ආණ්ඩුවෙන් බඳවාගත් උපාධිධාරීන්ගේ දීමනාවල ප්‍රමාදයක්

(නිලූක සඳුන් පද්මසිරි)

ආණ්ඩුව විසින් සැප්තැම්බර් මාසයේදී උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ බඳවාගනු ලැබූ ඇතැම් අභ්‍යාසලාභී උපාධිධාරීන්ට නොවැම්බර් මාසයට ගෙවිය යුතු දීමනාව මෙතෙක් ලබාදී නැතැයි එසේ බඳවා ගනූ ලැබූ උපාධිධාරීහු චෝදනා කරති.
බඳවාගැනීමෙන් පසු ගෙවුණු මාස කිහිපයේදීම මෙවන් තත්ත්වයක් තිබූ බව සඳහන් කරන ඔවුහු නිසි දිනට තම දීමනාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිති.
2020 සැප්තැම්බර් මාසයේ බඳවාගත් උපාධිධාරීන්ට බොහෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් පසුගිය මාසයට අදාළ දීමනාව තවමත් ලබාදී නැතැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා MediaLK වෙත පැවසීය.
ඊට පෙර මාසවලදී එම දීමනාව නිසි දිනයට නොලැබුණ බව ද මේ පිළිබඳව අවධානය යොමු කර එම දීමනාව සෑම මසකම පස්වැනිදාට පෙර ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද ඔහු කීවේය.
ඔහු මෙසේද කීවේය.
“මෙම උපාධිධාරීන් මාර්තු තමයි බඳවාගන්න හිටියේ. ඒත් සැප්තැම්බර් තමයි බඳවාගත්තේ. නමුත් සල්ලි වෙන් කළේ මාර්තු ඉඳලා. හැම මාසයේම 1-10 අතර තමයි මෙම දීමනාව දෙන්න තියෙන්නේ. අද දෙසැම්බර් 17 තවම ඒ දීමනාව ලැබිලා නෑ. ඒ වගේම මේ හම්බෙන්න තියෙන්නේ ගිය මාසේ දීමනාව. පහුගිය කාලෙම මෙහෙමයි. දෙන්නේ මාසයේ 15-16 පහුවුණාම. අනික සල්ලි දෙන්නේ අතට. අපි කියන්නේ ගිණුම්ගත කරන්න කියලා. කොරෝනා තත්ත්වයත් එක්ක. ඒ වගේම පස්වැනිදාට පෙර ඒ දීමනාව ලබාදෙන්න කියලා අපි ඉල්ලනවා. මේ ගැන ඊයෙත් අමාත්‍යාංශය එක්ක කතා කළා. තවම නිසි පිළිතුරක් නෑ.”
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් ආලෝක බණ්ඩාර මහතා පැවසූවේ සමහර තැන්වල යම් යම් ප්‍රමාද විය හැකි බවයි. එසේ නමුත් සෑම තැනකම එවන් ප්‍රමාදයන් ඇති බවට කිව නොහැකියැයි ඔහු සඳහන් ක⁣ළේය.
එක් එක් ගෙවීම් සම්බන්ධයෙන් සහ පුහුණු උපාධිධාරීන්ගේ පැමිණීම් සම්බන්ධයෙන් වාර්තා ලබාගැනීම වැනි කරුණු මත එම ප්‍රමාදයන් සිදුවිය හැකි බව පෙන්වා දුන් ඒ මහතා ඒ ඒ වාර්තා ප්‍රමාද වීමත් සමග එම දීමනා ලබාදීම් ප්‍රමාද විය හැකි බවද පැවසීය.

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වීමත් සමග එක්ලක්ෂ පනස් දහසක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහනක් ලෙස මෙය ආරම්භ විය. රැකියා පනස් දහසක් රැකියා විරහිත උපාධිධාරීන් සඳහා වෙන් කරන බවත් ඉතිරි රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගනුයේ සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් බවත් ආණ්ඩුව එහිදී ප්‍රකාශ කළේය.
මහ මැතිවරණයට පෙර මෙම පත්වීම් ලබාදීමට නියමිතව තිබූ නමුත් 2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහන අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නියම ක⁣ළේය. ඉන්පසු එම වැඩසටහන අත්හිටුවන ලදී.
උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා සුදුස්සන් තෝරා ගැනීම පෙබරවාරි මස මුල් සතියේ ආරම්භ කරනු ලැබූ අතර ජනාධිපතිවරයාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම වැඩසටහනේ පරමාර්ථය බව එම කාලයේදී ආණ්ඩුව සඳහන් ක⁣ළේය.
රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය අගෝස්තු 16 වැනිදා ජනාධිපති කාර්යාලයීය වෙබ් අඩවියේ පල කරනු ලැබූ අතර තෝරා ගනු ලැබූවන්ට ලිපි යැවීම 17 වැනිදා ආරම්භ විය. පත්වීම්ලාභීන් සැප්තැම්බර් 02 දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු බවත් සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නම් ලේඛනයේ ඇතුළත්ව නැත්නම් ජනාධිපති කාර්යාලයෙන් විමසීමට හැකියාව ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය එහිදී නිවේදනය කළේය. එම අවස්ථාවේ පත්වීම් නොලද රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක් කළ අතර එම වැඩසටහන යටතේ තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා ප්‍රදානය කිරීමට අගෝස්තු 19 වැනිදා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණ.
ඉන්පසු එම උපාධිධාරීන් 60,000 දෙනා බඳවා ගැනීම සංකේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සැප්තැම්බර් 02වැනිදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. එදින උපාධිධාරීන් 50,177කට පත්වීම් ලැබුණු අතර එහි රැකියාලාභී කලා උපාධිධාරීන් සංඛ්‍යාව 31,172ක් බවත් අභ්‍යන්තර උපාධිය ලත් 29,156ක් සහ බාහිර උපාධිලාභීන් 20,322ක් පත්වීම් ලැබූ බවත් භික්ෂුන් වහන්සේ 1000කට ද පත්වීම් ලැබුණු බවත් ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළේය.
සෙසු උපාධිධාරීන් අතර වාණිජ අංශයේ 1839ක්, කළමනාකරණ 7278 දෙනකු, විද්‍යා 4494 දෙනකු, දේශීය වෛද්‍ය 143ක් සම සෞඛ්‍ය 161 දෙනකු, පරිගණක තාක්ෂණය 989 දෙනකු, ඉංජිනේරු සහ නීති 233 දෙනකු සහ ගණකාධිකරණ ඩිප්ලෝමාධාරීන් 1906 දෙනකු සිටින බවද එම කාර්යාලය එම අවස්ථාවේ නිවේදනය කළේය.
පත්විම්ලාභීහූ නායකත්ව, කුසලතා සහ ආකල්ප වර්ධන පුහුණුවකට යොමු කරන බවත් වසරක පුහුණුව අවසානයේ ග්‍රාමීය හා වතු පාසල්, ගොවිජන සේවා මධ්‍යස්ථාන, ප්‍රාදේශීය වාරි මාර්ග කාර්යාල, වනජීවි කාර්යාල, දේශීය ආයුර්වේද රෝහල්, ග්‍රාමීය රෝහල්, ඩිස්පැන්සරි, සුළු අපනයන භෝග කාර්යාල වැනි ග්‍රාමීය අංශයට ඝෘජුව සම්බන්ධ ආයතන වෙත අනුයුක්ත කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලය පැවසීය.

 

Previous articleඅසත්‍ය ප්‍රකාශවල ඇත්ත මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය ජනතාවට කියයි !
Next articleනීතිඥවරුන්ගේ ප්‍රශ්නයට වොයිස් කට් දෙන්න නීතිඥ සංගමය බෑ කියයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here