මහර මිය ගිය ගණන ඉහළට : රැඳවියන් සිරකුටිවලට : බලය භාවිත කළේ නෑ – අජිත් රෝහණ

Update : 18.15 PM

මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

තුවාල ලැබූ සංඛ්‍යාව 107ක් බවද රාගම රෝහලේ ප්‍රතිකාර ලබන්නේ රැඳවියන් 80 දෙනකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු පමණක් බවත් ප්‍රතිකාර ලබා රෝහලෙන් නිදහස් කළ 24 දෙනකු මේ වන විට කොළඹ බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති බවත් තවත් එක් රැඳවියෙකු කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහු පැවසීය.

බන්ධනාගාරයේ තත්ත්වය දැනට සාමකාමී බවත් රැඳවියන් සියලු දෙනාම ඔවුන් සිටි ශාලා සහ සිර කුටි වෙත යොමු කළ බව ද එම මෙහෙයුම සඳහා විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් සහභාගි වූ බව ද එහිදී කිසිම ආකාරයක සෘජු බලය පාවිච්චි කිරීමට අවශ්‍ය නොවු බවද ඔහු කීවේය.

දැනට තත්ත්වය පාලනය කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.


Update : 1.00 PM

මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අධිකරණ ඇමතිවරයා පත්කළ කමිටුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉවත්වී තිබේ.

ඔහු අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා වෙත යැවූ ලිපියක සඳහන් වන්නේ තමා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙසට මහර බන්ධනාගාර සිද්ධිය ද ඇතුළුව විවිධ ගැටළු ගැන මාධ්‍ය හමු පවත්වන නිසා එම කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කළහොත් ලබැඳියාව පිළිබඳ ගැටළුවක් මතුවන බවයි.

එලෙස කමිටුවේ සාමාජිකයකු ලෙසට කටයුතු කරනවානම් මාධ්‍ය හමු පැවැත්වීමට නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.එම නිසා වෙනත් නිලධාරී⁣යකු එම කමිටුවට පත් කරන ලෙස ඒ මහතා ඉල්ලා සිට තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙසේ පැවසීය.

“අධිකරණ අමාත්‍යවරයා මාව පත්කළා මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන කමිටුවකට මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් තිබෙන. මම එතුමට දැනුම් දුන්නා මාධ්‍ය ප්‍රකාශක හැටියට කටයුතු කරන නිසා යම් කිසි ආකාරයක ප්‍රශ්නගත තත්ත්වයක් එන්න පුළුවන්. ඒ නිසා වෙනත් කෙනෙක් පත්කරන්න කියලා මාව ඒකෙන් ඉවත් කරලා. එතුමා මං ගැන විශ්වාසයක් තියලා පත් කරලා තිබුණේ. කෙසේ වෙතත් මාධ්‍ය ප්‍රකාශක ධුරයේදී මම නිරන්තරයෙන් මේ ගැන කරුණු දක්වන්න වෙනවා මාධ්‍යයට. එවිට මේ විමර්ශන කමිටුවේ සාමාජිකයෙකු වීම සදාචාරත්මක නෑ. ඒ නිසා තමයි මම මේ ලිපිය යොමු කළේ.”


Update : 9.00 AM

මහර බන්ධනාගාරයේ ඊයේ (30) රාත්‍රීයේ සිට අද (01) අලුයම 3.00 වන තෙක් විවිධ අවස්ථාවල රැඳවියන් රෝහල්ගත කර ඇති බවත් ඊයේ සවස් වන විට 60ක් වූ තුවාල ලැබූ රැඳවියන් සංඛ්‍යාව අද උදැසන වන විට 107 දක්වා ඉහළ ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

බොහෝ රැඳවියන් බන්ධනාගාරය තුළ සිදුවූ අභ්‍යන්තර ගැටුම්වලින් තුවාල ලැබූ අය බවද අදාළ රැඳවියන් ඔවුනොවුන් අතර ගැටීමක් සිදුව ඇතැයි ද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් විමර්ශනය අද දිනයේ සිදුකරන බවත් මරණ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දිනයේදී වත්තල මහේස්ත්‍රාත් අධිකරණය මගින් සිදුකරන බවත් ඒ මහතා කීවේය.


2020.11.30


Update : 20.10 PM

මහර බන්ධනාගාරයෙන් යළිත් වෙඩි ශබ්ද ඇසෙන බව ප්‍රදේශවාසීහූ පවසති.


Update : 18.00 PM

මහර බන්ධනාගාරය තුළ සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර නිර්දේශ ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කල බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම කමිටුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් බව ද එහා සෙසු සාමාජිකයන් වන්නේ අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ යූආර් ද සිල්වා මහතා, අධිකරණ අමාත්‍යාංශාය් අතිරේක ලේකම් (පාලන) රෝහණ හපුගස්වත්ත මහතා, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ මහතා බව ද එම ⁣නිවේදනයේ සඳහන් වෙයි.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිශාන් ධනසිංහ මහතා කමිටුවේ ලේකම්වරයා බවත් එහි දැක්වෙයි.


Update : 17.30 PM

මහර බන්ධනාගාරයේ තිබූ ලේඛන, සිරකරුවන්ගේ අංක සහ ඡායාරූප වැනි දෑ විනාශ වී ඇති නිසා බන්ධනාගාර සිද්ධියෙන් මිය ගිය අයගේ මෘත ශරීර හඳුනාගැනීම පිළිබඳ ප්‍රමාදයක් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එ්වා හඳුනාගැනීමෙන් පසුව මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවත් ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

දැනට මේ මොහොත වන විට වාර්තා වී ඇති තොරතුරු අනුව තුවාල ලැබූ රැඳවියන්ගේ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් බන්ධනාගාර නිලධාරීන් දෙදනකු තුවාල ලබා ඇති බවත් අට දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවත් ඔහු සඳහන් කළේය. එම අට දෙනාගේ සිරුරු රාගම රෝහලේ තැන්පත් කර ඇති බව ද වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙන බවද පශ්චාත් මරණ පරීක්ෂණ ඉදිරියේදී සිදුකරන බව ද හෙතෙම කීවේය.

බන්ධනාගාරය තුළ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් විද්‍යාත්මක සාක්ෂි ලබාගැනීම සඳහා ගම්පහ, කැළණිය සහ මීගමුව පොලිස් කොට්ඨාසවල අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් යෙදවීමට දැනටමත් කටයුතු කර ඇති බවත් මෙම විමර්ශන කැලනිය කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ අධීක්ෂණය යටතේ සිදු කරන බවත් 10 නෛකුගෙන් යුත් කණ්ඩායමක් එි සඳහා පත්කර ඇති බවත් අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

බන්ධනාගාරය තුළ පිහිටි ගබඩා, ලේඛනාගාර, බන්ධනාගාර අධිකාරි කාර්යාලය, සහකාර අධිකාරි කාර්යාලය සහ ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලය යන සියලු කාර්යාල විනාශ කර ඇති බව ද ගිනි තබා හෝ අලාභහානි කර ඇති ඒවායේ තක්සේරු වාර්තා ගැනීමට නියමිත බවද ඔහු පැවසීය.

බන්ධනාගාරයේ සිටි ඇප නියෝග ලබාසිටි එහෙත් නිරෝධායනයට ලක්වීමට අවශ්‍යව සිටි සිරකරුවන් 78 දෙනකු නැගෙනහිර පළාතේ අඩාලච්චේන නිරෝධායන මධ්‍යස්ථානය වෙත මේ වන විට යොමු කරමින් පවතින බවත් කොවිඩ්-19 ආසාදිත බවට තහවුරු වූ බන්ධනාගාර රැඳවියන් 187 දෙනකු කොළඹ බන්ධනාගාරයේ වි⁣ශේෂ වෙන් කරන ලද එ්කකයක් වෙත යොමුකරන බවත් ඔහු කීවේය.

ඒ මහතා මෙසේද පැවසීය.

” තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 200 දෙනකු සහ පොලිසියේ නිලධාරීන් 400ක් පමණ මෙම ප්‍රදේශ ආශ්‍රිතව රාජකාරී මුරයන් යටතේ නිරන්තරයෙන් අවට ප්‍රදේශවල ආරක්ෂාවටත් බන්ධනාගාරයේ ආරක්ෂාවටත් දැනට යොදවා තිබේ. මේ වන විට බන්ධනාගාරයේ තත්ත්වය බොහෝ විට පාලනය වී ඇති කෙසේ වෙතත් උපරිම ආරක්ෂාව බන්ධනාගාර අභ්‍යන්තර කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට කටයුතු කර තිබේ”


Update : 16.55 PM

රැඳවියන් සහිත බස් රථ දෙකක් බන්ධනාගාරයේ සිට පිටතට පැමිණි අතර රැඳවියන්ගේ ඥාතීහු එම බස් රථ දෙක හරස් කරමින් සිටිති.

රැඳවියන් රැගෙන යන්නේ කොහේදැයි ඔවුහු ප්‍රශ්න කරති.


Update : 16.45 PM

මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් බරපතල තුවාල ලැබු සියලු දෙනා මේ වන විට බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීහු රැඳවියන්ගේ ඥාතීන් හමුවේ පැවසූහ.

මහර බන්ධනාගාරයේ තත්ත්වය විමසා බැලීමට බන්ධනාගාර පරිශ්‍රය තුළට ගිය එම කොමිසමේ නිලධාරීන් ඉන් පිටතට යන අවස්ථාවේ දී රැඳවියන්ගේ ඥාතීන් විසින් ඔවුන්ගේ වාහනය හරස් කර ප්‍රශ්න කළ අවස්ථාවේදී එම නිලධාරීහු මේ බව කීහ.

සුළු තුවාල ලැබූ කිහිප දෙනකුද මීට මොහොතකට පෙර රැගෙන ගිය බවත් දැන් ගැටළුවක් නොමැති බවත් එම කොමිසමේ නිලධාරීහු එහිදී සඳහන් කළහ.


Update : 14.20 PM

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට මහර බන්ධනාගාරය තුළට ඇතුළුවීමට ඉඩ ලබානොදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ප්‍රවෘත්තිය අසත්‍ය බව එම කොමිසමේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් තහවුරු කළේය. (සම්පූර්ණ විස්තරය මෙතැනින්)


 

Update : 13.20 PM

මහර බන්ධනාගාර සිදුවීම ගැන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දෙන බව බන්ධනාගාරය බාර රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසූවාය.

මහර බන්ධනාගාර සිද්ධිය ගැන අනිවාර්යයෙන් අගමුල සෙවිය යුතු බවත් එ් පිටුපස අදිසි හස්තයක් තියෙන බවට විශ්වාස කරන බවත් ඇය අද (30) පාර්ලිමේන්තුවේදී කීවාය.

ඇය මෙසේද සඳහන් කළාය.

” ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් ඊයේ මහර බන්ධනාගාරයේ වාර්තා වුණා. මහර බන්ධනාගාරය ඇතුළත පලායාමේ ප්‍රයන්තයක් තිබුණා. ඒ ප්‍රයත්නය නිලධාරීන්ට වෙඩි තියලා නවත්වන්න හැකියාව ලැබුණත්….. මහර බන්ධනාගාරය තුළ විශාල දේපළ හානි සිද්ධ වුණා. ගිනි තිබ්බා. පොලිසිය කැරලි මර්දන ඒකකය, විශේෂ කාර්ය බලකාය යොදවලා මර්දනය කරලා දැන් වෙනකොට ඇතුළු වෙලා එ් සියලුම කටයුතු මර්දනය වෙලා තියෙනවා. අවාසනාවන්ත ලෙස අට දෙනකු මිය ගිහින් තියෙනවා. පනහක් රොහල්ගත කරලා තියෙනවා.

ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් දැම්මා වගේම අපි සූදානම් ස්වාධීන කමිටුවක්…. අපිටත් අවශ්‍යයි මේකේ හොයන්න කවුද මේකට සම්බන්ධ කවුද මේවට අනුබල දෙන්නේ කියන එක හොයාගන්න රජයක් හැටියට බන්ධනාගාර අමාත්‍යාංශය හැටියට අපිට වැදගත් වෙනවා. අපි ඒ සඳහා සූදානම්..රහස් පොලිසිය⁣ට පරීක්ෂණ බාරදෙනවා මොකද ඉතාමත් ම වැදගත් මේකට සම්බන්ධ කවුද කියන එක හොයාගන්න ඉදිරියේදී මේ වගේ එකක් නොවෙන්න.

හැබැයි මේ මහර බන්ධනාගාරයේ විතරක් නෙමෙයි දැන් මේ සති දෙකක තුනක කාලයක ඉඳලා වරින් වර බන්ධනාගාර රාශියක මේ රැඳවියන්ගේ උද්ඝෝෂණ අපි දැක්කා. බුස්සෙන් පටන් ගත්තා. ඊළඟට පරණ බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෝ පළා යාමට තැත් කළා. නිලධාරීන්ට වෙඩි තියලා එක්කෙනෙක් මිය ගිහින් නවත්වගන්න පුළුවන් වුණා. වැලිකඩ අපි දැක්කා අපි දැක්කා උද්ඝෝෂණය, කළුතර අපි දැක්කා උද්ඝෝෂණය, ඊළඟට මීගමුවේ. මේක රැල්ලක් විදියට. ඒ වගේම අපි දැක්කා වීරවිල උද්ඝෝෂණය. මේක රැල්ලක් විදියට අපි දැක්කා බන්ධනාගාර අතරට මේක යනවා. රජයේ ප්‍රතිපත්තිය උඩ විශේෂයෙන් මත්ද්‍රව්‍ය වැටලීම්වලට ප්‍රමුඛතාවය දීලා කටයුතු කරන නිසා විශාල වශයෙන් මත්ද්‍රව්‍ය වෙළෙඳාම් කරන ජාවාරම් කරන විශාල පිරිසක් අද බන්ධනාගාරගතව සිටිනවා. බන්ධනාගාරවලට තියෙන හැකියාව, රඳවාගන්න තියෙන හැකියාව – 11000ක් රඳවාගන්න පුළුවන් තැන දැන් 32000ක් විතර විශාල තදබදයක් තියෙනවා. අපි ඒක පිළිගන්න ඕනේ. ඒ වගේම තමයි කොවිඩ් දෙවැනි රැල්ල මිනුවන්ගොඩ ආරම්භ වූ වහාම බන්ධනාගාර තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක එකතුවෙලා විශේෂ වැඩපිළිවෙලක් යෙදෙවුවා. විශේෂයෙන් සියලුම අමුත්තන් බන්ධනාගාරවලට ඇතුළු වීම වැළැක්වුවා. ඒ වගේම බාහිරින් ආහාර පාන ද්‍රව්‍ය ගේන එක නැවැත්තුවා. උසාවිවලට රැඳවියන් ගෙන ඒනම අවම කළා. විශේෂයෙන් නවීන තාක්ෂණය ඔස්සේ ස්කයිප් ඔ⁣ස්සේ උසාවි එක්ක නඩු අහන්න කටයුතු සම්පාදනය කළා.”


Update : 12.55 PM

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියේදී රජය භාරයේ සිටි රැදවියන් සහ සිරකරුවන් ඝාතනය කිරීමට එරෙහිව ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන්ද ක්‍රියාමාර්ග ගන්නා බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පැවසීය.

මීට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කමිටුව කඩිනමින් කටයුතු කරන බවද සදහන් කළ නීතිඥවරයා, රැදවියන්ගේ ඉල්ලීම අතිශය සාධාරණ බව ද අවධාරණය කළේය.

මේ අවාසනාවන්ත සිද්ධියෙන් පසු, දැන්වත් බන්ධනාගාරවල රැදවියන්ට සහ සිරකරුවන්ට කොවිඩ් වෛරසය බෝවීම වළක්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසූ නීතිඥවරයා, මෙවැනි සිදුවීම් නිසා රටක් ලෙස බරපතළ අභියෝගවලට මුහුණ දීමට සිදු වන බව ද පෙන්වා දුන්නේය. අද (30) රාජගිරියේ පිහිටි සාධාරණ සමාජයක් සදහා ජාතික ව්‍යාපාර කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.


Update : 12.20 PM

රාජ්‍ය භාරයේ සිටින සිරකරුවන් හෝ රැදවියන් ඝාතනය කිරීම බරපතළ ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද (30) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පසුගිය දින කිහිපය පුරා මේ රැදවියන් සහ සිරකරුවන් තමන්ට පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලා සිටියද, එය සිදු නොවූ බවත්, එවැනි තත්වයක් තුළ ඊයේ දිනයේ රැදවියන් අතරින් කොවිඩ්-19 ආසාදිතයන් 183 ක් වාර්තා වී තිබූ බවත් සදහන් කළ මන්ත්‍රීවරයා, මේ නිසා බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක් ඇති වී තිබෙන බවද මෙහිදී පැවසීය. අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීම වෙනුවට ආරක්ෂක අංශ රැදවියන් සහ සිරකරුවන් දෙසට වෙඩි තබා ඇති බවත්, එය ප්‍රජාතන්ත්‍ර විරෝධී බරපතළ ක්‍රියාවක් බවත් අවධාරණය කළ මන්ත්‍රීවරයා, රාජ්‍ය භාරයේ සිටින රැදවියන්ගේ සහ සිරකරුවන්ගේ ජීවිතවල වගකීම ආණ්ඩුව දැරිය යුතු බව ද පෙන්වා දුන්නේය.


Update : 11.40 AM

මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් රැදවියන් 8 දෙනෙක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් මේ සිදුවීම පිළිබඳව පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයා හරහා කරනු ලබන පරීක්ෂණයක් පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (30) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පිටත සිටියත් ඇතුලත සිටියත් බන්ධනාගාරයේ සිටියත් පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වගකීමක් බව පැවසූ විපක්ෂ නායකයා, බන්ධනාගාරයේ කොරෝනා පොකුරක් නිර්මාණය වනතුරු ආණ්ඩුව නොසැලකිලිමත් වීම පිළිබඳව සිය අප්‍රසාදය පල කළේය.

මහර බන්ධනාගාරයේ සිදුවීම පිළිබඳව අපක්ෂපාතී, විශ්වාසනීය පරීක්ෂණයක් වහාම පැවැත්විය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.


Update : 11.20 AM

මහර බන්ධනාගාරයේ ඊයේ (29) වනවිට අධිකරණවලින් ඇප ලැබුණු රැදවියන් විශාල පිරිසක් ද එහි සිට ඇත.

කොවිඩ්-19 ආසාදිත දැයි පරීක්ෂා කිරීම ප්‍රමාද වීම නිසා ඔවුන්ට මෙසේ බන්ධනාගාරයේ රැදීසිටීමට සිදු වී තිබූ බව ඔවුන්ගේ ඥාතීහු පවසති.

එක් රැඳවියකුගේ බිරිඳක වන තැනැත්තියක ප්‍රකාශ කළේ තම සැමියාට ඇප ලබා දී ඇති නමුත් මුදාහැර නොමැති බවයි.

ඇය මෙසේද කීවාය.

“ඇප දීලත් ඉන්නේ. ඇප දුන්නට තවමත් අපට ආරංචියක් නෑ. මේ ගොල්ලෝ සද්ද නැතිව ඉන්නවා. මෙයාලා කියනවා අපට කෝල් එකක් දෙන්නම් ඇප දුන්නම කියලා.අපි එනවා යනවා අපිට මෙයාගේ විස්තරයක් හරියට දෙන් නෑ.”

ප්‍රශ්නය – කොහෙද උසාවිය ?

පිළිතුර – මහභාගේ උසාවිය.

ප්‍රශ්නය – කොච්චර කල් ඇතුළේ හිටියාද ?

පිළිතුර – මාස හතක් දැන්. මම දරුවෝ හතර දෙනෙක් එක්ක ඉන්නේ…… ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ….

ප්‍රශ්නය – ඇප දුන්නට පස්සේ බන්ධනාගාරයෙන් ඇහුවට පස්සේ මොකද කිව්වේ?

පිළිතුර – 23 හවස අපට පණිවිඩයක් දුන්නා….. 24 ඇවිත් ඇප දෙන්න කිව්වම කිව්වා පීසීආර් කරලා එවනවා කියලා. මොන පීසීආර් එකක්වත් කරලා නෑ… ඊට පස්සේ සිකුරාදා දෙන්නම් කිව්වා. අද දෙන්නම් කිව්වා. තාම ආරංචියක් නෑ. මේ ගොල්ලෝ මාර අසාධාරණයක් කරන්නේ.

ප්‍රශ්නය – දැන් ඔයාලා ඇහුවම මොකද කිව්වේ?

පිළිතුර – දැන් කතා කරනවා තියා මොකුත් ආරංචි නෑ. ඇප දුන්නනම් මේ මනුස්සයට කතා කරන්න විදියක් හරි තියෙන්න එපැයි එයා ඉන්නවද නැද්ද කියල දැනගන්න හරි.

තවත් රැඳවියකුගේ මවක් මෙසේ කීවාය.

ප්‍රශ්නය –  ඇයි එයාව අරන් ආවේ ?

පිළිතුර – පොලිසියෙන් ගත්තේ නොකරපු වරදකට. කුඩු බොනවයි කියලා. කුඩු ග්‍රෑම් එක්දාස් දාලා දරුවා දැමිමා.

ප්‍රශ්නය – කොච්චර කල්ද දැන්?

පිළිතුර – දැන් මාස තුනක් වෙනවා සර්. දරුවා බලන්නත් නෑ. මට මගේ.දරුවා බලාගන්න ඉඩ දෙන්නෑ නේ. දරුවා බලන්න විතරයි මට ඕනේ සර්.

ප්‍රශ්නය – ගම කොහේද ?

පිළිතුර – ගිරිතර මම. මට දරුවා බලන්න දුන්නොත් බුදු බව අත්වෙනවා. මට පණ තියාගෙන වැඩක් නෑ මගේ දරුවා බැලුවේ නැත්නම්. මට ඉඳලා වැඩක් නෑ දෙයියනේ මගේ දරුවා බලාගන්න නොදුන්නොත් මට ජීවත්වෙලා වැඩක් නෑ.

ප්‍රශ්නය – ෆෝන් එකෙන් කෝල් ගන්න දුන්නෙ නැද්ද?

පිළිතුර – අනේ නෑ. දුන්නේ නෑ. දැන් මාස තුනක් වෙනව ගෙනල්ලා. මට දරුවා බලන්න විතරයි ඕනේ. ගෙනියන්න නෙමෙයි දෙයියනේ.

ප්‍රශ්නය – මෙහේ ඉන්නවද නැද්ද කියලවත් හරියට දන්නේ නැද්ද?

පිළිතුර – දැන් මාසයක් විතර මම ආවා බලන්න. මෙහේ හිටියා.දරුවා නැත්නම් මට පණ තියාගෙන වැඩක් නෑ..

රැඳවියකුගේ පියෙක් මෙසේ සඳහන් කළේය.

“සිකුරාදා කිව්වා අඟහරුවාදා දෙනව කියලා. අඟහරුවාදා කිව්වා බදාදා දෙන්නම් කියලා. බදාදා කිව්වා බ්‍රහස්පතින්දා දෙන්නම් කියලා එත් ඇප දුන්නේ නෑ. අද 30යි. දවස් 10ක්. ඇප දීලා දවස් 10ක් මේකේ. දවස් දහයක් ගිහිල්ලත් හරි දෙයක් කිව්වේ නෑ…. අපි උදේ එනවා හවස හතර වෙනකම් මෙතන ඉඳලා යනවා.”


Update – 9.30 AM

මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් පැය 12කට පමණ පසු එනම් අද (30) උදැසන 7.30⁣ට පමණ වන විටත් වෙඩි ශබ්ද ඇසුණු බව ප්‍රදේශවාසීහු කියති.

මේ වන විට අට දෙනකු මියගොස් ඇති බවත් 45ක් තුවාල ලබා ඇති බවත් තුවාල ලැබූවන් අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ද සිටින බවත් බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.

බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් කිහිප දෙනකු බන්ධනාගාරය ඉදිරිපිට හඬා වැළපෙමින් සිටි අතර කැරලි මර්දන ඒකකය විසින් ඔවුන් පන්නා දමනු ලැබීය.

බන්ධනාගාරයේ සිට ගිලන් රථ කිහිපයක්ද පිටත් විය. එමෙන්ම “යටත් වෙන්න”යැයි කියන හඬ විටින් විට බන්ධනාගාරය පිටතින්ද අසන්නට ලැබුණු අතර බන්ධනාගාරය තුළින් තවමත් වෙඩි ශබ්ද අසන්නට ලැබෙයි.

රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ සිට බස් රථවලින් ගෙන යන ආකාරය ද දකින්නට ලැබිණි.

රැඳවියන් පිරිසක් බස් රථවලින් රැගෙන ගිය අවස්ථාවේ රැඳවියන්ගේ ඥාතීන්
රැඳවියන් පිරිසක් බස් රථවලින් රැගෙන ගිය අවස්ථාවේ රැඳවියන්ගේ ඥාතීන්
රැඳවියන් පිරිසක් බස් රථවලින් රැගෙන ගිය අවස්ථාවේ රැඳවියන්ගේ ඥාතීන්
රැඳවියන් පිරිසක් බස් රථවලින් රැගෙන ගිය අවස්ථාවේ රැඳවියන්ගේ ඥාතීන්
රැඳවියන් පිරිසක් බස් රථවලින් රැගෙන ගිය අවස්ථාවේ රැඳවියන්ගේ ඥාතීන්
රැඳවියන් පිරිසක් බස් රථවලින් රැගෙන ගිය අවස්ථාවේ රැඳවියන්ගේ ඥාතීන්
රැඳවියන් පිරිසක් බස් රථවලින් රැගෙන ගිය අවස්ථාවේ රැඳවියන්ගේ ඥාතීන්
රැඳවියන් පිරිසක් බස් රථවලින් රැගෙන ගිය අවස්ථාවේ රැඳවියන්ගේ ඥාතීන්


2020.11.29


මහර බන්ධනාගාර⁣යේ වෙඩි තැබීම් සහ ගිනි ගැනීම්


Update – 2130 PM

මහර බන්ධනාගාරය තුළ වෙඩි තැබීම් සහ ගිනි ගැනීම් මේ වන විටත් වාර්තා වන බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.

වෙඩි තැබීම්වලින් මේ වන විටත් කිහිප දෙනකු මිය ගොස් ඇතැයි ද බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි ද එම ආරංචිමාර්ග කියයි. කොවිඩ් ආසාදිත රැඳවියන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් මෙම නොසන්සුන්තාවය හටගෙන ඇති බවත් අවස්ථා කිහිපයකදී වෙඩි තැබීම් සිද්ධ වු බවත් බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

වෙඩි තැබීමෙන් පසු ගින්නක් ද හ⁣ටගෙන ඇති බවත් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය කැඳවා ඇති බවත් ගිනි නිවීම සඳහා ගිනි නිවීමේ රථ කැඳවා ඇති බවත් එම ආරංචිමාර්ග පවසයි.

තවමත් නිල පැහැදිලි කිරීමක් නෑ

මෙම වෙඩි තැබීම් සිදු කරන්නේ කුමන පාර්ශ්ව විසින් ද සහ කුමන හේතුවක් නිසාද යන්න මෙතෙක් බන්ධනාගාර නිලධාරීන් විසින් ප්‍රකාශ කර නොමැත.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළද ඔහුගේ ජංගම දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත.

Previous articleමානව හිමිකම් කොමිසම ගැන පැතිරෙන කතාව අසත්‍යයක් !
Next articleඅයවැයට හිර වුණු ණයකාර සූත්‍රයෙන් නිදහසක් නැද්ද ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here