අධිකරණයකින් වරදකරු කරන තුරු සැකකරු නිර්දෝෂීයි, මගේ නීතිඥ දැනුම අඩුයි – පොලිසිය භාර ඇමැති සරත් වීරසේකර

යම් පුද්ගලයෙකු අධිකරණයකින් වරදකරු කරන තුරු ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු වන බවත්, මෙවැනි කරුණු සම්බන්ධයෙන් තමන්ගේ නීතිඥ දැනුම අඩු බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර MediaLK වෙත පැවසීය.
පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන බවට පසුගිය 12 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා පවසා තිබිණි. මේ සම්බන්ධයෙන් විමසීමේදී ඇමැතිවරයා සඳහන් කළේ තමන්ට නීතිඥයන් සමග ප්‍රශ්නයක් හදාගැනීමට හෝ ඔවුන්ව තරහ කරගැනීමට අවශ්‍ය නැති බවත්, ඔවුන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ය.

‘ලැජ්ජා-බය හදන්නයි මට ඕනෙ’

ඇමැති සරත් වීරසේකර – මම එතැනදි සැකකරුවන් කියලා කිව්වෙ නෑ. හොඳට බලන්න මම කියපු දේ.’
MediaLK – ඒත් වැරදිකරුවෙක් විදිහට අධිකරණයකින් තීන්දුවක් දෙන්න කලින් ඔවුන්ගේ ඡායාරූප මාධ්‍යය මගින් ප්‍රසිද්ධ කරන බව ඔබ කිව්වා…?
ඇමැති සරත් වීරසේකර – ඔව්. මම එහෙම කිව්වා. අපරාධකරුවන් හඳුනාගත් පසු කියලා මම කිව්වෙ සීසීටීවීවලින් වගේ කරන නිශ්චිත හඳුනාගැනීම් ගැන. අපි ළඟදි දැක්කා, ගෙදර ඇතුළෙ හිටපු කෙනෙක්ව එළියට ඇදගෙන ඇවිත් පොලුවලින් ගහනවා. ඒක පැහැදිලිව කැමරාවල තියෙනවා. මම කිව්වෙ ඒවා ගැන.
MediaLK – ඒත් මේ සාක්ෂි විමර්ශනය කරලා, අධිකරණයකින් තීන්දුවක් දෙනතුරු ඔහු නිවැරදිකරුවෙක්…?
ඇමැති සරත් වීරසේකර – මම ඒක පිළිගන්නවා. ඒත් මේ වගේ දාහක් බලාගෙන ඉද්දි කරන අපරාධ ගැන ඔබ මොකද කියන්නෙ. අපේ සමාජයෙ අද ලැජ්ජාව-බය නෑ. මට ඕනෙ මේ අපරාධ කරන්න කලින් බය හිතෙන තත්ත්වයක් ඇති කරන්න.
MediaLK – ඒත් කිසිම තත්ත්වයක් යටතේ අපිට තීන්දුවක් ගන්න අයිතියක් නෑ, ඒ බලය තියෙන්නෙ අධිකරණයට…?
ඇමැති සරත් වීරසේකර – කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් කරන අත්අඩංගුවට ගැනීමකට අදාළ පුද්ගලයාගෙ ඡායාරූප පෙන්නනවා කියලා මම කියන්නෙ නෑ. ඒ වගේ ඒවා අධිකරණයෙන් ඔප්පු වෙනකම් ප්‍රසිද්ධ කරන්න බෑ. මේක බලන්න, හැමෝම බලන් ඉද්දි කෙනෙකුගෙ අතක්, කකුලක් කපලා, ඒ සැකකරු පැනලා ගිහිල්ලා. සැකකරු අල්ලන්න අපිට මාධ්‍යයේ ඔහුගෙ පොටෝ දාන්න වෙනවා. ඒ වගේ තත්ත්වයන් ගැනයි මම කියන්නෙ.
MediaLK – ඒත් මේ වෙනකොට ඇතැම් මාධ්‍ය, ආචාරධර්මවලට සලකන හැටි දැක්කම, විෂය භාර ඇමැතිවරයා විදිහට ඔබ මේ වගේ බරපතළ ප්‍රකාශයක් කළාම ඔවුන්ට හිතුමතේ වැඩ කරන්න නිදහසක් ලැබෙනවා, දැන් ඔබ මෙහෙම උදාහරණ කිව්වට ප්‍රායෝගිකව වෙන්නෙ ඕක නෙමෙයි කියලා අපි හැමෝම දන්නවා…?
ඇමැති සරත් වීරසේකර – මෙහෙමයි, ජනතාව ඉදිරියෙ අපරාධයක් කළා නම්, මට නම් එතැන සැකකරුවෙක් නෑ, අපරාධකාරයෙක් විදිහට ඒ වැඩේ කරපු කෙනා ඔප්පු වෙලා ඉවරයි. කොහොම වුණත් අධිකරණයෙන් ඔප්පු වෙන සිදුවීම්වලට අදාළ අපරාධකරුවන්ගෙ පොටෝ මම මීඩියාවල දානවා. ඒක නවත්තන්න බෑනෙ. මේ අපරාධ රැල්ල මැඩපවත්වන්න මේ සීමා එක්ක වැඩ කරන්නෙ කොහොමද කියලයි මම හිතන්නෙ. කොහොමත් නීතිඥවරු එක්ක මම මේ ගැන දීර්ඝව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

‘නඩු දාන ගමන් ඡායාරූප පෙන්වනවා’

අදාළ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා පවසා තිබුණේ මෙසේ ය.
‘ළමා අපචාර, කාන්තාවන් දූෂණය කිරීම, මංකොල්ලකෑම, ඉතාම නින්දිත ලෙස පාරෙ මැද්දෙ තියලා පහර දීම් වගේ ප්‍රචණ්ඩ ක්‍රියා කරන සියල්ලන්ම හඳුනාගත් පසුව, ඔවුන්ට නඩු දාන ගමන් මාධ්‍ය තුළින් මේ අයගෙ ඡායාරූප පෙන්වලා මේ අයගෙ විස්තර මාධ්‍යයට නිකුත් කරලා අපි ජනතාව දැනුවත් කරනවා. ඒ තුළින් මම හිතනවා, මින් ඉදිරියට හෝ එවැනි දෙයක් කරනවා නම් තමන්ගේ විස්තර සමස්ත ජනතාව දැනගන්න නිසා ඒ තුළින් ඔවුන් තුළ කිසියම් බියක්, නැත්නම් ලැජ්ජාවක් ඇති වෙයි කියලා.’

ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්

ඇමැතිවරයාගේ මෙම ප්‍රකාශයට නීතිඥ ප්‍රජාවගෙන් මෙන්ම මානව හිමිකම් සහ සිවිල් ක්‍රියාකාරිකයන්ගෙන් ද බරපතළ විරෝධයක් එල්ල විය. ඇමැතිවරයාගේ මෙම ප්‍රකාශය වහාම වෙනස් කරගත යුතු බවත්, එය පැමිණිලි පාර්ශවයටත්, විත්ති පාර්ශ්වයටත් අවාසිදායක වන නින්දිත තීරණයක් බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ යූ.ආර්. ද සිල්වා සඳහන් කර තිබිණි. ඒ පසුගිය 18 දා කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය විසින් මේ සම්බන්ධයෙන් විරෝධය පළකිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ය.
ඇමැතිවරයා පවසන ආකාරයට කටයුතු කළහොත්, එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අධිකරණ සංවිධාන පනත මෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත ද උල්ලංඝනය වන බව නීතිඳවරයා අවධාරණය කර තිබිණි.
යම් සිදුවීමකට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහි චෝදනා පිළිගත් අධිකරණයක් හමුවේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමෙන් පසුව වුවද, අදාළ පුද්ගලයාට අභියාචනා අයිතිවාසිකම් දෙකක් ඇති බවත්, එම අවස්ථා දෙකේදී ද ඔහු වැරදිකරු වුවහොත් ඉන්පසු ඇමැතිවරයා පවසන ආකාරයට කටයුතු කිරීමේ බාධාවක් නැති බව ද මෙම මාධ්‍ය හමුවේදී නීතිඥවරු පැවසූහ.

නිර්දොෂීභාවයේ පූර්ව නිගමනය

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සම්බන්ධයෙන් ය. ඒ අනුව නඩුවක චෝදනා ලැබූ සැකකරුවකු පිළිගත් අධිකරණයක් හමුවේ වරදකරුවකු බව තහවුරු වන තෙක් ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකේ. ඇමැතිවරයා පවසන ආකාරයේ සාක්ෂි තිබුණද, එම සාක්ෂි විමර්ශනයෙන් පසු අධිකරණයකින් වරදකරු කරන තුරු ඔහු සැකකරුවකු බව මේ පිළිබඳව අදහස් දක්වන නීතිඥවරු අවධාරණය කරති.
Previous article(පරාජිත) ජාතික ලැයිස්තු මන්ත්‍රී රතන හිමි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෑල්ලු කරයි !
Next articleපර්යේෂණ ක්‍රියාවලියෙන් ඉවත් කළ කෑගල්ලේ පැණිය ආණ්ඩුවේ සැලසුමක් ද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here