බන්ධනාගාර නීතියට පිටින් ඇවන්ට්ගාඩ් සමාගමට සිරකරු ශ්‍රමය විකුණයි ද?

(ශාලික විමලසේන)

බන්ධනාගාර ආඥා පනත යටතේ කිසිදු හේතුවක් මත සිරකරුවන්ගේ ශ්‍රමය බාහිර පාර්ශ්වවලට ලබාදීමට හෝ විකිණීමට ඉඩක් නැති බවත්, පුනරුත්ථාපනය යන නම යොදාගනිමින් එසේ සිදුකිරීම ශ්‍රමය කොල්ලකෑමක් බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා අවධාරණය කරයි.

කෘෂිකර්ම ලේකම්ගෙන් ලිපියක්

සීමාසහිත ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විස් පෞද්ගලික සමාගමට අනුබද්ධ ඇවන්ට් ඇග්‍රො පෞද්ගලික සමාගමට බඩඉරිඟු වගාකිරීම සඳහා රජයේ ඉඩම් අක්කර 5,000 ක් ලබාදීම සහ ඒ සඳහා සිරකරුවන් යොදාගැනීම සම්බන්ධයෙන් සඳහන් කරමින් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා විසින් පසුගිය ඔක්තෝබර් 16 වැනිදා ලිපියක් යවා ඇත. අදාළ ලිපියේ ශීර්ෂය ලෙස සඳහන් කර ඇත්තේ ‘මත්ද්‍රව්‍ය උවදුරින් ජනතාව මුදවාගැනීම සඳහා එයට ඇබ්බැහි වූ සහ සිරගත වී ඇති සිරකරුවන් කෘෂිකර්මය සඳහා යොමුකර පුනරුත්ථාපනය කිරීම’ යනුවෙන් ය. පසුගිය සැප්තැම්බර් 28 දින සීමාසහිත ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විස් පෞද්ගලික සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති විසින් අගමැති මහින්ද රාජපක්ෂගෙන් කරන ලද ඉල්ලීමක් සහ මීට අදාළ ව ඔහු විසින් යවා ඇති AVANT/AGRO/MAIZE/GEN (03) අංක දරන ලිපියට අනුව තමන් විසින් මෙම ලිපිය නිකුත් කරන බව ද අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කර තිබේ.

ලාබ ලබන්න සිරකරුවන් යොදාගන්න බෑ

මෙම ව්‍යාපෘතිය සඳහා සිරකරුවන් යොදාගැනීම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරයා ලිඛිතව දන්වා ඇති කරුණු සම්බන්ධයෙන් MediaLK කළ විමසීමකදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපතිවරයා ඉහත අදහස් පළ කළේය. ප්‍රදර්ශන සහ උත්සව අවස්ථා සඳහා විධිමත් ක්‍රමවේදයක් මත සිරකරුවන් යොදවා ගැනීමට හැකියාව ඇති බවත්, එම කටයුතු දිගටම නොපවතින සහ ව්‍යාපාරික අරමුණු රහිත ඒවා නිසා එසේ සිදුවන බවත් පෙන්වා දුන් සභාපතිවරයා, බන්ධනාගාරයෙන් පිටත පෞද්ගලික උත්සව සඳහා මුදල් ගෙවා සිරකරු නැටුම් කණ්ඩායම් වැනි කොටස් ගෙන්වාගත හැකි බව ද සඳහන් කළේය. එහෙත් කිසිදු හේතුවක් මත ඔවුන්ගේ ශ්‍රමය මේ ආකාරයට ලාබ ලබන ව්‍යාපෘතියක් සඳහා දිගටම විකිණීමට බන්ධනාගාර ආඳා පනතෙන් ඉඩක් නැති බවත්, ඒ අනුව එවැන්නක් සිදුකිරීම නීතිවිරෝධී බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කෙරුණු සිරකරුවන්ට අදාළ වැඩ සඳහා බන්ධනාගාර තුළ අවස්ථා ඇති කර තිබෙන බවත්, උදාහරණයක් ලෙස මහර බන්ධනාගාර පරිශ්‍රයේ එවැනි සිරකරුවන් සඳහා ඇති ගල් වළ පෙන්වා දිය හැකි බවත් පැහැදිලි කළේය.

ආණ්ඩුවට ඕනෙ නම් නීති හදන්න

සිරකරු පුනරුත්ථාපනය සඳහා මෙවැනි කටයුතු වැදගත් වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමසීමේදී සභාපතිවරයා සඳහන් කළේ පුනරුත්ථාපනය සිදුවිය යුත්තේ මනෝවිද්‍යාත්මකව බවයි. එවැනි මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයක් වෙනුවට මෙවැනි ශ්‍රමය විකිණීමක් පුනරුත්ථානය ලෙස හැඳින්වීමට උත්සාහ කිරීම බරපතළ වරදක් බවත්, මෙවැනි ව්‍යාපෘති සඳහා සිරකරුවන් යොදාගැනීමට ආණ්ඩුවට අවශ්‍ය නම් කළ යුත්තේ පාර්ලිමේන්තුව මගින් බන්ධනාගාර ආඥා පනත සංශෝධනය කොට නීත්‍යනුකූලව එය සිදු කිරීම බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

පුනරුත්ථාපනයට අදාළ නීතිත් කඩයි !

කෙසේ වෙතත් සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා මනෝවිද්‍යාත්මක ක්‍රමවේද භාවිත කිරීම සම්බන්ධයෙන් ලංකාවේ බන්ධනාගාරවල තත්ත්වය අතිශය කනගාටුදායක මට්ටමක පවතින බව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂ, මනෝ වෛද්‍ය විශේෂඥ ජයාන් මෙන්ඩිස් MediaLK වෙත පැවසීය.

බන්ධනාගාරගත රැඳවියන් සහ සිරකරුවන් පුනරුත්ථාපනය වෙනුවෙන් මානසික සායන පැවැත්වීම 2004 වසරේදී ආරම්භ කරන ලද්දේ ද විශේෂඥ වෛද්‍ය ජයාන් මෙන්ඩිස් විසින් ය. පුනරුත්ථාපන වැඩසටහන් විධිමත්ව ක්‍රියාත්මක නොවීම, සිරකරුවන්ගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් විධිමත් අවධානයක් යොමු නොකිරීම වැනි කරුණු බරපතළ බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා, බන්ධනාගාර පිළිබඳ ලෝකයේ පිළිගත් තත්ත්වයන්ට අනුව එක් බන්ධනාගාරයකට අනිවාර්යෙන්ම මනෝ වෛද්‍ය විශේෂඥවරයෙකු සිටිය යුතු බව අවධාරණය කරයි. මෙවැනි තත්ත්වයන් කළමනාකරණය කිරීම සහ මෙහෙයවීම ඔහුගේ කාර්යභාරයක් බව ද පෙන්වා දෙන ඔහු, ලංකාවේ කිසිදු බන්ධනාගාරයක එවැනි විශේෂඥවරුන් වෙනම නැති බව ද සඳහන් කරයි. යම් මානසික රෝගී තත්ත්වයක් සහිත සිරකරුවෙකු සිටී නම්, මනෝ වෛද්‍ය විශේෂඥවරයෙකු නොමැති තත්ත්වයක් තුළ  රටේ පවතින නීතියට අනුව කළ යුත්තේ ඔහු හෝ ඇය අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යැවීම බව ද පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා, ඔවුන් බන්ධනාගාර තුළ රඳවාගෙන සිටීම නීතිවිරෝධී බව ද අවධාරණය කරයි.

මෙසේ සිරකරුවන් අදාළ සේවා සඳහා ලබාදීමේ තීරණයක් ගෙන තිබේද යනුවෙන් විමසීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගෙන් විමසීමට අප අවස්ථා ගණනාවකදී උත්සාහ දැරුවද, එය අසාර්ථක විය. අද දිනයේ දුරකතන සංඥා පහසුකම් අවම ප්‍රදේශයක තමන් සිටින බව ඔහු අපට පසුව දැනුම් දුන්නේය.

Previous articleහොර සහතිකවලින් ලොකු තනතුරුවලට ; ආචාර්ය උපාධියත් බොරු
Next articleකොළඹ හුදකලා ප්‍රදේශවල පවුල් 22000කට 5000ත් නෑ බඩු මල්ලත් නෑ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here