සුළිසුළඟත් සමග දැනගත යුතු ආපදා කළමනාකරණයේ නිල හිඩැසක් !

එරන්දන හේමවර්ධන, ආපදා කළමනාකරණ හිටපු සහකාර අධ්‍යක්ෂ


ආපදාවක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් නිරන්තරයෙන් දැනුවත් කරන දිනයකි, අද. එනම් බුරවි සුළිසුළඟ ලංකාවේ නැගෙනහිර දෙසින් අද (02) පස්වරුවේ රට තුළට ඇතුළු වීම ය. එවැනි තත්ත්වයක් යටතේ ආපදා කළමනාකරණයේදී පළාත්පාලන ආයතනවලට බලය නොපැවරීම නිසා ඇතිවන ගැටළු රැසක් දැකිය හැකිය.

මේ, ඒ සම්බන්ධයෙන් සකස් කළ ලිපියකි.

2005 මැයි 13 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අංක 13 දරන ආපදා කළමනාකරණ පනත සම්මත විය. 2004 දෙසැම්බර් මස 26 දින ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් රටේ ඇති වූ හදිසි අවශ්‍යතාව මත මෙම පනත පාර්ලිමේන්තුව තුළ ඒකඡන්දයෙන් සම්මත කෙරිණි. පනත සම්මත වී මාස තුනකට පසු, 2005 අගෝස්තු මාසයේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC – Disaster Management Center) ස්ථාපිත කෙරිණි.

ආපදා කළමනාකරණ පනත මගින් ස්ථාපිත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පහත සඳහන් අංශ සඳහා අධ්‍යක්ෂකවරුන් පත්කිරීම සිදු විය.

1) පූර්ව අනතුරු ඇඟවීම
2) පෙර සූදානම හා සැලසුම්
3) ආපදා අවම කිරීම, පර්යේෂණ හා සංවර්ධන
4) හදිසි ආපදා මෙහෙයුම්
5) අධ්‍යාපනය හා දැනුවත්භාවය

දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක ස්ථාපිත කෙරුණු අතර, ඒවායේ කටයුතු දිසාපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ නිලධාරීන් වෙත පවරනු ලැබිණි.

ආරම්භයේදී බණ්ඩාරනායක සම්ම්න්ත්‍රණ ශාලවේ පිහිටවූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (011-2136136 / 2670002/ 0773957900 හා 117) මේ වන විට කොළඹ 07, විද්‍යා මාවතේ අංක 120/2 පිහිටා ඇත. ඊට යාබදව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති (බෞද්ධාලෝක මාවත, කොළඹ – 07 ලිපිනයේ පිහිටි) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද (011-2684746) පිහිටා ඇත. අමාත්‍යාංශය යටතේ ඇති අනෙක් ප්‍රමුඛ ආයතනය වන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO)(011-2588946 / 2503826) කොළඹ-05, ජාවත්ත පාර, අංක 99/1 හි පිහිටුවා ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය දින 365 පුරා ක්‍රියාත්මකව ඇති අතර, 117 හා 0773957879 අමතා ඕනෑම අවස්ථාවක ආපදා පිළිබඳව එයින් තොරතුරු ලබාගත හැකිය.
ලෝකයේ බොහෝ රටවල් අනුව යමින් ලංකාව ද ආපදා පෙර සූදානම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලදි. ඒ සඳහා සම්මත කළ ආපදා කළමනාකරණ පනත අනුව ස්ථාපිත ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුක්ත සාමාජිකයන් 36කින් සමන්විත ය. ඒ සඳහා අගමැති (නිල බලයෙන් උප සභාපති), විපක්ෂ නායක, සමාජ සුබසාධන, පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ, පරිසර, ස්වදේශ කටයුතු, සෞඛ්‍ය, විද්‍යා හා තාක්ෂණ, නිවාස, වෙරළ සංරක්ෂණ, වාරිමාර්ග, විදුලිබල, ආරක්ෂක, පොලිසිය, මුදල්,ඉඩම්, ධීවර හා ජලජ සම්පත්, විදේශ කටයුතු, ජල සම්පාදන, මහාමාර්ග, නාගරික සංවර්ධන හා අධ්‍යාපන යන විෂය භාර ඇමැතිවරු 20 කින්, පළාත් මහ ඇමතිවරු 09 කින් සහ විපක්ෂ මන්ත්‍රීවරුන් 05 කින් සමන්විත විය. මෙහි ලේකම්වරයා සභාවේ අභිලාෂය මත පත් කෙරිණි.

මේ සඳහා පළාත් පාලන ඇමැතිවරයා පත්නොකෙරිණි. පළාත් සභා මහ ඇමැතිවරුන්ගෙන් පහළට මෙම ආපදා කළමනාකරණ ජාතික සැලැස්මේ කිසිදු වගකීමක් පළාත් පාලන ආයතනවලට නොපැවරිණි. එකී තත්ත්වය 2010 දෙසැම්බර් 28 දින ඇති කළ ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේදී නිවැරදි කරනු ඇතැයි අපේක්ෂාවෙන් සිටියද, එය සිදු නොවීය. වගන්ති 37 කින් සමන්විත එම ජාතික ප්‍රතිපත්තියේ 25 වන වගන්තියේ පමණක් පළාත් පාලන ආයතන ගැන සඳහන් කර ඇත. එය ද ඉදිකිරීම් සම්බන්ධයෙනි. ඇතැම් විට මේ හේතුවෙන් ඒ ඒ පළාත් පාලන ආයතන තම අභිමතය මත පමණක් කටයුතු කරනු දැකිය හැකිය. (උදා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තාක්ෂණික වාර්තා නොමැතිව නිවාස ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබාදීම)
මේ අතර සෑම පළාත්පාලන ආයතනයක් ම ආපදා හමු‍වේ සුවිශේෂී මෙහෙයක් ඉටුකරන ආකාරය අප නිරීක්ෂණය කර ඇත. ඒ තම රාජකාරි ලැයිස්තුවෙන් පරිබාහිරව බව ඔබ දන්නවාද? රාජ්‍ය පරිපාලන ව්‍යුහය තුළ බිම් මට්ටමේ සියලු කටයුතු මෙම ආයතන හරහා සිදු වේ. හදිසි තත්ත්වයකදී වුවද ප්‍රථමයෙන්ම ප්‍රතිචාර දක්වන්නේ ගම් මට්ටමේ සිටින සභාව හා එහි මහජන නියෝජිතයන් ය. ඒ ඔවුන්ට සිදුවීම වඩාත් සමීප නිසා ය. කෙසේ වෙතත් මෙතෙක් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් නිල වගකීමක් නැත. එබැවින් පළාත්පාලන ආයතන පූර්ව ආපදා පිළිබඳව ගමට තොරතුරු ගෙන යෑමේ ක්‍රමවේදයට අනිවාර්යෙන්ම ඇතුළත් කර ගත යුතුය.

ඇතැම් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක තම ආපදා කළමනාකරණ සැලැස්මට අදාළ පළාත්පාලන ආයතන සම්බන්ධ කරගෙන ඇතත්, ඇතැම් නිලධාරීන් සභාව අමතක කර ඇත්තේ පිළිගත හැකි කරුණු මත නොවේ. මෙම තත්ත්වය මගහරවා නීතිමය ශක්තියක් හා පිළිගැනීමක් පළාත්පාලන ආයතනවලට ලබාදීමට රජය කටයුතු කිරීම කඩිනමින් කළ යුතුය. රජය ආපදාවලට අදාළ සියලු ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම් වෙත යොමුකළ පසු පළාත්පාලන ආයතන සිය වියදම් ප්‍රතිපූර්ණය කර ගැනීමේදී ගැටළුවලට මුහුණ දෙයි. එබැවින් ඒ ඒ ප්‍රදේශ තුළ ස්ථාපිත මෙම ආයතන, තම දිස්ත්‍රික්කය තුළ පූර්ව අනතුරු ඇඟවීම්, පෙර සූදානම හා සැලසුම්, ආපදා අවම කිරීම පර්යේෂණ හා සංවර්ධන කටයුතු, හදිසි ආපදා මෙහෙයුම් හා අධ්‍යාපනය හා දැනුවත්භාවය, ආපදා සඳහා පෙර දැනුම්දීම්, සූදානම්වීම් ආදී අංශ සඳහා සම්බන්ධ කරගෙන කටයුතු කිරීම මගින් අපට ආපදා සඳහා ශක්තිමත්ව ප්‍රතිචාර දැක්විය හැකිය.

Previous articleඖෂධ නිසා මහර රැඳවියන් කලහකාරී වූ බව පැවසීම අසත්‍යයක් – මනෝ වෛද්‍ය විශේෂඥ ජයාන් මෙන්ඩිස්
Next articleහලාවතට ‘බුරවි’ ආ වීඩියෝව බොරුවක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here