වනජීවී ඇමැති නොගිය පාරේ ගොස් MediaLK අනාවරණය කරගත් ජලගැලුමේ ඇත්ත !

මහවැලි ගඟ ආශ්‍රිතව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් ඉදිකිරීමට සැලසුම් කර ඇති මාර්ගයට අදාළ කොටසට තමන් ගොස් නැති බවත්, ඊට අදාළව ලැබුණු ඡායාරූප මත පදනම්ව තමන්ගේ තීරණය ගත් බවත් වනජීවී විෂය භාර රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක MediaLK වෙත පැවසීය.

මාර්ගයක් නැත !

මෙම මාර්ගය අනිවාර්යෙන්ම ඉදිකළ යුතු බවත්, ඊට අදාළව තමන් සතු බලතල උපයෝගී කරගන්නා බවත් ඇමැතිවරයා දිගින්-දිගටම අවධාරණය කර තිබිණි. මෙම මාර්ගය සම්බන්ධයෙන් MediaLK අප පුළුල් ගවේෂණයක් කළ අතර, එහිදී අප නිරීක්ෂණය කළේ එහි මේ වනවිට මාර්ගයක් නැති බවත්, මාර්ගය යැයි සැලකෙන කොටසේ විශාල කුඹුක් ගස් පවා ඇති බවත් ය. පොළොන්නරුව, මනම්පිටියේ සිට යක්කුරේ ප්‍රදේශය දක්වා මහවැලි ගඟට සමාන්තරව, ජලගැලුම් නිම්න වනෝද්‍යාන භූමියේ මෙම මාර්ගය ඉදිකිරීමට සැලසුම් කරමින් සිටින අතර, ඊට අදාළව නීතිවිරෝධී ලෙස පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කිරීමට අදාළ කටයුතු ද මේ වන විට සිදුවෙමින් පවතී.

මාර්ගය යැයි හැඳින්වෙන කොටසේ ඇති ගස්…

මෙම මාර්ගයේ යක්කුරේ සිට කිලෝමීටර් හතරක් දුරට සහ මනම්පිටියේ සිට කිලෝමීටර් දෙකක් දුරට භාවිත කෙරෙන අතර, ඒ වැලි ගොඩදැමීම් සහ ඒවාගේ ප්‍රවාහන කටයුතු සඳහා ය. යක්කුරේ සිට මනම්පිටිය දෙසට යන විට මෙම වනෝද්‍යානයේ පිහිටි විශාලතම විල්ලු දෙක වන බඳියා විල්ලුව සහ හඳපාන් විල්ලුව හමුවන අතර, එතැන් සිට මනම්පිටිය දෙසට ඇත්තේ විශාල කැලෑ ප්‍රදේශයකි. තුම්මෝදර යනුවෙන් හැඳින්වෙන කළු ගඟේ කොටසක් පැමිණ මහවැලි ගඟට එකතු වන ස්ථානය සහ කන්ගරාව පාලම ඇත්තේ ද මේ කොටසේ ය. කන්ගරාව පාලම බෝක්කු හයකින් සමන්විත වන අතර, එහි මාර්ගය යැයි සැලකෙන කොටස මත දැවැන්ත කුඹුක් ගස් ද මේ වන විට දැකිය හැකිය. ගිරාමංකඩ ඇතුළු දැවැන්ත වැලි නිධියක් ද මේ ආසන්න කොටසේ පිහිටා ඇත.

මනම්පිටිය ප්‍රදේශය දෙසින් මෙම මාර්ගයේ කිලෝමීටර් දෙකක කොටසක් වැලි ව්‍යාපාරිකයන් විසින් භාවිත කරන අතර, ඉන්පසු ඇත්තේ වනාන්තරයයි. එහි වනාන්තරය ආරම්භ වන, මාර්ගය යැයි හැඳින්වෙන කොටසේ ද විශාල මයිල ගස් පිහිටා ඇත. මෙම ප්‍රදේශයේ වල් අලින් බහුල ලෙස ගැවසෙන අතර, හඳපාන් විල්ලුවේ සිට ඉදිරියට ගිය අපට අවස්ථා ගණනාවකදී ම වල් අලින් හමුවිය.

අපගේ නිරීක්ෂණ සම්බන්ධයෙන් වනජීවී විෂය භාර රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක සමග කළ සම්මුඛ සාකච්ඡාවක් පහත දැක්වේ.

මම ඡායාරූප ගෙන්නගත්තා !

ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැද්දෙන් හදන්න හදන, තිබුණා කියන පාරෙ ඔබ ගියාද ?

දෙපැත්තෙන්ම මම ගිහිල්ලා බලලා තියෙනවා.

දෙපැත්තෙන් නෙමෙයි, මැද්දෙන් දිගටම ගියාද?

මැද්දෙන් ගියෙ නෑ. හැබැයි පාරෙ අභ්‍යන්තරය පිළිබඳ ඡායාරූප ඔක්කොම මම අරන් තියෙන්නෙ.

ඒවා ඔබතුමා ගත්ත ඡායාරූප නෙමෙයි එතකොට…?

නෑ. මං ඒවා ගෙන්නගත්තා.

ඒවා හරියටම මේ පාරෙ අභ්‍යන්තරයෙ ඒවා කියලා ඔබතුමාට විශ්වාස කරන්න සිදුවෙලා තියෙනවා…?

ඒවා තමයි.

මම කියන්නෙ ඔබ ඇතුළෙ නොගිය හින්දා, ගෙනැත් දුන්නු ඡායාරූප ඒවා කියලා විශ්වාස කරන්න වෙනවනෙ…?

ඔව්. මං මේ නිකම් කතා කරනවා නෙමෙයි. මං ඔය පාරෙ ඉතිහාසය ගැන හොඳට හොයලා තියෙන්නෙ.

මනම්පිටිය පැත්තෙන් කොච්චර විතර දුරට පාරෙ ඇතුළට ගියාද ඔබතුමා…?

වැලි අදින කට්ටිය යන-එන පාර නෙ. ඒ පාරෙ ගියා.

වැලි අදින කට්ටිය පාවිච්චි කරන්නෙ කිලෝමීටර් දෙකයි. එතැනින් එහාට ගියා ද?

එතැන කිලෝමීටර් දෙකට වැඩියි. ඔතැන වැලි අදින්නෙ අධිකරණ නියෝගයක් අරන්නෙ.

අධිකරණ නියෝගයක් නෑ ඇමැතිතුමා, එතැන්ට තියෙන්නෙ භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ විධිමත් අවසරයක් …?

කොහොමහරි ඒක නීතිවිරෝධී නෑ. එතැන වැලි ඉවත් කරන්න ඕනෙ කියන එක පිළිඅරන් තියෙන කාරණයක්.

ඔබ බලපු දෙපැත්තෙ කොන් දෙකේ පාර පාවිච්චි වෙනවා. ඒකට එකඟයි…?

ඔව්. ඒ දෙපැත්තෙම මිනිස්සු ඒ පාර පාවිච්චි කරනවා. මං ගිහින් බැලුවනෙ.

ප්‍රශ්නෙ තියෙන්නෙ ඇමැතිතුමා මැද්දෙ. ඒක තනිකරම කැලයක්…?

නෑ. පාර තියෙනවා. මගෙ ළඟ ඔක්කොම ඡායාරූප තියෙනවා.

ඔබතුමා ඔය පාර තියෙනවා කියන්නෙ කොයිහරියෙද…?

සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. බෝක්කු, පාලම් ඔය ඔක්කොම තියෙනවා.

ඔබ හරි, යක්කුරේ ගමේ ඉඳලා තරමක් දුරට පාර තියෙනවා. මොකද ට්‍රැක්ටර්වලින් එහෙම වැලි අදින වැඩ කරනවනෙ…?

ඔව්. හොඳට පාර තියෙනවා.

ප්‍රශ්නෙ තියෙන්නෙ ඇමැතිතුමා, ඔය කැලේ වටිනාම කොටස වන බඳියා විල්ලුව, හඳපාන් විල්ලුව ළඟ ඉඳලා මනම්පිටිය පැත්තට. ඒ පැත්ත ගැන ඔබට අදහසක් තියෙනවද?

ළඳු කැලයක් වැවිලා තියෙන එකනෙ ඔය කියන්නෙ. මං ඡායාරූපවල දැක්කා. පාර හොඳටම තියෙනවා. පොඩි කොටසක තමයි, ඔය ළඳු කැලේ වගේ තියෙන්නෙ. 1992 ඉඳලා ඔය පාර පාවිච්චි කරලා නෑනෙ. ඔය වගේ ළඳු කැලෑවක් වැවෙනවා තමයි එතකොට.

ළඳු කැලෑවක්ද ඒක. ඔබට ලැබුණු, නැත්නම් ගෙනැත් දීපු ඡායාරූපවල ඒක පැහැදිලිව තියෙනවද?

ඕක ශතවර්ෂ ගාණක පාරක්නෙ. එක්දාස් නවසිය විසි-තිස් ගණන්වල වැද්දො මනම්පිටියට මී පැණි ගෙනාවෙ ඔය පාරෙන්නෙ. පස්සෙ බස් එකකුත් තිබුණනෙ. එල්ටීටීඊ කාලෙ වහලා තිබිලා පොඩි ළඳු කැලෑවක් හැදුණු එකද වටින්නෙ එතකොට.

ළඳු කැලෑවක් කියලා ඔබ නිශ්චය කරන්නෙ අර දැකපු ඡායාරූපවලින්. එහෙම නේද?

මට අම්පාරෙ, පොළොන්නරුවෙ කැලෑවල් ගැන කියන්න එන්න එපා. මම ඔය හැමතැනම ඇවිදලා තියෙනවා. මම කොළඹට වෙලා අම්පාර, පොළොන්නරුව ගැන කතා කරන කෙනෙක් නෙමෙයි.

හරි. දැන් ඔබ බලාපොරොත්තු වෙන විදිහට ඔය පාර හැදුවට පස්සෙ ඒක පාවිච්චි කරන කොට කොන්දේසි කීපයක් දාන්න එකඟ වෙලා තියෙනවද?

ඔව්. මේක කාපට් කරන්න බෑ. කොන්ක්‍රීට් කරන්න බෑ. තාර දාන්න බෑ. ගම්වල අයට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. වැලි අදින්න බෑ. ගඩොල් අදින්න බෑ. ගල් අදින්න බෑ. අපි දෙපැත්තෙන් සිවිල් ආරක්ෂක බලකායෙ බැරියර් දෙකක් දානවා. පිටස්තරයන්ට යන්න දෙන්නෙම නෑ. අනෙක හැන්දෑවෙ හයෙන් පස්සෙ පාර වහනවා. නමුත් ඒ ගම්වල ජනතාවට රෑක හදිස්සියක් වුණොත් යන්න අවසර දෙනවා. දැනට තියෙන සැලසුම ඕක.

වැස්ස කාලෙටත් ඔය පාර පාවිච්චි කරන්න පුළුවන් වෙයිද ඇමැතිතුමා, පාරක් නැතුවත් දැනටත් ඒ පැත්ත මඩ විතරයි…?

ඔව්.

තාර, කොන්ක්‍රීට් දාන්නෙත් නැතුව වැඩක් වෙයිද?

ඉතිහාසයෙ ඔය පාර තිබුණෙ කාපට් දාලාද, නෑනෙ.

එතකොට මිනිස්සුන්ට ඔබ බලාපොරොත්තු වෙන සහනය දෙන්න පුළුවන් වෙයිද?

මෙහෙමයි, ඈත පිටිසර ගම්වල ඔය වගේ තැන් ඕනෙතරම් තියෙනවා. වැස්සට යටවෙනවා. ඉතිහාසෙ ශතවර්ෂ ගාණක් ඔය පාර පාවිච්චි කරලා තියෙන්නෙ ඔය තත්ත්වෙන් තමයි. මාත් වියළි කලාපෙ දේශගුණය ගැන හොඳට දන්න මිනිහෙක්.

ඒ කාලෙ තත්ත්වයත් එක්ක මිනිස්සුන්ට පයින් යන්න පුළුවන් වුණාට, මේ වගේ තත්ත්වයක් යටතේ වාහනයක් යන්න බෑ. ඔබ පිළිගන්නවද ඒක…?

ඒක ඒ ඒ වෙලාවට බලන්න ඕනෙ. දැන්ම ඕවා ගැන අනාවැකි කියන්න බෑ. එහෙම නම් පළවැනි වනජීවී නීති උල්ලංඝනය කළේ පාර්ලිමේන්තුව හදලනෙ. ඔතැන කොච්චර කඩොලාන තිබුණ තැනක්ද. කුරුල්ලො කොච්චර හිටියද.

ඔය පාර කියලා සැලකෙන කොටසෙ බෝක්කු හයක් තියෙන තැනක් තියෙනවා. එතැන පාර කියන කොටස මැද්දෙ විශාල කුඹුක් ගස් තියෙනවා. පාර හදන්න නම් මේවා ඔක්කොම කපලා, විනාශ කරන්න වෙනවා නේද ඇමැතිතුමා…?

යම්කිසි කුඹුක් ගස් ප්‍රමාණයක් තියෙනවා කියලා ඡායාරූපවලින් මට පේනවා. හැබැයි පොළොන්නරු දිස්ත්‍රික්කයේ එළිමහනෙයි, ඇළවල් අයිනෙයි තිබුණු කුඹුක් ගස් 1,600 ක් මෛත්‍රිපාල සිරිසේන පාලන යුගයේදී කැපුවා. ඔය මාධ්‍යකරුවො ඒවා ලිව්වද. පරිසරවේදියො කතා කළාද. ඔය සමහර නිලධාරීන්ගෙ ගෙවල්වල නිතරම ඉදෙන්නෙ මුව මස්. එතකොට පරිසරයට ආදරේ නැතුව යනවද.

වනජීවී විෂය භාර ඇමැතිවරයා විදිහට තමන්ගෙ යටතේ තියෙන දෙපාර්තමේන්තුවක විෂයපථය ගැන මීට වඩා සංවේදී වෙන්න ඕනෙ නේද?

සංවේදී.. ඔය කීපදෙනෙක්නෙ ප්‍රශ්න දාන්නෙ. මේක තමයි ඒගොල්ලො එක්ක ගනුදෙනු කරන්න ඕනෙ ක්‍රමය. ලංකාවෙ මුව මස් කිලෝ දාහක් විතර දවසකට තැම්බෙනවා. හිල්ටන් හෝටලේ මුව මස් තියෙන්නෙ ඇමරිකාවෙන් ගෙනැල්ලද. ඒවා ගැන බලන්නෙ නැද්ද. එහෙම බෑ. වෘක්ෂලතා ආඥා පනත ඒගොල්ලොන්ට ඕනෙ තැන්වලට විතරද අදාළ. එළියෙ තියෙන්නෙ බොරු රැවටිල්ලක්.

මෙහෙමයි ඇමැතිතුමා, පාර්ලිමේන්තුවෙ නීතියක් විදිහට සම්මත වුණු වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ තමයි ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත්කරලා තියෙන්නෙ. ඒ පනත යටතේ මේ විදිහට වනෝද්‍යානය විනාශ කරලා, පාරක් හදන්න තහනම්. මේක කරන්නම ඕනෙ නම් පාර්ලිමේන්තුවෙන්ම නීති හදාගෙන ආවනම් හරිනෙ, නැත්නම් මේ බලහත්කාරයෙන් අභියෝග කරන්නෙ නීතියේ ආධිපත්‍යයට…?

ඔය කියන පනතෙ ඇමැතිලාට කියලා බලතල ප්‍රමාණයක් තියෙනවනෙ. ඒවා කියවලා බලන්නකො.

ඔය පනතෙන් ඇමැතිලාට වනෝද්‍යාන මැද්දෙ පාරවල් හදන්න බලයක් දීලා නම් නෑ…?

මාර්ග ඉදිකිරීම් කියලා නෑ තමයි. ඔයාලට අර නිලධාරීන් ඒවා හංගලා තියෙන්නෙ.

කවුරුවත් කියපු දෙයක් නෙමෙයි, වගකීමෙන් කියන්නෙ ඔබට එහෙම කරන්න බලයක් නෑ…?

බලමුකො. පනත කියවන්නකො. අනෙක දැන් ඔය තිබුණු පාර වැහුවෙ මොන පනතින්ද. එතකොට ඔය නීති ගැන බැලුවෙ කවුද.

හරි. මෙන්න මේ ප්‍රශ්න ටිකට නිශ්චිත උත්තර දෙන්න ඇමැතිතුමා, එතැනින් අපි මේ සංවාදය අවසන් කරමු. මනම්පිටිය නිශ්චිත කොටස හැර, ඉතිරි කොටසේ වැලි හාරන්න අවසර දෙනවද, නැද්ද?

නෑ.

ඔබට ඒක සහතික කරලා කියන්න පුළුවන්ද?

මං ඉන්න තාක්කල් දෙන්නෙ නෑ. ඒ ගැන ප්‍රශ්නයක් නෑ. මේ ඇමැතිකම මං හැමදාම කරන්නෙ නෑ. හැබැයි මගෙන් පස්සෙ වෙන දේවල්වලට මට වගකියන්න බෑ.

මේ වෙනකොට පාරට අදාළ සැලසුම සම්බන්ධයෙන් වෙලා තියෙන ක්‍රියාකාරකම් මොනවද?

මේක ගැන පරිසර ඇගයීම් වාර්තාවක් හදන්න මධ්‍යම පරිසර අධිකාරියට දවස් දෙකක් තුළ අදාළ ලිපිගොනු යවනවා. මම අධිකාරියෙ සභාපතිතුමාට කතා කළා. සභාපතිතුමා මේකට විශේෂ කමිටුවක් දාලා ඉක්මනින් කරනවා කිව්වා.

ජලගැලුම් නිම්නයේ පිහිටි කුඩා විල්ලු

පරිසර ඇගයීම් බලයක් නැත !

නීතිවේදීන් පෙන්වා දෙන්නේ මෙසේ අදාළ මාර්ග සැලසුම වෙනුවෙන් පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කරන ලෙස ඉල්ලා සිටීමේ බලයක් වනජීවී විෂය භාර රාජ්‍ය ඇමැති විමලවීර දිසානායකට නැති බවයි. ජාතික වනෝද්‍යානයක් තුළ පරිසර බලපෑම් තක්සේරු කිරීමේ ක්‍රියාවලියක් මගින් ඉදිකිරීම් හෝ සංවර්ධන කටයුතු සිදු කිරීමේ හැකියාවක් නැත. මේ සම්බන්ධයෙන් විමසීමට අප මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවකදී උත්සාහ ගත්තද, ඔහුගේ ජංගම දුරකතනයට ප්‍රතිචාර දැක්වූ නිලධාරිනියක පැවසුවේ දිගින්-දිගටම ඔහු රැස්වීම්වල සිටින බවයි.

එම නිසා මේ සම්බන්ධයෙන් පරිසර ඇමැති මහින්ද අමරවීරගෙන් විමසීමට MediaLK කටයුතු කළේය.

අමරවීර මධ්‍යස්ථයි !

ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් හදන්න හදන පාරට අදාළව පරිසර ඇගයීම් වාර්තාවක් හදන්න අදාළ ලිපිගොනු ඔබ යටතේ තියෙන මධ්‍යම පරිසර අධිකාරියට යවන බව වාර්තා වෙනවා. අධිකාරියට නීතිමය බලයක් නැතත්, මේ වගේ වාර්තාවක් ස්වාධීනව සකස් වෙනවා කියන සහතිකය ඔබට දෙන්න පුළුවන්ද?

ඔය සිද්ධියෙදි මම ඉන්නෙ මධ්‍යස්ථව. අනෙක තමයි පරිසර වාර්තා සකස් කරන්නෙ ස්වාධීන විශේෂඥ මණ්ඩලයක්. මට ඒකට මැදිහත්වීමක් නෑ.

හැබැයි එහෙම ස්වාධීනව වැඩ නොකෙරුණු අවස්ථාත් තියෙනවා ඇමැතිතුමා…?

එහෙම අවස්ථාත් තියෙන්න පුළුවන්. එහෙම නෑමයි කියලා මම කියන්නෙ නෑ. සීයට සීයක් ඒක ස්වාධීනයි කියලා මට කියන්න බෑ. හොස්පිට්ල් එකේ ඔපරේෂන් එකක් කරන කොට ලෙඩාව හොඳ කරන්න වගේම හානියක් කරන්නත් ඩොක්ටර්ස්ලට පුළුවන්නෙ. මේකත් ඒ වගේ තමයි. සාමාන්‍ය තත්ත්වය තමයි, පරිසර වාර්තා රජයේ ඒවා පවා ඕනේ තරම් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා.

අදාළ විෂයට සෘජුව සම්බන්ධ ඇමැති ධුරයක් දරන ඔබ මේ පාර ගැන දරන්නෙ මොන වගේ අදහසක් ද?

මම මධ්‍යස්ථ තැනක ඉන්නෙ. දෙපැත්තෙම කාරණා හරි වගේ කියලයි මට නම් පේන්නෙ. මිනිස්සුන්ගෙ පැත්තෙන් කියනවා, අවුරුදු ගාණක් පාවිච්චි කළා, ඒක නිසා අවශ්‍යයි කියලා. ඒ වගේම වනජීවී එක පැත්තෙන් කියන කාරණයත් අපි සැලකිල්ලට ගන්න ඕනෙ. ඒගොල්ලො ඕක නිකම් කියන්නෙ නෑනෙ. ඒගොල්ලො ඒ අදාළ අණ-පනත්වලට අනුවනෙ කතා කරන්නෙ. අනෙක මේක ඒගොල්ලොන්ගෙ පෞද්ගලික දෙයකුත් නෙමෙයිනෙ. මම ගිහින් බැලුවෙත් නැති නිසා මට මේක ගැන හරි තීරණයක් කියන්න බෑ.

ජලගැලුම් නිම්නයේ විශේෂිත පරිසර පද්ධති

උද්‍යාන කළමනාකරණ සැලැස්මේ පාරක් නැත !

ජාතික වනෝද්‍යානයක් තුළ සංචාරක කටයුතු සඳහා සැලැස්මක් සකස් කිරීමේ අවස්ථාව වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් ලබාදී තිබේ. එහි සඳහන් වන ආකාරයට හුදෙකලා සිදුවීම් ලෙස මේ ආකාරයට ඉදිකිරීම් කිරීම නීත්‍යනුකූලව තහනම් ය. උද්‍යාන කළමනාකරණ සැලැස්මක් මගින් පමණක් උද්‍යානය තුළ වෙනස්කම් කළ හැකි අතර, ඒ සඳහා වන සැලැස්ම සකස් කළ යුත්තේ තාක්ෂණික කමිටුවක් මගින් ය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත අදාළ තාක්ෂණික කමිටුව මගින් සකස් කරන උද්‍යාන කළමනාකරණ සැලැස්ම, දෙපාර්තමේන්තුව අයත් වන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අනුමත කළ යුතුය. ඉන්පසු එය ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීමේ වගකීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වේ.

ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අදාළව එවැනි උද්‍යාන කළමනාකරණ සැලැස්මක් සකස් කර තිබේද යන්න සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරගෙන් MediaLK විමසීමක් කළේය. අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ එවැනි පැරණි සැලැස්මක් ඇති බවයි. එහෙත් එය අවසන් වාර්තාවක් නොවන බව ද සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා, එහි කිසිදු තැනක සංවාදයට ලක්වී ඇති මාර්ගය පිළිබඳ සඳහන් නොවන බව ද අවධාරණය කළේය.

හඳපාන් විල්ලුව අසල මහවැලි ගඟේ වැලි නිධියක් ( මේ දිනවල ජලයෙන් යට වී තිබේ

ඇමැතිවරයාට අභිමත බලයක් නැත !

මේ අතර විමලවීර දිසානායක ඇමැතිවරයා විසින් පවසන ආකාරයට වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් විෂය භාර ඇමැතිවරයාට ලැබී ඇති බලතල පිළිබඳව ද අපි සොයාබැලීමක් කළෙමු. එහිදී නිරීක්ෂණය වූයේ අලුතින් රක්ෂිත ප්‍රකාශයට පත්කිරීමට මෙන්ම පවතින රක්ෂිත මායිම් සංශෝධනය කිරීමට ද ඇමැතිවරයාට පනතින් බලය පවරා ඇති බවයි. කෙසේ වෙතත් පරිසර නීතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨයන් අවධාරණය කරන්නේ ඇමැතිවරයාට අභිමත බලයක් මෙහිදී පනතින් පවරා නැති බවයි. මෙම බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මවලට යටත් ය. එම ප්‍රතිපත්තිවලට අනුව පරිසරය ආරක්ෂා කොට, සුරක්ෂිතව වැඩි දියුණු කිරීම සඳහා රාජ්‍ය බැඳී සිටී.
කිසියම් අවස්ථාවක මේ රාජ්‍ය ප්‍රතිපත්තියට යටත්ව රක්ෂිත මායිමක් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් ඇතිවුවහොත්, එය නැවත ගැසට් කිරීමට පෙර විෂය භාර ඇමැතිවරයා විසින් ඊට අදාළ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත යුතුය. අදාළ රක්ෂිතය ගැසට් කිරීමේදී එම කොටසේ තිබූ වටිනාකම්, මේ වනවිට නැති වී ඇති නිසා රක්ෂිතයෙන් අදාළ කොටස ඉවත් කිරීමට යෝජනා කරන බව අදාළ වාර්තාව මගින් කරුණු සහිතව ඔප්පු කළ යුතුය. නීත්‍යනුකූලව එවැනි වාර්තාවක් මගින් රක්ෂිත කොටසක්, ගැසට් කරන ලද රක්ෂිත වනාන්තරයකින් ඉවත් කිරීමට මෙතෙක් කිසිදු ආණ්ඩුවකට හැකියාවක් ලැබී නැත.

වසර 28 ක් නිහඬ වූ තැනක්

වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2(1) වගන්තිය යටතේ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත්කර ඇත. ඒ 1984 වසරේදී ය. එම වසරේ අගෝස්තු 07 දිනැති අංක 309/4 දරන ගැසට් පත්‍රයේ පළවූ නියෝගයක් මගින් ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් හෙක්ටයාර් 17,350 ක භූමියක් ප්‍රකාශයට පත්කෙරිණි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ 1984 වසරේදී මෙම භූමිය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් පසු, මනම්පිටියේ සිට යක්කුරේ දක්වා පැවැති මාර්ගය මුළුමනින්ම වසා දැමුණු බවයි. එහෙත් යක්කුරේ ප්‍රදේශවාසීන් පවසන ආකාරයට වනජීවී නිලධාරීන්ගේ ද අවසරය මත යම් – යම් අවශ්‍යතා සඳහා මෙම මාර්ගය 1992 වසර දක්වා වරින්-වර භාවිත කර ඇත. එහෙත් 1992 වසරේදී එවකට පැවැති එල්ටීටීඊ තර්ජන හේතුවෙන් මෙම මාර්ගය මුළුමනින්ම වසාදැමීමට ආරක්ෂක අංශ කටයුතු කළ බව ද ඔවුහු සඳහන් කරති. ඉන්පසු වසර 28 ක් තිස්සේ මෙම මාර්ගය භාවිතයට ගෙන නැත.

මාර්ගය යැයි හැඳින්වෙන කොටස

වසර දෙකකින් පසු අයිතිය අහෝසියි !

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ජාතික වනෝද්‍යානයක් ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ මෙවැනි පැරණි මාර්ගයක අයිතිය ජනතාවට ඉතිරි කර තිබුණද, අනුයාතව අවුරුදු දෙකක් එය භාවිත නොකළහොත් එම අයිතිය අහෝසි වන බව පනතේ තුන්වැනි වගන්තියේ සඳහන්ව ඇතැයි ජ්‍යේෂ්ඨ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන පැවසීය. ඒ අනුව මේ මොහොතේ මෙම මාර්ගය නැවත ඉල්ලා සිටීමේ කිසිදු අයිතියක් නීත්‍යනුකූලව කිසිවකුට නැති බව ද නීතිඥවරයා අවධාරණය කළේය. ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කළ පසු ඊට ඇතුළු විය හැක්කේ කවර අවශ්‍යතා සඳහා ද යන්න සම්බන්ධයෙන් පනතේ 05 වැනි වගන්තියේ සඳහන් වන බවත්, විනෝදාස්වාදය, සතුන් නැරඹීම හෝ අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු සඳහා පමණක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය සහිතව මෙසේ ඇතුළු විය හැකි බවත් නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ප්‍රදේශවාසීන් මත දෙකක

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රදේශවාසීන් මාර්ගය පිළිබඳ නිශ්චිත අදහසක් පැවසීම ප්‍රතික්ෂේප කරන අතර, එය අත්‍යවශ්‍ය බවක් සඳහන් නොකරයි. අලින් නිතරම ගැවසෙන මාර්ගයක යෑමට වඩා, කාපට් ඇතිරූ ප්‍රධාන මාර්ගයේ පොළොන්නරුව දක්වා යෑම වඩාත් සුදුසු බව අප සමග අදහස් දැක්වූ කිහිපදෙනෙක් සඳහන් කළහ. එහෙත් මෙම මාර්ගය අත්‍යවශ්‍ය බව පැවසූ ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ මෙමගින් පොළොන්නරුව රෝහලට කිලෝමීටර් 12 ක දුරක් ගෙවා යා හැකි බවයි. විමලවීර දිසානායක ඇමැතිවරයා විසින් ද මේ බව පාර්ලිමේන්තුවේ දී සඳහන් කර තිබිණි.

යක්කුරේ සිට කාපට් ඇතිරූ මාර්ගය ඔස්සේ පොළොන්නරුව රෝහල දක්වා යෑමට කිලෝමීටර් 50 කට මදක් වැඩි දුරක් ඇත. යක්කුරේ සිට ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් මනම්පිටිය දක්වා යෑමට කිලෝමීටර් 13 ක් තිබේ. මනම්පිටියේ සිට රෝහල දක්වා කිලෝමීටර් 12 ක් ඇත. එනම් අදාළ මාර්ගය ඉදිකළහොත්, එමගින් කිලෝමීටර් 25 ක දුරක් ගෙවා පොළොන්නරුව රෝහලට යා හැකිය. එනම් කිලෝමීටර් 25 කින් පමණ දුර අඩු වේ.

මහවැලි ගඟත් මාර්ගය යැයි හැඳින්වෙන කොටසත් අතර ඇති වතුර එකතු වන කොටසක්

ජනතාවට වාසි පාර !

එහෙත් විෂය භාර ඇමැතිවරයා විසින් පවසන ආකාරයට වනෝද්‍යානය මැදින් ඉදිකරනු ලබන මාර්ගය කාපට් කරන්නේ නැත. කොන්ක්‍රීට් හෝ තාර අතුරන්නේ ද නැත. එනම් පස් හෝ බොරළු මාර්ගයකි. එවැනි මාර්ගයක් ජලගැලුම් නිම්නයේ ගඟට සමාන්තරව පිහිටා තිබීම යනු නිරන්තරයෙන් මඩවීමට හේතුවකි. MediaLK අපගේ නිරීක්ෂණයට අනුව අදාළ මාර්ගය ඉදිකරන බව පවසන කොටස මේ වනවිට මුළුමනින්ම මඩ සහ වතුර සහිත ය. වැසි කාලවලදී මෙම කොටස මුළුමනින්ම යට වන බවත්, ඇතැම් තැන්වලදී ජල මට්ටම අඩි දහයකට වඩා ඉහළට පවතින බවත් මේ වනාන්තරයේ ගවයන් සම්බන්ධ කටයුතු කරන ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

වියළි කලාපයේ මෙම කොටසට වසරේ අවසාන මාස දෙක සහ වසරේ මුල් මාසයේ දී වර්ෂාව ලැබෙන අතර, ඉන්පසු ලැබෙන්නේ කඩින්-කඩ වැසි ය. එනම් මේ මාර්ගය අවම වශයෙන් වර්ෂාව හේතුවෙන් මාස හතරකට ආසන්න කාලයක් භාවිතයට ගැනීමට නොහැකි වේ. වර්ෂාවෙන් පසු පස් හෝ බොරළු යොදන ලද මාර්ගයක වළවල් රැසක් දැකිය හැකි වන අතර, මාර්ගය නිරන්තරයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට සිදුවීම අනිවාර්ය ය. වැසි කාලයේදී ද මේ කොටසේ විල් අලින් නිරන්තරයෙන් ගැවසෙන අතර, දැනටත් යක්කුරේ ඇතුළු ඊට ආසන්න ගම්මානවලට අලි තර්ජන බරපතළ ලෙස එල්ලවෙමින් තිබේ.

වියළි කලාපයේදී ජලය සඳහා මෙම අලින් මහවැලි ගඟ දක්වා යෑම සිදුවන්නේ අදාළ මාර්ගය ඉදිකිරීමට සැලසුම් කරනු ලබන කොටස හරහා ය. එසේම එම කාලයේදී වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට සෝමාවතිය ජාතික වනෝද්‍යානය දක්වාත්, අංගමැඩිල්ල, කවුඩුල්ල, මින්නේරිය සහ ත්‍රිකෝණමඩු රක්ෂිත දක්වාත් අලි රංචු හුවමාරු වන්නේද මෙම ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා ය. මෙවැනි කරුණු රැසක් හේතුවෙන් කිලෝමීටර් 20 ක වැඩි දුරක් තිබුණද, ප්‍රදේශවාසීන් පවසන්නේ ප්‍රධාන මාර්ගයෙන් පොළොන්නරුවට යෑම වඩා පහසු සහ ආරක්ෂිත බවයි.

කන්ගරාව පාලම

පාර යට සැඟවූ වැලි නිධිය !

මෙම මාර්ගය ඉදිකිරීමේ උත්සාහයේ සැබෑ අරමුණ ජනතාවට පහසුකම් සැලසීම නොවන බවත්, මහවැලි ගඟේ තුම්මෝදර ආශ්‍රිතව පිහිටි ගිරාමංකඩ ඇතුළු එම කොටසේ පිහිටි වැලි නිධිය ඔවුන්ගේ ඉලක්කය විය හැකි බවත් මේ සම්බන්ධයෙන් MediaLK සමග අදහස් දක්වමින් වනජීවී අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ඩබ්ලිව්.ජී. වීරසේන පැවසීය. එම සංගමයේ ලේකම්වරයා පවසන කරුණ සම්බන්ධයෙන් කළ විමසීමකදී භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ භු විද්‍යාඥයෙකු අප සමග පැවසුවේ මනම්පිටියේ වර්තමාන වැලි කැණීම් කරන ස්ථානයේ මේ වනවිට වැලි හිඟයක් පවතින බවයි. එම නිසා කළු පැහැයට හුරු පස් මිශ්‍ර වැලි විකුණන බවත්, ඒවා ඉදිකිරීම් සඳහා පිරිසිදු වැලි තරම් සුදුසු නොවන නිසා ව්‍යාපාරිකයන් ගැටළුවලට මුහුණ දෙමින් සිටින බවත් පෙන්වා දුන් ඔහු, මේ නිසා මහවැලි ගඟේ කන්තලේ ප්‍රදේශයේ වැලිවලට වැඩි ඉල්ලුමක් ඇතිවෙමින් තිබෙන බව ද සඳහන් කළේය. එම නිසා මනම්පිටියේ සිට ගඟේ ඉහළට වැලි ගොඩදැමීම සඳහා උත්සාහයක් වසර ගණනාවක් පුරාම ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඊට අදාළ ව බලපත්‍ර ලබාදීම වැළකී ඇත්තේ මෙම කොටස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා වැටී ඇති නිසා බවත් ය.

වැලිමංකඩට යන වාහන පෝලිමක්
මනම්පිටිය වැලිමංකඩට යන මාර්ගයෙන් පැරණි මාර්ගයට ඇතුළු වන ස්ථානය
මනම්පිටිය වැලිමංකඩට යන මාර්ගයෙන් පැරණි මාර්ගයට ඇතුළු වන ස්ථානය
මාර්ගය
කන්ගරාව පාලම මැද ඇති කුඹුක් ගසක්
කන්ගරාව පාලම මැද ඇති ගසක්
මාර්ගයේ තිබූ පාලමක් මැද ඇති ගසක්
මාර්ගය
මාර්ගය යැයි හැඳින්වෙන කොටසේ ගවයන් ගොස් ඇති අයුරු
මාර්ගය යැයි හැඳින්වෙන කොටසේ ඇති ගස්
මාර්ගය යැයි හැඳින්වෙන කොටස අසල නිධන් හෑරූ පිරිසක් දමාගිය දෑ
මාර්ගය යැයි හැඳින්වෙන කොටස අසල නිධන් හෑරූ පිරිසක් දමාගිය දෑ
මාර්ගය යැයි හැඳින්වෙන කොටස
මාර්ගය යැයි ඒැඳින්වෙන කොටස අසල ගවයන් යන පාරක්
මනම්පිටිය දෙසින් මාර්ගයේ ආරම්භය

පාලමක්
Previous articleඅයිඑස්ට එරෙහිව කවි ලියා රැඳවුම්බාරයේ සිටින තරුණයා ගැන සොයා බලන්නැයි ඉල්ලීමක්
Next articleමහර උද්ඝෝෂණ සාධාරණයි : වතුර ඉල්ලූ රැඳවියන්ටත් වෙඩි තියලා – වාර්තාව කියයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here