2014 – 2018 – 2020 : සජීවී සෛලවල වැඩෙන මාරාන්තික වෛරසයක් !

මිනීමැරුමකට වරදකරු වී මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දුන් දවසේ අගමැති මහින්ද රාජපක්ෂ ගව ඝාතනය නතර කරන බව කීවේය.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ කොටසක ගින්නක් ඇති වූ දවසේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළේය. කොවිඩ් 19 වෛරසය ආසාදිතව, මියගිය පුද්ගලයන් කවර තත්ත්වයක් යටතේ හෝ භූමදානය නොකරන බවත්, අනිවාර්යෙන්ම එම සිරුරු ආදාහනය කළ යුතු බවත් ආණ්ඩුව කීවේය. එපමණක් නොව ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට සමීප ව්‍යාපාරිකයන් විසින් පවත්වාගෙන යන මාධ්‍ය යොදවා විවිධ ප්‍රචාරක ව්‍යාපෘති කළේය. ඒ සියල්ලේ අරමුණ වූයේ කොවිඩ් වෛරසය ජලයට එක්වී, අනාගත පරපුරට හානියක් වේ යැයි යන අවංක හැඟීම පමණක් ද?

පරණ උපක්‍රමවල දිගුවක්

2014 වසරේ බේරුවල, දර්ගා නගරයේදීත්, 2018 පෙබරවාරි මාසයේදී අම්පාරේ කොත්තු කඩයකදීත්, 2018 මාර්තු මාසයේ මහනුවර, දිගන අවට ප්‍රදේශවලදීත් මිනිසුන් භේදබින්න කරමින්, එකට එක්ව හිටගැනීම වළක්වමින් තමන්ගේ අසමත්කම් වසා ගැනීම ඔවුන්ගේ අරමුණ විය. හෙළ වෙදකම වැනි අලුත් වචන භාවිත කරමින් කුපිත කරන්නට හදන්නේත්, ඒවා ඔප්පු කරන්නට කෑගල්ලේ පැණිය වැනි උපක්‍රම යොදන්නේත් එහි විවිධ පියවර ලෙස ය.
‘දේශීය වෛද්‍ය විද්‍යායතනය ආරම්භ කළේ 1929 වසරේ. ඒ වෙනකොට මෙහෙම හෙළ වෙදකම කියලා සංකල්පයක් තිබුණෙ නෑ. වෛද්‍යානුශාසක ආඥා පනත ඉදිරිපත් වුණේ 1931 වසරේ. එතකොටත් මෙහෙම එකක් තිබුණෙ නෑ. 1956 වසරේදි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා ගෙනාපු සඟ-වෙද-ගුරු-ගොවි-කම්කරු සංවාදය ඇතුළෙත් එහෙම එකක් ගැන අදහස් පළවෙලා නෑ. දැනට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අදාළව තියෙන නෛතික ලියවිල්ල තමයි, 1961 අංක 31 දරන ආයුර්වේද වෛද්‍ය පනත. ඒකෙත් එහෙම එකක් ගැන සඳහනක් නෑ. 2005 – 2015 මහින්ද වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා, ජනාධිපති ධුරය දරපු කාලෙත් එහෙම එකක් තිබුණෙ නෑ. දැන් එකපාරටම එහෙම වචනයක් ඉස්සරහට අරගෙන, ජනතාවට වැරදි පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා.’
පශ්චාත් උපාධි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය චමල් ආර්. කුලතුංග එසේ පැහැදිලි කරන්නේ ඒ හදිසියෙන් පාත් වූ වචනය ගැන ය. ආයුර්වේද වෛද්‍යවරුන් විසින් නාවික හමුදාව තුළ ඇති වූ කොවිඩ් 19 ආසාදිත පිරිසට ප්‍රතිකාර කර, එහි සාර්ථකත්වයක් පෙන්වූ බවත්, මේ වන විට වැලිකඩ බන්ධනාගාරය තුළ හඳුනාගෙන තිබෙන වෛරස් ආසාදිත පුද්ගලයන්ට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සාර්ථකව සිදුකරමින් තිබෙන බවත් පැවසූ වෛද්‍ය කුලතුංග, ඒවා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට අවස්ථාව ඉඩ වෙන් නොකරන මාධ්‍ය, කිසිදු විධිමත් පර්යේෂණයකින් තහවුරු නොවූ කෑගල්ලේ පැණිය සම්බන්ධයෙන් වන ප්‍රචාරක කටයුතුවලට විශාල ඉඩක් වෙන් කරන බව ද අවධාරණය කළේය. මේවායින් තහවුරු වන්නේ කුමක්ද? ආණ්ඩුව තම අසමත්කම වසාගැනීමේ උපක්‍රම එකින්-එක ඉදිරියට දමන බව ය.

ඡන්ද ගොඩේ ප්‍රතිශතය

ඒ අතරවාරයේ තමන්ගේ ඡන්ද ගොඩේ ප්‍රතිශත කෙසේ විය යුතුද යන්න සම්බන්ධයෙන් ද ඔවුහු දිගින්-දිගටම ගණන් හදමින් සිටිති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු වන අධිකරණ ඇමැති අලි සබ්‍රි ඉදිරියට දමමින් පාර හදාගෙන ආවේ ඒකට ය. පැණි සමග එක් ගොඩකුත්, සබ්‍රි සමග තවත් ගොඩකුත් එකට ගෙන ආ ආණ්ඩුව තීරණාත්මක තැනකට ආවේය. එහි දී වහාම තීරණයක් ගත්තේය.
කොවිඩ් 19 වෛරසය වැළඳී මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ භූමදානය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් එම මළ සිරුරු සිසිල් කළ කන්ටේනර් තුළ තැන්පත් කිරීමට රජයේ අනුමැතිය ලබාදෙනු ලැබුවේ ඒ අනුව ය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ ඇමැති අලි සබ්‍රි වෙත ලිපියක් යොමුකරමින් මේ බව දැනුම් දී ඇත. අධිකරණ ඇමැතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවකට ප්‍රතිචාරයක් ලෙස මෙම තීරණය ගත් බව ද ලිපියේ සඳහන් ය. ඒ අනුව කොළඹ, කළුතර, මහනුවර, මීගමුව යන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාල වෙතත්, කල්මුනේ අෂ්රොෆ් අනුස්මරණ රෝහල වෙතත් මළ සිරුරු රඳවා තැබිය හැකි සිසිල් කළ කන්ටේනර් පහක් ලබාදෙන ලෙස අදාළ ලිපියෙන් ඉල්ලා තිබේ.

ෆායිම් තාත්තා දුෂ්ඨයෙකු කිරීම

ආණ්ඩුවේ ඒ තීරණය දැන් ක්‍රියාත්මක ය. කවර තත්ත්වයක් යටතේ හෝ එය අතිශයින් වැදගත් ය. සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් හිමිවිය යුතුය. අනෙකාගේ අයිතියට ගරු කළ යුතුය. වෛරසය ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ දේහ භූමදානය මගින් වෛරස් ව්‍යාප්තියක් හෝ වෛරසය ජලයට එක්වීමක් හෝ සිදු නොවන බව මේ වනවිට පර්යේෂණ මගින් තහවුරු කර තිබේ. එහෙත් එසේ තිබියදී ය, මේ තීරණය ගැනීම ප්‍රමාද කරමින් ආණ්ඩුව දින 20 ක් වයසැති දරුවකු පුළුස්සා දමනු ලැබුවේ.
‘බබාව පිච්චුවට පස්සෙ බබාගෙ මිනී අළු ටික මුට්ටියක දාලා, මේක අරන් යන්න කියලා. මගේ මල්ලි කියලා ඔයාලා බලහත්කාරයෙන් අපේ දරුවව පිච්චුව නම්, අළු ටිකත් ඔයාලම තියාගන්න කියලා. එහෙම කියලා මල්ලි කනත්තෙන් එළියට ඇවිත්.’ දින විස්සේ බිළිඳාගේ තාත්තා නිව්ස් 19 වෙබ් අඩවියට එසේ කියා තිබිණි.
මොහොමඩ් ෆායිම් හෙවත් ඒ තාත්තාව මාධ්‍යවලින් මහා දුෂ්ඨයෙකුට අන්දවා තිබිණි. ඒ තමන්ගේම දරුවා මැරුණාට පසු මිනියවත් බාර නොගන්නා මිනිසෙකු ලෙස ය. ඔහුගේ ජාතිය ගාවමින්, එය ජාතිවාදී කාරණයකට හරවන්නට ඒ මාධ්‍ය නිර්ලජ්ජිත උත්සාහයක නිරත විය. ආදරයෙන් හදාවඩාගත් තමන්ගේම දරුවා මරණයට පත් වූ පසු, ඒ වේදනාවට අමතරව මේ මිනිසාට සමාජයේ අපවාදවලටත් මුහුණදෙන්නට සිදුවීම හද කම්පා කරන සිදුවීමකි.ලංකාවට කොවිඩ් 19 ආවේ කාගේ වරදින්ද? මේ දරුවාගේ මරණයට වගකියන්න ඕනෑ කවුද?
දෙසැම්බර් 07 වැනිදා මේ දරුවා කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මියගිය බව කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ තාත්තාට කියා තිබිණි. ඔහු සිංහල භාෂාව වැඩිපුර නොදන්නා,  තොටලඟ, වැලිගොඩ පදිංචි තරුණ පියෙකි.
‘දරුවා මැරිලා කියලා මම දැනගන්නත් කලින්, රෝහලෙන් මාධ්‍ය ඔක්කොටම ඒක කියලා ඉවරයි.’ ඔහු පවසන ඒ කරුණ ම මෙහි ඇති අභ්‍යන්තර කතාවක් අනාවරණය කරන්නේය.

ආණ්ඩුවේ නොනිල තීරණය

මේ ආකාරයට භූමදානය වීමේ අයිතිය සහිත මිනිසුන්ගේ එම අයිතිය උල්ලංඝනය කොට, ඔවුන් ව බලහත්කාරයෙන් පිළිස්සූ බලධාරීන්ට එරෙහිව ප්‍රබල විරෝධයක් එල්ල විය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ හැර අනෙක් කිසිවකුත් මේ වෛරසය ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ දේහ භූමදානය කිරීමෙන් භූගත ජලයට වෛරස් එකතු වන බවක් තහවුරු කරන්නට උත්සාහ කළේ නැත.
ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයත් පුවත්පතකින් පමණක් මහාචාර්යවරියට සම්මුඛ සාකච්ඡා අවස්ථා කිහිපයක් ම ලබා දී තිබිණි. එහෙත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනෙකුත් විද්‍යාඥයන්ගේ අදහස්වලට එවැනි ඉඩක් ලබානොදීමට එම පුවත්පත පරෙස්සම් වී තිබිණි.
ආණ්ඩුවේ මේ නිලනොලත් තීන්දුව ගැන දිගින්-දිගටම ප්‍රශ්න කිරීමේදී සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසා තිබුණේ ආණ්ඩුව පත්කරන ලද විශේෂඥ කමිටුව ඒ පිළිබඳව සොයා බලන බව හා ඔවුන්ගේ නිර්දේශ අනුව ආණ්ඩුව තීන්දු ගන්නා බව ය. එහෙත් එවැනි විශේෂඥ කමිටුවක් සම්බන්ධයෙන් නිශ්චිත කරුණු ඉදිරිපත් නොකෙරුණු අතර, එවැනි කමිටුවක කටයුතු ඉදිරියට යන බවක් ද පෙනෙන්නට තිබුණේ නැත. මේ නිසා භූමදානය කිරීමේ අයිතිය ඉල්ලා මුස්ලිම් ජනතාව විරෝධතා පැවැත්වූහ. එය මුස්ලිම් ජනතාවගේ ඉල්ලීමක් පමණක් නොවූ අතර, මිනිස්කම අගයන, අනෙකාගේ මතයට ගරු කරන මිනිසුන්ගේ ඉල්ලීමක් විය. ඉල්ලීම්වලට ප්‍රතිචාර නොමැති නිසා එය විරෝධතාවක් දක්වා ඉදිරියට ගියේය. විරෝධතා නිසා අගමැතිවරයා විසින් භූමදානය සඳහා නිශ්චිත ප්‍රදේශයක් සෙවීමේ වගකීම විශේෂඥයන්ට පවරන ලද බව මාධ්‍ය වාර්තා කළේය.
එවැනි දේ සිදුවන අතර, පසුගිය දෙසැම්බර් 14 වන සඳුදා සවස මාලදිවයිනේ විදේශ කටයුතු ඇමැති අබ්දුල්ලා ෂහීඩ් ට්විටර් පණිවුඩයක් මගින් පවසා තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ මෘත දේහ මාලදිවයිනේ භූමදානය කිරීම සඳහා එරට ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිගෙන් පහසුකම් ඉල්ලා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපති සෝලි අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා පවත්වන බවත් ය. මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් නෂීඩ් ද ට්විටර් පණිවුඩයක් මගින් පවසා තිබුණේ මේ ගැටළුව විසඳා ගැනීමට ශ්‍රී ලාංකිකයන් හා මාලදිවයින් ජාතිකයන් හවුල්වීම වැදගත් බවත්, ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ ආසන්නම මිතුරන් හා සහෝදරයන් වන නිසා මිය යන ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් භූමදානය සඳහා ඔවුන්ගේ භූමිය ලබා දිය හැකි බවත්, ජාවත්ත මුස්ලිම් පල්ලියේ සුසාන භූමියේ ඔවුන්ගේ පරම්පරා හතරක පිරිස් භූමදාන කළ භූමියක් ඇති බවත් ය. කෙසේ වෙතත් මේ ට්විටර් පණිවුඩවලට ප්‍රතිචාර දක්වමින් මාලදිවයිනේ හිටපු විදේශ කටයුතු ඇමැතිනී දූන්‍යා මවුමූන් ටිවිටර් පණිවුඩයක් මගින් පවසා තිබුණේ මාලදිවයින් බලධාරීන් කළ යුත්තේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට මාලදිවයිනේ පදිංචියට එන මෙන් ආරාධනා කිරීම යැයි තමන් විශ්වාස කරන බවයි.

ලෝක සෞඛ්‍ය මතය

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ගැන කියන්නේ මෙසේ ය.
‘කොවිඩ් 19න් මිය ගිය පුද්ගලයෙකු ප්‍රසිද්ධ සුසාන භූමියක හෝ ප්‍රජා භූමදාන ස්ථානයක භූමදාන කළ හැක. එහෙත් මිය යෑම් බහුල යැයි හැඟෙන්නේ නම්, මිය යන’වුන් භූමදාන කිරීම සඳහා තෝරාගත් විශේෂ ස්ථාන වෙන් කරන්නට ප්‍රාදේශීය බලධාරීන්ට හෝ එම ප්‍රජාවන්ට ඉඩ ඇත. සමූහ භූමදාන සඳහා දිරි ගැන්වීම් නොකෙරේ. එය බොහෝවිට සැලසුම් කිරීම සම්බන්ධ බලධාරීන්ගේ අසමත්කම ප්‍රදර්ශනය කෙරෙන්නකි.
එය පවුලේ හා ප්‍රජාවගේ අපේක්ෂාවන්, චාරිත්‍ර හා ආගමික පිළිවෙත් නොසලකා හැරීමකි. තනි භූමදානයන් ගෞරවාන්විත හා වැදගත් වන්නේය. එය භූමදාන කළ පුද්ගලයා හඳුනා ගැනීමටත් එහි භූමදාන කළ පුද්ගලයාට ගෞරව කිරීමටත් ඉඩ තබන්නේය.’
එම සංවිධානය මගින් ප්‍රකාශිත මානවවාදී පසුබිමක මිය යෑම් කළමනාකරණය කිරීමේ කොවිඩ් – 19 අන්තර්වාර මාර්ගෝපදේශ වල මේ කරුණු සඳහන් ය. මේ අතර ඉතාලියේ සෞඛ්‍ය පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනයේ පරිසර සහ සෞඛ්‍ය අධ්‍යයන දෙපාර්තමේන්තුවත්, ආහාර සුරක්ෂිතතාව, පෝෂණ හා පශු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත්, ප්‍රංශයේ කැමරූන් අධ්‍යයන ආයතනයේ වෛරසවේදය පිළිබඳ දෙපාර්තමේන්තුවත් එක්ව කොවිඩ් – 19 වෛරසය ජලයෙන් බෝවන්නේද සහ ජලයේ පවතින්නේද යන්න සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණයක වාර්තාව පසුගිය අප්‍රේල් 28 දා අන්තර්ජාලයට මුදාහැර තිබිණි.
කොවිඩ් – 19 වෛරස් අංශු ජලය තුළ තිබී සොයාගත්තද, ඒවා බෝවන අංශු ලෙස ක්‍රියාකාරී නොවන බව එම පර්යේෂණ වාර්තාවේ සඳහන් වේ. එසේම ජලය හරහා වෛරසය සම්ප්‍රේෂණය වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් එහි අධ්‍යයන ක්‍රමවේද සහ අධ්‍යයන සාම්පල සහිතව ඇතුළත් කර ඇත. මීට වෙනස් මතයක් පළකළ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති, මහාචාර්ය මෙත්තිකා විතානගේගෙන් මේ පිළිබඳව විමසීමේදී ඇය මාධ්‍යයට පවසා තිබුණේ තමන් මේ සම්බන්ධයෙන් කිසිදු පර්යේෂණයක් නොකළ බවකි. භූමදානය පිළිබඳ කරන ලද පර්යේෂණ සම්බන්ධයෙන් තමන්ගේ මතකයේ නොමැති බවද මහාචාර්යවරිය සති අන්ත අනිද්දා පුවත්පතට පවසා තිබිණි.

අසල්වැසියා සහ චීනය

අසල්වැසි ඉන්දියාවේ මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යංශය ද කොවිඩ් 19 නිසා මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට හා ආදාහනය කිරීමට ඉඩ දී ඇත. දේහය හසුරුවනු ලබන්නේ පුහුණුව ලත් සෞඛ්‍ය වෘත්තිකයන් වන අතර, ඔහු සම්පූර්ණ පෞද්ගලික ආරක්ෂක උපකරණ (PPE) පැළඳිය යුතු බව එම අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශවල සඳහන් වෙයි. දේහය කාන්දු නොවන ප්ලාස්ටික් බෑගයක බහාලිය යුතු බව ද, මියගිය පුද්ගලයාගේ මුහුණ බැලීම සඳහා බෑගය විවර කිරීමට අවසර ඇති බව ද ශරීරයේ ඕනෑම තරලයක් පිටවීම වැළැක්වීම සඳහා ශරීරයේ නාසය සහ කට ආවරණය කළ යුතු බව ද එහි සඳහන් කර තිබේ. නමුත් ශරීරය නැහැවීමට, සිප ගැනීමට හෝ වැළඳ ගැනීම නොකළ යුතු බව එහි සඳහන් ය.
නමුත් ලංකාවේ මාධ්‍ය මගින් උලුප්පා දැක්වූ සිදුවීම් කිහිපයක් ඉන්දියාවේ විය. මෙලෙස භුමදානය කිරීමට අවසර නොදුන් ඉන්දීය සිද්ධි කිහිපයක් තිබූ බව සත්‍යයකි. එහෙත් ඊට හේතු වී තිබුණේ නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකිරීමයි.‍ 1897 වසංගත පනත යටතේ බලතල භුක්ති විඳිමින් ඉන්දියාවේ බ්‍රිහාන්මුයි මහ නගර සභාව (බී.එම්.සී.) චක්‍රලේඛයක් නිකුත් කරමින් කොවිඩ් -19 නිසා සිදුවන සියලුම මරණ සඳහා ආදාහනය අනිවාර්ය කළේය. කෙසේ වෙතත් පසුව යම් කොන්දේසි සහිතව භූමදානය කිරීමට ඉඩ දීම සඳහා අදාළ චක්‍රලේඛය සංශෝධනය කරන ලදි.
මීට අමතරව ඇතැම් ප්‍රදේශවල ඉඩකඩ මදිවීම නිසා ඉන්දියාවේ භූමදානය නවතා ආදාහනය කිරීමට කටයුතු සකස් කර තිබූ නමුත්, චීනය සහ ශ්‍රී ලංකාව හැර මේ වන තෙක් මේ ආකාරයෙන් භුමදානය තහනම් කළ වෙනත් රටක් ගැන පැහැදිලිව වාර්තා වන්නේ නැත.
කොවිඩ් 19 වෛරසය චීනයේ පැතිරීම උත්සන්න වෙමින් තිබූ මුල් අවදියේ චීන සෞඛ්‍ය කොමිසම විසින් මිය යන ආසාදිතයන් ආදාහනය අනිවාර්ය කරමින් නියෝගයක් නිකුත් කළ අතර, මෙය එම වකවානුවේදී චීනයේ දැඩි කතාබහක් ඇති වූ සිද්ධියක් විය.
වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ අවශේෂ බැහැර කිරීමේ මාර්ගෝපදේශ (අත්හදා බැලීම) නමින් චීනය පසුගිය පෙබරවාරි මාසයේ නිකුත් කළ එම මාර්ගෝපදේශවල සඳහන් වූයේ මරණ සහතිකය නිකුත් කිරීමෙන් පසු දේහය ආදාහනය කිරීමට ඥාතීන් එකඟ කරගත යුතු බවයි. එයට හෝ ඥාතීන් පැමිණීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, දේහය සෘජුව ආදාහනාගාරයක් වෙත යවා ආදාහනය කළ යුතු බවත්, එනම් පවුලේ අය කැමති වුවත් අකමැති වුවත් ආදාහනය කළ යුතු බවත් එහි සඳහන් විය.
‘මිය ගිය රෝගියෙකුගේ පවුලේ සාමාජිකයන් මෙම ක්‍රියා පටිපාටිය⁣ට සහභාගි වීමට ප්‍රතික්ෂේප කිරීම හෝ ඊට අනුකූල වීම ප්‍රතික්ෂේප කරන්නේ නම් සහ වෛද්‍ය ආයතන, ආදාහනාගාරය විසින් ඒ සඳහා අදාළ පවුලේ සාමාජිකයන් පෙළඹවීමට අපොහොසත් වී ඇත්නම්, දේහය වෛද්‍ය ආයතනයේ අත්සනින් පමණක් ආදාහනය කළ හැකිය. ප්‍රදේශය අධීක්ෂණය කරන මහජන ආරක්ෂක බලධාරීන් ඒ අනුව ඔවුන්ගේ අදාළ කටයුතු සිදු කළ යුතුය.’ යනුවෙන් එහි සඳහන් වේ.

සාර්ස් – මර්ස් සිට කොවිඩ් 19 තෙක් !

මේ අතර  කොවිඩ් 19 වෛරසය වැළඳී මියගිය කිසිවකු භූමදානය කිරීම හේතුවෙන් වෛරසය භූගත ජලයට එකතු විය හැකි බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමු වී නැති බව වෛරස විද්‍යාව පිළිබඳ ලෝකයේ කීර්තිමත් විද්‍යාඥයෙක් අවධාරණය කරයි. ඔහු මහාචාර්ය මලික් පීරිස් ය. 2003 වසරේදී පැතිර ගිය සාර්ස් වෛරසය හඳුනා ගැනීම සහ එම වසංගතය පාලනය කිරීම සඳහා ප්‍රමුඛ කාර්යයක් කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකි, ඔහු. 2015 වසරේ මැදපෙරදිග කලාපයේ පැතිර ගිය මර්ස් වෛරසය සම්බන්ධයෙන් කෙරුණු පර්යේෂණ සඳහා ද ඔහු දායකත්වය ලබා දී ඇත. ලෝකයේ පිළිගත් විද්‍යාත්මක සඟරා තුළ පර්යේෂණ පත්‍රිකා 600 කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර ඇති මහාචාර්ය මලික් පීරිස්, ලෝකයේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන්ගෙන් සැදුම්ලත් බ්‍රිතාන්‍යයේ රාජකීය සමාජයේ ද සාමාජිකයෙකි. මහාචාර්ය මලික් පීරිස් සහ ඔහුගේ කණ්ඩායම මේ වන විට කොවිඩ් 19 වෛරසය හඳුනා ගැනීම සහ එය පාලනය කළ හැකි ක්‍රමවේද පිළිබඳ පර්යේෂණවල යෙදී සිටී. ව්‍යාධි විද්‍යා විශේෂඥයෙකු ද (Pathologist) වන මහාචාර්ය මලික් පීරිස්, හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරස විද්‍යාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ය.
බීබීසී වෙබ්අඩවියේ මාධ්‍යවේදී සරෝජ් පතිරණ සමග ඔහු මෙසේ අදහස් දක්වා තිබිණි.
‘පළමු වැනි දේ තමයි, අපි දැනගන්න ඕනෙ වෛරසයක් වැඩිවෙන්නෙ සජීවී සෛලවල විතරයි කියන එක. සෛල මැරුණම වෛරසවලට වර්ධනය වෙන්න විදිහක් නෑ. ඒ නිසා වෛරසය පැතිරීමත් නවතිනවා. ඒ නිසා අඩි හයක් පොළොව යට වළ දාන සිරුරකින් පසට වෛරසය ඇවිල්ලා, වතුරට ඇවිල්ලා, වෛරසය බෝවෙන්න පුළුවන් ද කියලා මම නම් දන්නෙ නෑ.
දෙවැනි කරුණ, රෝගියෙකුගෙන් කොවිඩ් රෝගය බෝවෙන්න පටන් ගන්නෙ ඒ රෝගියා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න දවස් කිහිපයකට කලින් ඉඳලා. ඒ අවස්ථාවෙ රෝගය ශරීරයේ තිබුණත් රෝගියා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නෙ නෑ. රෝග ලක්ෂණ පහළ වෙලා තවත් දවස් හතරක් – පහක් රෝගියාගෙන් වෛරසය බෝවෙනවා. ඒ කාලෙ තමයි වෛරසය වැඩියෙන්ම බෝවෙන කාලෙ. කිසිවෙක් රෝගයෙන් මරණයට පත්වෙන්න කලින්, රෝග ලක්ෂණ පහළ වෙලා, රෝහලට ඇතුළත් කරලා, අධි සත්කාර ඒකකයට ඇතුළු කරලා… මේ සියල්ලට දවස් ගණනක් යනවනෙ? ඉතින් රෝගියා මරණයට පත්වෙන කොට ඔහුගෙන් හෝ ඇයගෙන් තවත් කෙනෙකුට වෛරසය බෝවීමේ හැකියාව ඉතාම අඩුයි. ඔහුගේ හෝ ඇයගේ පීසීආර් ප්‍රතිඵල පොසිටිව් වෙන්න පුළුවන්. ඒත් වෛරසය බෝවෙන්න පුළුවන් හැකියාව දවස් අට විතර වෙනකොට බොහෝදුරට පහව ගිහිල්ලා. ඔය කරුණු දෙක හොඳින් හිතලා බැලුවොත් ගොඩක් දෙනා මැරෙන්නෙ රෝගය හැදිලා දෙවැනි සුමානෙ, නැත්නම් තුන්වැනි සුමානෙ. ඒ වෙනකොට රෝගියාගෙන් වෛරසය තවත් කෙනෙකුට බෝවීමේ හැකියාව හරිම අඩුයි.
සිරුරක් කෙළින්ම වතුරට වළ දාන්නෙ නෑනෙ. ඉතින් මොනවා හරි වෛරස් තිබුණත් ඒක කෙළින්ම වතුරට යන්නෙ නෑ. භූමදානය කරපු මළ සිරුරකින් වෛරසය පැතිරෙන්න නම් වෛරසය පස්වලින් ෆිල්ටර් වෙලා, ෆිල්ටර් වෙලා යන්න ඕනෙ. එහෙම වෙනකොට තිබුණු වෛරස් එකත් නැතිවෙන්න තමයි චාන්ස් එක තියෙන්නෙ. විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ප්‍රකාරව සිරුරක් මිහිදන් කරන්නෙ වෛරස නාශක ඉහලා, සිරුර ප්ලාස්ටික බෑගයක දාලා. වෛරස් තිබුණත් ඒවා මැරෙනවා වෛරස් නාශකවලට. කොවිඩ් වතුරවලින් බෝවෙන රෝගයක් නෙමෙයි, එහෙම එක උදාහරණයක්වත් මම දන්නේ නෑ.
අපි නිකමට හිතමු, පස්වලින් බේරිලා, බේරිලා වෛරසය වතුරට ආවා කියලා. ඒත් එතකොට වතුරවලින් වෛරසය තනුක වෙනවා. අඩු ගාණෙ වෛරස් අංශු දාහක්වත් එන්න ඕනෙ රෝගය බෝවෙන්න. කාටහරි ඔහොම බයක් තියෙනව නම් ඒ බය තියෙන්න ඕනෙ උණසන්නිපාතය, කොලරාව වගේ රෝගවලට. ඒ ඔක්කොම අසූචිවලින් බෝවෙන රෝග. රෝගය හොයාගන්නෙ ආසාදනය වෙලා දවස් ගාණකට පස්සෙ. ඔය කාලෙ අසූචි එක්කත් වෛරසය පැතිරෙනවා. ඒ කියන්නෙ ඒ අසූචිත් වතුරවලට යනවනෙ. ඒක ගැන හිතන්නෙ නැතුව ඇයි මේ මළ සිරුරු ගැන කියන්නෙ.
අපි හැමදෙනාගෙම අරමුණ, මේ රෝගය බෝවීම වළක්වාගැනීම. ඒකට මේ රෝගය බෝවෙන්නෙ කොහොමද, පටන් ගන්නෙ කොහොමද, රෝග ලක්ෂණ එන්නෙ කොහොමද කියන මේ සේරම තේරුම්ගන්න ඕ‌නෙ. ඒ කිසිදෙයක් නැතුව අපි වතුර ගැන විතරයි කතා කරන්නෙ. රෝගය පාලනය කියන්නෙ රෙගුලාසි දැමීම විතරක් නෙමෙයි, මිනිස්සුන්ගෙ විශ්වාසවලට ගරු කරමින් කළ යුතු දෙයක්.’

අපට අයිතියක් තිබේ ද?

විද්‍යාව වෙනුවට පැණිවලට හුරේ දමන්නට ජනතාව පොළඹවමින්, බලය සොයන ආණ්ඩුවකින් ජීවත් වීමේ අයිතිය පවා තහවුරු නොවන බව මහර බන්ධනාගාර උදාහරණයෙන් තහවුරු වී තිබියදී, ආදාහන හෝ භූමදාන අයිතීන් ගැන අමුතුවෙන් තර්ක කිරීමෙන් ඵලක් නැත. එහෙත් මිනිසුන් ගැනත්, අනෙකාට ගරු කිරීම ගැනත් මිනිසුන් තේරුම් ගත යුතුය. අප පෙනී සිටින්නේ ඒ වෙනුවෙන් ය.
Previous articleවතුකම්කරු වැටුප 1000 කරන්න අමතර වැඩත් කරන්න කියයි
Next articleලෝකයටම දුර්ලභ ශාකයක් අධිවේගයට බිලිවෙයි : පරිසරවේදීන්ගේ විරෝධය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here