මහර උද්ඝෝෂණ සාධාරණයි : වතුර ඉල්ලූ රැඳවියන්ටත් වෙඩි තියලා – වාර්තාව කියයි

මහර බන්ධනාගාර සිද්ධිය අවස්ථාවේ ජලය ඉල්ලමින් කෑගැසු රැඳවියන්ට බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩිතබා ඇති බව මහර බන්ධනාගාරය තුළ සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල කමිටුව සිය අතුරු වාර්තාවේ සඳහන් කර තිබේ.

රිමාන්ඩ් බන්ධනාගාරය තුළ තිබූ දැඩි තදබදය නිසාත්, රැඳවියන් අතර උණ රෝගය පැතිර තිබීම නිසාත් ඒ නිසා ඇති වූ ජීවිත අවදානම මත රැඳවියන් දැඩි නොසන්සුන්තාවට පත්ව, ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කරමින් උද්ඝෝෂණ කිරීමට පටන්ගැනීම සාධාරණ උද්ඝෝෂණයක් ලෙස නිරීක්ෂණය වන බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

බන්ධනාගාර නිලධාරීන්ගෙන් කඩිනම් විසඳුම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එම උද්ඝෝෂණය දැඩි අන්දමින් පවත්වාගෙන ගිය බවට නිරීක්ෂණය වන බවද එහි දැක්වෙයි.

මහර බන්ධනාගාරයේ කලහකාරී සිදුවීම ඇති වු දිනවල එම බන්ධනාගාරයේ රැඳවිය හැකි සංඛ්‍යාවට වඩා තුන් ගුණයක ප්‍රමාණයක් රඳවා තිබූ බැවින් අධික තදබදය හේතුවෙන් මෙම කලහකාරී සිදුවීම සිදුව ඇතැයි නිරීක්ෂණය වන බව එම වාර්තාව පෙන්වාදෙයි.

නොවැම්බර් මස 29 වැනිදා මහර බන්ධනාගාරය තුළ සිදුවු එම සිද්ධිය සම්බන්ධව සොයාබැලීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව ඊයේ (09) අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර එම වාර්තාවේ මේ බව සඳහන් කර තිබේ. බන්ධනාගාරයේ මුළු රැදවියන් සංඛ්‍යාව 2782 ක් වන බවත් ඉන් 2148 දෙනකු රිමාන්ඩ් රැඳවියන් බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

ඇප ලබාදී තිබු රැඳවියන් නිවෙස්වලට යැවීම ප්‍රමාද වී ඇති බැවින් එවන් රැඳවියන් නිවෙස්වලට යැවීමට කටයුතු කරන ලෙසත්, සියලුම රැදවියන්ට පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙසත්, කෝවීඩ් රෝගීන් මහර බන්ධනාගාරයෙන් ඉවත් කරන ලෙසත් අනුභව කළ හැකි අන්දමට සුදුසු ආහාර ලබාදෙන ලෙසත් ඉල්ලමින් රැඳවියන් උද්ඝෝෂණය කර ඇති බවද එම වාර්තාව සඳහන් කරයි.

රැදවියන්ගේ ඉල්ලීම් සලකා බැලීමට බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් වරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක් උද්ගෝෂණය පැවැති ස්ථානයට පැමිණ ඇති අතර එහිදී පිරිස හූ කියමින් ගල් කැබලි නිලධාරීන් දෙසට විසිකර ඇති බවටත් බන්ධනාගාර රෝහල් නිලධාරීන් දෙදෙනකු ඔවුන් විසින් රඳවාගනු ලැබ තිබු බවටත් සාක්ෂිවලින් අනාවරණය වී ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.

පුද්ගල හා දේපළ ආරක්ෂාව වෙනුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරයේ ගේට්ටු වසා දමනු ලැබ ඇති බවත් රැඳවියන් දෙසට කඳුළු ගැස් විසිකර ඇති බවත් බියගැන්වීමට අහසට වෙඩි තබා රබර් උණ්ඩවලින් සහ පසුව ජීව උණ්ඩ භාවිතා කර කලහකාරී තත්ත්වය මර්දනය කිරීමට වෙඩි තබා ඇති බවත් එම වාර්තාවේ සඳහන් කර ඇත.

බන්ධනාගාර රෝහලෙහි සාමාන්‍ය ප්‍රමාණ බෝතල් වල දමා තිබු ඩල්සිෆාම් නමින් හඳුන්වන බෙහෙත් සහ තවත් විවිධ පෙති වර්ග රැඳවියන් අතර බෙදා ගමිනින් පානය කර ඇති බවද පසුව ඔවුන් කලහකාරී අන්දමට වියරුවෙන් හැසිරෙමින් පොලු මුගුරු වලින් පහර දෙමින් දේපලවලට  ගිනිතබා විනාශ කරමින් හැසිරී ඇති බවද වරින් වර බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩිතැබීම් සිදුකර ඇති බවද පිටතින් කැඳවු ආරක්ෂක නිලධාරීන් වෙඩිතැබීම් කර නොමැති බව ද අනාවරණය වී ඇතැයි වාර්තාව පෙන්වාදෙයි.

නොවැම්බර් 30 වැනිදා සවස් භාගයේ රැඳවියන් බන්ධනාගාරයේ අකුලන ගේට්ටුව අසලට පැමිණ ප්‍රකෝපකාරීව කලබල සිදුකර ඇතැයි ද වතුර ඉල්ලා රුඳවියන් කෑ ගසන අවස්ථාවේදී නිලධාරීන් ඔවුන්⁣ට වෙඩිතබා ඇතැයිද එම වාර්තාවේ වන අතර එහිදී කිහිප දෙනකුට වෙඩි වැදී ඇති බවත් පසුදින දක්වාම කලහාකාරි තත්ත්වය තිබී ඇති බවත් එහි දැක්වෙයි.

කෝවිඩ් රෝගීන් බන්ධනාගාරයේ සිටින බව රැඳවියන් දැනගැනීමෙන් පසුව බන්ධනාගාරයේ දැඩි තදබදය නිසා ජීවිතාරක්ෂාව වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කරමින් උද්ඝෝෂණය කර ඇතැයි නිරීක්ෂණය වන බව පංච පුද්ගල කමිටුව නිරීක්ෂණ මගින් පෙන්වා දී තිබේ.

රැඳවියන් බන්ධනාගාර දේපල සහ ලිපි ලේඛණ වලට හානි තබා ආයතන ගොඩනැගිලි කඩා බිඳ දමමින් විශාල හානියක් කර ඇති බව නිරීක්ෂණය වන බවත් ගැටුම සිදුවු අවස්ථාවේ රැඳවියන් කිසිවකු අත ගිනි අවි තිබී නැති බවත් ගිනි අවි තිබී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් සන්තකයේ පමණක් බවත් එම කමිටුව පවසයි.

මෙම ගැටුම නොවැම්බර් 29 දින සවස ආරම්භ වී 30 වන දින සවස් භාගය තෙක් තිබී ඇති අතර ජල නල කැඩී තිබු බැවින් 30 වැනිදා සවස් වන විට ජල සැපයුම අඩාලවී ඇතැයි ද මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුර්ණ පරීක්ෂණයක් සිදුකරන බව ද නිරීක්ෂණය වන බව එම කමිටුව සිය වාර්තාවේ සඳහන් ඇත.

මහර බන්ධනාගාරයේ දීර්ඝ කාලීනව පවතින නිලධාරී හිඟය නැතිකිරිම සඳහා නිලධාරීන් වැඩිකිරීමට පියවර ගත යුතු බවත් අමුත්තන් මුණ ගැසීමට ඉඩනොදෙන අවස්ථාවල සුබ සාධක මධ්‍යස්ථාන හරහා අවශ්‍ය දේ රැඳවියන්ට ලබාදීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් පංච පුද්ගල කමිටුව සිය යෝජනා ඉදිරිපත් කරමින් කියයි. එමෙන්ම බන්ධනාගාරයේ දුරකතන පහසුකම් වැඩිකර රැදවියන්ට සිය ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවස්ථාව ලබාදිය යුතු බවද එම කමිටුව යෝජනා කර තිබේ. ඇප තබාගැනීමට නොහැකි රැඳවියන් සම්බන්ධයෙන් බන්ධනාගාරය මගින් මෝසම් පත්‍ර ගොනුකර ඔවුන්ට පුද්ගලික ඇප මත නිවෙස් වලට යාමට කඩිනම් පියවර සකස් කළ යුතු බව එම කමිටුව යෝජනා කරයි.

බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇති ආකාරය සම්බන්ධයෙන් මෙම වාර්තාවේදී කරුණු දැක්වීම අපහසු බව සඳහන් කරන පංච පුද්ගල කමිටුව සිය පුර්ණ වාර්තාවේදී ඒ බව සඳහන් කිරීමට අපේක්ෂා කරන බවද දක්වා ඇත. මාසයක් වැනි කාලයක් තුළදී අදාළ පුර්ණ වාර්තාව ලබාදීමට පංචපුද්ගල කමිටුව අපේක්ෂා කරන බව සඳහන් වෙයි.

එම වාර්තාවේ මෙසේද දැක්වෙයි.

“මහර බන්ධනාගාරය තුළ මුළු රැඳවියන් සංඛ්‍යාව 2782 වූ අතර ඉන් රිමාන්ඞ් රැඳවියන් 2148ක් පමණ වූ බවට අනාවරණය විය. ඉතිරි අය දඬුවම් විඳින සිරකරුවන් වේ. මහර බන්ධනාගාරය තුළ රැඳවිය හැකි ප්‍රමාණයට වඩා තුන් ගුණයක ප්‍රමාණයක් ඒ වන විට රඳවා තිබූ බව හෙළිදරව් විය.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා තිබුණු වෙනත් රෝගවලින් පෙළුණු 112 දෙනෙක් මහර බන්ධනාගාරයේ පිහිටි බන්ධනාගාර රෝහලට මාරු කර යැවීමට ගෙන තිබූ තීරණයක් මත මහර බන්ධනාගාර රෝහලේ සහ එම පරිශ්‍රයේම වෙනත් ස්ථානයක රැඳවීමට කටයුතු කර ඇති අතර, බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාරයේ පිරිසක්ද ගෙනවිත් මහර බන්ධනාගාරයෙන් පිටත තිබූ ‘කොරි’ අංශයේ රඳවා තිබූ බවටත් අනාවරණය විය.

මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන්ට කොවිඩ්-19 රෝගය වැළඳී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා පීසීආර් පරීක්ෂණ 1000කගේ පමණ නොවැම්බර් මස 25 සහ 27 දිනවයන්හි දී සිදු කර තිබූ බවටත්, එහි ප්‍රතිඵල 28 වැනිදා සවසත්, 29 වනදා උදයේත්, ලැබී තිබුණු බවටත්, එහිදී නිලධාරීන් 06 දෙනෙකුට සහ රැඳවියන් 180කට පමණ කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබුණු බවටත් අනාවරණය විය.

එපමණක්ද නොව ඉහත කරුණු නිල නොවන අන්දමට රෝහලින් පිටතටත් රැඳවියන් අතරටත් පත්ව තිබූ බවට අනාවරණය විය. මේ පිළිබඳව රැඳවියන් අප්‍රසාදයකින් හා බියකින් සිටි බවට වාර්තා විය. එසේම එල් වාට්ටුවේද කොවිඩ්-19 වැළඳුණු එක් අයකුද සිට ඇති අතර, එල් වාට්ටුව ඇතුළු ඇතැම් වාට්ටුවලද උණ රෝගය වැළඳුණු රෝගීන් පිරිසක් සිටි බවට සාක්ෂි ඉදිරිපත් විය. ඔවුනට බන්ධනාගාර රෝහලෙන් රෝගය විමසා පරීක්ෂා කිරීමකින් තොරව පැනඩෝල් ලබා දී තිබුණි.

ඉහත කී අන්දමට සිර මැදිරිවල ෙදාරගුලු කැඩීම නිසා එලියට පැමිණි රැඳවියන් 1000කටත් වැඩි විශාල පිරිසක් එක් රැස්ව උද්ඝෝෂණ කර ඇත. උද්ඝෝෂණයේදී ඉදිරිපත් කර තිබූ ප්‍රධාන ඉල්ලීම් ලෙසට දක්වා තිබුණේ,

  • ඇප ලබා දී තිබූ රැඳවියන් නිවෙස් වලට යැවීම ප්‍රමාද වී තිබූ හෙයින් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරය තුළ රඳවා තබා නොගෙන නිවෙස්වලට යැවීම කරන ලෙසට.
  • කොවිඩ් 19 රෝගය සඳහා සියළුම රැඳවියන්ට පීසීආර් පරීක්ෂණ කරන ලෙසට.
  • කොවිඩ්-19 රෝගීන් මහර බන්ධනාගාරයෙන් ඉවත් කරන ලෙසට.
  • අනුභව කළ හැකි අන්දමට සුදුසු ආහාර ලබා දෙන ලෙසට.

ඒ අනුව පුද්ගලයන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමටත් කලහකාරී තත්ත්වය මැඩ පැවැත්වීමටත් බන්ධනාගාර නිලධාරීන් විසින්

  1. ප්‍රධාන ගේට්ටුව දෙසට රැඳවියන්ට පැමිණිය නොහැකි අන්දමට ඇතුළත ගේට්ටුව වසා ආරක්ෂා කොට රැඳවියන්ට බන්ධනාගාරයෙන් පිටතට පැමිණිය නොහැකි අන්දමට රැකවල් යොදා ඇත.

  2. රැඳවියන්ට දෙසට කඳුළු ගෑස් විසි කර ඇත.

  3. බිය ගැන්වීමට අහසට වෙඩි තබා රබර් බුලට් වලින් හා පසුව ජීව උණ්ඩ භාවිතා කර කලහකාරී තත්වය මර්දනය කිරීමට වෙඩි තබා ඇත.

පළමු අවස්ථාවේදී එක් රැඳවියෙකුගේ උරහිසට වෙඩි වැදී තුවාල වී ඇති අතර පිරිස දෙසට විසිරී ගොස් ඇත.

30 වන දින සවස් භාගයෙහිද රැඳවියන් අකුලන ගේට්ටුව අසලට පැමිණ ප්‍රකෝපකාරීව කලබල සිදු කර අැත. රැඳවියන් වතුර ඉල්ලා ද කෑ ගසා ඇත. එම අවස්ථාවේදී ද නිලධාරීන් විසින් කලහකාරී පිරිස පාලනය කිරීම සඳහා වෙඩි තබා ඇත. ඒ හේතුවෙන් කිහිප දෙනෙකුට වෙඩි වැදී ඇත.

වෙඩි වැදුණු රැඳවියන්ට ආසන්නයේ සිට වෙඩි තැබීමක් සිදු කලාද යන්න නිගමනය කළ හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුවයි. මේ අවස්ථාව වන විට එය පවත්වා නැත. මරණ පරීක්ෂණ නොපවත්වා මළ සිරුරු ආදාහනය හෝ භුමදානය නොකරන ලෙසට බලධාරීන්ට කමිටුව විසින් දන්වන ලදුව ඔවුන් ⁣එසේ නොකර බවට පොරොන්දු වී ඇත. බන්ධනාගාර රෝහලෙන් පැහැරගත් බෙහෙත් පෙති අසාමාන්‍ය ලෙස පානය කිරීමෙන් කලහකාරී පිරිසට උත්තේජනයක් ලැබුනේද යනනන විශේෂඥ මතයක් තුළින් නිගමනය කළ යුතුව ඇත. ඒ නිසා ඒ ගැන නිගමනයකට එළැඹීම අවසාන වාර්තාවේ දී සිදුකරනු ඇත.

කමිටු නිරීක්ෂණ

  1. මෙම සිද්ධියට පෙර කොවිඩ්-19 රෝගය මහර බන්ධනාගාර රැඳවියන් අතර තිබූ බවට වාර්තා නොවූවත්, මේ සිද්ධිය වූ දින දහවල් කාලයෙහි කොවිඩ්-19 වැළඳුණු රෝගීන් විශාල සංඛ්‍යාවක් රිමාන්ඞ් බන්ධනාගාරයෙහි සිටින බවට රැඳවියන්ට දැනගන්නට ලැබීමෙන් පසුව,
  • රිමාන්ඞ් බන්ධනාගාරය තුළ තිබූ දැඩි තදබදය නිසාත්,
  • රැඳවියන් අතර උණ රෝගය පැතිර තිබීම නිසාත් ඒ නිසා ඇති වූ ජීවිත අවධානම මත රැඳවියන් දැඩි නොසන්සුන්තාවට පත්ව, ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කරමින් උද්ඝෝෂණ කරන්නට පටන්ගැනීම සාධාරණ උද්ඝෝෂණයක් ලෙස නිරීක්ෂණය වේ. බන්ධනාගාර නිලධාරීන්ගෙන් කඩිනම් විසඳුම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එම උද්ඝෝෂණය දැඩි අන්දමින් පවත්වාගෙන ගිය බවට නිරීක්ෂණය වේ.
  1. එම අවස්ථාවේ රිමාන්ඞ් සැකකරුවන් අතර සිටි විවිධ අපරාධයන්ට සම්බන්ධ වූ බවට චෝදනා ලැබ සිටි විවිධ කල්ලි මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඔවුනොවුන්ගේ පෞද්ගලික කෝන්තර සහ අරමුණු ඉෂ්ඨ කර ගැනීමට කල්ලි ගැසී එකිනෙකා අතර දරුණු අන්දමේ පහර දීම් සිදු කර තිබූ බවට නිරීක්ෂණය විය.

  2. රැඳවියන් විසින් බන්ධනාගාර දේපළ සහ ලිපි ලේඛනවලට ගිනි තබා, ආයතනය ගොඩනැගිලි කඩා බිඳ දමමින් විශාල හානියක් සිදු කර ඇති බව පැහැදිලිව නිරීක්ෂණය විය.

  3. මෙම ගැටුම සිදු වූ අවස්ථාවේදී රැඳවියන් සතුව පරිශ්‍රයෙන් සොයාගත් ගල්, මුගුරු, යකඩ පොලු, මන්න, කඩු, පිහි මෙන්ම ගිනි තැබීම සඳහා බොයිලේරුවෙන් තබා ගත් තෙල්ද තිබී ඇති මුත් කිසිවෙකු අත ගිනි අවි තිබී නැත. ගිනි අවි තිබී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් සන්තකයේ බවත්, ගිනි අවි පාවිච්චි කර ඇත්තේ ඔවුන් පමණක් බවත් කමිටුවේ නිරීක්ෂණයයි.

  4. මෙම ගැටුම 29 වන දින සවස ආරම්භ වී රාත්‍රී කාලයේද 30 දින සවස් භාගයේද තිබී ඇති අතර, ඇතැම් රැඳවියන් බන්ධනාගාර රෝහලෙන් පැහැරගත් විවිධ පෙති වර්ග පානය කර තිබූ බවටත් ඉන් අනතුරුව දරුණු ගැටුම්වලට සහභාගී වී තිබූ බවටත් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශවලින් නිරීක්ෂණය විය.

  5. මේ අතරතුර ජලනල කැඩී තිබූ නිසා ජල සැපයුමද 30 වන දින ආහාර සැපයුදම අඩාල වී තිබී ඇත.

  6. මෙම සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන බවට සහ,

08 මේ වන විට මියගිය එකොළොස්දෙනාගෙන් දෙදෙනෙකුගෙන් මල සිරුරු හඳුනාගෙන ඇති බවටත්, උගත් මහේස්ත්‍රාත්වරයා විසින් මරණ පරීක්ෂණ පැවැත්වීමටත්, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට තොරතුරු වාර්තා විය.

තවදුරටත් නිරීක්ෂණය කරනු ලැබුවේ.

  • රැඳවියන්ට පීසීආර් සහ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බව.
  • ආහාර, ජලය, විදුලිය සැපයීම යථාවත් කර ඇති බව.
  • අධිකරණවලින් ඇප ලබා දී හෝ දඩ ගෙවා ඇති සියළුම අයවළුන් අධිකරණ නියෝග ලැබුණු වහාම බන්ධනාගාරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම ප්‍රමාද වී ඇති බව.
  • සිරකරුවන්ට සහ සැකකරුවන්ට සිය ඥාතීන්හට දුරකථන පණිවිඩ ලබා ගැනීම සඳහා මධ්‍යස්ථානයක් ආරම්භ කොට ඇති බව,
  • දැනට රිමාන්ඞ් බන්ධනාගාර නිලධාරීන්ගේ පාලනය යටතේ පවතින බව.

කමිටු නිර්දේශ

  • පොලිසියට දී ඇති උපදෙස් මත පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසු දඩ ගෙවා හෝ වැඩිපුර වාර්තා මගින් ඇප මත මුදා හරින රැඳවියන් හැකි පමණන් පීසීආර් පරීක්ෂණයට ලක් කර කොවිඩ් 19 වසංගතය ආසාදනය වූවන් සුදුසු ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යැවීමටත් අනෙකුත් රැඳවියන් තම තමන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක් කිරීම නොකඩවා බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට වහාම පියවර ගත යුතුය.
  • මහර බන්ධනාගාරයේ දීර්ඝ කාලිනව පවතින නිලධාරී හිඟය නැති කිරීම සඳහා නිලධාරීන් සංඛ්‍යාව වැඩිකිරීමට වහාම පියවර ගත යුතු බව
  • අමුත්තන් මුණ ගැසීමට ඉඩ නොදෙන කාල සීමාවේදී සුභ සාධක මධ්‍යස්ථාන හරහා ආහාර ඇතුළු අවශ්‍ය දේ රැඳවියන්ට ලබා දීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතු බව
  • දෙනු ලබන ආහාරවල තත්ත්වය අනුභව කිරීමට සුදුසු ආකාරයට පවත්වාගෙන යාමට පියවර ගත යුතුය.
  • කොවිඩ් 19 වෛරසය හැර වෙනත් රෝග තත්ත්වයෙන් පෙළෙනා රැඳවියන්ගේ ඥාතීන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසා දිය යුතු බව
  • දූරකථන පහසුකම් ලබා ගැනීමට ඇති අවස්ථාව වැඩිකර රැඳවියන්ගේ ඥාතීන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසා දිය යුතු බව
  • ඇප තබා ගැනීමට නොහැකි රැඳවියන් සම්බන්ධව බන්ධනාගාරය මගින් මෝෂන් පත්‍ර ගොනු කර ඔවුන්ට පුද්ගලික ඇප මත නිවෙස්වලට යාමට කඩිනම් පියවර ගැනීම කළ යුතු බව
  • සිරදඬුවම් විදිමින් සිටින අයගේ කාල සීමාව සලකා බලා වයස්ගත අයට මුල් තැන දෙමින් සිර ගෙදරින් පිටවීමට ක්‍රමවේදයක් වහාම ක්‍රියාවට නැංවිය යුතු බව
  • රජයේ දේපලවලට හානි කිරීම ඇතුළු අපරාධ ක්‍රියාවන් සිදු කර රැඳවියන්ට එරෙහිව පොලිස් පරීක්ෂණ කඩිනමින් සිදු කර විශේෂඥ වාර්තා වහාම ලබාගෙන නීතීපතිවරයා හරහා නඩු පැවරිය යුතු රැඳවියන්ට ඉක්මනින් නඩු පැවරීමට කටයුතු කිරීම
  • නිලධාරීන්ගේ නොසැලකිලිමත් ක්‍රියා සම්බන්ධව පරීක්ෂණවලින් හෙළිදරව්වීමක් ගැන මෙම අවස්ථාවේදී කමිටුවට මතයක් ප්‍රකාශ කළ නොහැකි අතර , වඩාත් විස්තරාත්මක තොරතුරු ඇතුළත් පූර්ණ වාර්තාවක් ලබාදීමේදී ඒ ගැන අවධානය යොමු කරනු ඇත.
Previous articleවනජීවී ඇමැති නොගිය පාරේ ගොස් MediaLK අනාවරණය කරගත් ජලගැලුමේ ඇත්ත !
Next articleහොඳින් සුවපත් වෙමු – මානව හිමිකම් වෙනුවෙන් නැගිටිමු !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here