බන්ධනාගාර ඝාතන ඇත්තටම වැරදිද ?

සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන් උදාහරණය

සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන් මඩකලපුව, වන්දාරමුල්ලේ පදිංචිකරුවෙකි. 1993 සැප්තැම්බර් 27 දින වන්දාරමුල්ල ප්‍රදේශය යුධ හමුදාව විසින් වටලා කළ සෝදිසි කිරීමකදී මහේන්ද්‍රන් අත්අඩංගුවට පත්ව ඇත. සැකපිට අත්අඩංගුවට ගත් ඔහුව කොම්මාන්තුරයි හමුදා කඳවුරටද එතැනින් මඩකලපු බන්ධනාගාරයටද ගෙන ගොස් රඳවා තබාගෙන ඇත. එවකට මඩකලපු බන්ධනාගාරයද තිබී ඇත්තේ හමුදා භාරයේය. ඔහු හමුදා භාරයේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ ඔහුගෙන් ප්‍රකාශයකට අත්සන් ලබාගත් බව ඔහු පසුව පවසා තිබිණි.

එම පාපොච්ඡාරණ මත පදනම්වෙමින් කොළඹ මහාධිකරණයේ HC/6894/94 දරණ නඩු අංකය යටතේ ආණ්ඩුව නීත්‍යානුකූල නොවන අන්දමකින් බිඳහෙළීමට තැත් කිරීම සහ හමුදා කඳවුරුවලටත් පොලිසිවලටත් පහර දුන් එල්ටීටීඊ මෙහෙයුම්වලට දායක වීම යන චෝදනා මත නඩු පවරා තිබේ. ඉන්පසු 1995 ජූලි 24 වැනි දින ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් සහ තවත් වසර 70ක සිර දඬුවමක් නියම අධිකරණයෙන් නියම කර ඇත.

සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන් එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ වී ඇත්තේ වයස අවුරුදු 16දී බව ඔහු විසින් දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් අධ්‍යයනයක යෙදුණු ක්‍රියාකාරීන් පිරිසකට පවසා තිබිණි. ඔහු පවසා තිබූ ආකාරයට සහ ඔහු සීඅයිඩීයට දී තිබූ කටඋත්තරය අනුවත් එවකට එල්ටීටීඊ සංවිධානයේ ඉහළම නායකයකු මෙන්ම පසුව, හිටපු ඇමති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් මොහුව පුහුණු කරවා, මෙහෙයුම් ක්‍රියාමාර්ගවලට යොදවා ඇත. පුහුණුව ලැබීමෙන් පසුව ඔහුව කඳවුරු රැකවල් කිරීම, කඳවුරුවලට ආහාර පාන සැපයීම වැනි රාජකාරිවල යොදවා ඇත. ඔහුව මෙම රාජකාරිවලට යොදවා තිබුණේ කරුණා අම්මාන් විසින් බව එම ප්‍රකාශවල සඳහන් ය. කෙසේ වෙතත් අවසානයට ඔහු දඬුවම් ලබා තිබුණේ හමුදා කඳවුරුවලට සහ පොලීසිවලට ප්‍රහාර එල්ල කිරීමට අදාළ චෝදනාවලට ය.

මහේන්ද්‍රන් අදාළ පිරිසට පවසා තිබූ ආකාරයට ඔහු එල්ටීටීඊ සංවිධානයේ කටයුතු කර ඇත්තේ වසරක් හෝ වසර එකහමාරක් පමණ කෙටි කාලයකි. ඉන්පසු ඔහු සංවිධානයෙන් පැනගොස් ඇත. පළායෑමෙන් අනතුරුව සිය නිවසේ සැඟවී සිටියදී එල්ටීටීඊ සාමාජිකයන් පැමිණ ඔහුව නැවත රැගෙන ගොස් ඇත. සංවිධානයෙන් පළායෑමේ වරදට දඬුවම් ලෙස ඔහුව කඳවුරුවල ආයුධ සන්නද්ධ නොවන, සුළු සුළු වැඩ වල කෙටි කාලයකට යොදවා ඇත. ඉන්පසුව ඔහුව සංවිධානයෙන් ඉවත් කර තිබේ. එයින් පසු නැවත නිවසට පැමිණි ඔහු රැකියාව ලෙස රා මැදීම කර ඇත. ඔහු පවසා තිබූ ආකාරයට ඔහු හමුදා අත්අඩංගුවට පත්ව ඇත්තේ විවාහ වී මාස පහකින් ය. එවකට ඔහුගේ බිරිඳ ගැබිනියකව සිට ඇත. එකී දරුවා ඔහු කිසිදිනෙක දැක නැත.

අධිකරණයෙන් දඬුවම් නියමවීමෙන් පසු CA/190/1995 අංක යටතේ ඔහු විසින් අභියාචනයක් අභියාචනාධිකරණයට ගොනු කළද,2003 වසරේදී පෙර තීන්දුවම නැවත ලැබී ඇත. ඉන් පසුව sc (spl) LA.no. 165/2003 අංක යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නැවත ඉල්ලීමක් කළද ඔහුට සහනයක් ලැබී නොමැත. කරුණා අම්මාන් යටතේ පුහුණු වී ඔහුගේ අණයටතේ ක්‍රියාත්මක වුණු ළමා සොල්දාදුවෙකු වූ මහේන්ද්‍රන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිද්දී කරුණා අම්මාන් පාර්ලිමේන්තුවට පිවිසියේය. මුරපොළවල් මුර කළ මහේන්ද්‍රන් සිර ගෙදර ලගිද්දී ප්‍රහාර සැලසුම් කළ කරුණා ඇමතිවරයෙක් වුණේය.

මුත්තයියා සහාදේවන් උදාහරණය

හිටපු විදේශ කටයුතු ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතන නඩුව අවසන් කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු කළේ ද මෙවැනිම සිදුවීමක් නිසා ය. HC/42/26/2008 අංකය යටතේ මෙම නඩුව විභාග විය.
කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටි එකම සැකකරු 2019 ජුනි 22 වැනිදා කොළඹ ජාතික රෝහලේදී මිය ගියේය. වකුගඩු රෝගී තත්වය උත්සන්න වීම නිසා සැකකරුව බන්ධනාගාර නිලධාරීන් විසින් ජාතික රෝහලට ඇතුළත් කර ඇත. මේ බව අධිකරණයට දැනුම්දීමෙන් පසු මෙම තීරණය ගෙන තිබිණි. 2005 වසරේ අගෝස්තු 12 වැනිදා කොළඹ – 07 පිහිටි ඔහුගේ නිවසේදී ස්නයිපර් වෙඩික්කරුවකු විසින් හිටපු ඇමතිවරයාව ඝාතනය කෙරිණි. එය එල්ටීටීඊ ඝාතනයක් ලෙස හැඳින්වුණු අතර, එය තහවුරු කිරීම සඳහා ද කරුණු ඉදිරිපත් විය.

එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වූ ඔහු, කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ එම ඝාතනයට මාසයකට පෙර කදිරගාමර් මහතාගේ නිවස ආසන්නයේ පිහිටි නිවසක බැල්කනියක් අසල තිබුණු අත්තක් කපා දැමීම නිසාය.

කදිරගාමර් ඝාතනය කෙරුණු වෙඩි උණ්ඩ එල්ල වූයේ එම බැල්කනිය ආසන්නයේ වූ ජනේලයකින් වීම නිසා ඔහු වසර 14 ක් බන්ධනාගාරගතව සිටියේය. එහෙත් එම අත්ත සහිත ගස පිහිටි නිවසේ හිමිකරු අත්අඩංගුවට ගන්නට පොලිසිය කටයුතු කර තිබුණේ නැත.

සිංහල හෝ දෙමළ හෝ ලියන්නට කියවන්නට ඔහු දැන සිට නැත. ඔහු කොළඹ-කිරුළපන, පොල්හේන්ගොඩ පදිංචිව සිටියෙකි. බිරිද ධනලක්ෂ්මී සහාදේවන් ය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටින අතර ඒ දෙදෙනා ද විවාහකයින් ය. ජීවිකාව සඳහා එදිනෙදා කුලීවැඩ කළ ඔහු 2005 වසර වන විට කොළඹ බුලර්ස් පාරේ නිවසක කුලී වැඩට යාමට පුරුදුව සිටි අතර, ඒ අහල පහළ නිවෙස්වලද වැඩ පළ තිබූ විටෙක ඒවාද කර දී ඇත.

සිදුවීම ඇරඹෙන්නේ 2005 අගෝස්තු 13 වන දිනය. සහාදේවන් සිය බිරිඳ සමඟ කිරුළපන පොළට ගොස් එමින් සිටිය දී කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ඔහුව අත්අඩංගුවට ගැනිණි. ඉන්පසු ඔහු රැගෙන ගොස් ඇත්තේ බුලර්ස් පාරේ පිහිටි තලේසිංහම් නමැත්තෙකුගේ නිවසකට ය. එම නිවසේ බැල්කනිය අසල තිබුණු ගසක අතු පෙන්වා ඒවා කැපුවේ ඔහු විසින්දැයි ප්‍රශ්න කර ඇත. එම අතු ඊට මාසයකට පමණ පෙර දවසක තමන් විසින් කැපූ බව ඔහු පිළිගෙන ඇත. තලේසිංහම් නමැති නිවෙස් හිමිකරුද ඒ මොහොතේ පවසා ඇත්තේ එය තමන්ගේ උපදෙස් මත සිදු කළ බවයි. ඉන්පසු සහාදේවන් ගෙන ගොස් ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයටයි.

සහාදේවන් පවසා ඇති ආකාරයට ඔහුගේ ජීවිකාව සඳහා කුලී වැඩ කළ අතර, මෙම තලේසිංහම් නමැත්තාගේ නිවසේ බැල්කනිය දෙසට වැවෙන පිහිඹියා ගසක අතු කපා දැමීමද මාස එක හමාරකට පමණ වරක් දිගින් දිගට ම කළ කටයුත්තකි. එදින ද ඔහුට එහි විශේෂයක් තිබී නැත. කොළඹ අපරාධ කොට්ඨාසයට ගෙන ගිය ඔහුගෙන් ප්‍රශ්න කිරීම අරඹා ඇත්තේ ‘ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයාට වෙඩි තියන්න උදව් කළේ තමුසෙද?‘ යනුවෙනි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ මාස තුනක් රඳවා තබා ඇති ඔහුව 2005 නොවැම්බර් 16 වන දින රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඉන්පසුව 2008 වසරේදී කොළඹ අංක 1 මහාධිකරණයේ HC/4226/08 නඩු අංකය යටතේ සහාදේවන්ට එරෙහිව නඩු පැවරෙන්නේ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට අනුබල දීම යන චෝදනා යටතේ ය. මෙම නඩුවේ චූදිතයන් අතර එල්ටීටීඊ නායක ප්‍රභාකරන්, එහි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් වැන්නන් සහ සහාදේවන්ගේ දුරකථනයේ තිබූ අංකයක් නිසා අත්අඩංගුවට ගැනුණු ඔහුගේ අසල්වැසි ඥාතියකු වන බාබු නමැත්තෙකුද වෙයි.

සහාදේවන්ට නඩු පැවරීමට යොදාගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුගෙන් ලබාගත් බව සඳහන් කෙරුණු පාපොච්ඡාරණ ලියැවිල්ලකි. සහාදේවන් හැර වෙනත් කිසිවකු හිටපු ඇමැතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නැති අතර, ඔහු මියගිය පසු නඩුව අවසන් කෙරිණි. අදාළ ඝාතනයට ඔහුගේ සම්බන්ධයක් තිබුණද, එය ඔහු තනියෙන් කරන්නට ඇද්ද? ඊට අණදුන්නේ කවුද?

වැලිකඩ සිට මහරට

මේ සිදුවීම් දෙකේදී ම අපරාධකරුවන් ලෙස විමර්ශන අංශ මගින් ඉදිරිපත් කළ පුද්ගලයන් දෙදෙනෙකුට අධිකරණය මගින් යම් අසාධාරණයක් සිදු වී ඇති බව පැහැදිලි ය. අණදුන් පුද්ගලයන් පසෙක සිටියදී, මෙවැනි සිදුවීම් කීයක් මේ රටේ සිදුවන්නට ඇද්ද? වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ මනුෂ්‍ය ඝාතනයේදී මෙන්ම මහර බන්ධනාගාරයේ සිදු කළ මනුෂ්‍ය ඝාතනයේදී ද ඇතැමුන් එම ඝාතන සාධාරණ බව පවසමින් අදහස් දක්වා තිබිණි. ප්‍රශ්නය තමන්ට අදාළ නොවන තෙක්, දාර්ශනික උත්තර සැපයිය හැකිය. කවර තත්ත්වයක් යටතේ හෝ මනුෂ්‍ය ඝාතන සාධාරණීකරණය කළ නොහැක.

Previous articleඅයවැයට හිර වුණු ණයකාර සූත්‍රයෙන් නිදහසක් නැද්ද ?
Next articleඖෂධ නිසා මහර රැඳවියන් කලහකාරී වූ බව පැවසීම අසත්‍යයක් – මනෝ වෛද්‍ය විශේෂඥ ජයාන් මෙන්ඩිස්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here