ඖෂධ නිසා මහර රැඳවියන් කලහකාරී වූ බව පැවසීම අසත්‍යයක් – මනෝ වෛද්‍ය විශේෂඥ ජයාන් මෙන්ඩිස්

මානසික ආතතියට භාවිත කරන ඖෂධ ලබාගැනීම නිසා මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් සහ සිරකරුවන් ප්‍රචණ්ඩ ලෙස හැසිරී ඇති බවට ආණ්ඩු පාර්ශ්වයෙන් කරන ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව මනෝ වෛද්‍ය විශේෂඥ ජයාන් මෙන්ඩිස් MediaLK වෙත පැවසීය.

මේ අසත්‍ය ප්‍රකාශය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නිසා අදාළ ඖෂධ ලබාගන්නා රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන් පීඩාවට පත්ව ඇති බවත්, එම ඖෂධ සම්බන්ධයෙන් වන විශ්වාසය පිළිබඳ ගැටළු මතුවන බවත් අවධාරණය කරන විශේෂඥ වෛද්‍යවරයා, මීට අදාළ ව මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

මෙම ඖෂධ මගින් සිදුකෙරෙන්නේ මානසික ආතතිය අවම කර, කලබල නොවන තත්ත්වයට මනස පත්කිරීම හෝ නිද්‍රාවට පත්කිරීම බව ද පැවසූ විශේෂඥ වෛද්‍යවරයා, මෙවැනි ප්‍රකාශ සිදුකිරීමට පෙර වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබාගත යුතුව තිබුණු බව ද සඳහන් කළේය. කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය වර්ගවලින් මෙවැනි තත්ත්වයක් මනස තුළ ඇති කළ හැකි බවද පෙන්වා දුන් ඔහු, කිසිදු විමර්ශනයකින් තොරව මෙසේ ඖෂධ සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ආණ්ඩුවේ ඇමැතිවරුන් ප්‍රකාශ නිකුත් කිරීම කනගාටුවට කරුණක් බව ද පැවසීය.

මානසික රෝග සුව කිරීම සඳහා භාවිතා කරන ඖෂධ මගින් කිසිම කලහාකාරී හැසිරීමක් ඇති නොවන බව ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය ද අවධාරණය කළේය.

මානසික රෝගවලට හාවිතා කරන ඖෂධ හා කලහාකරීත්වය පිළිබඳව එම සංගමය මෙසේ සඳහන් කළේය.

“පසුගිය දින කිහිපය තුළ දී මහර බන්ධනාගාරයේදී සිදුවූ කලහකාරී හැසිරීමට හේතු සාධක වූයේ මානසික රෝගවලට ප්‍රතිකාර කරන ඖෂධ එම රැදවියන් විසින් භාවිත කිරීම බවට මාධ්‍ය මඟින් ප්‍රචාරණය කර තීබිණි. මෙම ප්‍රකාශය ජනතාව තුළ වැරදි ආකල්පයක් මානසික රෝග හා ඒ හා සම්බන්ධ ප්‍රතිකාර පිළිබඳව ඇති කරන හෙයින් ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පහත පැහැදිළි කිරීම සිදු කෙරේ. මානසික රෝගීන් ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්විය හැකි යැයි අද සමාජයේ තිබෙන මතයද මෙම පුවතට බලපාන්නට ඇති නමුත් බොහෝ විට සිදුවන්නේ මානසික රෝගීන් නිසා අන් අයට කරදර සිදුවනවාට වඩා  අන් අයගෙන් රෝගීන් අපහසුතාවයට පත් වීමයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ මානසික රෝගවලට භාවිත කරන ඖෂධ දැනට ලෝකය පුරා බහුලව භාවිතා වන අතර ඒවා අන්තර්ජාතික හා ජාතික වශයෙන් පිළිගත් නියාමනයන්ට යටත් වේ. මෙම ඖෂධ ලංකාවේ දැනට දශක ගණනාවක් තුළ අන්තර්ජාතික පිලිගැනීම්වලට අනුව නිර්දේෂ කිරීම තුළින් අති මහත් රෝගීන් සංඛ්‍යාවකගේ මානසික රෝග  සමනය වූවා පමනක් නොව ඔවුන්ගේ ජීවන තත්වය නඟාසිටුවීමට හේතු විය. මෙම ඖෂධ කිසි විටෙක ප්‍රචණ්ඩත්වය ඇති නොකරන අතර කලහකාරී බව අඩු කිරීමට උපයෝගී කර ගැනේ.

නිසි ප්‍රතිකාර මඟින් මානසික රෝග බොහෝ දුරට සුව කළ හැකි අතර නැවත නැවත රෝග තත්වය ඇතිවීම වැළැක්වීමටද හේතුවෙයි. ඒ සඳහා භාවිතා කරන ඖෂධ මඟින් කිසිම කලහාකාරී හැසිරීමක් ඇති නොවන බවට ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය  වන අපි යළිත් අවධාරණය කර සිටිමු. මෙවැනි ප්‍රවෘත්ති වලින් නොමඟ නොයා මානසික ගැටළු ඇති විට වහාම ප්‍රතිකාර වලට යොමුවන ලෙසත් ඉල්ලා සිටිමු.”

බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබුණේ බන්ධනාගාර ඖෂධ ගබඩාවේ තිබූ මානසික ආතතියට භාවිත කරන පෙති සහ නිද්‍රාජනක පෙති රැඳවියන් විසින් ලබාගෙන ඇති බවත්, එය ඔවුන්ගේ කලහකාරිත්වයට හේතුවක් වී ඇති බවත් ය. දැනට තුවාල ලබා රෝහල්ගතව සිටින රැඳවියන් ද අදාළ පෙති ලබාගැනීම නිසා තවමත් ව්‍යාකූලත්වයෙන් හැසිරෙන බව ද කොමසාරිස්වරයා සඳහන් කර තිබිණි. මෙවැනි පෙති 21,000 ක් පමණ අදාළ ඖෂධ ගබඩාවේ තිබී ඇති බවත්, එපමණ ප්‍රමාණයක් එහි ගබඩා කර තිබුණේ ඇයි ද යන ගැටළුව මතුවන බවත් ඔහු වැඩිදුරටත් මෙහිදී අවධාරණය කර තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ද මේ අදහස පළකර තිබූ අතර, ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මෙම සිද්ධියට මහර බන්ධනාගාරයේ වෛද්‍යවරයකු ද සම්බන්ධ වී ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි. විමල් වීරවංශ ඇමැතිවරයා පෙරේදා (30) මෙසේ සිරකරුවන් පෙති ලබාගෙන ඇති බවට මුල් වරට ප්‍රකාශයක් කරන ලදි.

 

Previous articleබන්ධනාගාර ඝාතන ඇත්තටම වැරදිද ?
Next articleසුළිසුළඟත් සමග දැනගත යුතු ආපදා කළමනාකරණයේ නිල හිඩැසක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here