බන්ධනාගාර තදබදය වහා අඩු කරන්නැයි නිර්දේශ

බන්ධනාගාර තුළ තදබදය වහාම අඩු කරන ලෙසත් ඇප ලබාදිය හැකි වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් කරනු ලැබ සිටින රැඳවියන් මුදාහරින ලෙසත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කරයි.

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය නිර්දේශ සහ නිරීක්ෂණ ප්‍රකාශයට පත් කරමින් මේ නිර්දේශ කළේය.

බන්ධනාගාර තුළ පවතින තදබදය නිසා නොසන්සුන්තාවන් ඇති වීමටත් කොවිඩ්-19 සම්බන්ධයෙන් බියක් ඇතිවීමටත් හේතුවන බවට සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරීන් තහවුරු කළ බව එම කොමිසම පවසයි.

ඇප ලබා ගත හැකි වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් කරනු ලැබ සිටින රැඳවියන් මුදා හැරීම, අන් රැඳවියන්⁣ට හදිසි ඇප විභාග පැවැත්වීම, ඇප ලබා ගැනීමේ වැරදි සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා අය රිමාන්ඩ් කිරීම නැවැත්වීම සහ නිදහස් කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම මේ සඳහා ගත හැකි පියවර බවට එම කොමිසම නිර්දේශ කරයි.

එම නිර්දේශ ඇතුළත් සම්පූර්ණ වාර්තාවෙන් පහත ලිපිය සකස් කර තිබේ.

බන්ධනාගාරයට ඇතුළු වීමේදී ප්‍රමාදයන්

කොමිසම මහර බන්ධනාගාරයට අවස්ථා දෙකකදී ගිය බවත් එම අවස්ථා දෙකේහිදීම, ඊට ඇතුළුවීමට සහ නිලධාරීන් සමඟ කතා කිරීමට බොහෝ ප්‍රමාදයන් සිදුවූ බවත් කොමිසම සඳහන් කරයි.

ඇතැම් ප්‍රමාදයන් තේරුම් ගත හැකි ආකාරයයේ ඒවා වුවත් සමහර ඒවා අනවශ්‍ය ප්‍රමාදයන් වූ බව එහි දැක්වෙයි.

“2020 නොවැම්බර් 29 සහ දෙසැම්බර් පළමුවැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මහර බන්ධනාගාරයට ගොස් 2020 නොවැම්බර් 29 සිට සිදුවූ සිදුවීම්වල ස්වභාවය සොයා බැලීය.

මේ සම්බන්ධයෙන් පුවත් වාර්තා වීමෙන් පසු, 1996 අංක 21 දරණ මානව හිමිකම් කවුන්සිල පනතේ 14 වැනි වගන්තිය යටතේ කොමිෂන් සභාව සිය වගකීම් ඉටු කිරීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කළේය. බන්ධනාගාර නොසන්සුන්තාවයෙන් පසු සිරකරුවන් කිහිප දෙනෙකු මිය යාම, සිරකරුවන්ට සහ නිලධාරීන්ට බරපතල තුවාල සිදුවීම සහ නිලධාරීන් දෙදෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන ඇති බවට පුවත් වාර්තා පළ විය.

එම පුවත්වලින් පසුව, මහර බන්ධනාගාර රැඳවියන්ගේ පවුලේ සාමාජිකයන්ගෙන් කොමිසමට බොහෝ ඇමතුම් ලැබුණි. රිමාන්ඩ් කරනු ලැබ සිටින කිහිප දෙනෙක් ද ඔවුන්ට සන්නිවේදන පහසුකම් ලබා දීමෙන් පසුව අපට ඇමතුම් ලබාදුන්හ. කොමිසම මහර බන්ධනාගාරයට ගිය අවස්ථා දෙකෙහිම, ඊට ඇතුළුවීමට සහ නිලධාරීන් සමඟ කතා කිරීමට බොහෝ ප්‍රමාදයන් සිදුවිය.සමහර ප්‍රමාදයන් තේරුම් ගත හැකි ආකාරයයේ ඒවා වුවත්, සමහර ඒවා අනවශ්‍ය ප්‍රමාදයන් විය.

නිදහස අහිමි වූ පුද්ගලයන්ගේ සුභසාධනය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 11 (ඇ) වගන්තිය යටතේ කොමිසමට බලය පැවරී ඇති හෙයින් අදාළ බලධාරීන් වෙත බාධාවකින් තොරව ප්‍රවේශ වීමේ හැකියාව කොමිසමට තිබිය යුතු අතර එවන් සිද්ධියක් සිදු වූ වහාම බලධාරීන් කොමිසමට දැනුම් දිය යුතුය.

මෙම සංචාරයේදී අප නිලධාරීන්, සිරකරුවන් සහ ශෝකයට පත්ව සිටි පවුලේ සාමාජිකයන් හමුවූ අතර එහිදී සහ මේ සම්බන්ධයෙන් අප කළ සොයාගැනීම් අනුව, මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 10, 11 සහ 14 යන වගන්ති යටතේ කොමිෂන් සභාවේ බැඳීම් මත පදනම්ව ක්ෂණිකව ක්‍රියාත්මක කිරීම සඳහා අපි මෙම අතුරු නිර්දේශ ඉදිරිපත් කරමු. විමර්ශනය අවසන් වීමෙන් පසු සම්පූර්ණ වාර්තාවක් සහ අවසාන නිර්දේශ මාලාවක් නිකුත් කරනු ලැබේ.” යැයි එහි සඳහන් වෙයි.

නිර්දේශ – වහාම ක්‍රියාත්මක කළ යුතු ;

බන්ධනාගාර තදබදය අඩු කිරීම

සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරීන් විසින් තහවුරු කරන පරිදි, බන්ධනාගාර තුළ පවතින තදබදය නිසා නොසන්සුන්තාවන් ඇති වීමටත් කොවිඩ්-19 සම්බන්ධයෙන් බියක් ඇතිවීමටත් හේතුවන බව එම කොමිසම පෙන්වා දෙයි.

එහි මෙසේද දැක්වෙයි.

“2020 මාර්තු සහ 2020 නොවැම්බරයේ අපගේ සාකච්ඡාවලදී සහ බන්ධනාගාර පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ අධ්‍යයනයේ නිර්දේශයන් අනුව, තදබදය වහාම අඩු කිරීම සඳහා පහත සඳහන් පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ:

  • ඇප ලබා ගත හැකි වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් කරනු ලැබ සිටින රැඳවියන් මුදා හැරීම,
  • අන් රැඳවියන්⁣ට හදිසි ඇප විභාග පැවැත්වීම
  • ඇප ලබා ගැනීමේ වැරදි සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා අය රිමාන්ඩ් කිරීම නැවැත්වීම
  • නිදහස් කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම “

සිරකරුවන්ගේ සෞඛ්‍ය සහ ප්‍රතිකාර

COVID-19 වෛරසය ආසාදිත සිරකරුවන් වැලිකඩ බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරය වෙත මාරු කිරීම මගින් විරෝධතා ආරම්භ වූ බවත් මෙම මාරුකිරීම් සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ කනස්සල්ල සම්බන්ධයෙන් අදාළ බලධාරීන් ප්‍රතිචාර දැක්වූයේ නම් සහ ඒ වෙනුවට සිරකරුවන් සඳහා වෙනම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවා තිබුනේ නම්, මෙම ගැටුම හා පසුව සිදුවූ මරණ සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකිව තිබු බව මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.

පීසීආර් පරීක්ෂණවල දීර්ඝ ප්‍රමාදයන් නිසා අලුතෙන් ඇතුළත් වන රැඳවියන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සහ ප්‍රතිකාර කිරීම ගැන පැහැදිලිකමක් නොමැති බව ද එහි දැක්වෙයි.

තවදුරටත් උද්ඝෝෂණ තුඩු දීමට හේතුවිය හැකි, සිරකරුවන් අතර ඇති බිය අවම කිරීම සඳහා පහත සඳහන් කරුණු හදිසි කාරණයක් ලෙස සලකා අනුගමනය කළ යුතු බව එම කොමිසම සඳහන් කරයි.

  • සියලුම නව රැඳවියන් බන්ධනාගාරවලට ඇතුළත් කිරීමට පෙර පළමුවෙන් පීසීආර් පරීක්ෂණකයට භාජනය කළ යුතුය.
  • නව රැඳවියන් සඳහා නිරෝධායන පහසුකම් දැඩි ලෙස පවත්වාගෙන යා යුතුය.
  • වෛරසය ආසාදනය වූ සියලුම සිරකරුවන් සහ රිමාන්ඩ් කරනු ලැබ සිටින රැඳවියන් සඳහා වෙනම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලබා දීම
  • මහර සියලුම සිරකරුවන්ට පීසීආර් පරීක්ෂණ සිදු කිරීම
  • නිලධාරීන් සඳහා නිරන්තර පීසීආර් පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදු කිරීම

තොරතුරු ලබාදීම

නොවැම්බර් 30 සවස 4 වන විටත් මියගිය රැඳවියන්, රාගම රෝහලට මාරු කළ තුවාලකරුවන් හෝ ඇප ලබා සිටි සිරකරුවන්ගේ තොරතුරු මානව හිමිකම් කවුන්සිලයට තහවුරු කිරීමට බලධාරීන්ට නොහැකි වූ බව පෙන්වා දෙන එම කොමිසම මෙයින් අදහස් කරන්නේ කනස්සල්ලට පත් පවුලේ සාමාජිකයින්ට තම ආදරණීයයන්ගේ ඉරණම සම්බන්ධයෙන් දැනගැනීමට නොහැකි බව යැයි ද මෙය වහාම නිවැරදි කළ යුතු බව ද පවසයි.

ඒ සඳහා පහත කරුණු සිදුකළ යුතුය බව මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.

  • මියගිය අයගේ නම් ලැයිස්තුගත කර ඔවුන්ගේ පවුල්වලට දැනුම් දිය යුතුය.
  • තුවාල සිදු වීම නිසා ප්‍රතිකාර සඳහා රෝහල්වල⁣ට ඇතුළත් කර ඇති සියලු දෙනාගේ නම් සටහන් කළ යුතුය.
  • බන්ධනාගාරයෙන් පිටතට ගෙන ගිය රැඳවියන් සම්බන්ධයෙන් විස්තර සටහන් කළ යුතුය.
  1. වෛරසය ආසාදනය වී ප්‍රතිකාර සඳහා පිටතට ගෙන යනු ලැබූ
  2. නිරෝධායනය සඳහා
  3. ඇප මත මුදා හරින ලද නමුත් අක්කරෙයිපත්තු නිරෝධායනය සඳහා ගෙනගිය
  • මහර පවතින ගැටළුව වළක්වා ගැනීම සඳහා රිමාන්ඩ් භාරයේ මධ්‍යගත ලේඛනයක් සැකසිය යුතුය.
  • සිරකරුවන් සහ රිමාන්ඩ් රැඳවියන් ප්‍රවාහනය කරන සියලු වාහන සහ රියදුරන්ගේ වාර්තා සහ නඩත්තු කළ යුතු ආරක්ෂක තොරතුරු සටහන් කළ යුතුය.

සුබ සාධනය

බලධාරීන් සහ සිරකරුවන් තහවුරු කර ඇත්තේ නොවැම්බර් 29 වන දින සිරකරුවන්ට දිවා ආහාරය ලබා දී ඇත්තේ සවස 4.30 ට බව කොමිසම ප්‍රකාශ කරයි. තවද, නොවැම්බර් 30 දින දිවා කාලයේදී සිරකරුවන්ට ආහාර සැපයුම් ලබාගැනීමේදී දුෂ්කරතා ඇති බවට නිරීක්ෂණය කළ බවද එහි සඳහන් කර තිබේ.

එහි මෙසේද.දැක්වෙයි.

“ආහාර සැපයුම, විදුලිය හා ජල සැපයුම සහතික කිරීම සඳහා විකල්ප පියවර ගනිමින් සිටින බව අප දැනුම්වත් කරනු ලැබීය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හදිසි සැලසුම් කිසිවක් නොතිබූ බව පැහැදිලිය. තවද, බොහෝ රැඳවියන් හෘද රෝග, මානසික සෞඛ්‍ය ගැටළු, දියවැඩියාව ඇතුළු විවිධ රෝග සඳහා දිනපතා ගත යුතු ඖෂධ නොමැතිව සිටි ඇත. මේවා කටයුතු නැවත සම්බන්ධ කර වෛද්‍ය සේවා නැවත ආරම්භ කිරීම අත්‍යවශ්‍ය වේ.

  • ජලය සහ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සහ විකල්ප සැපයුම් මූලාශ්‍ර සකස් කිරීම.
  • සියලුම ආහාර සැපයුම් කාලෝචිත ආකාරයකින් පවත්වා ගැනීම.
  • ප්‍රතිකාර අවශ්‍ය රෝගී සිරකරුවන් ආසන්න රෝහල් වෙත මාරු කිරීම.
  • දිනපතා ඖෂධ ලබාදෙන බවට සහතික කිරීම.”

කෙටි කාලීන නිර්දේශ;

පෙර සූදානම නොමැතිවීම සහ තීරණ ගැනීමේ ක්‍රමවේදයක් නොමැතිකම

මෙම තත්ත්වයට ප්‍රතිචාර දක්වන කේන්ද්‍රීය තීරණ ගැනීමේ ක්‍රමයක් නොමැති බවට නිරීක්ෂණය වූ බවද COVID-19 වසංගතයට ඇති බිය නිසා බන්ධනාගාරයක ඇති වන නොසන්සුන්තාව පාලනය කිරීම දුෂ්කර බව⁣ට පිළිගන්නා බවද කෙසේ වෙතත්, එවැනි ව්‍යුහයක් සකස් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියයි.

” පිරිස් පාලනය, සාකච්ඡා කුසලතා සහිත විශේෂඥයින් සහ අවම බලය භාවිත කිරීමේ උපදේශකයින් මෙයට ඇතුළත් විය යුතුය. එවැනි ව්‍යුහයක් පැවතියේ නම්, නොවැම්බර් 29/30 දින අහිමි වූ බොහෝ ජීවිත බේරා ගත හැකිව තිබුණි.

  • බන්ධනාගාරවල ඇති විය හැකි නොසන්සුන්තාවන් පාලනය කිරීම සඳහා මධ්‍ය අණ දෙන මධ්‍යස්ථානයක් පිහිටුවීම
  • බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය, වෛද්‍ය නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් සහ තීරණයක් ගන්නා තෙක් රිමාන්ඩ් රැඳවියන් නැවත ඔවුන්ගේ සිරකුටිවලට ගෙන යාමේ කාර්යය සඳහා තේරුම් ගැනීමට සහ සහාය වීමට හැකි මනෝ සමාජ විශේෂඥතාව ඇති පුද්ගලයන් ඇතුළත් කර කාර්ය සාධක බලකායක් සැකසීම.
  • සිරකරුවන් සමඟ කතා කිරීම සඳහා භාවිතා කිරීමට හදිසි සන්නිවේදන පහසුකම් තිබිය යුතුය.
  • පවුලේ සාමාජිකයන් සඳහා හදිසි දුරකථන ඇමතුම් මාර්ගයක් සැකසීම.” යැයි එම කොමිසම පෙන්වා දෙයි.

එහි මෙසේද සඳහන් වෙයි.

පරීක්ෂණය

” අප බන්ධනාගාරයට පැමිණෙන විට බන්ධනාගාරයේ තත්ත්වය අතිශයින් අස්ථාවර විය. මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ සහ රජයේ විශ්ලේෂක දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය විසින් මෙහෙයවන ලද අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් දහවල් වන විට පැමිණි නමුත් ක්ෂණික පරීක්ෂණයක් කළ නොහැකි විය.

සියලු පාර්ශවකරුවන් සම්බන්ධ මෙම සිද්ධියට හේතු සහ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම සඳහා අති⁣⁣රේක පරීක්ෂණයක් අත්‍යවශ්‍ය වේ.

බන්ධනාගාර පරිශ්‍රයේ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් ආරම්භ කිරීම සහ මියගිය අයගේ මරණයට හේතුව සහ තුවාලවල ස්වභාවය අවබෝධ කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම.

බන්ධනාගාර පද්ධතියේ ඇති තෙරපීම් සහිත ස්වභාවය සහ කොවිඩ්-19 නිසා ඇති වන තර්ජන ඇතුළු සිදුවීම් තේරුම් ගැනීම පිළිබඳව ක්ෂණිකව විමසා බැලීමක් අධිකරණ අධීක්ෂණය යටතේ සිදුකිරීම.”

මධ්‍ය කාලීන නිර්දේශ ;

බන්ධනාගාර නිලධාරීන්ට පුහුණුවක්

“මෙම තත්ත්වය කළින් හඳුනාගත් දෙයක් නොවන බව අප තේරුම් ගන්නා අතරම, බන්ධනාගාර නිලධාරීන්ට මෙවැනි තත්ත්වයන් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ හදිසි පුහුණුවක් අවශ්‍ය බව අපි නිරීක්ෂණය කළෙමු.

  • ගිනි අවි භාවිතා නොකර කැරලි සහ ප්‍රාණ ඇපකරුවන් කළමනාකරණය කිරීම
  • පිරිස් පාලනය, ගිනි අවි භාවිතය, සියලු බන්ධනාගාර හා රැඳවුම් මධ්‍යස්ථාන සඳහා ජල සැපයුම් සහ වෛද්‍ය ආධාර සැපයීම වැනි හදිසි සේවාවන් සැපයීම් පිළිබඳ මාර්ගෝපදේශ සකස් කළ යුතුය.
  • මානව හිමිකම් සම්මතයන් හා මූලධර්ම සමඟ රැඳවියන් හැසිරවීම.”

මනෝ වෛද්‍ය – සමාජ සහයෝගය

” බොහෝ සිරකරුවන් සහ නිලධාරීන් මෙම සිදුවීම් නිසා අතිශයින් පීඩාවට පත්වූ අතර සමහරුන්ට හුස්ම ගැනීමට නොහැකි වීම සහ වෙනත් ශාරීරික රෝග පිළිබඳව පැමිණිලි ලැබි තිබේ. එදින රාත්‍රියේ මියගිය ඔවුන්ගේ “සහෝදරවරුන්” ගැන විස්තර කිරීම සිරකරුවන්ට අපහසු විය. මෙම සිද්ධියේ දිගුකාලීන බලපෑම අවම කිරීමට නම්, මනෝ වෛද්‍ය-සමාජ සහයෝගයක් අත්‍යවශ්‍ය වේ:

  • මනෝවෛද්‍ය – සමාජ සහයෝගයක් ඉල්ලා සිටින ඕනෑම නිලධාරීයකුට හෝ සිරකරුවන්ට ක්ෂණික සහාය ලබා දිය යුතුය.
  • මනෝ-සමාජ අවශ්‍යතා මූලික සිතියම් ගත කිරීම සහ ඒ පිළිබඳ නිර්දේශ ක්‍රියාත්මක කිරීම.
  • අවශ්‍ය අවස්ථාවන්හිදී, රෝගීන් ප්‍රතිකාර සඳහා ළඟම ඇති රෝහල් වෙත යොමු කිරීම “

දිගු කාලින නිර්දේශ ;

මත්ද්‍රව්‍ය අනිසි භාවිතය

” මහර රිමාන්ඩ් සිරකරුවන්ගෙන් 80%ක් පමණ රඳවාගෙන සිටියේ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නැවත නැවත වැරදිකරුවන් වූ බව පෙනෙන්නට තිබුණි. මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ව්‍යාපාරයක් ලෙස නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවි කරන සිරකරුවන්ගෙන් වෙන් කර කළමනාකරණය කිරීම බලධාරීන්ට වැදගත් වනු ඇත.මනස වෙනස් කරන මත්ද්‍රව්‍ය මත යැපෙන සැකකරුවන් බන්ධනාගාරවලට නොව පුනරුත්ථාපනය සඳහා යැවිය යුතු බවට අප නිර්දේශ කරමු.

මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථාන කළමනාකරණය කළ යුත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වාසින් නොව ජාතික අන්තරාදායක ඖෂධ පාලන මණ්ඩලය විසිනි.”

විකල්ප රැඳවුම් ප්‍රතිපත්ති

” අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියට සිර දඬුවම් නියම කිරීම අවශ්‍ය නොවන බොහෝ දඬුවම් විකල්ප ඇත. මෙම විකල්පයන් නැවත ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවයක් ඇත:

  • මේ සම්බන්ධයෙන් වෙනම අධිකාරියක් ඇති කිරීම
  • අවශ්‍ය යටිතල පහසුකම් සහතික කිරීම
  • මෙම විකල්පයන් පිළිබඳව අධිකරණ නිලධාරීන් සඳහා විශේෂ පුහුණුවක් ලබාදීම

මෙම අතුරු නිර්දේශයන් පනතේ 10 (ඇ) සහ ()) වගන්ති යටතේ නිකුත් කරනු ලැබේ. එහිදී රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය කොමිෂන් සභාවට පැවරේ.

මෙය සංකීර්ණ තත්ත්වයක් වන අතර මෙය නැවත නැවත ඇති නොවීම සහතික කිරීම සඳහා සියළුම බලධාරීන් ඔවුන්ගේ විශේෂඥතාව භාවිත කළ යුතු අවස්ථාවකි. එය ඔබද පිළිගනු ඇත.එබැවින් මානව හිමිකම් කවුන්සිලය, වෛද්‍ය හා මනෝ සමාජ විශේෂඥයින් සහ සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ඇතුළු පාර්ශවකරුවන්ගේ සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.”

Previous articleරෝහල් සෞඛ්‍ය සහායකයන් ස්ථිර කරනු ! – රෝහල් 07 ක උද්ඝෝෂණ
Next articleමහර – සිරුරු ආදාහනයෙන් අපරාධය යටයයි ද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here