පර්යේෂණ ක්‍රියාවලියෙන් ඉවත් කළ කෑගල්ලේ පැණිය ආණ්ඩුවේ සැලසුමක් ද?

කෑගල්ලේ පුද්ගලයෙකු විසින් නිෂ්පාදනය කළ බවට මාධ්‍ය ආයතන කිහිපයක් මගින් ප්‍රචාරය කළ කොරෝනා පැණිය යනු මිත්‍යාව සමාජගත කිරීමේ දීර්ඝකාලීන සැලසුමක එක් කොටසක් බවත්, මෙය වර්තමාන ආණ්ඩුවේ අමාත්‍යංශ ගැසට් කිරීමේ ක්‍රියාවලියේදී ද පැහැදිලිව පෙනුණු බවත් පශ්චාත් උපාධි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය චමල් ආර්. කුලතුංග අවධාරණය කරයි.
දේශප්‍රේමය වැනි වචන භාවිත කරමින් වර්තමාන ආණ්ඩුව ජනතාව රවටමින් සිටියද, මේ වනවිට එම උපක්‍රමය අසාර්ථක වී ඇති නිසා කොරෝනා වසංගත තත්ත්වයෙන් අසරණ වී සිටින ජනතාව රැවටීම සඳහා මෙම උපක්‍රමය යොදාගනිමින් සිටින බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය. කොරෝනා පැණිය සම්බන්ධයෙන් සිදු කළ මාධ්‍ය ප්‍රචාර අතරතුර, හෙළ වෙදකම යනුවෙන් වචනයක් ද දිගින් දිගටම භාවිත කෙරිණි. මේ සම්බන්ධයෙන් විමසීමේදී වෛද්‍ය කුලතුංග මෙසේ සඳහන් කළේය.

හෙළ වෙදකම

‘දේශීය වෛද්‍ය විද්‍යායතනය ආරම්භ කළේ 1929 වසරේ. ඒ වෙනකොට මෙහෙම හෙළ වෙදකම කියලා සංකල්පයක් තිබුණෙ නෑ. වෛද්‍යානුශාසක ආඥා පනත ඉදිරිපත් වුණේ 1931 වසරේ. එතකොටත් මෙහෙම එකක් තිබුණෙ නෑ. 1956 වසරේදි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා ගෙනාපු සඟ-වෙද-ගුරු-ගොවි-කම්කරු සංවාදය ඇතුළෙත් එහෙම එකක් ගැන අදහස් පළවෙලා නෑ. දැනට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අදාළව තියෙන නෛතික ලියවිල්ල තමයි, 1961 අංක 31 දරන ආයුර්වේද වෛද්‍ය පනත. ඒකෙත් එහෙම එකක් ගැන සඳහනක් නෑ. 2005 – 2015 මහින්ද වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා, ජනාධිපති ධුරය දරපු කාලෙත් එහෙම එකක් තිබුණෙ නෑ. දැන් එකපාරටම එහෙම වචනයක් ඉස්සරහට අරගෙන, ජනතාවට වැරදි පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා.’

නිශ්චිත අදහසක් නෑ – ඇමැති

මේ සම්බන්ධයෙන් MediaLK වෙත අදහස් දක්වමින් දේශීය වෛද්‍ය, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය ඇමැති සිසිර ජයකොඩි පැවසුවේ හෙළ වෙදකම යනු මිත්‍යාවක් නොවන බවත්, එය පාරම්පරික වෛද්‍ය ජාලයක් බවත් ය. මෙරට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව යනු ඉන්දියාවෙන් පැමිණි එකක් පමණක් නොවන බව ද මීට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් අදාළ නෛතික කටයුතුවලදී මෙම වචනය භාවිත නොවීම සහ වර්තමානයේ හදිසියේ භාවිත කිරීමට පටන්ගැනීම සම්බන්ධයෙන් විමසීමේදී ඇමැතිවරයා පැවසුවේ එය අවස්ථානුකූලව සිදුවූවක් විය හැකි බවත්, තමන්ට ඒ පිළිබඳ නිශ්චිත අදහසක් නැති බවත් ය.

අමාත්‍යංශය ගැසට් කිරීම

පශ්චාත් උපාධි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා මෙම මිත්‍යා අදහස සම්බන්ධයෙන් වන ඔහුගේ තර්කයේදී වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අමාත්‍යංශ විෂයයන් ගැසට් කිරීමේ සිට ම මෙම සැලැස්ම ආරම්භ වූ බවයි. අමාත්‍යංශයේ විෂයයන් සහ කාර්යයන් ගැසට් කිරීමේදී දේශීය වෙදකම ප්‍රවර්ධනය කිරීම යනුවෙන් සඳහන් කර ඇති බවත්, මෙය වෙදකමක් ලෙස ලඝු කිරීම අසාධාරණ බවත් සඳහන් කළ සභාපතිවරයා, මෙය විශ්වවිද්‍යාල ආයතන පහකින් උපාධිධාරීන්, ආචාර්ය උපාධිධාරීන් මෙන්ම මහාචාර්යවරුන් ද බිහිකරන වෛද්‍ය ක්‍රමයක් බව අවධාරණය කළේය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය මධ්‍යස්ථාන 980 ක් ඇති බව ද ඔහු සඳහන් කළේය. එසේම ගැසට් නිවේදනයේ සඳහන්ව ඇති ග්‍රාමීය සහ ප්‍රජා සෞඛ්‍ය යන විෂයයන් පළාත් සභාවලට අයත් විෂයයන් බව ද ඔහු පෙන්වා දුන්නේය.
මේ පිළිබඳව විමසීමේදී විෂය භාර ඇමැතිවරයා පැවසුවේ එවැනි කිසිදු ගැටළුවක් නැති බවත්, ඇතැම් පිරිස් මෙම කරුණු පටලවාගෙන ඇති බවත් ය.

කොරෝනා ප්‍රතිකාර ගැන මාධ්‍ය නිහඬයි

ආයුර්වේද වෛද්‍යවරුන් විසින් නාවික හමුදාව තුළ ඇති වූ කොවිඩ් 19 ආසාදිත පිරිසට ප්‍රතිකාර කර, එහි සාර්ථකත්වයක් පෙන්වූ බවත්, මේ වන විට වැලිකඩ බන්ධනාගාරය තුළ හඳුනාගෙන තිබෙන වෛරස් ආසාදිත පුද්ගලයන්ට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සාර්ථකව සිදුකරමින් තිබෙන බවත් පැවසූ වෛද්‍ය කුලතුංග, ඒවා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට අවස්ථාව ඉඩ වෙන් නොකරන මාධ්‍ය, කිසිදු විධිමත් පර්යේෂණයකින් තහවුරු නොවූ කෑගල්ලේ පැණිය සම්බන්ධයෙන් වන ප්‍රචාරක කටයුතුවලට විශාල ඉඩක් වෙන් කරන බව ද අවධාරණය කළේය.
මෙහි ඇති උපක්‍රමය කුමක්ද යන්න එමගින්ම පැහැදිලි වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෙරෝනා මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය පාර්ශ්වයෙන් පිහිටුවා ඇති කමිටුවේ කිසිදු ආයුර්වේද වෛද්‍යවරයෙකු නැති බව ද පෙන්වා දුන් ඔහු, එම කමිටුව නියෝජනය කරන ආයුර්වේද කොමසාරිස්වරයා, පරිපාලන ක්ෂේත්‍රයේ අයෙකු බව ද සඳහන් කළේය.

ලොකු කමිටුවට කවුරුත් නෑ

මෙම කරුණු සම්බන්ධයෙන් MediaLK සමග අදහස් දක්වමින් විෂය භාර ඇමැති සිසිර ජයකොඩි සඳහන් කළේ ආයුර්වේද වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශ කමිටුව නියෝජනය නොකළද, තම අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති කොරෝනා මර්දන කමිටුවේ ආයුර්වේද වෛද්‍යවරුන් සිටින බවයි. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකුගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ කොරෝනා මර්දනයට අදාළ සියලු තීරණ ගනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පිහිටුවා ඇති කමිටුවෙන් බවයි. දේශීය වෛද්‍ය අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති කමිටුව මීට සති කිහිපයකට පෙර වර්තමාන ඇමැතිවරයා විසින් ආරම්භ කළ කමිටුවක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

පැණියේ පර්යේෂණ ගැන ඇත්ත මොකක්ද?

MediaLK – බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිතයන්ට ලබාදෙන ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සාර්ථක ද ඇමැතිතුමා…?
ඇමැති සිසිර ජයකොඩි – ඔව්. ඒවා තමයි විශාල වශයෙන් භාවිතා කරන්නෙ. දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ කොවිඩ් මර්දනය පිළිබඳ ජාතික කමිටුව විසින් යෝජනා කරපු ඖෂධ වර්ග රාශියක් අපේ රටේ බන්ධනාගාර පද්ධතිය පුරාම දීලා තියෙනවා.
MediaLK – මේවා ගැන මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරන්නෙ නැද්ද?
ඇමැති සිසිර ජයකොඩි – ඒ කටයුතු සිදුවෙනවා මම හිතන්නෙ. මට පෞද්ගලිකව ඒවට මැදිහත්වෙන්න වෙලාවක් නෑ.
MediaLK – කෑගල්ලේ පුද්ගලයෙක් හඳුන්වා දුන් පැණියට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලැබිලා තියෙනවද?
ඇමැති සිසිර ජයකොඩි – ඒ ගැන පර්යේෂණ කරන්න මහාචාර්යවරයෙකුගෙ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විද්වත් කමිටුවක් පත්කළා. ඒ කියන්නෙ පර්යේෂණ සඳහා අනුමැතිය ලැබිලා තියෙන්නෙ. බටහිර වෛද්‍ය විද්‍යාවේ ක්‍රමවේද අනුව මේ වගේ පර්යේෂණයක් කරන එක ඉතාම අසීරු කාර්යයක්. ඒකට දීර්ඝ කාලයක් ගතවෙනවා. ලබන සතිය වන විට ඒ පර්යේෂණයේ ප්‍රතිඵල ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.
MediaLK – අදාළ පර්යේෂණවලින් මේ පැණිය ඉවත් කරලා තිබෙන බව ඊයේ දිනයේ මාධ්‍ය වාර්තා කළා. ඔබ ඒ ගැන දැනුවත් නැද්ද ?
ඇමැති සිසිර ජයකොඩි – එහෙම එකක් නෑ. ඒක අසත්‍යයක්.
MediaLK – ජාතික පර්යේෂණ සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතාව උපුටා දක්වමින් තමයි, ඒ මාධ්‍ය වාර්තා පළකරලා තිබුණෙ…?
ඇමැති සිසිර ජයකොඩි – මං හිතන්නෙ නෑ ඒක ඇත්ත කියලා. දැනට එවැනි තීන්දුවක් අරගෙන නෑ.

ජාතික පර්යේෂණ සභා තීරණය

මේ සම්බන්ධයෙන් විමසීමට විශේෂඥ වෛද්‍ය හේමන්ත දොඩම්පහළ සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ විය. විශේෂඥ වෛද්‍යවරයා උපුටා දක්වමින් ඊයේ (20) colombo gazzette වෙබ් අඩවිය එම ප්‍රවෘත්තිය වාර්තා කර තිබුණේ මෙසේ ය.
‘covid -19 වෛරසය පාලනය කිරීම සඳහා රජය විසින් නිර්දේශ කර තිබූ කෑගල්ල ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දුන් දේශීය ඖෂධයක් ලෙස සැකසූ ‘පැණිය’ සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණ කටයුතුවලින් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.
කොවිඩ් මර්දනය කිරීමට මෙරටින් සොයාගත් නව ඖෂධ වර්ග 3ක් පරීක්ෂණ කටයුතු සඳහා ජාතික පර්යේෂණ සභාව (NRC) වෙත භාර දෙන බවට කලින් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබුණත්, පසුගිය 18 වැනිදා පැවති ඒ සඳහා අනුමැතිය ලබාදීමේ හමුවට ඉදිරිපත් කර තිබුණේ ඖෂධ වර්ග 2ක් පමණක් බව එම සභාව පවසයි.
ඒ අනුව මහත් ආන්දෝලනයකට තුඩු දුන් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ දේශීය ඖෂධයෙන් සැකසූ ‘පැණිය’ සම්බන්ධ යෝජනාව ඒ අතර නොවූ බව බව අප කළ විමසුමකදී එම පර්යේෂණ සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා Colombo Gazette වෙත පැවසීය.
covid – 19 වෛරසය පාලනය කිරීම සඳහා රජය විසින් හඳුනාගත් දේශීය ඖෂධ වර්ග මහජනයාට සුදුසුද? නැද්ද? යන්න පිළිබඳව පරීක්ෂා කර බැලීමත්, ඒවාගේ ඉදිරි පරීක්ෂණ කටයුතු වෙනුවෙන් අරමුදල් සැපයීමේ බලයත් පැවරී ඇත්තේ ජාතික පර්යේෂණ සභාවටයි. පසුගිය 18 පැවති එම හමුවට දේශීය ඖෂධ වර්ග 2ක යෝජනා පමණක් ඉදිරිපත්ව තිබුණු බවත්, ඒවා ආචාර්ය හර්ෂ සුබසිංහ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරී නෙරංග අබේසිංහ යන මහත්වරුන්ගේ පමණක් වන අතර, එම දේශීය ඖෂධවල ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දුන් බවත් එම පර්යේෂණ සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා පවසයි. කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ දේශීය ඖෂධ ‘පැණිය’ සම්බන්ධයෙන් පරීක්ෂණය කර වාර්තාවක් නිකුත් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ජාතික පර්යේෂණ සභාව (NRC) වෙත දැනුම් දී ඇති පසුබිමකයි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එම ‘පැණිය’  මෙසේ පරීක්ෂණ කටයුතුවලින් ඉවත්කර තිබෙන්නේ.’
මෙම ප්‍රවෘත්තිය උපුටා දක්වමින් ජාතික රූපවාහිනී සංස්ථා වෙබ් අඩවියද අදාළ පුවත වාර්තා කර තිබිණි. එහෙත් අද උදෑසන වන විට රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන එහි අදාළ පුවත තිබුණේ නැත.

බටහිර – දේශීය එක මතයක !

මෙම ඖෂධය පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේෂ් පවසන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව හෝ දේශීය වෛද්‍ය ක්‍රම අනුව වැඩිදියුණු කරන ලද ඖෂධයක් ජනතාවට ලබාදීමට පෙර, ඊට අදාළ සෞඛ්‍ය නීති සහ එය අනුමත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි.
රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය ද සඳහන් කරන්නේ පිළිගත් පර්යේෂණයකින් පසු මෙවැනි ඖෂධ ජනතාවට ලබාදිය යුතු බවයි. එහෙත් පසුගිය දිනවලදී මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද වීඩියෝ දර්ශනවලට අනුව, මෙම පැණිය ලබාගැනීම සඳහා විවිධ ප්‍රදේශවලින් සිය ගණනක් පැමිණ තිබිණි. කෙසේ වෙතත් ඊයේ (20) අදාළ ඖෂධය නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ නිවස අසලට පැමිණි කෑගල්ල පොලිසියේ නිලධාරීන් එහි රැස්ව සිටි ජනතාව ඉවත් කරනු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශනවල දැක්විණි.

අනුමැතිය ගන්නේ කෙසේද?

එන්නතක් හෝ ඖෂධයක් සඳහා අනුමැතිය ලබාගන්නා පියවර කීපයක් තිබේ. ඒ සඳහා අදාළ ඖෂධයේ සාර්ථකත්වය විද්‍යානුකූලව තහවුරු කිරීම ලෝකයේ පිළිගත් ක්‍රමයයි. ලංකාවේ ද දේශීය සහ බටහිර යන දෙවර්ගයේම නව ඖෂධ සම්බන්ධයෙන් එම පියවර අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඒ අනුව සතුන් යොදාගෙන කරනු ලබන මූලික පර්යේෂණ, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන මිනිසුන් යොදාගෙන කරනු ලබන පර්යේෂණ, විවිධ මට්ටම්වල ප්‍රතිශක්තිය සහිත වැඩි ජනතාවක් යොදාගනිමින් කරනු ලබන පර්යේෂණ යන පියවරවලින් පසු අදාළ පර්යේෂණ වාර්තා ඖෂධ නියාමන ආයතන වෙත ලබාදිය යුතුය. ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් විසින් අදාළ වාර්තා නිරීක්ෂණය කළ යුතුය. ඔවුන්ගේ අනුමැතිය ලැබීමෙන් පසු අදාළ ඖෂධය නිෂ්පාදනය කොට බෙදාහැරීමට අනුමැතිය හිමි වේ.
Previous articleඅධිකරණයකින් වරදකරු කරන තුරු සැකකරු නිර්දෝෂීයි, මගේ නීතිඥ දැනුම අඩුයි – පොලිසිය භාර ඇමැති සරත් වීරසේකර
Next articleසෞඛ්‍ය කාර්යමණ්ඩල අනතුරේ – රෝහල්වලින් වෛරස් පොකුරු බිහිවීමේ අවදානමක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here