කොළඹ හුදකලා ප්‍රදේශවල පවුල් 22000කට 5000ත් නෑ බඩු මල්ලත් නෑ

කොළඹ නාගරික සීමාවේ ප්‍රදේශ රැසකට ඇඳිරිනීතිය හෝ හුදකලා තත්ත්වය ප්‍රකාශයට පත් කර මේ වන විට සති ගණනක් ගත වී ඇති නමුත් එම ප්‍රදේශවල සිටින පවුල් 22959කට රුපියල් 5000 දීමනාව හෝ ‘රුපියල් 10000’ බඩු මල්ල ⁣තවමත් ලබා දී නැතැයි පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

‘රුපියල් 10000ක’ බඩු මල්ල ලබා දෙන්නේ නිරෝධායනය වන පවුල් සඳහා බවත් කොළඹ නාගරික ප්‍රදේශය පවතින තිඹිරිගස්යාය සහ කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක තුළ නිරෝධායනය වන පවුල් 3320ක් සිටින බවත් ඉන් 3133කට මේ වන විට එම බඩු මල්ල ලබා දී ඇති බවත් කොළඹ දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා පාර්ලිමේන්තුවේදී කීවේය.

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිරෝධායනය වන පවුල් 2400කින් 2263කට අදාළ බඩු මල්ල ලබා දී ඇති බව ද තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 920කින් 870ක⁣ට එම බඩු මල්ල ලබාදී ඇති බවද ඔහු පැවසීය.

එමෙන්ම රුපියල් 5000 දීමනාව ලැබීමට සුදුසුකම් ලැබූ පවුල් 69579ක් කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සිටින බවත් ඉන් පවුල් 49434කට එම දීමනාව ලබාදුන් බවත් එම දීමනාව නොලැබුණ 20145ක් සිටින බවත් ප්‍රදීප් මහතා ප්‍රකාශ කළේය.

තවද තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ එම දීමනාව ලැබීමට සුදුසුකම් ලැබූ පවුල් 35157ක් අතුරින් පවුල් 32530කට එම දීමනාව මේ වන විටත් ලබා දී ඇතැයි ද තවත් පවුල් 2627කට එම දීමනාව ලබා දීමට නියමිතව ඇතැයි ද ඔහු පැවසීය.

ඒ අනුව ‘රුපියල් 10000’ බඩු මල්ල නොලැබුණ නිරෝධායනය වන පවුල් 187ක් එම ප්‍රදේශයේ සිටින අතර රුපියල් 5000 දීමනාව ලැබීමට සුදුසකම් ලැබ නමුත් එම දීමනාව නොලැබුණ පවුල් 22772ක් සිටී.

එම සහන නොලැබුණ පවුල් සඳහා ඉදිරියේදී කඩිනමින් එම ආධාර ලබාදෙන බව ද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කොළඹ ප්‍රදේශ කිහිපයක විරෝධතා

තමන්ට අත්‍යවශ්‍ය ආහාර පාන ලබාදෙන ලෙස සහ රජයෙන් ලබාදෙන බව කී සහන නොලැබුණ බව කියමින් හුදකලා කර තිබෙන කොළඹ ප්‍රදේශ කිහිපයක ජනතාව ඊයේ විරෝධතා පැවත්වූහ.

කොළඹ 15 අලුත්මාවත – ඉබ්බාවත්ත ප්‍රදේශයේ ජනතාව ද පාරට බැස විරෝධතාවක නිරත වූ අතර උතුරු කොළඹ සහ මැද කොළඹ ප්‍රදේශයේ ජනතාව ද තමන්ට ආහාර නොමැති බව කියමින් විරෝධතා දැක්වූ අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද කතාබහක් ඇතිවිය.

කොවිඩ් වසංගතය හේතුවෙන් නිවෙස්වල සිරවී සිටින තමන්ට රජය විසින් ලබාදෙන බව කී සහන නොලැබුණු බව එම ප්‍රදේශවල ජනතාව ප්‍රකාශ කළහ.

මිනිස්සු කන්න නෑ බොන්න නෑ කියලා උද්ඝෝෂණ කරනවා – මනෝ ගනේෂන්

කොළඹ ප්‍රදේශ කිහිපයක ජනතාව පාරට බැස විරෝධතා කරන බවත් ඔවුන්ට ආහාර පාන නොමැතිව අසරණ වී සිටින බවත් පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඊට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාට මැදිහත් වන්නැයි ද ඉල්ලා සිටියේය.

“කොළඹ නගරයේ උතුරු කොළඹ මැද කොළඹ මිනිස්සු මහ පාරේ. මිනිස්සු කන්න නෑ බොන්න නෑ කියලා ඉන්නවා. මාසයක් වුණා. දැන් මිනිස්සු හිරවෙලා ඉන්නේ. ලොක්ඩවුන් වෙලා ඉන්නේ. උතුරු කොළඹත් එහෙමයි. මැද කොළඹත් එහෙමයි. බොරැල්ලෙත් පංගුවක් එහෙමයි. විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මිනිස්සු උද්ඝෝෂණ කරනවා. මෙතන කොළඹ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිතුමා ඉන්නවා. එතුමා හොඳයි. එතුමා එක්ක වැඩ කරන්න කැමතියි අපි. කාරණාව මේක පක්ෂ බේදයකින් තොරව වැඩ කරන්න ඕන අපි. ඒ කමිටුවට බලතල ටික ලබාදෙන්නේ. එක පැත්තකින් සෞඛ්‍ය ප්‍රශ්නය තියෙනවා. ඇන්ටිජන් ද නැත්නම් පීසීආර් ද ටෙස්ටින් කරන්න ඕන. දෙදෙහක් ඕනේ ටෙස්ටින්. දාහක්වත් කරන්නේ නෑ. අටසීයක්වත් කරන්නේ නෑ. ඒක සෞඛ්‍ය ප්‍රශ්නය. අනික් පැත්තෙන් මිනිස්සු ලොක්ඩවුන් නිසා මිනිස්සු හිරවෙලා ඉන්නවා. කොළඹ ඉන්නේ නාගරික දුප්පත් මිනිස්සු.” යැයි ඒ මහතා කීවේය.

විමල් වීරවංශගෙන් බැනුම්

ඒ මොහොතේදී කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වෙනුවට නැඟී සිටියේ අමාත්‍ය විමල් වීරවංශ මහතාය.

විමල් වීරවංශ මහතා – ගරු මූලාසනාරූඩ මන්ත්‍රීතුමනි, ගරු මනෝ ගනේෂන් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන කරුණ පිළිබඳව මම මේ දැන් කොළඹ දිස්ත්‍රික් දිසාපතිතුමාව අමතලා විමසුවා. එතුමා පැවසුවේ සාමාන්‍යයෙන් ඔබතුමා දන්නවා රුපියල් 5000ක් දෙන්නේ සතියකින් වියදම් කරන්න නෙවෙයි, ඔය පවුල්වලට රුපියල් 5000 ගාණෙ දීලා තියෙනවා. දීලා ඒක සතියෙන් වියදම් කරගෙන තමයි දැන් මොකුත් නෑ කියන්නෙ.

මනෝ ගනේෂන් මහතා – සභාපතිතුමාගෙන් ඇහුවේ

විමල් වීරවංශ මහතා – ඔයාට ඕනෙ කෙනා නෙවෙයි උත්තර දෙන්නේ, එයා උත්තර දුන්නත් මං උත්තර දුන්නත් මේක තමා උත්තරේ. උත්තරේ අහගන්න. ඒ නිසා තමුන්නාන්සෙ මේ මෙතන නැති ප්‍රශ්න හදන්න යන්න එපා. වාඩිවෙනවා මනෝ ගනේෂන් තමුසේ. මෝඩයා.දන්න දේ තමයි කිව්වේ.

සභාපතිවරයාගෙන් පිළිතුරු

කොළඹ දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු ⁣සභාපති ප්‍රදීප් උඳුගොඩ මහතා – එක විනාඩියක් දෙන්න මට ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න. එතුමාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මීට දෙන දෙකකට පෙර සියලු දෙනා මේ පිළිබඳ සාකච්ඡා කළා. මා අවස්ථාවක් දුන්නා විපක්ෂයේ ඉන්න ගරු මන්ත්‍රීවරුන්ට මෙි කොළඹ ප්‍රදේශයේ තියෙන ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරලා එ්වට විසඳුම් සොයන්න. මෙි ගරු මන්ත්‍රීවරුන් දෙපළත් ගරු නගරාධිපතිතුමියත් ඒ සඳහා පැමිණියා. අපි ඒ අවස්ථාවේ තීන්දු කළා රුපියල් 5000 දීමනාව ලබාදෙන පිරිස කවුද ඒවගේම 10000 සහන මල්ල ලබාදෙන පිරිස කවුද කියලා. 10000 සහන මල්ල අපි ලබාදෙන්නේ ලොක්ඩවුන් කරපු නිවාස සංකීර්ණවල ඉන්න අයට. ඊට අමතරව රුපියල් 5000 දීමනාව මේ වෙනකොට විශාල ප්‍රමාණයකට ලබාදීලා තියෙනවා. මේ කොවිඩ් වසංගතයත් එක්ක ලොකු පොලිම්වල දෙන්න පුළුවන්කමක් නෑ. ඒක හින්දා ගරු මන්ත්‍රීතුමා මේ වෙනකොට ඒ කටයුත්ත කාර්යක්ෂමව කරගෙන යනවා. අඩුපාඩුකම් තියෙන තැන් ඇති.

මනෝ ගනේෂන් මහතා : ප්‍රශ්නය මේකයි. එතුමා එක්ක අපි වැඩ කරනවා. ප්‍රශ්නය තියෙන්නේ මෙතන මිනිස්සු මහ පාරේ. මිනිස්සු මහ පාරේ ඉන්නවා.

 

ප්‍රදීප් උඳුගොඩ මහතා – මීට ටික වේලාවකට පෙර අපේ මනෝ ගනේෂන් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් කළා කොළඹ ප්‍රදේශයේ ජනතාවක් වීදි බැහැලා තියෙනවා කියලා. කොළඹ ප්‍රදේශයේ සිටින කොවිඩ්-19 වසංගතයට ගොදුරු වෙච්ච පවුල් සඳහා රජය මගින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ එතුමා විමසා සිටියා. ඉතාමත් කෙටියෙන් කියන්න කැමති විශේෂයෙන් කොළඹ ප්‍රදේශය තුළ කොළඹ නාගරික සීමාව තුළ ඉතාමත් සීග්‍රයෙන් පැතිර යන ප්‍රදේශයක් හැටියට මේ වෙනකොට කොළම නාගරික ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක පවතිනවා. එහි නිරෝධායනය වෙච්ච පවුල් මා විශේෂයෙන් කියන්න කැමති කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2400කුත් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 920කුත් ඒ අතරින් පවුල් 2400න් 2263ක් සඳහා මේ වෙනකොට අපි රුපියල් 10000 සහන මල්ල ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම පවුල් 137ක් ඉතිරිවෙලා තියෙනවා. ඒ වගේ තිඹිරිගස්යාය පවුල් 870කට අපි රුපියල් 10000 සහන මල්ල ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා.

ඒ වගේම තමයි කොළඹ නාගරික සීමාව තුළ ප්‍රධාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක තුළ මහල් නිවාස අටක් මේ වනකොට හුදකලා කරලා තියෙනවා. ඒවා⁣ අතරින් සියපත් සෙවණ, සිරිසර උයන තිඹිරිගස්යාය පොලිස් නිවාස අතරින් සියලුම පවුල් සඳහා රුපියල් 10000 සහන මල්ල ලබාදීමට කටයුතු කරලා තියෙනවා.

ඒ වගෙම තමයි කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සත්හිරු සෙවණ, මෙත්සඳ සෙවණ, මෝදර උයන, සම්මන්ත්‍රණපුර මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණය යන මහල්නිවාසවල සිටින සියලුම පවුල් සඳහා රුපියල් 10000 සහන මල්ල ලබාදීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි රුපියල් 5000 දීමනාව. තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් 35157ක් සුදුසුකම් ලබන පවුල් හැටිය⁣ට තෝරාගෙන තියෙනවා. ඒ අතරින් පවුල් 32530කට මේ වෙනකොට රුපියල් 5000 දීමනාව දීලා අවසන් කරලා තියෙනවා. ඊයේ හවස් වෙනකොට ඉතිරි වෙලා තියෙනවා පවුල් 2627ක් රුපියල් 5000 ලබාදීමට. ඒ වගේම කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පවුල් 69579න් පවුල් 49434කට මේ වෙනකොට අපි රුපියල් 5000 දීමනාව ලබාදීලා තියෙනවා. තව ඉතිරි වෙලා තියෙන පවුල් 20145 සඳහා අපි ඉතා කඩිනමින් දීමනාව ලබාදීමට කටයුතු කරනවා.

වි⁣ශේෂයෙන් මා කියන්න කැමතියි අපේ මනෝ ගනේෂන් මන්ත්‍රී තුමා ප්‍රකාශ කළ පරිදි අපි පසුගිය කාල සීමාව තුළ අපේ විපක්ෂ නායක තුමත් ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ සියලු මන්ත්‍රීවරුන් ඇමතිවරුන් කැඳවලා කොළඹ ප්‍රදේශයේ ඇතිවෙලා තියෙන මෙි ව්‍යාකූල තත්ත්වය ගැන සාකච්ඡා කළා. ඒ වෙනුවෙන් එතුමන්ලා අපට විශේෂ සහයෝගයක් ලබාදුන්නා වගේම මා කියන්නට ඕනේ මේ අවස්ථාව වෙන විට මෝදර ඉබ්බවත්ත කියන ප්‍රදේශයේ විශාල ජනතාවක් පාරට වීදි බැහැලා තියෙනවා. නමුත් මේ කටයුත්ත කරන්න සුදුසු නැහැ. අපි මේ සටන් කරන්නේ අපි මේ සෙල්ලම් කරන්නේ මිනිස් ජීවිත එක්ක. ඒ නිසා මේ කොවිඩ් වසංගතය හමුවේ ජනතාව වීදි බැස්සවීම තුළින් තවත් මේ කොවිඩ්-19 වසංගතය පැතිර යනවා විනා නැවත වතාවක් අපිට මේ ප්‍රදේශ හුදකලා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මා ⁣ඉතාමත් ගෞරවයයෙන් ඉල්ලා සිටිනවා.

මනෝ ගනේෂන් මහතා – ගරු සභාපති තුමා අපි ඒගොල්ලන්ව වීදි බැස්සුවේ නෑ. ඒගොල්ලේ ස්වේච්ඡාවෙන් වීදි බැහැලා ඉන්නවා. කන්න නැති මිනිස්සු කන්න නෑ බොන්න නෑ ජීවත් වෙන්න බෑ කියලා කියනවා. ඒක සභාවට මම ගෙනාවා ඔබතුමන්ලාට එ්ක ගෙනාවා.

ප්‍රදීප් උඳුගොඩ මහතා : ඔබතුමා මැදිහත් වුණ කතාවක් මම කීවේ නෑ. ඔබතුමා ඒක බාරගන්න එපා. මෙි ඉබ්බගේවත්ත. ප්‍රදේශයට මීට දින දෙකකට පෙර රුපියල් 5000 දීමනාව අපි ගෙවලා අවසන් කරලා තියෙනවා. ඒක නිසා මේ රුපියල් 5000 දීමනාව ගෙවලා නැති ප්‍රදේශයක් නෙමෙයි මේ ජනතාව වීදි බැහැලා තියෙන්නේ. මේ වීදි බැහැලා තියෙන්නේ රුපියල් 5000 දීමනාව දීපු ප්‍රදේශ. ඉතින් ඒ නිසා ගරු මන්ත්‍රීතුමා මේ කටයුත්ත කරනකොට පක්ෂ විපක්ෂ බේදයකින් තොරව අපේ ගරු විපක්ෂ නායකතුමා විශාල සහයෝගයක් දෙනවා. ඒ නිසා එතුමත් සමග මා එන අඟහරුවාදා නැවත සාකච්ඡාවක් කැඳවුවා මේ වෙනුවෙන් අප ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳ සාකච්ඡා කරන්නට. ඒ නිසා කොළඹ දිස්ත්‍රික්කය තුළ ජනතාව අසරණ වෙලා නෑ. කොළඹ දිස්ත්‍රික්කය තුළ සිටින සියලුම ජනතාවට අපි සහන සලසලා තියෙනවා ගරු මූලාසනාරූඩ මන්ත්‍රීතුමනි. ඒ නිසා මා කියන්නට ඕන අයවැය ගැන විවාද කරන මොහොතේ අමතර ප්‍රශ්නයක් හැටියට මා පිළිතුරු ලබාදුන්නේ.

Previous articleබන්ධනාගාර නීතියට පිටින් ඇවන්ට්ගාඩ් සමාගමට සිරකරු ශ්‍රමය විකුණයි ද?
Next articleඅවශේෂ වනාන්තර කියන්නෙ 2020 දි හදාගත් වචනයක් ! – ආචාර්ය ජගත් ගුණවර්ධන

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here