සනීපාරක්ෂක තුවා බද්ද තරුණ ගැහැණු ළමුන්ට කරන අසාධාරණයක් !

(හසරිඳු රාජපක්ෂ)

කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා, ළදරු සහ වැඩිහිටියන්ගේ නැප්කින් නිෂ්පාදනවල බදු 15%කින් ඉහළ දැමීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

මේ පිළිබඳ යෝජනාව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් විමසීමේදී  ජාතික ජනබලවේගයේ පාර්මේන්තු මන්ත්‍රී හරිනි අමරසුරිය මහත්මිය පැවසුවේ පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා නොමිලයේ ලබාදිය යුතු බවයි.

මෙරට 30%කට වැඩි ගැහැණු ළමයින් පිරිසක් සනීපාරක්ෂක තුවා සම්බන්ධ ගැටළු නිසා පාසල් නොයා සිටින බවත් මෙලෙස බදු වැඩි කිරීම තරුණ ගැහැණු ළමුන්ට සිදුකරන අසාධාරණයක් බවත් ඇය කීවාය.

“සනීපාරක්ෂක පහසුකම් පවා නොමැති පාසල් කිහිපයක්ම මේ රටේ තිබෙනවා. එවැනි තත්වයක් තුළ මේ ආකාරයට බදු වැඩිකරනවා කියන්නේ තරුණ ගැහැණු ළමයින්ට කරන විශාල අසාධාරණයක්. අපි මේ දේවල් පාසල් වල නොමිලයේ ලබාදිය යුතුයි. මේ දේවල් ගැන කතාකිරීමත් ලැජ්ජාවිය යුතු දෙයක් බවට සමාජ මතයක් ඇතිකර තිබෙනවා. නමුත් ළමයෙක් බිහිවෙන්නේ නම් මේ ක්‍රියාවලිය  සිදුවිය යුතුයි. මේ ආකාරයට බද්දක් ගහපු එක ගැන මම පුදුම වෙන්නේ නැහැ. මොකද මේ රජය ස්ත්‍රීන්ට තිබෙන ප්‍රශ්න ගැන සංවේදී බවක් තිබෙනවා කියලා මම හිතන්නේ නැහැ. කොහොම වුණත් රටක් විදිහට මේක අපි ලැජ්ජා විය යුතු තත්ත්වයක්” යැයි ද ඇය සඳහන් කළාය.

සමගි ජනබලවේගයේ, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති අතර එමගින් ඇය සදහන් කර ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයින් ඇඟ බද්ද අයකළා මෙන් වත්මන් ආණ්ඩුව 15% ක ‘මෙන්සස් බද්දක්‘ අයකරන බවයි.

“කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා” යැයි සඳහන් කර ඇති ඇය නිකුත් කළ නිවේදනය මෙසේය,

“1848 දී එංගලන්තයේ ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද, බලු බද්ද ඇතුළු බදු 7 ක් ගැහුවා. මේ ආණ්ඩුව කාන්තාවන්ගේ ‘මාස් ශුද්ධියට බදු ගහපු ආණ්ඩුවක්‘ ලෙස ඉතිහාසගත වෙනවා.

ලෝකයේ දියුණු රටවල් පාසල් දරුවන්ට, දුප්පතුන්ට, සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දෙනවා. සහන මිලට ලබා දෙනවා. මේක කාන්තාවන්ගේ අයිතියක්, සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවන්නට මුලික අවශ්‍යතාවයක් ලෙස ලෝකයම සලකනවා. සෞභාග්‍යයේ ආණ්ඩුව ධනවතුන්ගේ බදු කපලා දැන් කන බොන, දෛනික අවශතාවන්ට බදු ගහනවා.

යහපාලන ආණ්ඩුව එදා ‘සනීපාරක්ෂක තුවා සඳහා වූ බද්දෙන් 40% ක් ඉවත් කළා. එයින් විශාල සහනයක් ජනතාවට ලැබුණා. දැන් ආණ්ඩුව සනීපාරක්ෂක තුවා බද්ද 15% කින් වැඩි කරලා. මේ ආණ්ඩුව මිනිස්සු ගැන හිතන්නේ නැති, යක්ෂ ආණ්ඩුවක් බවට දවසින් දවස පත්වෙමින් තියෙනවා

ආණ්ඩුවේ නව ‘මෙන්සස් බද්ද‘ නිසා පීඩාවට පත් වන්නේ කාන්තාවන් පමණක් නොවෙයි. සෑම පවුලකම අම්මලා – දුවලා ආදී වශයෙන් කාන්තාවන් කිහිප දෙනෙකු සිටිනවා.  සෑම මාසයකම අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට ‘සනීපාරක්ෂක තුවා‘ ඇතුලත් වෙනවා.  මේ රටේ සනීපාරක්ෂක තුවා ගන්න බැරිව පාසල් නොයන දරුවෝ ඕනෑ තරම් ඉන්නවා. ඒ දුප්පත්කම නිසයි.

සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ නව බද්ද ඉවත් කර ගන්යැයි අපි ආණ්ඩුවට බල කරනවා.”

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමයේ මහත්මිය ද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් විමසීමක් කළාය.

සනීපාරක්ෂක තුවා යනු කාන්තාවන්ගේ සෞඛ්‍යමය ප්‍රශ්නයක් බවත් මේ සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස අගමැති සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඇය පැවසුවාය.

ඇය මෙසේද කීවාය.

“මේ රටේ ජනගහනයෙන් 52% ක් කාන්තාවෝ ඉන්නේ. සනීපාරක්ෂක තුවා කියන්නේ මේ කාන්තාවන්ගේ සෞඛ්‍යමය ප්‍රශ්නයක්. මානුෂිය ප්‍රශ්නයක්. නමුත් එයට 15% ක බදු ගහලා තියෙනවා.මේ සම්බන්ධයෙන් යළි සලකා බලන්න මෙය මානුෂිය ප්‍රශ්නයක් මෙය අත්‍යවශ්‍ය භාණ්ඩයක් කළ යුතුයි කියා මම ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

අපේ දැරියෝ 50%ක් මේ හේතුව නිසා පාසල් යන්නේ නැහැ. මේක ඉතාම විශාල ප්‍රශ්නයක්. මේ ගැන හැමෝම අවධානය යොමුකළ යුතුයි”

එයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය “එසේ විමසුයේ පෑඩ්මෑන්ගේ සැරවැදිලාද?” දැයි ඩයනා ගමගේ මහත්මියගෙන් ප්‍රශ්න කළාය.

“මේ දේවල් නෙවෙයි. ළමයින්ගේ ආරක්ෂාව ගැන බලන්න ඕනේ.” යැයි ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කළ අතර එහිදී නැගී සිටි අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුයේ ආණ්ඩුව කිසිදු බදු වැඩිකිරීමක් සිදුකර නොමැති බවයි.

මෙලෙස බදු වැඩිකිරීම සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසූවේ දේශිය නිෂ්පාදන සඳහා ඉඩ ලබාදීමට මෙලෙස බදු වැඩිකළ බවයි.

“විදේශිය නිෂ්පාදන වෙළෙඳපොළට එන එක අපි නතරකරලා තිබෙන්නේ. ඒ නිෂ්පාදන දේශියව නිපදවලා එම නිෂ්පාදනවලට වඩා ගුණාත්මක බවින් වැඩි නිෂ්පාදන අඩු මිලට ලබාදීමේ අරමුණ ඇතිව එහෙම කරලා තිබෙන්නේ. උදාහරණයක් විදිහට මුහුණු ආවරණ රුපියල් 50 පමණ තිබුණේ. ඒවාට බදු වැඩිකරලා ලංකාවේ මුහුණු ආවරණ නිපදවන්න අවස්ථාව දුන්නා. මේනිසා රුපියල් 10ට 15ට දැන් මුහුණු ආවරණ තිබෙනවා. සනීපාරක්ෂක දියර ග්‍රෑම් 100 රුපියල් 350 ට පමණ තිබුණේ. එය ඊට වඩා අඩුමිලට ලංකාවේ නිෂ්පාදනය කළා. මේ ආකරයට දේශිය නිෂ්පාදකයාට දිරිදෙමින් අඩුමිලට භාණ්ඩ වෙළෙඳපොලට නිකුත්කිරීමට අවස්ථාව සලසා දෙනවා

සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කරන දේශිය නිෂ්පාදකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ගෙන් ගුණාත්මක නිෂ්පාදන අඩු මිලට ලබාගැනීමේ අරමුණෙන් විදේශියව ආනයනය කරන සනීපාරක්ෂක තුවා වල බදු වැඩිකරනවා. මේ රටේ හදන්න පුළුවන් දේවල් පිටරටින් ගෙන්වනවානම් ඒවාට බදු වැඩිකරනවා. එහෙම නැතිව කොහොමද මේ රට ගෙනියන්නේ.”යැයි පැවසීය.

Previous articleBlog : කොරෝනා මරණ ගණන 94 දක්වා ඉහළට
Next articleශානිගේ ඇප නඩුව හෙට ; අද වෙනකොට කොවිඩ්ලු

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here