අවශේෂ වනාන්තර කියන්නෙ 2020 දි හදාගත් වචනයක් ! – ආචාර්ය ජගත් ගුණවර්ධන

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමිණි.

විශ්වවිද්‍යාලයීය පාලක සභාවේ සහ සනාථන සභාවේ විශේෂ අනුමැතිය මත උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ විසින් මෙම ගෞරව ආචාරය උපාධිය පිරිනමන ලදි. මහාචාර්ය හිරාන් අමරසේකර විසින් ව්‍යවහාරික විද්‍යාපීඨයට කරන ලද යෝජනාවකට අනුව, පරිසරයේ පැවැත්ම, ආරක්ෂාව සහ අනාගත පරිසර ආරක්ෂණය වෙනුවෙන් කැපවන පිරිසක් බිහිකිරීමට දශක ගණනාවක් තිස්සේ කළ මෙහෙය අගයමින් නීතිඥ ජගත් ගුණවර්ධන මෙසේ ඇගයුමට ලක්විය.

ඔබට MediaLK සුබ පැතුම් !

ගෞරව ඇගයුමෙන් පසු, ආචාර්ය ජගත් ගුණවර්ධන සමග වර්තමානයේ පරිසරයේ පැවැත්මට එල්ල වී ඇති අභියෝග සම්බන්ධයෙන් කළ කෙටි සංවාදයකි, මේ.

පරිසරයේ ආරක්ෂාවට තියෙන තර්ජන සම්බන්ධයෙන් මේ වෙනකොට ලංකාව වටෙන්ම උදාහරණ වාර්තාවෙනවා. ඒත් වගකිවයුතු බලධාරීන්ට තවමත් මේ අවදානම තේරෙන බවක් පේන්නෙ නෑ. මේ වගේ තත්ත්වයකදි අපි කරන්න ඔ්නෙ මොකක්ද?

මේවා එකින් එක සිද්ධි විදිහට හුදෙකලාව අපි බලනවද, නැත්නම් සම්ප්‍රයුක්තයක් විදිහට බලනවද කියන එකයි වැදගත් කාරණය. හුදෙකලාව බලන කොට අපිට පේනවා, වන විනාශයට තුඩු දෙන තීරණ රැසක් බලධාරීන් ගනිමින් ඉන්නවා කියලා. සම්ප්‍රයුක්ත වශයෙන් බැලුවම මට තේරෙන්නෙ වනාන්තරයක තියෙන වටිනාකම සම්බන්ධයෙන් තියෙන නොදැනුවත්කම හෝ අනවශ්‍යකම තමයි මේ තීරණවලට හේතුවෙලා තියෙන්නෙ. රටක භූමි පරිභෝජනය පිළිබඳ සැලැස්මක් ඇති කරනවා වෙනුවට වෙලාවෙන් වෙලාවට එන අභියෝගවලට අදාළව, ඒවා තාවකාලිකව මැඩපවත්වාගන්න තීරණ ගැනීමේ ප්‍රවණතාවක් අද දකින්න පුළුවන්.

ඊළඟට තියෙන තවත් බරපතළ තත්ත්වයක් තමයි, පාරිසරික සැලසුම් මෙවලම් නොතකා කටයුතු කිරීම. ඒ කියන්නෙ පාරිසරික ඇගයීම් වාර්තා වගේ ඒවා. ඒවා තමයි තීරක මෙවලම්. ඒ කියන්නෙ තීරණගන්නෙ ඒවා මත පදනම්වෙලා. මේවා නිසා සම්ප්‍රයුක්ත වශයෙන්, නැත්නම් සමස්තයක් ලෙස බලන කොට අපිට භයානක අවදානමක පෙර නිමිති පේනවා. ඒත් ඒ භයානක අවදානම පේන්න ඕනෙ, ඒ අවදානම දකින්න ඕනෙ අයට තවම එහෙම එකක් පේන බවක් දකින්න නෑ.

ඒ බලධාරීන්ගෙ මූලිකත්වයෙන් පරිසරය විනාශ කෙරෙන අතරෙ, ඔවුන්ම පැළ සිටුවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒක උත්තරයක් ද?

ලංකාවෙ තියෙන්න ඕනෙ අවම වනගහනය සියයට 25 යි. දැන් තියෙන්නෙ සියයට 17 යි. වනාන්තරයක් කියන්නෙ ගස් ගොඩක් විතරක් නෙමෙයි. වනාන්තරයක් කියන්නෙ ශාක සහ සතුන් අතර තියෙන සංකීර්ණ සබඳතා ජාලයක්. ඒ පද්ධතිය විනාශ කරන්න පුළුවන් වුණාට, ඒ පද්ධතිය ඒ විදිහටම යළි ගොඩනංවන්න බැහැ. ගස් වැව්වම ඒක පද්ධතියක් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ලෝකයේ කොතැනකවත් මිනිස්සුන්ට තවම බැරිවෙලා තියෙනවා, විනාශ කරපු පරිසර පද්ධතියක් ඒ ආකාරයෙන්ම හදන්න. ඒකට හේතුව අර සංකීර්ණ සබඳතා කියන ඒවා ආපහු හදන්න බැහැ. ඒවා අපි දන්නෙත් නැහැ. අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙලත් නැහැ. ස්වභාවික වනාන්තරයට ආදේශක නැහැ. පැළ සිටුවීම වන ආවරණයක් විදිහට උත්තරයක්. ඒත් ඒකෙන් තිබුණු විදිහට වනාන්තරයක් හදන්න බැහැ.

පරිසරය සම්බන්ධ සංවාදවලට අලුතින් එකතු වුණු වචනයක් තමයි, අවශේෂ කැලෑ. මේ වචනය මොකක්ද සහ ඇයි මේ හදිසියෙ අවශේෂ කැලෑ එළියට ආවෙ…?

වෙනත් රජයේ වනාන්තරවලට මේගොල්ලො අලුතින් දාගත්තු නමක් තමයි, අවශේෂ කැලෑ කියන්නෙ. ඒක මේ අවුරුද්ද වෙනකම් භාවිතයෙ තිබුණෙ නැති වචනයක්. දෙදාස් විස්සෙදි තමයි අවශේෂ වනාන්තර කියලා වැරදි වචනයක් හදාගෙන ආවෙ. රජයේ නියෝගයකින් ප්‍රකාශයට පත්කරලා නැති වනාන්තර සියල්ලටම අපි එදා ඉඳලම කිව්වෙ වෙනත් රජයේ වනාන්තර කියලා. මේවා අතරෙ යෝජිත රක්ෂිතත් තියෙනවා. දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ තියෙන සමහර යෝජිත රක්ෂිත පනස්ගණන්වල ඉඳලා නම් කරලා තියෙන ඒවා. ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයෙන් ඉඩම් එළිපෙහෙළි කරන කොට ඒවා ඉතුරු කරලා තියෙනවා. විවිධ හේතු නිසා ඒවා රක්ෂිත විදිහට ගැසට් කරන එක දවසින් දවස කල්ගිහින් තියෙනවා.

වන සංරක්ෂණ ආඥා පනතෙන් මේ වෙනත් රජයේ වනාන්තරවලට නීතිමය ආවරණයක් තියෙනවා. ඔ්එස්එෆ් කියලා තමයි මේවා හඳුන්වන්නෙ. (OSF – Other State Forests) ඒක තමයි පරිපාලනයේ, නීතියේ තිබුණු වචනය. නීතිමය වශයෙන් හෝ පරිපාලන වශයෙන් හෝ සමාජයීය වශයෙන් හෝ මෙහෙම අවශේෂ වනාන්තර කියලා වචනයක් මෙතෙක් තිබුණෙ නෑ.

Previous articleකොළඹ හුදකලා ප්‍රදේශවල පවුල් 22000කට 5000ත් නෑ බඩු මල්ලත් නෑ
Next articleජල ගැලුම් නිම්නය රැකගන්න වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here