රෝහල් සෞඛ්‍ය සහායකයන් ස්ථිර කරනු ! – රෝහල් 07 ක උද්ඝෝෂණ

ආදේශක පදනමින් රෝහල් සෞඛ්‍ය කාර්ය සහයක තනතුරු සඳහා බඳවාගත් දින 180 (මාස 06) සම්පූර්ණ කළ සියලු ආදේශක සේවකයන් ස්ථීර කරන ලෙසටත්, කප්පාදු කළ ප්‍රවාහන පහසුකම් නැවත ලබාදෙන ලෙසටත් ඉල්ලමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අද (02) රෝහල් 07 ක් ඉදිරිපිටදී උද්ඝෝෂණ පවත්වන ලදී.

කෑගල්ල මහ රෝහල, කළුතර නාගොඩ මහ රෝහල, කුලියාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල, කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල කළුබෝවිල සහ නුවරඑළිය මහ රෝහල යන රෝහල් ඉදිරිපිට මෙම උද්ඝෝෂණ පැවැත්විණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒකාබද්ධ ‌සෞඛ්‍ය ‌සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ මෙසේ පැවසූහ.

“ආදේශක පදනමින් රෝහල් සෞඛ්‍ය කාර්ය සහයක තනතුරු සඳහා 2019 වර්ෂයේ අගෝස්තු මාසයේ පළමු වැනිදාත් සැප්තැම්බර් මාසයේ කණ්ඩායම් දෙකක් බඳවාගත්තා. ඒ බඳවාගත්ත කණ්ඩායම් දෙක සාමාන්‍ය පටිපාටියේ තමයි දින 180ක සම්පූර්ණ වූවායින් පසු ස්ථිර කරන්න ඕනේ. නමුත් දැන් මේ අය සේවයට ඇවිත් දින 180 පහුවෙලා පිළිවෙලින් මාස 08 සහ 09 ගෙවිලා තියෙනවා. නමුත් මේ අයව ස්ථිර කරන්න මේ වෙන තෙක් වැඩපිළිවෙළක් යොදලා නෑ. වි⁣⁣ශේෂයෙන් රෝහල් කාර්ය මණ්ඩල සේවකයින්ට ප්‍රශ්න රැසක් තියෙනවා. ඒ තියෙද්දි අපි ආදේශක කාර්ය සහයක සේවකයින් ස්ථිර කරන්න කියලා මේ වෙලාවේ බලපෑමක් කරන්න ඉල්ලීම් කරන්නේ හේතු ගණනාවක් උඩ.

ඒකට විශේෂම හේතුව තමයි මේ වෙනකොට රටේ තියෙන්නේ අවදානම් තත්ත්වයක්. එතකොට රෝහල් ඇතුළේ මේ අවදානම් තත්ත්වය ඉතාමත් වැඩි. එහෙම තත්ත්වයක් ඇතුළේ මේ කාර්යමණ්ඩලයේ අයට යම් කිසි කරදරයක් සිදු වු⁣⁣ණොත් මේ අයගේ ජීවිත පිළිබඳව හෝ රැකියා සුරක්ෂිතබාවය ගැන අඩුම තරමේ මේ අය පිළිබඳ කිසිදු වගකීමක් කවුරුන් හෝ දරන්නේ නෑ. එතකොට ආණ්ඩුව මේ දින 180 ගණන සම්පූර්ණ පස්සේ ස්ථිර නොකිරීම නිසා මේ අය පිළිබඳ වගකීම කවුරුවත් ගන්නේ නෑ. එක තමයි මූලිකව තිබෙන ගැටළුව. ස්ථීර නොකිරීමේ ප්‍රතිඵලයක් විදියට මේ වෙනකොට ගැටළු ගණනාවක් මතු වෙලා තියෙනවා. ආදේශක කාර්යමණ්ඩලය කියන්නේ රෝහල් තුළ රෝගීන් සමග ගැටෙමින් කටයුතු කරන පිරිසක්. වැඩ කරද්දි මේ වෙනකොටත් කොරෝනා ආසාදිත බවට පත්වෙච්ච කාර්යා මණ්ඩලය සේවකයින් ඉන්නවා ඒ වගේම ස්වයං නිරෝධායනයට යොමු කර සිටින අය ඉන්නවා. එහෙම තත්ත්වයක් ඇතුළේ මේ අයට නිවාඩු ලබාදීම් හෝ ගෙවීම් කටයුතු කිසිවක් සිදුවන්නේ නෑ. ඒකට හේතුව විදියට තියෙන්නේ මේ අයට ආදේශක පදනමින් ඉන්න කාලය තුළ දෛනික වැටුප් ලැබෙන්නේ. ඒ නිසා මේ අය ස්ථීර නොකිරීම නිසා මේ ගැටළු ඇතිවෙලා තියෙනවා. එතකොට අපි මේ කාරණාව ගැන ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, ඒ වගේම සෞඛ්‍ය ඇමතිතුමියට, සෞඛ්‍ය ලේකම්තුමාට දිගින් දිගටම ලිපි මගින් දැනුම් දුන්නා මේ පිළිබඳ සාකච්ඡා කරන්න ඕන, මේ ගැටළුව විසඳන්න කියලා. නමුත් මේකට උත්තරයක් හෝ සාකච්ඡාවක් ලැබු⁣ණේ නෑ.

11 වෙනි මාසේ 23 වැනිදා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට ගියා මේ අය විසින් අත්සන් කරපු පෙත්සමක් බාරදෙන්න. මේ කණ්ඩායම් දෙකට අදාළව 1200ක වගේ සංඛ්‍යාවක් ඉන්නවා. 712ක් වගේ පිරිසක් මේකට අත්සන් කරලා තියෙනවා. නමුත් ඒක බාරදෙන්න ගියාම සුපුරුදු පරිදි පොලිසිය පාවිච්චි කරලා අපේ පෙත්සම බාරදෙන්න ගිය එක ව්‍යර්ථ කළා. අනතුරුව අපි දැනුම්දුන්නා සතියක් ඇතුළත මේ අය ස්ථීර කරන කටයුත්ත කරන්න කියලා. නමුත් මේ වනතෙක් එ්කට ප්‍රතිචාරයක් දැක්වුයේ නෑ. අන්න ඒ කාරණාව නිසා දින 180 සම්පූර්ණ කළ සියලු ආදේශක සේවකයින් ස්ථීර කරන්න කියන සටන් පාඨය මුල් කරගෙන අද දවසේදී මධ්‍යම රජයේ රෝහල් කේන්ද්‍ර කරගෙන විරෝධතා ක්‍රියාවලියක් පැවැත්වුවා.

කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, කෑගල්ල මහ රෝහල, නාගොඩ කළුතර මහරෝහල, කුලියාපිටිය ශික්ෂණ රෝහල, නුවරඑලිය ශික්ෂණ රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල කියන මේ රෝහල් හත තුළ උද්ඝෝෂණ ක්‍රියාවලියක් අපි පැවැත්වුවා. ”

 

 

Previous articleහලාවතට ‘බුරවි’ ආ වීඩියෝව බොරුවක් !
Next articleබන්ධනාගාර තදබදය වහා අඩු කරන්නැයි නිර්දේශ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here