ජගත් මානව හිමිකම් කොමිසමෙන් ලංකාව ඉවත් වන කතාව බොරු 

(නිලූක සඳුන් පද්මසිරි)

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වීමේ මූලික කටයුතු ආරම්භ කර ඇතැයි රජය පවසන බවට ඇතැම් මාධ්‍ය පළ කර තිබූ වාර්තා අසත්‍ය බව ⁣රජය පවසයි.

ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසූවේ එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සිලයේ 30/1 යෝජනාවෙන් ඉවත් වීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති බවයි.

නමුත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමේ මූලික පියවර අරඹා ඇතැයි යනුවෙනි.

මෙම ප්‍රශ්නය විමසීමට මුල් වූයේ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි වාරයේ පළමු දිනයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබද මහ කොමසාරිස් මිෂෙල් බැචලට් කළ ප්‍රකාශයක් සහ ඊට ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය දැක්වු ප්‍රතිචාරයයි.

ශ්‍රී ලංකාවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී ඇය ශ්‍රී ලංකාවට විවේචන එල්ල ක⁣ළ අතර එම විවේචනවලට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය ද පිළිතුරු දුන්නාය.

ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී එම මාධ්‍යවේදියා යොමු කළ ප්‍රශ්නය වූයේ මෙතරම් විවේචන එල්ල වන විටත් ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිසමෙන් ඉවත් නොවන්නේ මන්ද යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් රඹුක්වැල්ල මහතා පැවසූවේ ඒ සම්බන්ධයෙන් තමා එකඟ වන බවත් 30/1 යෝජනාවෙන් ඉවත් වීමට දැනටමත් මූලික පියවර ආරම්භ කර ඇති බවත්ය.

නමුත් ඔහු එහිදී ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වන බවට හෝ ඉන් ඉවත් වීමට මූලික පියවර ආරම්භ කර ඇති බවක් ප්‍රකාශ නොකළේය.

මෙහිදී මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නය සහ රඹුක්වැල්ල මහතාගේ ප්‍රකාශය අතර පරස්පරතාවක් ඇති බව පෙනී යයි. මාධ්‍යවේදියා ප්‍රශ්න ක⁣ළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් වීම ගැන වුවද රඹුක්වැල්ල මහතා පිළිතුරු දෙන්නේ 30/1 යොජනාවෙන් ඉවත්වීම සම්බන්ධයෙනි.

මාධ්‍යවේදීයා – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිගින් දිගටම හැම සැසිවාරයකදීම අපව දැඩිලෙස විවේචනය කරනවා.ඉතින් අපිට පුළුවන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අයින් වෙන්න. හිටියා කියලා ඇති වැඩක් නෑනේ. හැමදාම බැනුම් අහන එකනේ කරන්නේ.

රඹුක්වැල්ල මහතා – ඔබතුමා එක්ක සම්පූර්ණයෙන් එකඟයි. ඒ නිසා ම තමයි දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා පළවෙනියෙන්ම ගිහින් 30/1 යොජනාව ඉවත් කරගන්න යෝජනා කළේ. අපි ඒ කර්තව්‍යය ඔබතුමා කියන විදියට මේ වන විට ක්‍රියාත්මක කරනවා. ආරම්භය අපි ලබලා දීලා තියෙනවා. බොහෝම ස්තුතියි මතක් කළාට.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසූවේ එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ලබා පිළිතුරු මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාව ඉවත්වීමක් පිළිබඳව අදහස් නොකළ අතර ශ්‍රී ලංකාව 30/1 යොජනාවලියේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බව පමණක් ප්‍රකාශ කළ” බවයි

එම නිවේදනය පහත දැක්වෙයි.

 

මේ සම්බන්ධයෙන් පළ වූ පුවත් වාර්තා 

මවබිම 

Ceylon Today

Newsradio.lk


Citizen.lk


Mawbima.lk


 

Lankacnews.com


30/1 යෝජනාව කෙටියෙන්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනයේ 30/1 යෝජනාවලිය අනුව ශ්‍රී ලංකා රජය 2015දී එකඟ වී තිබූ කරුණු 9කි.

  1. කාලානුරූපී අධිකරණ ක්‍රියාවලියක් සඳහා පුළුල් ජාතික උපදේශකත්වයක් ලබා දීම
  2. සත්‍යය, නීතිය, සංහිඳියාව සහ යළි ගැටුම් ඇති නොවීම සම්බන්ධයෙන් කොමිසමක් ස්ථාපනය කිරීම
  3. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක්
  4. ස්ථාපනය කිරීම වන්දි ගෙවීම් කාර්යාලයක් ස්ථාපනය කිරීම
  5. එල්ටීටීඊ සංවිධානය විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපචාර විමර්ශනය කිරීම
  6. විශේෂ උපදෙස් මත ක්‍රියාත්මක අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම‍
  7. අධිකරණ සහ නීතිමය ආයතන මෙහෙයවීම සඳහා අවංක සහ අපක්ෂපාතී පුද්ගලයින් පත් කිරීම
  8. ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම
  9. කාලානුරූපී අධිකරණ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගෙන් මූල්‍යමය, ද්‍රව්‍යමය හා තාක්ෂණික සහය ලබා ගැනීමට අවසර දීම
Previous articleරජයේ සමාගම් විගණනය අහෝසියි : කෝප් කමිටුවෙනුත් ඉවතට
Next articleවසරකට කසල ටොන් 32000ක් ලංකාවේ මුහුදු තීරයට

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here