවේ(1) වැනි හා (2) වැනි අනු ව්‍යවස්ථාවලින් සහ 14 වැනි ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති සියලුම මූලික අයිතිවාසිකම් භුක්තිවිදිය හැක්කේද, ක්‍රියාත්මක විය හැක්කේද රාජ්‍ය ආරක්ෂාවද රටේ යහපැවැත්මද තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත් අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන් වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වගබලා ගැනීම පිණිසත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබසාධනය සඳහා යුක්ති සහගතව අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත්, නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම් වලට යටත්ව ය.”

මාස 08 කට පසුව !

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම අත්‍යවශ්‍ය කරමින් ආණ්ඩුව 2020 අප්‍රේල් 22 වැනිදා අංක 2170/8 දරන ගැසට් නිවේදනය නිකුත් කළ අතර, මේ වන විට ඊට මාස 08 ක් ගතවී ඇති බවත්, කොවිඩ් 19 සම්බන්ධයෙන් සහ වෛරසයේ හැසිරීම සම්බන්ධයෙන් පර්යේෂණ සමූහයක් මේ වන විට කර තිබීම තුළ සිරුරු භූමදානය කිරීමෙන් මෙම වෛරසය පැතිරීමේ අවදානමක් නොමැති බවට පෙන්නුම් කර ඇති බවත් එම අන්තර් ආගමික සබඳතා කමිටුව අවධාරණය කරයි.
මේ අනුව මියගිය පුද්ගලයන් අනිවාර්යයෙන්ම ආදාහනය කිරීම සඳහා තවදුරටත් සාධාරණීකරණයක් නොමැති බවට අන්තර් ආගමික සබඳතා කමිටුවේ මතය වී ඇතැයිද වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන් භූමදානය කිරීමට යම් කොන්දේසිවලට යටත්ව ඉඩදිය යුතු ව ඇතැයි ද එම කමිටුව සඳහන් කරයි. මෙම කොන්දේසි ජනතාවගේ සෞඛ්‍ය සහ මුස්ලිම්, කතෝලික හා අනෙකුත් ආගමික ප්‍රජාවන්ගේ ආගමික වත්-පිළිවෙත් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා වන ලෙස සකස් කළ යුතු බව ද එම කමිටුව පවසයි.

විකල්ප යෝජනාවක්

මළ සිරුරු භූමදානය සඳහා එම අන්තර් ආගමික සබඳතා කමිටුව විකල්ප ක්‍රමයක් යෝජනා කර තිබේ.
එනම් කල්පවත්නා අපරාගම්‍ය ද්‍රව්‍යවලින් සාදන ලද මුද්‍රා තැබූ මිනී පෙට්ටි නිශ්චිත මුස්ලිම් සුසාන භූමි තුළද, ජල මුද්‍රාව තැබූ කොන්ක්‍රීට් සොහොන් හෝ පෙර සැකසූ ජල මුද්‍රා තැබූ කොන්ක්‍රීට් සොහොන් තුළ ද තැන්පත් කිරීමට අවස්ථාව දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස එමගින් යෝජනා කර ඇත. එමෙන්ම එවැනි මිනීපෙට්ටි, සොහොන් සහ සුසාන භූමි යන සියල්ල සඳහා නම් කරන ලද අධිකාරියකින් අනුමැතිය ගැනීම අනිවාර්ය කිරීම පිළිබඳව සලකා බලන ලෙස ද මෙම කමිටුව යෝජනා කරයි.
එමෙන්ම මෙම සිරුරු භූමදානය කිරීමේ ක්‍රමය ඵලදායීව සහ නිසැකව දැනගැනීම සඳහා පරීක්ෂණ ක්‍රමයක් මත පදනම්ව ආරක්ෂිත ක්‍රමවේදයක් පිළිබඳ තීරණයක් ගැනීම සදහා වෛරස් විද්‍යා විශේෂඥයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්, ආගමික නායකයන් සහ වෙනත් අදාළ පුද්ගලයන්ගෙන් සමන්විත හදිසි රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එම කමිටුව සඳහන් කර තිබේ.

අන්තර් ආගමික සබඳතා කමිටුව

මෙම ලිපිය සඳහා සර්ව ආගමික නායකයන් අත්සන් තබා ඇති අතර, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මාදම්පාගම අස්සජී හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී වලේබොඩ ගුණසිරි හිමි, ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ හිටපු රදගුරු ආසිරි පෙරේරා පියතුමා, අම්පිටිය දේවධර්ම විද්‍යාලයේ ජයලත් බලගල්ල පියතුමා, ජමියතුල් උලමා සංවිධානයේ වැඩබලන ප්‍රධාන ලේකම් අස්-ශෙයික් එම්.එස්.එම්. නාසිම් සහ විධායක සභික මෞලවි මුස්නි යූසුෆ් හනීපා, සනාතන ධර්ම පර්යේෂණ ආයතනයේ මහ ලේකම් පී.සිවලෝගනාදන් කුරුක්කල් තුමා, සම්සම් පදනමේ අධ්‍යක්ෂ මෞලවී අමීහර් හකම්දීන් යන ආගමික නායකයන් මීට අත්සන් තබා ඇත.

කොවිඩ් මරණ පිළිබඳව ව්‍යාජ පුවත් එපා – දැනට ආදාහනය පමණයි

මේ අතර කොවිඩ් මරණ පිළිබඳව ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේය. දැනට මෙම සිරුරු ආදාහනය කිරීම පමණක් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය එමගින් සඳහන් කර ඇත.
එම නිවේදනයේ මෙසේ සදහන් ය.
“කොවිඩ් – 19 වෛරසය ආසාදිත වී මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය හෝ ආදාහනය කිරීම සම්බන්ධව සමහර දේශපාලනඥයන් සහ වෙබ් අඩවි විසින් වැරදි ප්‍රචාර සිදු කරන බවට පෙනී ගොස් ඇත.
එහිදී දේශපාලන අරමුණින් ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල දේශපාලන චරිත ඈදාගෙන සමහර වෙබ් අඩවි නිර්මාණය කරන ව්‍යාජ පුවත් පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.
දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියලු විශේෂඥ වාර්තා අනුව කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී මියයන සියලුදෙනාගේ මෘත ශරීර ආදාහනය පමණක් සිදු කෙරෙන අතර, සෞඛ්‍ය ප්‍රතිපත්ති දේශපාලන අරමුණින් යුතුව විකෘති කරමින් ව්‍යාජ පුවත් සමාජගත කිරීමෙන් වැළකී සිටින ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.”

රජයේ තීරණයට එරෙහිව විරෝධතා

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට ඉඩදෙන ලෙස ඉල්ලමින් විවිධ පෙදෙස්වල මේ දිනවල විරෝධතා පැවැත්වෙන අතර, කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (27) දිනයේ විරෝධතාවක් පැවැත්විණි. ජමියතුල් උලමා සභාව විසින් එය සංවිධානය කර තිබිණි.
Previous articleනිරෝධායන නීති නොතකා යුද හමුදාපති නිලවරණ රාජකාරියේ : ආමි එක ඇතුළෙ කැන්වසින් කරන්න බෑ – යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක
Next articleයුරෝපය – ආසියාව වෙනසක් නෑ : දෙවියො වෙන්න හදන අයට ප්‍රතිකාර අත්‍යවශ්‍යයි – මනෝ චිකිත්සක විශේෂඥ අයරින් ජ්‍යාකොමෙට්ටි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here