වසංගතය මැද්දේ සෞඛ්‍ය ප්‍රතිපාදන කෝටි ගණනක් කපා දමයි

(හසරිඳු රාජපක්ෂ)

සෞඛ්‍ය අංශය සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදන පසුගිය අයවැයට වඩා මෙවර අයවැයෙන් කෝටි 2801ක් කපා හැර තිබේ.

2021 වසර සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් කෝටි 15,947 ක් වෙන් කර ඇති අතර අවසන් වරට ඉදිරිපත් කෙරුණු අයවැය එනම් 2019 වසරේ අයවැයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා කෝටි 18748 ක් (187 482 398 000) වෙන්කර තිබිණි.

වත්මන් ආණ්ඩුව විසින් 2020 වසර සඳහා අයවැයක් ඉදිරිපත් නොකෙරුණු අතර අතුරු සම්මත ගිණුම් දෙකක් මගින් මුදල් ප්‍රතිපාදන වෙන් කෙරිණි.

මෙලෙස වසංගතයක් පැතිරෙන සමයක සෞඛ්‍ය අමාත්‍යාංශ වෙනුවෙන් මෙවර මුදල් අඩුකිරීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිවී තිබෙන අතර අද දිනයේ ඊට එරෙහිව දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක විය.

එසේ නමුත් ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 35516 ක් වෙන්කර ඇති අතර 2019 වසරේ ආරක්ෂක අමාත්‍යාංශයේ වියදම කෝටි 39306 කි. මෙවර අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශීය කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 15,246ක් වෙන් කර තිබේ.

එමෙන්ම ලබන වසරේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් කෝටි 934 ක්ද අගමැතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් කෝටි 105 ක්ද වෙයි. 2019 වසරේ ජනාධිපති වැය ශීර්ෂය සඳහා රුපියල් කෝටි 1355 ක් වෙන්කර තිබුණු අතර අගමැතිවරයා සඳහා රුපියල් කෝටි 162 ක් වෙන්කර තිබිණි.

මෙවර මුදල් අමාත්‍යාංශයේ වියදම් සඳහා රුපියල් කෝටි 15,760 ක් වෙන් කර ඇති අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් 2019 වසරේ වෙන් කර තිබූ මුදල කෝටි 18 384කි. 2021 වසර සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට වෙන් කර ඇති ප්‍රතිපාදන රුපියල් කෝටි 2409 ක් වන අතර 2019 වර්ෂයේ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් කෝටි 11429 ක් (114 297 588 000) වෙන්කර තිබුණි.

එමෙන්ම මෙවර අධ්‍යාපන අමාත්‍යාංශයේ වියදම් රුපියල් කෝටි 12,654 ක් වන අතර එය 2019 වර්ෂයේ රුපියල් කෝටි 10 500ක් විය. බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය රුපියල් කෝටි 25 ක් වන අතර විදුලි බල අමාත්‍යාංශයේ වැය ශීර්ෂය රුපියල් කෝටි 31කි. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහා මෙවර රුපියල් කෝටි 27,172 ක් වෙන් කර ඇත.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය – රුපියල් කෝටි 33,807

අතර සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය – රුපියල් කෝටි 73

දේශීය වෙදකම් ප‍්‍රවර්ධන, ග‍්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප‍්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය – රුපියල් කෝටි 264

ඖෂධ නිෂ්පාදන, සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශය – රුපියල් කෝටි 6116

මුදල් , ප‍්‍රාග්ධන, වෙළඳපළ, රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ – රුපියල් කෝටි 3299

සමෘද්ධි, ගෘහ ආර්ථික,ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ – රුපියල් කෝටි 8471

වී, ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස් , ළුණු හා අර්තාපල් වගා ප‍්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය – රුපියල් කෝටි 1867

පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශය – රුපියල් කෝටි 3574

පශු සම්පත්, ගොවිපළ ප‍්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශි‍්‍රත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය – රුපියල් කෝටි 183

කාන්තා, ළමා සංවර්ධන, පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය – රුපියල් කෝටි 3045

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය – රුපියල් කෝටි 206

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය – රුපියල් කෝටි 1305

දහම් පාසල් , පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය – රුපියල් කෝටි 472

2021 ඉදිරි වර්ෂය සඳහා ආණ්ඩුවේ වියදම් අනුමත කරගැනීමේ ක්‍රියාවලිය හෙවත් අයවැය ඊයේ (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේදී පාර්ලිමේන්තුවේදී අයවැය කතාව ඉදිරිපත් කළ අතර සිදුවීම් කිහිපයක් නිසාවෙන් මෙවර අයවැය විශේෂ වේ.

රාජපක්ෂ ආණ්ඩුවේ පළමු අයවැය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පළමු අයවැය මෙය වන අතර ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 නොවැම්බර් මස ජනධිපතිධූරයට පත්වුද ඔහුගේ රජය විසින් ගෙන එන පළමු අයවැය මෙය වේ. ඒ අතරම නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ඉදිරිපත්වන 75 වැනි අයවැයයි.

2020 – අයවැයක් නැති වර්ෂයක්

පාර්ලිමේන්තුවේ සම්මත වු අයවැයක් නොමැතිව රට ක්‍රියාත්මක වු වර්ෂයක් ලෙස 2020 වර්ෂය ඉතිහාස ගත වේ. ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ජනාධිපතිධූරයට පත්වුවත් ඉදිරි වර්ෂය සඳහා අයවැයක් ඉදිරිපත් කිරීමට එම ආණ්ඩුව කටයුතු නොක‍ළේය. අතුරු සම්මත ගිණුම් දෙකක් මගින් එම වර්ෂයේ වියදම් සම්මත කරගැනීමට ආණ්ඩුව කටයුතු කළ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් අයවැයක් ගෙන ඒමට අවස්ථාව නොලැබුණ බව ආණ්ඩුව විසින් මීට ඉහතදී ප්‍රකාශ කර තිබුණි.

විසර්ජන කෙටුම්පත සහ අයවැය කතාව

2021 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ඇරඹෙන්නේ මුදල් අමාත්‍යවරයාගේ අයවැය කතාව සමගිනි. 2021 වර්ෂය සඳහා විසර්ජන කෙටුම්පත පසුගිය ඔක්තොබර් 06 වැනිදා ගැසට් පත්‍රයේ පල කළ අතර ඔක්තොබර් 20 වැනිදා  මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

2021 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීම හෙවත් අයවැය කථාව මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කළ අතර අයවැය විවාදය අද සිට ආරම්භ වෙයි.

අයවැය විවාදය – අඩු දින ගණනක්

වර්ෂයක් සදහා ආණ්ඩුවේ ආදායම් වියදම් සම්මත කරගන්නා අයවැය විවාදය සඳහා සාමාන්‍යයෙන් මාසයක කාලයක් වෙන්කරන අතර එහිදී අමාත්‍යාංශවල පසුගිය වසරේ ප්‍රගතිය, දුෂණ වංචා ආදිය මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳවද සාකච්ඡා කරනු ලබයි. එමෙන්ම ඉදිරි වර්ෂයට මුදල් වෙන්කර ඇති ආකාරයේ වැරදි අඩුපාඩු ඇත්නම් ඒවා සංශෝධනය කෙරෙන්නේද අහිතකර යෝජනා ඉවත්කරන්නේද මෙම විවාදයේ මතුවන කරුණු තුළිනි. කෝවිඩ් වසංගතය හේතුවෙන් අයවැය විවාදය ඉක්මණින් පවත්වා අවසන් කළ යුතු බවට ආණ්ඩු පාර්ශ්වය ගෙන ආ යෝජනාවට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් එකඟ වීම තුළ මෙවර අයවැය විවාදය පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වැනිදා තෙක් පමණි.

අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු අද සිට 21 වැනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වේ. දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 5.00ට පැවැත්වෙන අතර ලබන 18 වැනිදා සිට 20 වැනිදා දක්වා පාර්ලිමේන්තුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවත්වේ.

ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාව ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වේ. දෙසැම්බර් 10 වැනි දින පස්වරු 5.00ට ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

මාධ්‍යවේදීන් නොමැති අයවැයක්

ඉතිහාසයේ පළමු වරට අයවැය කතාව වෙනුවෙන් මාධ්‍ය ආවරණයක් කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව අහිමි වී තිබේ. කෝවිඩ් තත්ත්වය හේතුවෙන් මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබානොදීමට පක්ෂ නායකයින් තීරණය කර ඇත. කෝවිඩ් වැළඳුන් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් 05 කු පසුගිය මාසයේදී වාර්තාවු අතර අනිකුත් මාධ්‍යවේදීන්ට කෝවිඩ් වැළදී නොමැති බවට තහවුරු කර තිබියදී පාර්ලිමේන්තුව ගත් මෙම තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිය නොසතුට ප්‍රකාශ කර තිබුණි.

එමෙන්ම විදේශ තානාපතිවරුන් සහ මුදල් අමාත්‍යංශයේ අවසරලත් නිලධාරීන්ට පමණක් පාර්ලිමේන්තු රැස්වීම සඳහා ආරාධනා කර තිබූ අතර අයවැය ප්‍රකාශය පැවැත්වෙන කාලසීමාව තුළ කථානායක ගැලරියේ සෞඛ්‍ය ආරක්ෂිත විධි විධානයන්ට යටත්ව ආසන පනවා ඇති බවද මහජන ගැලරිය සහ මාධ්‍ය ගැලරිය තවදුරටත් වසා තැබෙනු ඇති බවද පාර්ලිමේන්තුව සඳහන් කළේය.

අයවැය ප්‍රකාශය සිදු කිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා විසින් සම්ප්‍රදායානුකූලව පවත්වන තේ පැන් සංග්‍රහය මෙවර පැවැත්වූ නමුත් එය පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආරාධිතයින්ට පමණක් සීමා විය.

රජයේ වියදම සහ ආදයම්

මෙවර අයවැයෙන් 2021 මුදල් වර්ෂයට අදාලව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2678ක් වෙන් කිරීමට යෝජනා කර ඇත. ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2900ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට ද විසර්ජන පනත් කෙටුම්පත මගින් යෝජනා කර තිබේ.

එමෙන්ම ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු අමාත්‍යාංශ විසි අටක් සහ රාජ්‍ය අමාත්‍යාංශ හතළිහක් සඳහා ලබන වසරේ ආණ්ඩුවේ සමස්ත වියදම සඳහා රුපියල් දෙදහස් හයසිය හැත්තෑ අට බිලියන හතළිස් මිලියනයක් අවශ්‍ය බව විසර්ජන පනතින් යෝජනා කර ඇත.

විසර්ජන පනත් කෙටුම්පතට අනූව නව ආණ්ඩුව විසින් කැබිනට් අමාත්‍යාංශවලට අමතරව රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ද වෙන් වෙන් වශයෙන් මුදල් වෙන් කර ඇති අතර ස්වාධීන කොමිෂන් සභාවලට පෙර වසරවලදී මෙන්ම ලබන වසරටද මුදල් වෙන්කර තිබේ. 2021 විසර්ජන පනත් කෙටුම්පතට අනූව ලබන වසරේ වියදම් සඳහා ඇතැම් කැබිනට් අමාත්‍යාංශවලට වඩා රාජ්‍ය අමාත්‍යාංශවලට මුදල් වෙන් කර තිබීමද විශේෂත්වයකි.

ආණ්ඩු පක්ෂයට තවත් මන්ත්‍රීවරුන්

20 වැනි ආණ්ඩුවක්‍ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජන බලවේගය කටයුතු කර තිබේ.

මේ පිළිබඳව දැනුම්දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සනින් යුතුව ඩයනා ගමගේ මහත්මිය වෙත සහ අරවින්ද කුමාර් මන්ත්‍රීවරුන් වෙත ලිපි යෙමුකර ඇති අතර මෙම මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ අසුන් ගනු ඇත.

Previous articleBlog : තවත් කොරෝනා මරණ පහක් : තුනක් නි⁣වෙස්වල
Next article‘ලංකාගම පාරේ හැංගූ ඇත්ත කැබිනට් තීරණයෙන් යළිත් එළියට !’

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here