අසත්‍ය ප්‍රකාශවල ඇත්ත මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය ජනතාවට කියයි !

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර ඇතැයි ඇතැමුන් සමාජගත කර ඇති චෝදනාව පදනම් විරහිත සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක් බවත් එම සැලසුම් ක්‍රියාත්මක කිරීම කොමිෂන් සභාව ප්‍රමාද නොකළ බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභා සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විදුලි බලාගාර සැලැසුම් සහ එම බලාගාරවලට මිල කැඳවීම් සඳහා අනුමැතිය ලබාදීමෙන් නොනැවති එම සැලසුම් ක්‍රියාත්මක කිරීම ගැන අධීක්ෂණය කර ඒවා නොපමාව ක්‍රියාත්මක කරන ලෙස කොමිෂන් සභාව අදාළ පාර්ශවයන්ට අවධාරණය කළ බව ද එම සංගමය කියයි.
“ශ්‍රී ලංකා විදුලිබල පනතට අනුව විදුලි ජනන සැලසුම් අනුමත කිරීම සහ අනුමත විදුලි ජනන සැලසුමේ එන විදුලි බලාගාර සදහා මිල ගණන් කැඳවීමේ (Request For Proposal) අනුමැතිය සහ මිලදී ගැනීමේ ගිවිසුමට (Power Purchasing Agreement) අනුමැතිය ලබා දීම කොමිෂන් සභාවට පැවැරේ. ඒ අනුව කොමිෂන් සභාව විසින් අඩු වියදම් බලාගාර ඉදිකිරීම සදහා ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය පූර්ණ සහාය හා අනුමැතිය ද ලබා දී තිබේ.” යැයි එහි සඳහන් වෙයි.
දිගුකාලීන අඩු වියදම් විදුලි ජනන සැළසුම් යටතේ 2016-2020 කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙගාවෝට් තුන් සීයක (300MW) ප්‍රධාන විදුලි බලාගාර 3ක් සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලා ඇති බව එහි දැක්වෙයි.

LNG බලාගාරය

මෙගාවෝට් තුන් සීයක (300MW) පළමු ද්‍රවිකෘත ස්වභාවික වායූ (LNG) බලාගාරය ඉදිකිරීම සදහා මිල ගණන් කැඳවීමේ (Request For Proposal) අනුමැතිය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් 2016 වසරේ නොවැම්බර් 15 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලා සිටි බවත් දින දෙකක් තුළ එනම් එම මාසයේම 17 වැනිදා ඒ සදහා වන අනුමැතිය කොමිෂන් සභාව විසින් ලබා දී ඇති බවත් එම සංගමය සඳහන් කරයි.
එහෙත් මිල ගණන් කැඳවීමේ කටයුතු සඳහා වසර හතරක් ප්‍රමාද කර ඇතැයි ද එහි මිලදී ගැනීමේ ගිවිසුමට (Power Purchasing Agreement) අනුමැතිය සදහා මෙම කොමිසමට යොමු කර ඇත්තේ මේ වසරේ ඔක්තෝබර් 09 වැනිදා බව ද අදාළ සංගමය පවසයි. එලෙස යොමුකළ දිනයෙන් (ඔක්තෝබර් 09) පසුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව රැස්වූ පළමු රැස්වේදීම එනම් නොවැම්බර් 25 වැනිදාම ඊට අනුමැතිය ලබා දී ඇතැයි එම සංගමය කියයි.

දෙවැනි LNG බලාගාරය

දිගුකාලීන විදුලි ජනන සැලැස්ම යටතේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කරන ලද මෙගාවෝට් තුන් සීයක (300MW)  දෙවන ද්‍රවිකෘත ස්වභාවික වායූ (LNG) බලාගාරය ඉදිකිරීම සදහා මිල ගණන් කැඳවීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය 2017 වසරේ ජූනි 29 වැනිදා තීරණය ලබා ගෙන තිබුණ ද එය වසර තුනකට අධික කාලයක් ප්‍රමාද කර ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.
එලෙස ප්‍රමාද කිරීමෙන් අනතුරුව මේ වසරේ සැප්තැම්බර් 18 වැනිදා මෙම බලාගාරය සදහා මිල ගණන් කැඳවීමට (Request For Proposal)  කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා තිබූ බවත් ඒ අනුව කොමිෂන් සභාව විසින් මාසයක කාලයක් තුළ එනම් ඔක්තෝබර් 22 වැනිදා වන විට ඒ සදහා වන අනුමැතිය ලබා දී ඇති නමුත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද දක්වා මිල ගණන් කැඳවා නොමැති බවත් එම සංගමය අවධාරණය කරයි.
ඉහත අවස්ථා දෙකෙහිදීම අදාළ අනුමැතීන් ලබා දී ඇත්තේ කොමිෂන් සභාව විසින් රටට හා ජනතාවට වඩා හිතකර වන පරිදි යෝජනා කරන ලද අවශ්‍ය සංශෝධන ලංකා විදුලිබල මණ්ඩලය පිළිගැනීමෙන් අනතුරුව බව ද මහජන උපයෝගීතා කොමිෂන් සභා සේවක සංගමය පවසයි.

මෙගාවෝට් තුන් සීයක (300MW) ක නොරොච්චෝලේ ගල් අගුරු බලාගාර දිගුව

කොමිෂන් සභාව අනුමැතිය දුන් 2018-2037 දිගුකාලීන විදුලි ජනන සැලැස්මට අනුව 2022 වසරේ දෙසැම්බර් 31 වැනිදාට මෙගාවෝට් තුන් සීයක ගල් අගුරු බලාගාරයක් සාදා නිමකිරීමට නම් ඊට අදාළව කොමිෂන් සභාවේ අනුමැතිය 2018 වසර මැද භාගය වනවිටවත් ලබා ගත යුතු නමුත් වසර දෙකහමාරක් ප්‍රමාද කර නිසි ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටියට පටහැනිව තරඟකාරී නොවන අයුරින් එක් පාර්ශවයක් සඳහා මෙම බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය ලබාදීමට මෙි වසරේ සැප්තැම්බර් 04 වැනිදා ඊට අදාළ අනුමැතිය සඳහා යොමුකර තිබූ බව එම සංගමය  සඳහන් කරයි. එහෙත් මිළදී ගැනීම් සම්බන්ධයෙන් මිළදීගැනීම් සම්බන්ධ රීති සහ එම පනතේ වගන්තිවලට අනුකූලව කටයුතු කරන ලෙස සහ විදුලිබල පනතට අනුව පැහැදිලි කිරීම් ඉදිරිපත් කරන මෙන් කොමිෂන් සභාව විසින් 2020.10.15 දිනැති ලිපිය මගින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත දන්වා යැවූ බවත් ඊට පිළිතුරු ලිපියක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2020.10.27 දින කොමිෂන් සභාවට යොමු කර තිබූ බවත් එම සංගමය පවසයි. එහෙත් මේ වනවිට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට කොමිෂන් සභා සාමාජිකයන් පත් කර නොමැති හෙයින් එම පිළිතුරු ලිපියට අදාළව අවශ්‍ය පියවර ගැනීම සදහා එය කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.

ප්‍රමාදය සහ ඉතිරිය

2016 වර්ෂයේ සිට විදුලි බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදයක් ඇති බව අමාත්‍ය මණ්ඩලයටත්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයටත් ලිඛිතව කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇති බවත් එම දැනුම්දීම් මත විදුලිබල අමාත්‍යංශ ලේකම්වරයා විසින් 2017 වසරේ ජූනි 15 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලයට ඉදිරිපත් කර ඇති ඇති ලිපිය මගින් විදුලි බලාගාර ඉදිකිරීම ප්‍රමාදයට හේතුව බලාගාර අනුමත කිරීමේ ප්‍රමාදයක් නොව බලාගාර සදහා මිල කැඳවීම් සහ එම බලාගාර ඉදිකිරීම් ප්‍රමාදයක් බව සනාථ කර ඇති බවත් එම සංගමය පෙන්වා දෙයි.
එමෙන්ම ජනතාව වෙත බර පැටවෙන, අධික මිල ගණන් යටතේ මිලදී ගැනීමට පසුගිය කාල සීමාව තුළ කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලූ එහෙත් අනුමැතිය නොදුන් හදිසි විදුලි බලාගාර පිළිබඳව සහ අනවශ්‍ය හදිසි මිළදී ගැනීම් සඳහා අනුමැතිය ලබා නොදීම හේතුවෙන් කොමිෂන් සභාව විසින් ජනතාවට ඉතුරු කර දී ඇති මුදල් පිළිබඳ තොරතුරු ද ඉදිරියේදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද මහජන උපයෝගීතා කොමිෂන් සභා සේවක සංගමය පවසයි.
Previous articleඅතුරුදන්වූවන්ගේ කාර්යාලයේ නව සභාපති පක්ෂපාතී චෝදනා ලත් විනිසුරුවරයෙක් – මව්පියෝ විරෝධය දක්වති !
Next articleආණ්ඩුවෙන් බඳවාගත් උපාධිධාරීන්ගේ දීමනාවල ප්‍රමාදයක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here