අයවැයට හිර වුණු ණයකාර සූත්‍රයෙන් නිදහසක් නැද්ද ?

(හසරිඳු රාජපක්ෂ)

ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 90කට වැඩි ප්‍රමාණයක් බවට පත්ව තිබේ.

මේ හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාව ණය අර්බුදයක් කරා ගමන් කරනු ඇති බවට බොහෝදෙනා පුරෝකථනය කරන අතර, එයින් මිදීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බවද ආර්ථික විශේලේෂකයෝ සඳහන් කරති.ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය සඳහා ආණ්ඩු විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරිමට නියමිත යෝජනා සම්බන්ධයෙන් මෙම ලිපිය මගින් සලකා බැලීමට නියමිතය.

ලංකාවේ ණය ප්‍රමාණය

ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,266 ක් වන අතර, එය 2021 වසරේදී රුපියල් බිලියන 1,565 දක්වා ඉහළ යනු ඇති බවට ගණන් බලා තිබේ. ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 225 ක් වන අතර, එය දළදේශීය නිෂ්පාදනයෙන් සියයට 50 කට වැඩි බව මහ බැංකු වාර්තා සඳහන් කරයි. මේ හේතුවෙන් ලබන වසරේ සිට බදු ප්‍රතිපත්තියේ සහ ණය ගෙවීමේ යම්-යම් වෙනස්කම් සිදු කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.

අන්තර්ජාල බදු ක්‍රමයක්

අන්තර්ජාලය හරහා බදු ගෙවීමේ ක්‍රමයක් හෙවත් online බදු ක්‍රමයක් මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මන වූ අතර, ඒ අනුව යමින් 2021 අප්‍රේල් මාසයේ සිට සියලුම බදු ව්‍යාපාර සඳහා ඊ-ෆයිලින් (e-filing) ක්‍රමය අනිවාර්ය කිරීමට රජය සැලසුම් කර තිබේ.

බදු හා සෑම ගනුදෙනුවකටම අදාළව බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) යොදාගත හැකි ආකාරයට බදු නීතිය සංශෝධනය කිරීමට ද නියමිතය. එමෙන්ම බදු අභියාචනා කඩිනමින් විසඳීමට බදු අභියාචනා උසාවියක් ඇතිකිරීමට ද ආණ්ඩුව යෝජනා කර තිබේ.

බදුවලින් නිදහස් ව්‍යාපාර

ඉදිරි වසර 05 තුළ ක්ෂේත්‍ර කිහිපයක් බදුවලින් නිදහස් කිරීමට අයවැය මගින් යෝජනා කර ඇති අතර, ඒ කෘෂිකර්ම, සත්ත්ව හා ධීවර කටයුතුවලින් ලැබෙන ආදායම් මෙන්ම තොරතුරු තාක්ෂණය හා ආශ්‍රිත දේශීය හා විදේශීය ඉපයීම් මෙන්ම නේවාසික හෝ විදේශගතව උපයනු ලබන විදේශ ආදායම් මෙසේ ආදායම් බදුවලින් නිදහස් කර ඇත.

බදු සමාව

බදු හෝ විනිමය පාලන නීතිවලින් මිදීම සඳහා දේශීයව සහ විදේශීයව සඟවා තබාගෙන ඇති මුදල්, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදවන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටි අතර, ඒ සඳහා සියයට 1 ක බදු ගෙවීමකට යටත් බදු සහනයක් ලබාදෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

ආදායම සහ වියදම

රජය ඇස්තමේන්තු ගත කර ඇති ආකාරයට 2021 වසරේ රජයේ ආදායම රුපියල් බිලියන 1,961 ක් වන අතර, මුළු වියදම රුපියල් බිලියන 3,525 ක් වේ. ඒ අනුව ආදායම් පරතරය රුපියල් බිලියන 1,564 කි.

ආණ්ඩුව විසින් ණය කළමනාකරණය කිරීමට බලාපොරොත්තු වන ආකාරය සහ සැලසුම් සම්බන්ධයෙන් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ සඳහන් කළේය.

ණය අර්බුදයෙන් ගැලවීම

”රටක ණය ප්‍රමාණය නිවැරදිව කළමනාකරණය කරගත්තේ නැත්නම් ඔ්නෑම අවස්ථාවක ණය අර්බුද ඇතිවෙන්න පුළුවන්. 2006 දි අපි රට බාරගන්න අවස්ථාවේ ණය කන්දරාව තිබුණේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 91 ක් ලෙසයි. අපි එය ක්‍රම-ක්‍රමයෙන් සියයට 72 දක්වා අඩු කළා. 2015 වන විට විදේශීය ණය ප්‍රතිශතය වුණේ සියයට 40ක්. ඒ වගේම දේශීය ණය ප්‍රමාණය සියයට 60 ක් පමණයි තිබුණේ. නැවත වරක් අපි ආණ්ඩුව ලබාගන්නා විට ඒ ණය ප්‍රමාණය දෙගුණයකින් වැඩිවෙලා තිබුණා. ඒ වගේම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ණය ප්‍රමාණය සියයට 90 ක් දක්වා වැඩිවෙලා තිබුණා. එම ප්‍රමාණය රටට අභියෝගාත්මක ප්‍රමාණයක්. ඒ වගේම පොළී අනුපාතය දැවැන්ත ලෙස වැඩිවෙලා තිබෙනවා. රුපියල අවප්‍රමාණ වීම නිසා ණය ප්‍රමාණය දැවැන්ත ලෙස එකතු වුණා. මහ බැංකු වාර්තාවලට අනුව රුපියල් ට්‍රිලියන 1.8 ක ණය ප්‍රමාණයක් සමස්ත ණයවලට එකතු වුණා කියලා සඳහන් වෙනවා.
ණය කළමනාකරණය කර ගැනීම සඳහා රුපියල ස්ථායි කරගැනීමට අවශ්‍ය වෙනවා. පොළී අනුපාතය අඩු කර ගත යුතු වෙනවා. අපි දැනටමත් මේ කාරණා දෙක සිදු කර තිබෙනවා. අපේ රටේ අවුරුදු ගණනක් තිබුණු පොළී අනුපාතිකය මේ වන විට ක්‍රියාත්මක කරනවා. මේ නිසා ණය තොගයට ඇති වන පීඩනය අඩුවෙලා තියෙනවා. ඒ වගේම විදේශීය ණය වැඩිපුර නොගෙන ඉන්න අපි උත්සාහ කරනවා. දැනට තිබෙන ණය පියවන්න වෙළෙඳපොළෙන් ණය අරගෙන හෝ අඩු පොළී ප්‍රතිශතයකට විදේශ ණය අරගෙන මේ ණය පියවන්න අපි සැලසුම් කරලා තිබෙනවා. එවිට විදේශීය ණය ප්‍රමාණය අඩුවෙලා දේශීය ණය වැඩිවීමේ ප්‍රවණතාවක් ඇතිවන නිසා අපිට තිබෙන අවදානම අවම කරගන්න පුළුවන් වෙනවා. මේ ක්‍රමවේද සියල්ලම අපි දැන් දියත් කරලා පවත්වාගෙන යනවා. ඒ වගේම තවත් එක දෙයක් මතක් කළ යුතුයි. අපේ ආර්ථිකයේ වර්ධනයක් ඇති කළොත් තමයි අපේ බදු ප්‍රමාණය වැඩි කරගන්න අපිට පුළුවන් වෙන්නේ. පසුගිය රජය බදු ප්‍රතිශතය වැඩි කරගෙන ගියත් ආර්ථිකය වර්ධනය කරගන්න කටයුතු කළේ නැහැ. මේ නිසා ඔවුන්ට බදු එකතු කරගන්න බැරිවුණා. ඒ ප්‍රශ්නයටත් අපි මුහුණ දී සිටිනවා. කොහොම වුණත් මේ ණය අභියෝගය අපි සාර්ථකව ජයගන්නවා කියලා මම වගකීමෙන් කියන්න කැමතියි.

2021 වර්ෂයේ ණය ගැනීම්

රාජ්‍ය ගිණුම්වලට අනුව 2021 වසරේ මුළු ණය ගැනීමේ අවශ්‍යතාව රුපියල් බිලියන 2,977 ක් වෙනවා. නමුත් අපි වැඩි වශයෙන් අවධානය යොමුකරන්නේ දේශීය ණය ගැනීම්වලට. ඒ වගේම විදේශීය ණය ගෙවන්නට තිබෙන ප්‍රමාණය අඩුකරගන්න අපි උත්සාහ කරමින් ඉන්නේ. ඒ කියන්නේ විදේශීය ණය ගෙවීම සඳහා පමණක් විදේශීය ණය ගැනීමට බලාපොරොත්තු වෙනවා. මෙම කටයුතු නිසා අපේ ණය ප්‍රතිශතය අඩුකර ගනිමින් අවදානම අඩු වී යහපත් දිශාවකට ගමන් කරයි කියලා අපි විශ්වාස කරනවා.

කළු සල්ලි සුදු කිරීමට ලබාදෙන අවස්ථාවක් ද ?

විදේශ රටක පමණක් නෙමෙයි, ලංකාවේ වුණත් කිසියම් කෙනෙක්ට ඒ අය යම් මුදලක් බදු සඳහා ඉදිරිපත් කරලා තිබුණේ නැතිනම් ඒ අයට අපි අවස්ථාවක් ලබාදෙනවා. ඔවුන්ට ඒ වෙනුවෙන් සියයට 1 ක බද්දක් ගෙවනවා. සාමාන්‍ය ආර්ථික ක්‍රමවේදයට ඒ මුදල් එකතු කරගැනීමේ අරමුණෙන් ඒ තීරණය ගත්තේ. බදු සහනයක් නැත්නම් විරාමයක් දෙනවා කියලා කියන්නේ මොකක්ද කියන දේ අපි තේරුම්ගත යුතුයි. සමහර ආදායම්වලට කිසිම බද්දක් පනවලා නැහැ. කොටස් වෙළෙඳපොළේ සමහර කොම්පැනි සම්පූර්ණයෙන්ම බද්දෙන් නිදහස්. නමුත් ඒ මුදල් නීතිවිරෝධී කියලා අදහස් වෙන්නේ නැහැ. මීට පෙර බදු නොගෙවපු මුදල් කවුරුහරි ළඟ තියෙනවා නම් ඒ මුදල් අපේ ආර්ථික ක්‍රියාවලියට ගෙනැවිත් පරිහරණය කරන්න සැලැස්වීමටයි අපි මේ උත්සාහ කරන්නේ. ඒ තුළ මම වැරැද්දක් දකින්නේ නැහැ.”

අනුමැතියකින් තොරව ගත් රුපියල් බිලියන 2,000 ක්

කෙසේ වෙතත් ආණ්ඩුව වසර‍ දෙකක් තුළ රුපියල් ට්‍රිලියන 5 ක ණය ගැනීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

එමෙන්ම ආණ්ඩුව මේ වන විට පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව රුපියල් බිලියන 2,000ක ණය ගෙන ඇති බවත්, මේ ආකාරයෙන් ණය ගැනීමෙන් රටක් ලෙස ලංකාව රුපියල් ට්‍රිලියන 18ක ණය කන්දක හිරවන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

”ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා, ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 1,961ක් කියලා. ඒ වගේම වියදම රුපියල් බිලියන 3,500ක් කියලා. මේ ආදායම හොයාගන්නා උත්පාදන ක්‍රමයක් ගැන සඳහනක් නෑ. ආණ්ඩුව ඉතා පැහැදිලිව මේ අයවැයේ යෝජනා කරලා තියෙන්නේ තවත් බිලියන 3,000ක් අලුතෙන් ණය ගන්න. පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතුව දැනටමත් රුපියල් බිලියන 2,000ක් ණය අරගෙන තියෙනවා. තව 3,000ක් ගන්න යෝජනා කරනවා. රටක් විදියට අපි ට්‍රිලියන 18ක ණය කන්දක හිර වෙනවා. මේ අයවැය තුළ කිසිම අලුත් දෙයක් නෑ. මේකෙ තියෙන්නෙත් ණය ගන්න එකයි, සල්ලි අච්චු ගහන එකයි. අදායම් උත්පාදනයක් නෑ. ආර්ථිකය හදනවා කියන්නේ නිෂ්පාදනය වැඩි කරලා, රටේ ආර්ථික සංවර්ධනයක් ඇති කරන එක. සල්ලි අච්චු ගහන එකයි ණය ගන්නවා කියන්නෙයි බැරිකම.

ණය අර්බුදයෙන් ගොඩ එන මග

ණය අර්බුදයෙන් මිදීමට නම් ආණ්ඩුව අයවැයෙන් ඔබ්බට ගොස් සිතිය යුතු බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

”කෝවිඩ් සඳහා එන්නතක් ගෙනඒමට බලාපොරොත්තු වන බව ආණ්ඩුව සඳහන් කරනවා. එන්නත් ගබඩා කරන්න අවශ්‍ය වෙන්නේ සෙල්සියස් අංශක සෘණ ගණන්වල උෂ්ණත්වයේ. මේ සඳහා මෙවර අයවැයෙන් ගබඩා කරගැනීමේ ශීතකරණ පහසුකම් ගැන අවධානය යොමු කළා නම් හොඳයි කියලා හිතනවා. ඒ වගේම එළවළු අපතේ යෑමටත් ශීතකරණ නොමැතිකම බලපානවා. ලංකාවේ ශීතකරණ ප්‍රශ්නයක් තිබෙනවා. විදුලිබල ප්‍රශ්නය නිසා වගේම ශීතකරණවල ආහාර ගබඩා කරන මට්ටමකට ඇවිත් නැහැ.

ඒ වගේම ණය බර සම්බන්ධයෙන් සමහර තීරණ අරගෙන නැති බවක් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම අපිට ණය ගෙවන්න තියෙන්නේ වෙනත් මුදල් ඒකකවලින්. ඒවා හොයාගැනීමේ ප්‍රශ්නයයි තිබෙන්නේ. අපේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ එහිදී ප්‍රධාන වෙනවා. ඔවුන්ට දිරිගැන්වීමක් අයවැය මගින් ලබාදී තිබෙනවා. ඔවුන් එවන මුදල්වලට අමතර රුපියල් දෙකක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. නමුත් එය කොතරම් ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නය තිබෙනවා. සඟවාගෙන තිබෙන මුදල් තිබෙනවා නම් ලංකාවට ගේන්න කියලා කිව්වා. එය ටිකක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. මුදල් විශුද්ධිකරණ රටක් ලෙස අපේ රටට ලේබල් ඇලවුණොත් එය අපේ අපනයනයට බලපානවා. අපේ අපනයනයෙන් සියයට 40කට පමණ ඒකෙන් පහරවදින්න පුළුවන්.
ආණ්ඩුව පවසන ආකාරයට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 90 ක් ණය තිබෙනවා. විදේශ ණය සියයට 50 ක් තිබෙනවා. එය අඩුකර ගැනීමටයි රජයේ අවධානය යොමුවී තිබෙන්නේ. මේ නිසා අයවැයෙන් ඔබ්බට ගොස් කළ හැකි දේවල් පවා කළ යුතුයි කියලා මම හිතනවා. ඒ වගේම අනවශ්‍ය වියදම් සීමා කිරීමත් බොහොම හොඳ දෙයක්. ඒ වගේම අපේ රටේ සංචිත ප්‍රමාණයක් තියාගෙන තිබෙනවා නම්, එය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මෙවැනි අවස්ථාවක මාර්ග සඳහා වියදම, ක්‍රීඩාංගණ සඳහා වියදම් කිරීම අඩු කර එය අත්‍යවශ්‍ය කාරණා සඳහා යොදවනවා නම් හොඳයි කියලා මම හිතනවා.”

Previous articleමහර මිය ගිය ගණන ඉහළට : රැඳවියන් සිරකුටිවලට : බලය භාවිත කළේ නෑ – අජිත් රෝහණ
Next articleබන්ධනාගාර ඝාතන ඇත්තටම වැරදිද ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here