විදුලිබල මණ්ඩලයේ යෝජනාව කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි – මහජන උපයෝගීතා කොමිසමත් අමතකයි !

(හසරිඳු රාජපක්ෂ)

ලංකා විදුලිබල මණ්ඩලය විසින් දීර්ඝ කාලයක් විදුලිය මිලට ගත් පෞද්ගලික අංශයේ බලාගාර 03 ක් රජයට පවරාගැනීමේ හැකියාව ඇති බව විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඒ අනුව මෙගාවොට් 20 ක් සහිත ඒස් පවර් මාතර බලාගාරය, මෙගාවොට් 100 ක් සහිත ඒස් පවර් ඇඹිලිපිටිය බලාගාරය, මෙගාවොට් 50 ක් සහිත ඒෂියා පවර් සපුගස්කන්ද බලාගාරය රජයට පවරාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

මෙම බලාගාරවල රජය සමග ඇති ගිවිසුම් 2021 අප්‍රේල් මාසයෙන් අවසන් වන අතර, තවදුරටත් එම බලාගාරවල ගිවිසුම් දීර්ඝ නොකිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

විදුලිබල මණ්ඩලයෙන් යෝජනා 13ක්

ලබන වසර තුළදී මෙගාවොට් 300 ක අතිරේක විදුලිය ප්‍රමාණයක් අවශ්‍ය වන බව විදුලිබල මණ්ඩලය විසින් ඇමැතිවරයාට දැනුම් දී ඇති අතර, එම අවශ්‍යතාව සපුරාගැනීම සම්බන්ධයෙන් යෝජනා 13ක් විදුලිබල මණ්ඩලය මගින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත. එහි එක් යෝජනාවක් ලෙස මෙම බලාගාර තුනේ ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට යෝජනා කර ඇති අතර, කැබිනට් මණ්ඩලය එය ප්‍රතික්ෂේප කර තිබේ. ඉතිරි යෝජනා සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවසීය.

‘මේ බලාගාර තුනෙන් මෙගාවොට් 170ක් ගන්න පුළුවන්. එහි ගිවිසුම් කාලය ලබන අවුරුද්දේ අවසන් වෙනවා. ලබන වසරට මොගාවොට් 300 ක් අමතරව අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය දැනුම් දීලා තියෙනවා. ඒ සඳහා ඔවුන් යෝජනා කළේ මේ බලාගාර තුනේ කාල සීමා දීර්ඝ කරන්න සහ තවත් මෙගාවොට් 130 ක් ටෙන්ඩර් කැඳවා හෝ පසුගිය වසරේදී ලබාගත් අයගෙන් හෝ හදිසි විදුලිය ලෙස ලබාගන්නා ලෙසයි.  නමුත් මේ පෞද්ගලික අංශයට අයත් දැවිතෙල් බලාගාර ගිවිසුම් දීර්ඝ කරන්න කැබිනට් මණ්ඩලය එකඟ වෙලා නැහැ. ඒ වෙනුවට ගත හැකි තවත් පියවර ගැන කැබිනට් මණ්ඩලය විසින් විදුලිබල මණ්ඩලයෙන් විමසා තියෙනවා. විදුලිබල මණ්ඩලය එයට තවම පිළිතුරු දීලා නැහැ.’

විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මේ සම්බන්ධයෙන් පැවසූයේ මෙවැනි අදහසකි.

‘දැවි තෙල් බලාගාර තුනේ ගිවිසුම් ටෙන්ඩර් කැඳවීමකින් තොරව දීර්ඝ කරන්න කියලා මම ඉල්ලුවෙ නැහැ. මේ රටේ වසර හතකින් බලාගාරයක් හදලා නැති නිසා විදුලිය අර්බුදයක් තියෙනවා. කුඩා ජල විදුලි බලාගාර සහ සූර්ය බලාගාරවලින් මෙගාවොට් 290 ක් පමණ ලැබෙනවා. නමුත් එමගින් අර්බුදය වළක්වන්න බැහැ. අර්බුදය ඉදිරියට යමින් තියෙනවා. මේ නිසා අර්බුදයෙන් ගොඩඑන්න විදුලිබල මණ්ඩලය පැත්තෙන් යෝජනා 13 ක් ඉදිරිපත් කළා.

මේ දැවිතෙල් බලාගාරවල ලාභය මේ වන විට රජය විසින් ගෙවලා තියෙන්නෙ. ඒ නිසා ඒවා අපිට අත්පත් කරගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට කමිටුවක් පත්කරන්න කියලා කැබිනට් මණ්ඩලය කිව්වා.’

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ තත්ත්වය

මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට යවා ඇති ලිපිය සම්බන්ධයෙන් විමසීමේදී ඇමැතිවරයා මෙසේ පැවසීය.

‘මහජන උපයෝගීතා කොමිසම අපිට අයිති ආයතනයක් නෙවෙයි. එහි සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නව සාමාජිකයන් පත්කරයි. මෙවර කැබිනට් එකේදි ඒ ගැන කතා වුණේ නැහැ.’

Previous articleඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ඉල්ලීම් වෙනුවෙන් විරෝධතාවයේ
Next articleUpdate : සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු මිතුරෙක් නෙමෙයි – රියාජ් බදියුදීන් 

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here