Home විනිවිද රජයේ සමාගම් විගණනය අහෝසියි : කෝප් කමිටුවෙනුත් ඉවතට

රජයේ සමාගම් විගණනය අහෝසියි : කෝප් කමිටුවෙනුත් ඉවතට

0
රජයේ සමාගම් විගණනය අහෝසියි : කෝප් කමිටුවෙනුත් ඉවතට

(ශාලික විමලසේන)

රජය යට‌තේ පවතින සමාගම් විගණනය කිරීම වැළැක්වීම සහ බැඳුම්කර ගනුදෙනු වැනි රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට සෘජුව බලපාන ගනුදෙනු සිදුවන ආකාරය විමර්ශනය කිරීමේ බලය නැති කිරීම විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ සඳහන් බරපතළ කරුණු වුවද, ඒ පිළිබඳව මෙතෙක් අවධානය යොමු නොවීම ගැටළු සහගත බව ජ්‍යෙෂ්ඨ විගණන නිලධාරීහු අවධාරණය කර සිටිති.

රාජ්‍ය සංස්ථා යටතේ පවතින, සමස්ත කොටස්වලින් සියයට පනහට වැඩි ප්‍රතිශතයක් රජයට හිමි සමාගම් පූර්ණ විගණනයට ලක්කිරීමේ බලය මීට පෙර ජාතික විගණන කාර්යාලයට හිමි විය.මේ අනුව මග නැගුම, ලෙකෝ සමාගම, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඇතුළු රජයේ සමාගම් 117 ක පූර්ණ විගණන බලයත්, තවත් සමාගම් 32 ක ගිණුම් විගණනය කිරීමේ බලයත් එම කාර්යාලයෙන් සිදු කෙරිණි.

කෙසේ වෙතත් 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි මෙම සමාගම් යටතේ ක්‍රියාත්මක සමාගම්වල විගණන බලය විගණන කාර්යාලය සතු වූයේ නැත.

ශ්‍රී ලංකා විගණන සේවා සංගමය අවධාරණය කරන්නේ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් මෙම බලය මුළුමනින්ම ඉවත් කර ඇති බවයි. එසේම එමගින් ‘ගිණුම් ද ඇතුළුව’ යනුවෙන් සඳහන්ව තිබූ විගණනයට අදාළ කොටස ‘ගිණුම්’ ලෙස සංශෝධනය කර ඇති බව ද පෙන්වා දෙන එම සංගමයේ සභාපති ප්‍රසාද් ප්‍රසන්න, ඒ අනුව මහ බැංකුව වැනි විශේෂිත ආයතනවල ගිණුම් පරීක්ෂා කිරීමේ බලය තිබුණද, ගිණුම් ක්‍රියාවලිය පරීක්ෂා කිරීමේ බලය අහිමි කර ඇති බව අවධාරණය කරයි.

උදාහරණයක් ලෙස මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් ගන්නා තීරණ, බැඳුම්කර ටෙන්ඩර් පටිපාටි වැනි ක්‍රමවේද සම්බන්ධයෙන් මීට පෙර පරීක්ෂා කිරීමේ බලය ජාතික විගණන කාර්යාලයට හිමි විය. එහෙත් මෙම සංශෝධනය සම්මත වුවහොත්, එම ක්‍රියාවලීන් පරීක්ෂා කිරීමේ බලය පිළිබඳ ප්‍රශ්න කිරීමට අදාළ ආයතනවලට හැකියාව ලැබේ.

මේ පිළිබඳව කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු අවධාරණය කළේ එවැනි තත්ත්වයක් මතුවුවහොත්, ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයක් ලබාගැනීමට සිදු වන බවයි.
මේ සංශෝධනය මගින් විගණන බලය අහිමිකිරීම නිසා, අදාළ රජයේ සමාගම් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමේ බලය ද අහිමි වේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ සභාපතිවරයා අවධාරණය කළේ රාජ්‍ය මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුවෙන් ගිලිහීම බරපතළ තත්ත්වයක් බවත්, එය විධායකයට අයත් නොවන විෂයයක් බවත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here