ලෝකයටම දුර්ලභ ශාකයක් අධිවේගයට බිලිවෙයි : පරිසරවේදීන්ගේ විරෝධය

(හසරිඳු රාජපක්ෂ)
ගම්පහ දාරළුවෙන් හමුවු ලෝකයෙන්ම වඳවී ඇති බවට සිතා සිටි ශාකයක් මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් පරිසරවේදීහු විරෝධය පළ කරති.
එම ශාකය ඉවත්කිරීම පෞද්ගලික සමාගමකට පවරා ඇති අතර එලෙස එම කාර්යය පෞද්ගලික සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ද ඔවුහු සිය විරෝධය පළ කර සිටිති.
කෲඩියා සිලනිකා (Crudia zeylanica) නැමති මෙම ශාකය මෙලොවින් වඳ වී ගිය බවට සැක කර තිබුණු අතර එය පසුගිය කාලසීමාව තුළ ගම්පහ ප්‍රදේශයේ ඇති බවට පරිසරවේදියකු විසින් හඳුනාගන්නා ලදී. මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පහසුකරගැනීම සඳහා මෙම ශාකය ඉවත් කිරීමට තම විරුද්ධත්වයක් නොමැති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සුරියබණ්ඩාර මහතා මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දී තිබේ.
මෙම ශාකය ඉවත්කර ප්‍රතිස්ථාපනය කිරීම සඳහා මැල්වත්ත ප්‍රොපර්ටි ඩිවලොපර්ස් (පුද්) සමාගම විසින් වනජීවී රාජ්‍ය අමාත්‍යාංශය වෙත කැමැත්ත පළ කර ඇති අතර එම ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇත. කෙසේවෙතත් ලෝකයමට වටිනා මෙවැනි දුර්ලබ ශාකයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම පෞද්ගලික සමාගමකට පැවරීම සුදුසු නොවන බව පරිසරවේදීහු සඳහන් කරති.
පරිසරවේදී සමන්ත ගුණසේකර මහතා මේ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළේය.
” මේ ශාකය ලංකාවට ආවේණික ශාකයක්. අවුරුදු සීයකට පසුව මේ ශාකය හොයාගත්තේ. ඒ වෙනතුරම හැමෝම හිතාගෙන හිටියේ ලෝකයෙන් මෙම ශාකය වදවෙලා කියලා. මේ ශාකය මිල කරන්න බැහැ. කෝටි ප්‍රකෝටි ගණනක් මේ ශාකය වටිනවා. පාරකට වඩා මේ ශාකය වටිනවා.
ලංකාවේ පළමුවැනි වතාවට මෙවැනි දෙයක් සිදුවෙන්නේ. මෙතරම් දුර්ලභ ශාකයක් පාරක් නිසා විනාශ කරන්න යන්නේ පළමුවෙනි වතාවටයි. වනජීවි පනත අනුව ඒක ආරක්ෂිත ශාකයක් ඒ නිසා එයට විරුද්ධ වෙන්නේ නැහැ කියලා වනජීවි එකට නිකම්ම කියන්න බැහැ.
පරිසර අමාත්‍යාශය කියන එක කෑලි කෑලි වලට කඩලා තියෙන නිසා මේ වගේ ප්‍රශ්නයක් කතාකරන්න අවස්ථාව දැන් අඩුවෙලා. මෙවැනි ප්‍රශ්නවලට මැදිහත්වීම පරිසර අමාත්‍යාංශයේ වගකීමක්. මධ්‍යම අධිවේගී මාර්ගයේ පරිසර අධ්‍යයන වාර්තාවක් හරි විදිහට සිදුකළානම් මේ ශාකය ගැන තිබිය යුතුයි.
එහෙනම් පරිසර වාර්තාව තුළ විකල්ප ලබාදී තිබිය යුතුයි. එහෙම දීලා නැහැ කියන්නේ හරි විදිහට පරිසර අධ්‍යයන වාර්තාවක් කරලා නැහැ කියන එක. ඒ වගේම මේ ගහ ආරක්ෂා කරගෙන පාර හදන්නම බැරිද? පොඩ්ඩක් වෙනස්කරන්න බැරිද? අධිවේගී මාර්ගවල ඕනතරම් වංගු තිබෙනවා. ලෝකයටම වැදගත් මේ ශාකය රැකගන්න පොඩ්ඩක් නම්‍යශීලි වෙන්න බැරි මොකද?. වෙන රටවලනම් එහෙම වෙන්නේ නැහැ.
ඒ වගේම මේ ශාකය ගලවා ඉවත්කරන දෙන සමාගම ගැනත් ප්‍රශ්න තිබෙනවා. මේ සමාගම තේරුවේ කොහොමද. මේ ආයතන තමයි මුතුරාජවෙල ගොඩකරන්න යන්නේ. අනිත් එක මේ ශාකය නැවත හඳුන්වාදීමක් කරනවාද ප්‍රතිස්ථාපනය කරනවාද කියලා කිසි දෙයක් සඳහන් කරලා නැහැ. එහෙම කරලා ලෝකයටම වටින මේ ශාකය නැතිකරන්න දෙන්න පුළුවන්ද?”
පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමික් සඳහන් කළේ මෙම ශාකය ප්‍රතිස්ථාපනය කිරීම පෞද්ගලික ආයතනයක් වෙත භාරනොදී එය රාජ්‍ය මැදිහත්වීමකින් සිදුකළ යුතු බවයි.
මධ්‍යම අධිවේගී මාර්ගයට ආදාළ පරිසර ඇගයීම් වාර්තාව සිදුකිරීමේදී මෙම ශාකය තමා ඇතුළු කණ්ඩායමට හමුවු බව පරිසරවේදී හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ මහතා පැවසීය.
එ් මහතා මෙසේ ද කීවේය.
“මධ්‍යම අධිවේගී මාර්ගයට යොදා ගන්නා ප්‍රදේශය සම්බන්ධයෙන් පරිසර තත්ත්ව වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරියට දීලා තිබුණා. ඒ වාර්තාවෙන් කියවුණේ පාරිසරික හානියක් නැහැ කියලා. ඒත් මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත නැවත වතාවක් එම ප්‍රදේශවල පරිසර තත්ත්වයන් ගැන සවිස්තරාත්මක වාර්තාවක් හදන්න යොමුවුණා. ඒ අනුව සිදුකළ අධ්‍යයනයේදී තමයි මේ ශාකය හඳුනාගන්න ලැබුණේ”
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්  එම්.ජී.සී. සුරියබණ්ඩාර මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවසූවේ මෙය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තනිව සිදුකළ දෙයක් නොවන බවත් මෙය පේරාදෙණිය උද්භිද උද්‍යානය ඇතුළු කණ්ඩායමක් සිදුකළ කාර්යයක් බවත් ය.
මෙම ශාක විශේෂය 1998 වසරේ සිට යළි හමුවී නොමැති බවට සඳහන් වන අතර වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ශාක සම්බන්ධ දත්ත ඇතුළත් ලෝක රතු දත්ත නාමාවලියේ මෙම නම සඳහන් වෙයි. එම ශාක විශේෂය 2006 ජාත්‍යන්තර රතු දත්ත නාමාවලියේ (Red Data List) ලොවින් වඳ වී ගිය (Extinct) ශාක විශේෂයක් ලෙස දක්වා ඇති අතර 2012 ජාතික රතු දත්ත නාමාවලිය ද වඳ වී ගිය ශාකයක් ලෙස දක්වා තිබේ.
Previous article2014 – 2018 – 2020 : සජීවී සෛලවල වැඩෙන මාරාන්තික වෛරසයක් !
Next articleපුද්ගලික සේවකයින් විශ්‍රාම යන වයස වැඩි කිරීම ගැන තවම එකඟතාවක් නෑ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here