සෞඛ්‍ය කාර්යමණ්ඩල අනතුරේ – රෝහල්වලින් වෛරස් පොකුරු බිහිවීමේ අවදානමක් !

Photot from - specialty.mims.com
(හසරිඳු රාජපක්ෂ)
සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කොව්ඩ් වෛරසය ආසාදිතයන් බවට පත්වීම ශීඝ්‍රයෙන් සිදුවන අතර, සමාජයේ කොවිඩ් වෛරසය ආසාදිත පොකුරු නිර්මාණය වන ආකාරයට රෝහල්වල වෘත්තීය පොකුරු නිර්මාණය වීමේ තත්ත්වයක් ඇතිවෙමින් පවතින බව සෞඛ්‍ය සේවකයෝ සඳහන් කරති.
කොළඹ ජාතික රෝහල, කළුතර, කළුබෝවිල, රාගම, කෑගල්ල, මහනුවර ආදී රෝහල්වල වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, සුළු සේවකයන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට වෛරසය ආසාදිනය වීම දිගින්-දිගටම වාර්තා වෙමින් පවතී.

ආසාදිතයන් හමුවූ සෞඛ්‍ය මධ්‍යස්ථාන

  • කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙය තුළ එක් දිනකදී 20 කට ආසන්න කාර්ය මණ්ඩල සේවකයන් පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත (මේ වන විට මුළු සංඛ්‍යාව 50 දක්වා වර්ධනය වී ඇත.)
  • කොළඹ ජාතික රෝහලේ වෙනත් අංශවලින් තවත් ආසාදිතයන් හමුවීම
  • මහනුවර රෝහලේ උගුර, කණ, නාසය පිළිබඳ සායනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 13 දෙනෙකු සහ එම වාට්ටුවෙන් එකවර ආසාදිතයන් වාර්තා වීම
  • රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩල පිරිසක් ආසාදිත වීම
  • පානදුර, කේතුමතී රෝහලේ කාර්ය මණ්ඩල පිරිසක් ආසාදිත වීම
  • අෂ්රොෆ් අනුස්මරණ රෝහලේ කාර්ය මණ්ඩල පිරිසක් ආසාදිත වීම
  • සියඹලාණ්ඩුව රෝහලේ කාර්ය මණ්ඩල පිරිසක් ආසාදිත වීම
  • වතුපිටිවල රෝහ‍ලේ කාර්ය මණ්ඩල පිරිසක් ආසාදිත වීම
  • ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසකට වෛරසය ආසාදනය වීම
  • රාගම රෝහලේ කාර්ය මණ්ඩල පිරිසක් ආසාදිත වීම
  • ලග්ගල, පල්ලේගම කොවිඩ් මර්දන මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩල සාමාජිකයන් පිරිසකට වෛරසය ආසාදනය වීම
  • වෛරසය ආසාදිතයන් හමුවීම නිසා අංගොඩ රෝහලේ වාට්ටු කිහිපයක් වසා දැමීම

ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අංශවලින් යෝජනා

සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති සියල්ල එක්ව, තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලීම් කර ඇති අතර, ඔවුන් ඒ වෙනුවෙන් යෝජනාවලියක් ද ඉදිරිපත් කර තිබේ.
  • සෞඛ්‍ය සේවකයන් මෙම වෛරසය ආසාදනය වීමෙන් වළක්වාගැනීම සඳහා ආරක්ෂක උපකරණ ලබාදීම
    සෞඛ්‍ය සේවකයන්ට වෛරසය ආසාදනය වුවහොත්, ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත ක්‍රමවේදයක් අනුගමනය කිරීම
  • සෞඛ්‍ය සේවකයන් රෝගීන් / ආසාදිතයන් වීමේ අවදානම අවම කිරීම
  • සෞඛ්‍ය සේවකයන්ගේ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව සහ මානසික නිදහස වෙනුවෙන් වැඩපිළිවෙලක් ඇති කිරීම
රෝහල් කාර්ය මණ්ඩල වෙනුවෙන් ආරක්ෂිත උපකරණ ලබානොදීම, නිසි පරිදි නිරෝධායන ක්‍රියාවලියට යොමු නොකිරීම සහ සේවක පිරිස අඩු නොකර සියලුදෙනා සේවයේ යෙදවීම තුළ මෙම තත්ත්වය හටගෙන ඇති අතර, මේ සඳහා විසඳුම් ලබාදීම තවදුරටත් ප්‍රමාද වෙමින් පවතින බව සෞඛ්‍ය සේවකයෝ පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩල නියෝජනය කරන වෘත්තීය සමිතිවල ප්‍රධානීහු MediaLK.com සමග මෙසේ අදහස් දැක්වූහ.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
‘රෝහල් කාර්ය මණ්ඩල තුළ මේ රෝගය බහුලව පැතිර යෑමේ අවදානමක් තිබෙනවා. එහෙම වුණත් මේ කාර්ය මණ්ඩල ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර නිසිපරිදි අරගෙන නැහැ. බොහෝ රෝහල්වලට අවශ්‍ය පහසුකම් නැහැ. විශේෂයෙන්ම හෙදියන් ගැන කතා කරනවා නම් ඔවුන්ට ගමනාගමන පහසුකම් නිසි පරිදි ලබාදීලා නැහැ. රෝගය වැළඳුණොත් නිරෝධායනය වෙන්න පහසුකම් සලස්වලා නැහැ. ඒ වගේම නිවාඩු නිසි පරිදි ලැ‌බෙන්නෙ නැහැ. ලැබිය යුතු දීමනා හරියට ගෙවන්නෙ නැහැ. ඒ වගේම දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළත් පාලනයක් නැති තත්ත්වයකට ඇවිත් තියෙන්නෙ. මේ සෞඛ්‍ය ප්‍රශ්න විසඳගන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති සියල්ල එකතුව බලපෑමක් කරන්න අපිට සිදුවෙනවා.’
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය සමන්ත ආනන්ද
‘අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සේවකයෝ ගොඩක් නැහැ. සීමිත ප්‍රමාණයක් ඉන්නෙ. ලංකාව පුරා වෛද්‍යවරුන් ඉන්නෙ 18,000 ක් වගේ ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය ලංකාව පුරා විසිරිලා ඉන්නෙ. ඇත්තටම වෛද්‍ය හිඟයක් තියෙන්නෙ. අනෙකුත් සෞඛ්‍ය සේවකයන් ගත්තත් රෝහල්වල අතිරික්තයක් නැහැ, හිඟයක් තමයි තියෙන්නෙ.
කොවිඩ් කියන්නෙ ශීඝ්‍රයෙන් පැතිර යන රෝගයක්. මෙහිදී සෞඛ්‍ය අංශවලට රෝගය පැතිරීමේ අවදානම ඉතාම ඉහළයි. රෝගියෙක්ව පළමුව ගැටෙන කණ්ඩායම සෞඛ්‍ය අංශ. මේ නිසා අවදානම ඉතාම ඉහළයි. ‍මේ රෝගයෙන් සෞඛ්‍ය අංශ බේරාගැනීම සඳහා වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. උදාහරණයක් විදිහට එංගලන්තය ඇතුළු රටවල්වල මේ රෝගය පැතිරයෑමේදී සෞඛ්‍ය අංශ බේරාගැනීම කෙරෙහි වැඩි අවධානයක් නොදක්වපු නිසා වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය අංශයේ විශාල පිරිසක් එයට ගොදුරු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ රටවල්වල රෝගී සත්කාරක සේවාවලට පිරිස් මදි වුණා.
මේ නිසා සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදෙන උපකරණ සම්බන්ධයෙන් වෙනමම අංශයක් පිහිටුවා දිනපතා ලංකාවේ රෝහල් වෙත ඒවා ලබාදෙන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සෞඛ්‍ය සේවකයන්ගේ දීමනා නිසිපරිදි ලබාදීමත්, ඔවුන්ගේ සේවය අගයකරමින් දීමනාවක් ලබාදීමට පුළුවන් නම් ඊට මැදිහත් වීමත් වැදගත් වෙනවා. එහෙම නැති වුණොත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමත් ගැටළුවක් වේවි.’
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය
‘කොවිඩ් හමුවේ රෝහල් කාර්යමණ්ඩල අනාරක්ෂිත වෙලා තියෙනවා. ඔවුන් ආරක්ෂිත කරන්න රජයෙන් කිසිම වැඩපිළිවෙළක් නැහැ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බේරාගත්තොත් පමණයි රෝගී ජනතාවට ප්‍රතිකාර කරන්න අවස්ථාව ලැබෙන්නෙ. ඔවුන්ව බේරගන්න බැරිවුණොත් රටේ ජනතාව බරපතල අවදානමකට ලක්වෙනවා.
සෞඛ්‍ය කාර්යමණ්ඩල ආරක්ෂා කරගන්න නම් අඩු ප්‍රමාණයක් රාජකාරියට වාර්තා කරන්න කියලා කියනවා. නමුත් එය නිවැරදිව ක්‍රියාත්මක වෙන්නෙ නැහැ, සියල්ලන්ම කැඳවනවා. ඒ වගේම කාර්යමණ්ඩලවලට අවශ්‍ය මාස්ක්, ආරක්ෂිත ඇඳුම් මේවා නිසිපරිදි ලැබෙන්නෙ නැහැ. ඇමතිවරු කියනවා රටේ ජනතාවට එන් 95 මාස්ක් පළඳින්න කියලා. නමුත් සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට සරිලන පරිදිවත් ඒ වර්ගයේ මාස්ක් නැහැ.
ඒ වගේම රටේ විවිධ ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය වරින්-වර ක්‍රියාත්මක කරනවා. එසේ කළ විට සෞඛ්‍ය කාර්යමණ්ඩලයට සේවයට වාර්තා කරන්න නිසිපරිදි ප්‍රවාහන පහසුකම් ලැබෙන්නෙ නැහැ. මේ වගේ තත්ත්වයකදි පොදු ප්‍රවාහනය නවතින නිසා ඔවුන් අපහසුතාවට ලක්වෙනවා. කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස දැනට රෝහල් 64 ක් පමණ නම් කරලා තියෙනවා. නමුත් මේ මධ්‍යස්ථානවල පවා පහසුකම් හරි විදිහට ලැබෙන්නෙ නැහැ. අපි බලපෑම් කරන්න ඕනෙ ඒවා ගන්න‍. මේ වනවිටත් අධි අවදානම් ප්‍රදේශ රැසක් තියෙනවා. නමුත් ඒ ප්‍රදේශවල කාර්යමණ්ඩලයටවත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නෙ නැහැ.
ඒ වගේම ඇතැම් ප්‍රභූවරු ප්‍රතිකාර ගන්න හෝටල්, රෝහල් කාර්ය මණ්ඩල වෙන්කරගෙන තියෙනවා. නමුත් රෝහල් කාර්යමණ්ඩලය රෝගී වුණාම ඔවුන්ට ප්‍රතිකාර ලබාදෙන්න පහසුකම් සලසන්නෙ නැහැ. ඒ වගේම සෞඛ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා ඇතුළු දීමනා සීමා කරලා තියෙනවා. මේ නිසා සෞඛ්‍ය කාර්යමණ්ඩලය දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.’
සෞඛ්‍ය කාර්යමණ්ඩල පත්ව සිටින දුෂ්කරතාවය සම්බන්ධයෙන්  සෞඛ්‍ය අමාත්‍යවරිය සහ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්කරගැනීමට අවස්ථා කිහිපයදී උත්සහ කළද එය අසාර්ථක විය.
මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතාගෙන් විමසීමේදී හෙතෙම සඳහන් කළේ මෙය අනිවාර්යෙන්ම අවධානය යොමුකළ යුතු කාරණයක් බවය.
“රෝහල් කාර්ය මණ්ඩල ගැන අපි අනිවාර්යෙන්ම අවධානය යොමුකළ යුතු වෙනවා. අයි.ඩී.එව් රෝහල ගත්තොත් එයට පැමිණෙන රෝගීන්ගෙන් ආසාදනය වු රෝගීන් බව අපි දන්නවා. එවිට කිසිම ප්‍රශ්නයක් ඇති නොවී ඔවුන් සමග කටයුතු කරන්න රෝහල් කාර්ය මණ්ඩලයට හැකියාව තිබෙනවා. නමුත් අනිකුත් රෝහල් වල වෙනත් සායන සඳහා පැමිණෙන රෝගීන් අතර හෝ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ට මෙම වෛරසය ආසාදනය වී තිබෙන්නට පුළුවන්. ඔවුන් රෝහලට පැමිණි පසුවයි අපි ඒ බව දැනගන්නේ.  කොහොම වුණත් මේ තත්ත්වය සම්පුර්ණයෙන්ම නවත්වන්න අමාරුයි. කුමන තත්ත්වයක් යටතේ වුවද රෝහල් කාර්ය මණ්ඩලය ආරක්ෂාකරගැනීමට තිබෙන වැඩපිළිවෙල ශක්තිමත් කළ යුතු වෙනවා. මේ තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යතුමිය සමගත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.”
Previous articleපර්යේෂණ ක්‍රියාවලියෙන් ඉවත් කළ කෑගල්ලේ පැණිය ආණ්ඩුවේ සැලසුමක් ද?
Next articleභූමදානයට එරෙහි මහාචාර්යවරිය භූගත ජලය පිළිබද සාක්ෂි නැතිව කතා කරයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here