නීතිඥවරුන්ගේ ප්‍රශ්නයට වොයිස් කට් දෙන්න නීතිඥ සංගමය බෑ කියයි !

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 16 වැනිදා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු වාරයේදී රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය වන නීතිපති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මෙනවිය වෘත්තීය ආචාර ධර්ම කඩකරමින් කටයුතු කර ඇතැයි බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු පවසති.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති දප්පුල ද ලිවේරා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස යන මහත්වරුන්ට ලිපියක් යොමුකරමින් ඔවුන් මේ බව සඳහන් කර තිබේ.
නීතිඥ සේනක පෙරේරා , නීතිඥ කේ.එස් රත්නවේල්, නීතිඥ පාලිත බණ්ඩාර, නීතිඥ නාමල් රාජපක්ෂ, නීතිඥ අචලා සෙනෙවිරත්න, නීතිඥ චූලා රන්ජීව අධිකාරි, නීතිඥ තම්බයියා ජේ. රත්නරාජා සහ නීතිඥ ලුතීෆ් සයිනූල් යන මහත්වරුන් මෙම ලිපිය යොමු කර ඇත.
16 වැනිදා විවෘත අධිකරණයේ නඩුව කැඳවු අවස්ථාවේ නිශාරා ජයරත්න මෙනවිය විසින් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට වෘත්තීය ආචාර ධර්මවලට පටහැනිව සහ ⁣ද්වේශ සහගත ලෙස “NGO කාරයන්ට ඕනෑ හැටියට නඩු කළ නොහැකි බව” ප්‍රකාශ කළ බව එම නීතිඥවරු සඳහන් කරති.
එසේම තමන් පෙනී සිටින්නේ අගතියට පත් කවුරුන් වෙනුවෙන්ද යන්න ප්‍රශ්න කරමින් වෘත්තීය ගෞරවයට හානිවන ලෙස හැසිරෙමින් කටයුතු කරන ලද බවද ඔවුහු පෙන්වා දෙති. මෙසේ කටයුතු කිරීමෙන් වින්දිතයන්ගේ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින ලද නීතිඥවරුන් ලෙස තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් කඩ කරමින් ක්‍රියා කිරීම දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බවත්, මෙසේ වෘත්තීය අචාරධර්ම කඩ කරමින් අධිකරණය තුළ කටයුතු කිරීම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට කරනු ලබන දැඩි අගතියක් බවත් ඔවුහු පෙන්වා දෙති.
මෙය මාධ්‍ය මගින් ප්‍රචාරය වීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්වී සිටින බවද එබැවින් මෙවැනි ක්‍රියා ඉදිරියට සිදු නොවීම සඳහා විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටින බවද එම නීතිඥවරු අදාළ ලිපිය මගින් ඉල්ලා සිටිති.
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සම්බන්ධ කරගත් අතර, ඒ මහතාගෙන් නිශාරා ජයරත්න මෙනවිය සම්බන්ධ සිද්ධිය ගැන විමසූ විට පැවසුවේ “අපි මීඩියාවලට වොයිස්කට් දෙන්නේ නෑ” යනුවෙනි.
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සම්බන්ධ කරගැනීමට අවස්ථා ගණනාවකදී උත්සහ කළ නමුත් දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.
Previous articleආණ්ඩුවෙන් බඳවාගත් උපාධිධාරීන්ගේ දීමනාවල ප්‍රමාදයක්
Next articleසැකකරුවන් පිළිබඳ ප්‍රසිද්ධ කිරීම ව්‍යවස්ථා විරෝධීයි – නීතිඥයෝ මාධ්‍යයට කියති !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here