(පරාජිත) ජාතික ලැයිස්තු මන්ත්‍රී රතන හිමි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෑල්ලු කරයි !

2020 අගෝස්තු 05 දා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට අපේ ජනබල පක්ෂය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කොට පරාජය වූ අතුරලියේ රතන හිමියන් එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත්කර තිබේ.
මීට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත්කර ඇත. තම පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා රතන හිමියන් පත්කිරීමට පක්ෂයේ විරෝධතාවක් නොමැති බව එම පක්ෂයේ සභාපති සහ ලේකම්ගේ අත්සනින් මැතිවරණ කොමිසම වෙත යොමු කළ ලිපියක සඳහන් කර ඇත. මහ මැතිවරණය පවත්වා මාස 04 කට පසු මෙම පත්කිරීම සිදු කළ අතර, එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට මෙතෙක් කිසිවකු නම් කර නැත.

අධිකරණයත් හාස්‍යයට ?

අපේ ජනබල පක්ෂයේ ලේකම් ලෙස කටයුතු කළ වේදිනිගම විමලතිස්ස හිමියන් තමන්ගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා යෝජනා කරමින් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමුකර තිබූ අතර, එම මන්ත්‍රී ධුරය සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නම සඳහන් කරමින් පක්ෂයේ තවත් සාමාජිකයන් පිරිසක් කොමිසමට ලිපියක් යොමුකර තිබිණි.
මේ අතර රතන හිමියන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමන්ට ලැබිය යුතු බව පවසා තිබූ අතර, මේ ගැටළුව විසඳාගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව පක්ෂයේ සභාපති සමන් පෙරේරා මාධ්‍යයට පවසා තිබිණි. ඒ අනුව පසුගිය සැප්තැම්බර් 04 වැනිදා මීට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරුණු අතර, මන්ත්‍රී ධුරයට රතන හිමියන් පත්කිරීමත් සමග අදාළ නඩුව ඉල්ලා අස්කරගන්නා බව පක්ෂ සභාපතිවරයා MediaLK වෙත පැවසීය.

14 වැනි ව්‍යවස්ථා සංශෝධනය

1988 වසරේ මැයි 24 වැනිදා සිදු කළ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනය මගින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංකල්පය හඳුන්වා දෙන ලදි. 1947 – 1977 කාලය තුළ මෙරට මැතිවරණ ක්‍රමය ලෙස ක්‍රියාත්මක වූයේ සරල බහුතර නියෝජන ක්‍රමය යි. එම නියෝජන ක්‍රමය යටතේ පත්කළ මන්ත්‍රීවරුන් නමින් පුද්ගලයන් කිහිපදෙනකුට පාර්ලිමේන්තු වරම් හිමි විය. එහෙත් මෙම ක්‍රමය යටතේ පාර්ලිමේන්තු වරම් හිමි වූයේ දේශපාලනඥයන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන්ට ය. එහි ප්‍රතිඵලයක් ලෙස මැතිවරණයකට තරග කිරීමට අකමැති, උගත්-බුද්ධිමත් පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට තිබුණු අවස්ථාව ඇහිරී ගියේය. මේ නිසා 70 දසකය වන විට විවිධ ක්ෂේත්‍රයන්හි කටයුතු කරන උගත්-බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමේ අවශ්‍යතාව පිළිබඳ සංවාදයක් ඇති විය.

ජේ.ආර්ගේ සමානුපාතික ක්‍රමය

1977 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ආසන 168න් 140ක් ලබාගෙන හයෙන් පහක විශාල ජයග්‍රහණයක් ලබාගත්තේය. එම ජයග්‍රහණයත් සමග නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ඇරඹිණි. මේ වනවිට එතෙක් පැවති සරල බහුතර නියෝජන ක්‍රමයේ දුර්වලතා රැසක් හඳුනාගෙන තිබූ අතර, එම නිසා ජේ.ආර්.ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මගින් 1978 වසරේදී හඳුන්වා දුන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කරන ලදි. ඒ අනුව 1978 සිට මෙරට ක්‍රියාත්මක වූයේ සමානුපාතික නියෝජන ක්‍රමයයි.

මන්ත්‍රී ධුර 225 ක් දක්වා ඉහළට

1978 වසරේදී සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නද, මෙම ක්‍රමය යටතේ මුල් වරට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනු ලැබුවේ 1989 වසරේ ය. එම මැතිවරණය පැවැත්වීමට මාස නවයකට පෙර, එනම් 1988 මැයි 24 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනය සිදු කරන ලදි. එම සංශෝධනය මගින් පාර්ලිමේන්තුව සඳහා පත්කරගන්නා මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 225 දක්වා වැඩි කෙරිණි. මෙමගින් හඳුන්වා දුන් ජාතික ලැයිස්තුව නම් ක්‍රමවේදය තුළින් තවත් මන්ත්‍රීවරුන් 29 දෙනෙකුට පාර්ලිමේන්තු වරම් හිමි විය.

ජාතික ලැයිස්තුවේ අරමුණු

ජාතික ලැයිස්තු ක්‍රමය හඳුන්වාදීමේ අරමුණ වූයේ උගත්-බුද්ධිමත් පුද්ගලයන්ගේ සහාය පාර්ලිමේන්තුවේ කටයුතුවලට ලබාගෙන, එමගින් රටට වඩාත් ඵලදායී ව්‍යවස්ථාදායකයක් නිර්මාණය කර ගැනීමයි. මෙමගින් මහාචාර්යවරුන්, ආචාර්යවරුන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විශාරදයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ලබාදීම ප්‍රධාන අරමුණ ලෙස සඳහන් කෙරිණි. ජාතික ලැයිස්තු ක්‍රමය හඳුන්වා දීමේ අරමුණු එවකදී මෙසේ අවධාරණය කරන ලදි.
01) උගත්-බුද්ධිමත් පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව හිමිකර දීම.
02) ඔවුන් තුළ ඇති බුද්ධිමත්භාවය, කාර්යශූරත්වය සහ වෘත්තීයමය හැකියාවන් රට සංවර්ධනය කිරීම සඳහා යොදා ගැනීම.
03) කාර්යක්ෂම සහ විධිමත් පාර්ලිමේන්තුවක් ඇති කිරීම.
04) සුළු ජාතීන්ට වැඩි නියෝජනයක් ලබාදීම.
පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සෑම පක්ෂයකින්ම ජාතික ලැයිස්තුවට ඇතුළත් කෙරෙන අපේක්ෂකයන්ගේ නම් 29ක් මැතිවරණ කොමිසම වෙත ලබාදිය යුතුය. ඉන්පසු පැවැත්වෙන මැතිවරණයේදී එක් එක් පක්ෂය ලබාගන්නා ඡන්ද ප්‍රමාණය සහ ප්‍රතිශතය අනුව මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර බෙදී යයි.

අවභාවිත වන උගත්-බුද්ධිමත් ලැයිස්තුව

1989 පාර්ලිමේන්තු මැතිවරණයේ සිටම සිදුවූයේ මෙම ජාතික ලැයිස්තු ක්‍රමය අවභාවිත කිරීම ය. 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු එහි උච්චතම අවස්ථාව දැකගත හැකි වූ අතර, එහිදී පරාජිත අපේක්ෂකයන් රැසකට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු වරම් ලබාදීමට ආණ්ඩු පක්ෂය නියෝජනය කළ එජාප-ශ්‍රීලනිප හවුල් ආණ්ඩුව කටයුතු කරන ලදි. මෙය ජනතා පරමාධිපත්‍යය බරපතළ ලෙස හෑල්ලුවට ලක්කළ අවස්ථාවක් ලෙස ඉතිහාසගත විය.

එජාපයත් ඒ පාරේ ම යයි ද?

එසේ ම 2020 මැතිවරණයට තරග කොට පරාජයට පත්වූ අතුරලියේ රතන හිමියන් ද ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙකු ලෙස පත්වී තිබේ. දැනට පත්කර නැති එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ද මැතිවරණයට තරග කොට පරාජයට පත් වූ රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා වී තිබුණද, මෙතෙක් එම පක්ෂය අවසන් තීරණයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට දැනුම්දීමක් කර නැත.
Previous articleපරිපාලනය නඩු කියද්දී බණ්ඩාරවෙල විශේෂ අවශ්‍යතා සහිත පාසලේ දරුවෝ කුසගින්නේ !
Next articleඅධිකරණයකින් වරදකරු කරන තුරු සැකකරු නිර්දෝෂීයි, මගේ නීතිඥ දැනුම අඩුයි – පොලිසිය භාර ඇමැති සරත් වීරසේකර

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here