මහර – සිරුරු ආදාහනයෙන් අපරාධය යටයයි ද?

මහර බන්ධනාගාරයේ පසුගිය 29 දා සිදු වූ සිදුවීමෙන් මියගිය රැඳවියන්ගේ සිරුරු ආදාහනය කළහොත්, එමගින් ඔවුන්ට යුක්තිය ඉටුනොවීමේ අවදානමක් ඇති බව සඳහන් කරමින් නීතිඥවරුන් දෙදෙනෙකු විසින් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

තීන්දුව හෙට

ඊයේ (02) සේනක පෙරේරා සහ නාමල් රාජපක්ෂ යන නීතිඥවරුන් දෙදෙනා විසින් අධිකරණය ඉදිරියේ ගොනු කළ අදාළ මෝසම මගින් ඉල්ලා ඇත්තේ මෙහිදී යුක්තිය අහිමි නොවන ලෙස සුදුසු තීරණයක් ලබාදෙන ලෙසයි. මෝසම හෙට (04) දිනයේ සලකා බැලීමට තීරණය කළ අධිකරණය, නීතිපතිවරයාගේ නියෝජිතයෙක් සහ සෞඛ්‍ය බලධාරියෙක් ද එදිනට අධිකරණයට කැඳවන බව නීතිඥවරුන්ට දැනුම් දී තිබේ.

අදාළ නීතිඥවරුන් දෙදෙනා පෙන්වා දෙන්නේ කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් මියයෑමෙන් පසු ආදාහනය කළ යුතු බවට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදී තිබුණද, මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් මිය ගිය රැඳවියන්ගේ සිරුරු ආදාහනය කිරීම නිසා අපරාධ යුක්තිය යට යෑමේ අනතුරක් ඇති බවයි.
බන්ධනාගාරයේ සිදු වූ සිදුවීමේදී මියගිය රැඳවියන් 11 දෙනාගෙන් 09 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ යැයි රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසයි. මියගිය අනෙක් රැඳවියන් දෙදෙනාගේ ද වෛරසය හඳුනාගැනීමේ පීසීආර් පරීක්ෂණ ඊයේ (02) සිදු කළ බවත්, එම පරීක්ෂණ ප්‍රතිඵල අද (03) ලැබීමට නියමිත බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

හඳුනාගැනීමේ ගැටළුවක්

කෙසේ වෙතත් බන්ධනාගාරයේ ඇති වූ ගින්නෙන් හඳුනාගැනීමේ ලේඛන පිළිස්සීම නිසා අදාළ රැඳවියන් මෙතෙක් හඳුනාගෙන නැත. හඳුනා නොගත් කොවිඩ් ආසාදිත මළ සිරුරු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් උපදෙස් ලබා දී තිබුණේ ඒවා කඩිනමින් ආදාහනය කරන ලෙසයි. මේ අතර පෙරේදා (01) ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබුණේ කොවිඩ් ආසාදිත හඳුනා නොගත් මළසිරුරු රජයේ වියදමින් ආදාහනය කරන බවයි.

මෙසේ ආණ්ඩුව පාර්ශ්වයෙන් හඳුනා නොගත් කොවිඩ් ආසාදිත මළසිරුරු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට කටයුතු කළේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පෙරේදා (01) නිකුත් කළ නියෝගයකින් පසුව ය. කොවිඩ් ආසාදිත මළසිරුරු ආදාහනය කිරීම අනිවාර්ය කරමින් ආණ්ඩුව නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා පෙත්සම් 11 ක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකර තිබූ අතර, එම පෙත්සම් සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරිණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවලට අනුව මෙම මළසිරුරු ආදාහනය කිරීම අනිවාර්ය කර නැත.

මූලිකත්වය සමස්ත ජනතාවට

මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් මියගිය රැඳවියන්ගේ සිරුරු ආදාහනය කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු පැවසුවේ අපරාධ යුක්තිය සම්බන්ධයෙන් ගැටළුවක් තිබුණද, මෙහිදී සමස්ත ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව මූලික කරගෙන තීරණ ගතයුතු බවයි. එම නිසා ආණ්ඩුව දැනට කොවිඩ් 19 ආසාදිතයන්ගේ මරණ සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත මෙහිදී ද අනුගමනය කිරීම වඩාත් සුදුසු බව හිටපු නීතිපතිවරයාගේ අදහසයි. කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් මීට පෙර මතු වී නැති නිසා පූර්වාදර්ශ නොමැති බව ද ඔහු පෙන්වාදුන්නේය.

විමර්ශන අවශ්‍යතා

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අපරාධ නීතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් කිහිපදෙනෙකු පැවසුවේ මෙමගින් අපරාධ යුක්තිය සම්බන්ධ ගැටළුවක් මතුවීමට ඉඩක් ඇති බවයි. අදාළ රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ මේ වනවිටත් සිදු කර අවසන්ව ඇතත්, විමර්ශනවල අවශ්‍යතාව මත යළිත් මළ සිරුරු පරීක්ෂා කිරීමට අවශ්‍ය වුවහොත් ගැටළුවක් මතුවන බවයි. කෙසේ වෙතත් වර්තමානයේ මතු වී ඇති වසංගත තත්ත්වය යටතේ මහේස්ත්‍රාත්වරයකුගෙන් මේ සම්බන්ධයෙන් නියෝගයක් ලබාගැනීම වඩාත් සුදුසු බව ඔවුහු අවධාරණය කර සිටිති.

ඇඹිලිපිටියේ තීන්දුව

සැඟවූ ආයුධ පෙන්වීමට ගොස් 2010 වසරේදී වෙඩි තබා මරාදැමූ ඇඹිලිපිටියේ අජිත් ප්‍රසන්නගේ බිරිඳට වන්දි ගෙවන්නැයි එවකට ඇඹිලිපිටිය පොලිසියේ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, ඇඹිලිපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් හත් දෙනකුටත්, ශ්‍රී ලංකා රජයටත් ශ්‍රේෂ්ඨාධිකරණය 2019 නොවැම්බර් 17 දා නියෝග කළේය. මියගිය තරුණයාගේ මූලික අයිතිවාසිකම් රැකීමට රජය අපොහොසත්වී ඇති බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මිය ගිය පුද්ගලයාගේ බිරිඳට රුපියල් දස ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රී ලංකා රජයට ද නියම කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කරනු ලැබුවේ මිය ගිය අජිත් ප්‍රසන්නගේ බිරිඳ විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබා දෙමිනි. සැඟවූ ආයුධ පෙන්වීමට යෑමේදී අජිත් ප්‍රසන්න විසින් පොලිස් නිලධාරියකුගේ ගිනි අවියක් උදුරාගැනීමට තැත් කළ බවත්, ඒ අවස්ථාවේ කළ වෙඩි තැබීමකින් මෙම මරණය සිදුවූ බවත් පොලිසිය පාර්ශ්වයෙන් අධිකරණයට ප්‍රකාශ කර තිබිණි.

මෙම මරණයට අදාළ මූලික තීන්දුවට අනුව වෙඩිවැදීමෙන් අදාළ තරුණයා මියගිය බව ප්‍රකාශ වී තිබිණි. එහෙත් ඔහුගේ බිරිඳ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ තරුණයාගේ සිරුර යළිත් ගොඩගෙන, දෙවැනි වරටත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඊට අවසර ලැබී තිබූ අතර, දෙවරනි මරණ පරීක්ෂණයේදී තහවරු වී තිබුණේ අදාළ තරුණයාට වෙඩි තැබීමට පෙර වධහිංසා කර ඇති බවයි. ඒ අනුව අදාළ තීන්දුව වෙනස් කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත්කෙරිණි.

Previous articleබන්ධනාගාර තදබදය වහා අඩු කරන්නැයි නිර්දේශ
Next articleමාදුරුඔය – ජලගැලුම් නිම්නය රැකගන්න විරෝධතාවක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here