සැකකරුවන් පිළිබඳ ප්‍රසිද්ධ කිරීම ව්‍යවස්ථා විරෝධීයි – නීතිඥයෝ මාධ්‍යයට කියති !

පොලිසිය විෂය භාර ඇමැති සරත් වීරසේකර විසින් සැකකරුවන් මාධ්‍ය මගින් අනාවරණය කිරීමට ගෙන ඇති තීරණය වහාම වෙනස් කළ යුතු බවත්, එය පැමිණිලි පාර්ශ්වයටත්, විත්ති පාර්ශ්වයටත් අවාසිදායක වන නින්දිත තීරණයක් බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ යූ.ආර්. ද සිල්වා පැවසීය.

ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්

අද (18) අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අධිකරණ සංවිධාන පනත, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත ඇතුළු නීති රැසක් උල්ලංඝනය වන බවයි.
යම් සිදුවීමකට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහි චෝදනා පිළිගත් අධිකරණයක් හමුවේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමෙන් පසුව වුවද, අදාළ පුද්ගලයාට අභියාචනා අයිතිවාසිකම් අවස්ථා දෙකක් ඇති බවත්, එම අවස්ථා දෙකේදී ද ඔහු වැරදිකරු වුවහොත් ඉන්පසු ඇමැතිවරයා පවසන ආකාරයට කටයුතු කිරීමේ බාධාවක් නැති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පැවසීය.

අත්අඩංගුවට ගැනීමේ ක්‍රමයත් ප්‍රශ්නයක්

කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය විසින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර, සංගමයේ සභාපති නීතිඥ රංජිත් ලියනගේ මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මාධ්‍ය ද සමග යෑමේ අවස්ථා දැකිය හැකි බවත්, මාධ්‍ය ඉදිරියේ අදාළ සැකකරුවන් ප්‍රශ්න කිරීම බරපතළ වරදක් බවත් ය. සැකකරුවන්ගේ අනන්‍යතාව මේ කිසිදු ආකාරයකින් හෙළිදරව් කිරීම ගැටළුවක් බවත්, එය පැමිණිලි පාර්ශ්වයට වාසියකට වඩා අවාසියක් වන බවත් පෙන්වා දුන් සභාපතිවරයා, හඳුනාගැනීමේ පෙරෙට්ටුවලදී එය අවාසි සහගත ලෙස බලපාන බව ද සඳහන් කළේය.

‘නඩුදාන ගමන් ප්‍රසිද්ධ කරනවා’

පසුගිය 12 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙසේ පවසා තිබිණි.
‘ළමා අපචාර, කාන්තාවන් දූෂණය කිරීම, මංකොල්ලකෑම, ඉතාම නින්දිත ලෙස පාරෙ මැද්දෙ තියලා පහරදීම් වගේ ප්‍රචණ්ඩ ක්‍රියා කරන සියල්ලන්ම හඳුනාගත් පසුව, ඔවුන්ට නඩුදාන ගමන් මාධ්‍ය තුළින් මේ අයගෙ ඡායාරූ‍ප පෙන්වලා මේ අයගෙ විස්තර මාධ්‍යයට නිකුත් කරලා අපි ජනතාව දැනුවත් කරනවා.
ඒ තුළින් මම හිතනවා මින් ඉදිරියට හෝ එවැනි දෙයක් කරනවා නම් තමන්ගේ විස්තර සමස්ත ජනතාව දැනගන්න නිසා ඒ තුළින් ඔවුන් තුළ කිසියම් බියක්, සැකක් නැත්නම් ලැජ්ජාවක් ඇති වෙයි කියලා. ඒක තමයි අපේ පරමාර්ථය. 118 දුරකතන අංකයෙන් පුළුවන් ඕනෑම කෙනෙකුට අමතන්න. ඒ විදිහට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් අපි ශක්තිමත් කණ්ඩායම් සහ වාහන පහසුකම් සමග එසැනින් එතැනට ගිහිල්ලා ඒ අපරාධකරුවන් අල්ලන්න පුළුවන් ක්‍රියාදාමයකුත් සකස් කරනවා.’
මෙවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් විමසීමට හිටපු නාවික හමුදා නිලධාරියකු ද වන ඇමැතිවරයා සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළද, ඔහුගේ ජංගම දුරකතනයට ප්‍රතිචාර දැක්වූ ඇමැතිවරයාගේ කාර්යමණ්ඩල නිලධාරියා දිගින් දිගටම පැවසුවේ ඇමැතිවරයා රැස්වීම්වල සිටින බවයි. රැස්වීම්වල සිටින අවස්ථාවලදී දුරකතනය ඔස්සේ කතා කිරීම ඇමැතිවරයා ප්‍රතික්ෂේප කරන බව ද ඔහු සඳහන් කළේය.

නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සම්බන්ධයෙන් ය. ඒ අනුව නඩුවක චෝදනා ලැබූ සැකකරුවකු පිළිගත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු බව තහවුරු වන තෙක් ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 11 වැනි වගන්තියේ ද ඒ බව මෙසේ සඳහන් වේ.
‘දණ්ඩන වරදක් සම්බන්ධයෙන් චෝදනා ලබන සෑම පුද්ගලයෙකුටම, නීත්‍යනුකූල විවෘත අධිකරණ විභාගයකින් වරදකරු බව ඔප්පු වන තෙක් නිර්දෝෂි පුද්ගලයෙකු ලෙස සලකනු ලැබීමටත්, ඒ අධිකරණයේදී තම නිදහසට කරුණු දැක්වීමට වුවමනා සියලු අවශ්‍යතා නොඅඩුව ලැබීමටත් හිමිකම් ඇත්තේය. යම් වරදක් හෝ ප්‍රමාද දෝෂයක් කිසිවකුගෙන් සිදු වූ අවස්ථාවේදී එම කාලයේ පවතින ජාතික හෝ අන්තර්ජාතික නීතියේ එම වරද හෝ ප්‍රමාද දෝෂය දණ්ඩනය වරදක් සේ සඳහන්ව නොතිබුණේ නම්, එම වරදට හෝ ප්‍රමාද දෝෂයට ඔහු වරදකරුවකු ලෙස නොසැලකිය යුතුය. දණ්ඩන වරද කළ කාලයේදී වලංගුව පැවති දඬුවමකට වඩා වැඩි දඬුවමක් එවැනි වරදකරුවකු උදෙසා නොපැනවිය යුතුය.’

ජනමාධ්‍ය ආචාරධර්ම

පිළිගත් ජනමාධ්‍ය ආචාරධර්මවලට අනුව ද ඇමැතිවරයා කියන ආකාරයට සැකකරුවන්ගේ අනන්‍යතා හෙළිදරව් කිරීම වරදකි. මෙරට මාධ්‍ය ආයතන පිළිගන්නා කර්තෘ සංසද වෘත්තීය ප්‍රතිපත්ති මාලාවේ ඒ බව සඳහන් වන්නේ මෙසේ ය.
‘අපරාධ හා අපරාධ නඩු පිළිබඳ තොරතුරු වාර්තා කිරීමේදී ප‍්‍රකාශන නීතියෙන් හා පොදුජන යහපත පිළිබඳ සාධකයෙන්ද යන දෙවිදියෙන්ම අවසර ලැබෙතොත් විනා, එසේ නොවේ නම්, ලිංගික අපරාධවලට ලක්වූවන්ගේ නම් හෙළිදරව් නොකළ යුතුය. සාපරාධී වරදක් සම්බන්ධයෙන් චෝදනා ලත් වයස අවුරුදු 16 ට අඩු හා පෙර දඬුවම් නැති කිසිදු බාලයකුගේ නම, කරුණු දැන-දැනම අනාවරණය නොකළ යුතුය. අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා හෝ දඬුවම් හෝ ලැබූ පුද්ගලයකුගේ ඥාතීන්ගේ අනන්‍යතාව ඔවුන්ගේ කැමැත්ත නැතිව හෙළිදරව් නොකළ යුත්තේය.’

මහජන යහපත යනු කුමක්ද?

එසේම අදාළ වෘත්තීය ප්‍රතිපත්ති මාලාවේ පැහැදිලිව සඳහන් වන්නේ මහජන යහපතට තුඩු නොදේ නම්, එම කරුණු අනාවරණය නොකළ යුතු බවයි. සැකකරුවකුගේ අනන්‍යතාව අනාවරණය කිරීමට ද එය අදාළ වේ. මාධ්‍ය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන වෙරිටේ රිසර්ච් ආයතනය මගින් මෙම ආචාරධර්ම පිළිබඳව නිකුත් කරන ලද වාර්තාවක මහජන යහපත යන්න මෙසේ විග්‍රහ කර ඇත.
‘මහජන යහපත / මහජන බැඳියාව යනු මහජන අභිරුචියට තුල්‍ය වූවක් නොවේ. මහජන යහපත මගින් බලාත්ප්‍රවේශයක් සාධාරණීකරණය කෙරෙන්නේ නම්, එය බරපතළ, යථායෝග්‍ය මහජන යහපතක් වනු විනා, හුදු කුතුහලය නොවිය යුතුය.’
Previous articleනීතිඥවරුන්ගේ ප්‍රශ්නයට වොයිස් කට් දෙන්න නීතිඥ සංගමය බෑ කියයි !
Next articleදුම්රියෙන් වැලි ප්‍රවාහනය පාඩුවට කරන්නැයි ඇමැතිගෙන් නියෝගයක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here