‘ලංකාගම පාරේ හැංගූ ඇත්ත කැබිනට් තීරණයෙන් යළිත් එළියට !’

(ශාලික විමලසේන)

ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බලපෑම් කරමින් ලංකාගම හරහා නෙළුව – දෙනියාය මාර්ගය පුළුල් කිරීම ජනතාවගේ යහපත සඳහා පමණක් සිදු කරන්නක් බවත්, හදිසියෙන් මෙම මාර්ගය පුළුල් කිරීමේ කිසිදු පටු අරමුණක් නැති බවත් ආණ්ඩුව පාර්ශ්වයෙන් දිගින්-දිගටම කීවද, එය අසත්‍යයක් බවට පරිසරවේදීන් ඉදිරිපත් කළ තර්කය පෙරේදා (16) කැබිනට් මණ්ඩල රැස්වීමේදී යළිත් තහවුරු විය.

කැබිනට් තීරණ – 2020.11.16 – අංක 10

ගිං සහ නිල්වලා ගංගාවල ජලය ප්‍රශස්ත ලෙස භාවිත කිරීම සඳහා යෝජනා කරන ලද ගිං-නිල්වලා හැරවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම – ගිං සහ නිල්වලා ගංගා පිළිවෙලින් ජලය කියුබික් මීටර් 2,000ක් සහ 1,200ක් මුහුදට ගෙන යයි. මෙම ගංගාවල ඇති වන ගංවතුර පාලනය කිරීම සහ ගංගාවල ඇති අතිරික්ත ජලයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පානීය හා වාරිමාර්ග ජල හිඟය මඟහරවා ගැනීම සඳහා ගිං-නිල්වලා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර, මේ පිළිබඳ අධ්‍යයන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතී. වාරිමාර්ග අමාත්‍යවරයා විසින් කරන ලද යෝජනා සහ ව්‍යාපෘතිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් දේශීය අරමුදල් උපයෝගී කරගනිමින් ව්‍යාපෘතිය අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදි.

කලබලයේ තරම

ලංකාගම හරහා නෙළුව – දෙනියාය මාර්ගය යුද හමුදාව යොදවා කඩිනමින් ඉදිකරමින් තිබූ අතර, ඊට එල්ල වූ විරෝධය නිසා ජනාධිපතිවරයා ද ලංකාගමට ගියේය. ඉන්පසු පසුගිය සති දෙකේ පැවැති වර්ෂාව නිසා මාර්ගයට අලුතින් යෙදූ තාර තට්ටු පුපුරා, ගැලවී යමින් තිබේ. එම ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළවීමත් සමග මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු කඩිනමින් ලංකාගමට ගොස් එය අසත්‍යයක් බව මාධ්‍යයට කීවේය.

මූලික පරිසර ඇගයීම් වාර්තා කිසිවක් නොමැතිව මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරුණු අතර, සිංහරාජ රක්ෂිත වනාන්තරය ආසන්නයේ පොළොවේ පිහිටීම සහ පොළොවේ ඇති ඝන දිරාගිය කොළරොඩු තට්ටු නිසා මෙවැන්නක් සිදුවිය හැකි බව ඉදිකිරීම් සිදු කරන විට ලංකාගම ප්‍රදේශවාසීහු කීහ. එහෙත් ඒ ගැන තැකීමක් නොකෙරිණි. ජනතාව වෙනුවෙන් පමණක් බව පවසමින්, දැඩි කලබලයකින්, මාර්ගයේ ඉදිකිරීම් කරන ප්‍රදේශයට කිසිවකුට ඇතුළුවීමට නොදී සියල්ල සිදු කෙරිණි.

අත්‍යවශ්‍ය පාරක්

ලංකාගම ජනතාවට ඒ පාර අත්‍යවශ්‍ය ය. වැල් පාලම්, ඒ දඬු ගැන කතා, කතන්දර පමණක් වුවද, ඔවුන්ට සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමේ අයිතියක් ඇත. දෙනියායෙන් ගියත්, නෙළුවෙන් ගියත් ලංකාගමට යන එක කතන්දරයකි. ගම ඇතුළේ මිනිස්සු දුක් විඳිති. හැම ආණ්ඩුවකටම අයත් නියෝජිතයෝ ඔවුන්ට පොරොන්දු දෙති. එහෙත් ඉහත නගර දෙකෙන්ම දුරස්ව, හුදෙකලාව පිහිටි ලංකාගම ඉන්පසු ඔවුන් අමතක කර දමති. මේ හුදෙකලාව යනු කිලෝමීටර් සිය ගණනක් නොවේ. ලංකාගම සිට නෙළුවටත්, එහි සිට දෙනියායටත් ඇත්තේ කිලෝමීටර් පහළොව – විස්ස අතර දුරකි. සිංහරාජය මේ දුරස්කම නිර්මාණය කර තිබේ. රජයේ ස්ථිර සේවකයෙකු වන ග්‍රාම නිලධාරිවරයෙකු පරිපාලනය සඳහා නිල වශයෙන් පත්කර ඇති පවුල් පන්සීයකට මදක් වැඩි ජනගහනයක් සහිත ගම්මානයකි, මේ.

මාධ්‍යයට තහනම්

මෙම මාර්ගය ඉදිකරන දිනවලදී ලංකාගමට මාධ්‍යයට ඇතුළු වීම තහනම් කර තිබිණි. ඒ නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සමීපතමයන් පිරිසකි. ආණ්ඩුව පාර්ශ්වයෙන් දිගින්-දිගටම ජනතා යහපත සඳහා පමණක් මෙම ඉදිකිරීම කරන බව පැවසූ නිසා, ජනතාවගෙන් ද ඔවුන්ට සහාය ලැබිණි. ඊට අමතරව හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය ද වෙනම මුරකාවල් දමා තිබිණි.

හමුදාව යෙදවීම

රටේ තවත් මාර්ග හදන්නට තිබියදී, මාර්ග හදන ආයතන තවත් තිබියදී හමුදාවට මේ පාර දුන්නේ ඇයිදැයි මාධ්‍ය දිගින්-දිගටම ප්‍රශ්න කළේය. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසුවේ මෙවැනි මාර්ග කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඉල්ලීම් ඉදිරිපත් වී තිබූ බවත්, ඒ අතරින් මාර්ග සංවර්ධන ආයතනවලට ඉදිකිරීම් කළ නොහැකි, ඊට අදාළ සැපයුම් සපයාගත නොහැකි මාර්ග තෝරාගෙන ඒවා ඉදිකිරීමේ වගකීම හමුදාවට භාරදුන් බවත් ය. එම මාර්ග ඉදිකිරීමට අදාළ පරිසර ඇගයීම් වාර්තා සකස් කර ඇද්ද, ඒ සම්බන්ධයෙන් හමුදාවට වගකීමක් තිබේද යනුවෙන් කළ විමසීමේදී බ්‍රිගේඩියර්වරයා සඳහන් කළේ හමුදාව යොදවා ඇත්තේ ඉදිකිරීම් සඳහා පමණක් බවත්, ඊට අදාළ වාර්තා සකස් කිරීම ඇතුළු මූලික කටයුතු මාර්ග සංවර්ධනයට අදාළ රාජ්‍ය ආයතනවල වගකීමක් බවත් ය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පරිසර ඇමැති මහින්ද අමරවීර සඳහන් කළේ මෙහිදී හමුදාව අතින් අඩුපාඩුවක් සිදු වී ඇති බවයි. එහෙත් ඊට අදාළ ව දැන් නඩු පැවරිය නොහැකි බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී

ජනතාව පෙන්වා කරන්නේ කුමක්ද?

ජනතාව පෙන්වා මේ මාර්ගය කඩිනමින් ඉදිකරන්නට හැදුවේ ගිං-නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ය. ඊට අවශ්‍ය උපකරණ සහ වාහන ලංකාගමට ගේන්නට ය. එය මෙතෙක් ආරම්භ කර නැතත්, පාර වැටී ඇත්තේ එතැනට බව ඉහත කැබිනට් තීරණයෙන් ම පැහැදිලි වේ. කොවිඩ් 19 වසංගත තත්ත්වය රටට බලපෑම් කරමින් සිටින අවස්ථාවක, මේ මාර්ගයේ සිදුවීමක් සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට කැබිනට් ඇමැතිවරයාම යෑමත්, ඊට පසු සතියේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමක් අහඹු සිදුවීම් විය හැකිද? අවශ්‍ය ම මොහොතේ අවශ්‍ය ම දේ නොකරන්නේ නම්, ඊට සුදුසු වෙලාවක් නැවත ලැබෙන්නේ නැත. ඊට හොඳම උදාහරණයකි, උමා ඔය ව්‍යාපෘතිය. උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේ මෙමඟින් සිදු වන පරිසර හානි, ජලයට සිදු වන බලපෑම පිළිබඳව පැහැදිලි කරන්නට උත්සාහ කළ විට එහි ජනතාව මෙසේ කීය.
‘සංවර්ධනයට අකුල් හෙළන්න එපා. ගමේ වැඩක් කළා ම දවසට හම්බ වෙන්නෙ රුපියල් දාහයි. ඉරාන කොම්පැනියෙන් අපිට දෙදාහක් ගෙවනවා. අපි කාලා, ඇඳලා ඉන්නවට ඉරිසියා කරන්න එපා.’ ඉන් වසර ගණනාවකට පසු ඒ ජනතාව පෙර කී පීඩා අත්වින්දෝය. නිවෙස් ඇතුළත ආවාට ඇති විය. ළිං සිඳිණි. ඔයවල් පවා හිඳී ගියේය. එහෙත්, ඒ වන විට එය ආපසු හැරවිය නොහැකි තරමට ඉදිරියට ‌ගොස් අවසන් ය. ඒ වෙලාවේ ජනතාව වැරදි නැත. අගහිඟකම්වලින් මිරිකී සිටි, තමන්ගේ එළවළුවලට නිශ්චිත මිලක් නැති ඔවුන්ට රුපියල් දෙදාහ වැදගත් ය. මේ වෙලාවේ ලංකාගම ජනතාව පෙන්වා, පාරේ වැදගත්කම පෙන්වා සැලසුම්කරුවන්ට තමන්ගේ වැඩේ කරගන්නට හැකියාව ලැබී ඇත්තේත් ඒ වගේම ය.

ව්‍යාපෘතියේ අරමුණු සාර්ථක ද?

ගිං-නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියට අදාළ මූලික ශක්‍යතා අගැයීම් වාර්තා අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ ප්‍රධාන අරමුණු කිහිපයක් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ය. මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක දෙකේ ප්‍රදේශ රැසකට පානීය ජලය සැපයීම, හම්බන්තොට වරාය, ගුවන්තොටුපොළ සහ වාණිජ කර්මන්ත කලාපයට ජලය සැපයීම සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 8,500ක වගා බිම්වලට ජලය සැපයීම, හම්බන්තොට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය ඒ අතර වේ. තත්ත්වය මෙසේ වුව ද, ගිං-නිල්වලා ද්‍රෝණිවල ජීවත්වන ජනතාවට පවසා ඇත්තේ, වර්ෂා කාලයට ඇති වන ගංවතුර පාලනය කිරීම සඳහා එම කාලයේ දී මේ ගංගා දෙකේ අතිරික්ත ජලය හම්බන්තොටට යවන බව ය. එහෙත්, ඉහත අරමුණු දෙස බලන විට පෙනී යන්නේ මෙය වසර පුරාම ක්‍රියාත්මක වීමට නියමිත බව ය. එනම්, වර්තමානයේ දී ද වර්ෂාව නොමැති කාලයේ මෙම ගංගා ද්‍රෝණිවල ජනතාව දැඩි ජල හිඟයකට මුහුණ දෙන අතර, ඉදිරි කාලය ඔවුන්ට තවත් අමාරු වනු ඇත.

මෙය පැරණි සැලසුමකි. එය අදට ගැළපෙන්නේ ද යන්න ප්‍රශ්නයකි. 1936 වසරේ දී මුල්වරට අධ්‍යයනය කළ ගිං-නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය, වර්තමානයේ දී ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහය බරපතළ ගැටලු මතු කරන්නකි. මේ වන විට ගිං සහ නිල්වලා ගංගාවල ජල පෝෂක තෙත් වනාන්තර බොහොමයක් එළිපෙහෙළි කර පහතරට තේ වගා කර ඇත. මේ නිසා මෙම ගංගා ද්‍රෝණිවල ජලය විධිමත්ව පොළොවට උරා ගැනීමක් සිදු නොවේ. වර්ෂා කාලයේ දී මතුපිටින් ගලා යන ජලය ගංගාවලට එක් වී, තාවකාලික ගංවතුර තත්ත්වයන් ඇති කරයි. නියං කාලවල දී මතුපිට පසේ ඇති ජලය ශීඝ්‍රයෙන් වාෂ්ප වී, ජල හිඟයක් ඇති කරයි. මේ නිසා වර්ෂාව නොමැති කාලයේ දී පානීය ජල ප්‍රශ්නය, තේ වගාවට අවශ්‍ය ජලය නොමැති වීමෙන් අස්වැන්න අඩු වීම ආදී ගැටලු ඇති වේ. හම්බන්තොට නව සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු වන්නේ මෙවැනි තත්ත්වයක් යටතේ ය.

උමං සැලසුම්

මෙම ව්‍යාපෘතිය යටතේ මූලිකව සිදු කෙරෙන්නේ පිටදෙනිය-ලංකාගම, කොටපොළ සහ අම්පනාගල ඉදි කෙරෙන වේලි තුනක් මඟින් කුඩා ජලාශ තුනක් ඉදි කර, උමං කිහිපයක් ඔස්සේ මුරුතවෙල ජලාශය දක්වා ගිං-නිල්වලා ජලය රැගෙන යාම ය. ඉන් පසුව ඇළ මාර්ගයක් ඔස්සේ චන්ද්‍රිකා වැව දක්වා ජලය ගෙන යන අතර, එමඟින් උඩවලව ජලාශයට ජලය ගෙන යාමට සැලසුම් කර ඇත. එහි දී කිරිඉබ්බන් වැව සහ මවුආර පෝෂිත ඇළ දක්වා ජලය පොම්ප කර යැවීමට නියමිත ය.

මෙම ව්‍යාපෘතිය යටතේ සිංහරාජ රක්ෂිත වනාන්තරය ආශ්‍රිතව ඉදි කෙරෙන පිටදෙනිය – ලංකාගම ජලාශයේ ජල පැතිරුම් ප්‍රදේශය අක්කර 14ක් ලෙස සැලසුම්වල දැක්වේ. ගිං ගඟ හරහා මීටර් 93ක් දිග සහ මීටර් 4.5ක් උස වේල්ලක් ඉදි කර මෙම ජලාශය ඉදි කෙරේ. ජලාශයේ සිට කිලෝමීටර් 12.5ක් දිග සහ විෂ්කම්භය මීටර් 4.3ක් වන උමඟකින් දියදාව වන රක්ෂිතය හරහා ගල්දොළ දක්වා ජලය ගෙන යාමට නියමිත ය. මෙවැනි උමං මාර්ග තුනක් හරහා ව්‍යාපෘතියේ ජලය ගෙන යන බව සැලසුමේ සඳහන් ය.

ලංකාගම – මාදුගැට ප්‍රදේශයේ මෙහි මුල් උමඟ කැණීමට අදාළ සටහන් යොදා තිබේ. ආන්දෝලනයට තුඩු දී ඇති ලංකාගම පාර පුළුල් කිරීමේ මූලික අරමුණ මීට අදාළ දැවැන්ත යන්ත්‍රසූත්‍ර රැගෙන ඒම බවට තර්ක කළ හැකිය. දැනට නෙළුව හරහා ලංකාගමට හෝ දෙනියායේ සිට ලංකාගමට ඇති පාරෙන් ඒවා ගෙන එන්නට නොහැකි ය. ජනතාවට මේ තරම් පුළුල් පාරක් අවශ්‍ය වන්නේ ද නැත. ජනතාව මේ තරම් පුළුල් පාරක් ඉල්ලු‍වේ ද නැත. පරිසර තක්සේරුවකින් තොරව හමුදාව යොදවා ජනතාව වෙනුවෙන් මේ හදිස්සියේ පාර හදන්නේ වෙන කුමකට ද?

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී

 

චීනයේ කතාව

මේ උමඟ ඉදි කිරීමට යෝජිත ප්‍රදේශය යනු පොළොව අභ්‍යන්තරයේ වැඩි පීඩනයක් සහිත ජල ගබඩා වැඩියෙන්ම ඇති ප්‍රදේශයකි. භූ විද්‍යාත්මක වචනයෙන් කියන්නේ නම්, එය සංවෘත ජලධරයන් ය. මීට අදාළ ශක්‍යතා අධ්‍යයනයක දී පොළොව විදීමෙන් පසු මතු වූ එවැනි ජල ධාරාවක් මීටර් තිහකට වැඩි උසකට විහිද ගිය බවට භූ විද්‍යා හා පතල් කාර්යාංශය සාක්ෂි දරයි. එනම් උමඟ කැණීමත් සමඟ මේ ජල ධාරා, ව්‍යාපෘතියට එක් වීම සිදු විය හැකි බව භූ විද්‍යාඥයන්ගේ අදහසයි. එයින් සිදු වන්නේ ලංකාගම සහ ඒ අවට ඇතුළු විශාල ප්‍රදේශයක අභ්‍යන්තර ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම බව ඔවුහු පෙන්වා දෙති. එනම් උමා ඔයේ කතාවට සමාන ය.

මෙවැනි ගංගා හරස් කිරීමේ අත්තනෝමතික ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව වැනි මූල්‍ය සහාය ලබා දෙන ආයතනවලින් සහාය ලබා ගත නොහැකි ය. ඔවුන් එහි දී ඉල්ලා සිටින පරිසර තක්සේරු ලබා දිය නොහැකි ය. එම නිසා ආණ්ඩු වෙනත් පාරක් බලා තිබේ. චීනය ඒවා සලකන්නේ නැත. ඔවුන්ට අදාළ වන්නේ තම බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් සකස් කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ය. චීනය මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී සහ ඒවාට අදාළ ණය මුදල් ලබා දීමේ දී ජනතාවගේ අයිතිවාසිකම්, පාරිසරික තත්ත්වයන් ගැන තැකීමක් නොකරයි. චීන සමාගම්වල මෙම හැසිරීම හඳුනා ගැනීමට ඇති හොඳම උදාහරණයකි, රාජාංගනය ජල ව්‍යාපෘතිය. රාජාංගනය වැව යටතේ ගොවි පවුල් තිස්පන් දහසක්, අක්කර 22,500ක ගොවිබිම් වගා කරති. එම වැවෙන් ජලය ලබාගෙන සිදුකරන ව්‍යාපෘතියක් සඳහා චීන සංවර්ධන බැංකුවෙන් ණය ලබා දී තිබේ. එහි දී ජනතාවට සිදුවන හානිය සහ පරිසර හානි පිළිබඳව කිසිදු තක්සේරුවක් කර නොමැති බව පරිසරවේදීහු පෙන්වා දෙති. මෙම ඉදිකිරීමට මැදිහත් වී සිටින චීන සමාගම්වලට සහ ණය ලබාදෙන චීන සංවර්ධන බැංකුවට ඒ පිළිබඳව පැමිණිලි කර ඇතත්, ඔවුන් ආණ්ඩු වගේම ඒවා කනකට ගෙන නැත.

ළැදියාවන් ගැන නොසැලකීම

එම නිසා ම ගිං-නිල්වලා ව්‍යාපෘතිය ද චීනයට ලබා දීම සිදු වී ඇත. ඉන් පසු 2009 වසරේ සිට 2014 වසර දක්වා මෙම ව්‍යාපෘතියට අදාළ භූ විමර්ශන සහ මිනුම් කටයුතු චීන සමාගමක් මඟින් සිදු කර ඇත. 2015 පත් වූ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමට කටයුතු කර තිබේ.

පරිසරවේදීන් සහ නීතිවේදීන් පෙන්වා දෙන්නේ මෙය මුළුමනින්ම ළැදියාවන් පිළිබඳ ගැටලු මතු කරන්නක් බවයි. චීන සමාගම් ගණනාවක් මඟින් හම්බන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා අත්‍යවශ්‍ය යටිතල පහසුකමක් වන ජලය ලබා ගැනීම සඳහා වන ශක්‍යතා අගැයීම තවත් චීන සමාගමකට භාර දීම මෙහි ඇති ළැදියාවන් පිළිබඳ ගැටුමයි. එසේ ම මීට අදාළ ණය ලබා දෙන්නේ ද චීන බැංකුවක් මඟින් ය. එහි දී ඔවුන් මෙරට ජනතාවගේ අයිතිවාසිකම් සහ පරිසර විනාශය පිළිබඳ අතිශය වගකීමෙන් කටයුතු කරමින්, ඔවුන්ගේ ලාභය සහ අනෙකුත් වාසි අහිමි කර ගනිතැයි ඔබ සිතන්නේ ද? ණය ලබාදෙන බැංකුවලට අවශ්‍ය වන්නේ ණය මුදල ලබා දී, ඉන්පසු පොලිය සහ ණය මුදල නැවත අය කර ගැනීමට ය. විශේෂයෙන්ම මෙම චීන සමාගමට භාර දී ඇත්තේ, ව්‍යාපෘතිය පිළිබඳ භූ විමර්ශන, මිනුම් සහ සැලැසුම් ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට ය. සමාජ, ආර්ථික, පාරිසරික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරන බවක් එහි සඳහන් නොවේ. 2009 සිට 2014 දක්වා සහ 2015 – 2019 දක්වා පැවැති ආණ්ඩුත්, කළ, 2019දී බලයට පත් වූ ආණ්ඩුවත් කරමින් සිටින ඒ වැඬේ සාර්ථකව ඉදිරියට යමින් තිබේ.
මේ සම්බන්ධයෙන් විමසීමේදී පරිසර ඇමැති මහින්ද අමරවීර පැවසුවේ නිවැරදි පරිසර ඇගයීම් වාර්තාවකින් තොරව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බවයි. එසේම එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක නොවනු ඇතැයි ද ඇමැතිවරයා මීට පෙර පැවසීය.

හවුලේ මුදල් ‌කොල්ලය

තවදුරටත් මේ කාරණය මෙසේ ද පැහැදිලි කර ගත හැකි ය. 2014 වසරේ දී ගිං-නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 696ක ඉංජිනේරු, ප්‍රසම්පාදන හා ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක් චීන සමාගමකට භාර දී ඇත. නමුත්, මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ණය ගිවිසුම විධිමත් ලෙස චීන අපනයන සහ ආනයන බැංකුව සමඟ අත්සන් කර නැති බව මූල්‍ය වාර්තා මඟින් හෙළි කෙරේ. එසේ තිබියදී 2015 වසරේදී මහා භාණ්ඩාගාරය මඟින් මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 3,549ක මුදලක් නිදහස් කර තිබේ. 2017 ජනවාරි 24 වැනි දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී, ව්‍යාපෘතියේ ඇති මූල්‍ය ගැටළුව පිළිබඳ විමර්ශනයක් කිරීම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දී ඇත. එහෙත්, මේ වනතුරුත් ඒ පිළිබඳ කිසිදු විමර්ශන වාර්තාවක් එළියට ආවේ නැත.

නීතියේ ආධිපත්‍යය විහිළුවක් වෙයි

මෙම ව්‍යාපෘතිය මඟින් නීතියේ ආධිපත්‍යයට එල්ල කරන බලපෑම ද සුළු කොට තැකිය නොහැකි ය. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දිනැති අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව ගංගා ද්‍රෝණි සංවර්ධන සහ වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර වෙනත් සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම, සියලු‍ම උමං කැණීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, වන සංරක්ෂණ ආඥා පනත සහ ජාතික උරුම වන භූමි පනත යටතේ ප්‍රකාශිත රක්ෂිතයක මායිම් හෝ මායිමේ සිට මීටර් 100ක් ඇතුළත සීමාවේ යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සහ පාංශු සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශිත යම් භූමි ප්‍රදේශයක් තුළ යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර පරිසර බලපෑම් අගැයීම් ක්‍රියාවලියට යටත්ව පාරිසරික අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය වේ. එපමණක් නොව 2005 අංක 12 දරන පනතින් සංශෝධිත 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනතට අනුව ප්‍රකාශිත 2000 ඔක්තෝබර් 04 දිනැති අංක 1152/14 දරන ගැසට් නිවේදනය අනුව ඉඩම් සහ තෙත් බිම් ජලයෙන් යට කිරීම සඳහා හෙක්ටයාර දෙක ඉක්මවන භූමි ප්‍රදේශ ලබා ගැනීමේ දී පුරාවිද්‍යාත්මක හානි අගැයීමක් සිදු කර ඊට පුරාවිද්‍යාත්මක අනුමැතිය ද ලබා ගත යුතු ය. මෙම සියලු‍ අණපනත් උල්ලංඝනය කරමින්, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු සිදු වෙමින් පවතී. ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ දැක්වෙන 12 (1) උප ව්‍යවස්ථාවේ සඳහන් ‘නීතිය පසිඳලීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය සර්ව සාධාරණ විය යුතු ය’ යන්න අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

ජනතාව දැනට සතුටින් !

මේ නිසා ලංකාගම පාර සහ ඒ වටා ඇති කතාව, දකින-ඇසෙන තරම් සුන්දර නැති බව පැහැදිලි ය. පැවැති සියලු ආණ්ඩුවලින් ජනතා මුදල් ඒ වෙනුවෙන් යොදවා ඇත. එම මුදල් පිළිබඳ විධිමත් විගණනයක් මෙතෙක් සිදු වී නැත. එසේ ම විධිමත් පරිසර ඇගයීම් වාර්තාවක් හෝ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මෙතෙක් සකස් කර ද නැත. එසේ තිබියදී නැවතත් අලුතින් දේශීය අරමුදල් යොදවා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට තීරණය කර තිබේ. ඒ කියන්නේ මෙම ව්‍යාපෘතියට තවත් විනිවිද නොපෙනෙන ජනතා මුදල් යෙදවීමක් ද?

Previous articleවසංගතය මැද්දේ සෞඛ්‍ය ප්‍රතිපාදන කෝටි ගණනක් කපා දමයි
Next articleකෝවිඩ් පළමු රැල්ලේ අවදානම දෙවැනි රැල්ලේදී දුම්රිය අමතක කරලා !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here